මල් තුහින -42

දික්කසාදය කියන අත්දැකීම ගෑනියෙකුට ලැබෙන්න ඕන නැති අත්දැකීමක් කියලයි මම නම් හිතන්නේ.මම මොන තරම් ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න උත්සාහ කරපු කෙනෙක් ද කියලා ඔයාලා හැම කෙනෙක්ම දන්නවා. මං හැම දවසක්ම පටන් ගත්තු හැටි ඔයාලා බලාගෙන හිටියා. පාන්දරම නැගිටලා මගේ ගෙදර අයට රසම කෑම හදන්න මම මහන්සි වුණු හැටි, මගේ ගාඩ්න් එක මේන්ටේන් කරපු විදිය, කොච්චර ආදරණීය බිරිඳක් වුණාද කියන එක මං ඔයාලට හැමදාම පෙන්නුවා. මම මේ ලෝකෙ ඉන්න හොඳම බිරිඳ වුණා, මම ඒක දන්නවා. මම මේ ලෝකේ ඉන්න හොඳම අම්මා වුණා. මං වගේ වෙන්න ඔයාලා මොනතරම් හීන දැක්කද? ඒත් මගේ අවසාන උරුමය මෙන්න මේකයි. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණු සැමියෙක් එක්ක ජීවත් වෙන්න බැරි මට අවසානයට මේ තීරණය ගන්න වුණා.ආදරණීය සහෝදරියනි, මෙතන ඉඳලා මම මේ උරුමය අයිති වෙන හැම සහෝදරියක් ම වෙනුවෙන් පෙනී ඉන්න තීරණය කළා. අපි එකතු වෙමු. දික්කසාදයේ වේදනාව බෙදා ගනිමු” 

මලිති ඒ සටහන දෙස බලා සිටියේ කෝපයෙනි. සුදු පැහැ සාරියක් ඇඳ ගත් උත්පලා ඇගේ සෙල්ෆි ඡායාරූපයකට අමුණා ඒ සටහන තබා තිබේ. දික්කසාදයක වේදනාව බෙදා ගැනීම නරක දෙයක් නොවන බව ඇය දනී. දික්කසාදය පමණක් නොවේ, ජීවිතයේ ඕනෑම වේදනාවක් බෙදා ගැනීම මානසික සෞඛ්‍යය අත්‍යවශ්‍ය අංගයකි. නමුත් ඒවා සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කිරීමෙන් උත්පලා ලබන සතුට ගැන මලිතිට තේරුම් ගන්නට නොහැකි ය. ඇය දුරකථනය රුවිනි අත තැබුවා ය.

“මට ඔයාව මතක් වුණා. ඔයාගේ ඩිවෝස් කේස් එක ඉවර වෙනකම් ඒක දැනගෙන හිටියෙ මම විතරයි. වුණත් පැතුම් එක්ක සිද්ද වෙච්ච හැමදේම මම වුණත් දන්නෙ නෑනෙ රුවී. ඇත්ත දන්නවනං ඊට කලින් අයින් නොවුණට උඹ මට ගහනවා කියලා ඔයා මට කිව්වට කිසිම දවසක ඔයා ඒ ඇත්ත මාත් එක්ක නොකියන බවත් මම දන්නවා. මම උනත් එච්චරයි. හෙට අනිද්දට මටත් උසාවියට යන්න වෙන බව මම දන්නවා. මගේ ගෙදර අය ඇරුනම ඔයා, තුහින  ඇරෙන්න වෙන කවුරුවත් ඒක දැනගන්න එකක් නෑ. මටනම් හරි සැනසීමක් ඒක. නවීන් ගැන හෝද හෝද මඩේ දාන නොවෙන්න එක මොනතරම් මොනතරම් සැනසීමක්ද? අපි එහෙම හිතනකොට උත්පලා මේ විකාර ලියන එක ගැන මට තියෙන්නේ පුදුමාකාර තරහක්.”

රුවිනි සටහන කියවා ගෙන යන අතර මලිති නොනවත්වා ම කෝපයෙන් පැවසුවා ය. රුවිනි මුදු මඳහසක් පෑවේ මිතුරිය ගැන ආදරයෙනි. ඇය මෙතරමට කෝපවී හිඳින්නේ තුහින මේ හන්දා අපහසුතාවයට පත් වීම හේතුවෙන් බව රුවිනි හොඳින්ම දනී.

“හැමෝටම අපි වගේ වෙන්න බෑ මලී. අපිට හැමෝම වගේ වෙන්නත් බෑ.හැම කෙනෙකුටම තෝරාගැනීම් තියෙනවා. හැබැයි ඒ තෝරාගැනීම් තමන්ටත් හානියක් කරලා අනුන්ටත් හානියක් කරන එක තේරුම් ගන්න බැරි වෙන්න තරම් අපි මෝඩ වෙන්න හොඳ නෑ.”

රුවිනි එසේ කියන්නේ කල්පනාකාරීව ය.

“උත්පලා කියන්නේ එයාගේ හැම දෙයක්ම සෝෂල් මීඩියා වල ලියපු කෙනෙක්. තමන්ගේ සතුට වෙනුවෙන් හරි ආදායම් මාර්ගයක් වෙනුවෙන් හරි එයා ඒක පාවිච්චි කරා.අපි කතා වෙලා තියනවානෙ. එයාගෙ ප්‍රෙග්නන්ට් කාලදි එහෙම එයා ඒ ගැන හැම දෙයක්ම සෝෂල් මීඩියා වල දානකොට විහිළුවට පත්වෙච්ච තැන් ගැන පවා.”

උත්පලා දියණිය කුසට පැමිණි බව කියන්නට ගර්භනී බව සනාථ කරන පටිය පෙන්වමින් නාන කාමරයේ කළ ටික්ටොක් වීඩියෝව මලිති සිහි කළා ය. ප්‍රේමයෙන් පිරී ගිය පවුලක් නොතිබූ දිනවලදී ඇය පවා උත්පලාගේ ඒ වීඩියෝ බැලුවේ ආශාවෙනි. ඇයට රහසේ ඊර්ෂ්‍යා කළ දවස් පවා මලිතිට තිබිණි. එකල මලිති ඒවාට ආශා කරද්දී පවා රුවිනි ඒවා ගැන හාස්‍ය මුසු දෑසකින් බැලුවා ය. කිසිම ප්‍රතිචාරයක් ඒවාට නොලීවද මලිති සමඟ ඒවා විවේචනය කරන්නට රුවිනි නොපැකිළිණ.

“සතුට ලියන එක වෙනම කතාවක් රුවී. ඒත් තුහින කියන්නේ එයා ආදරය කරපු මනුස්සයා. උසාවියේදි විසඳ ගන්න ඕනි කතා මෙහෙම ලියන එකෙන් පවුලටම වෙන්නේ මොනතරම් වැරැද්දක් ද?”

මලිති කියන කතාව සත්‍යයකි. නමුත් උත්පලා වැන්නියකට එය තේරුම් කර දීමට වඩා රංගනීගෙන් පළමු වතාවේදීම ව්‍යාපෘතියක් අනුමත කරවා ගැනීම පහසු බව රුවිනි පැවසුවේ සෝපහාසයෙනි. 

“අපේ ගීතිකා කිසිම දවසක එයාගේ බබාගෙ එක ෆොටෝ එකක්වත් සෝෂල් මීඩියා දාන් නෑ. බබාට ප්‍රයිවෙට් ලයිෆ් එකක් තියෙනවා කියලා එයා නිතරම කියනවා. ඒත් අපි ශේන්යා දුව කන්න කැමති කෑමේ ඉඳලම දන්නවා. ඒ දරුවා කන හැටි, නාන හැටි, සෙල්ලම් කරන හැටි අපි දැක්කේ මේ වීදුරු බිත්තියෙන් එහා පැත්ත බලලා නෙමෙයි නේ. අන්න ඒ වගේ මානසිකත්වයක් හදාගන්න අයට සෝෂල් මීඩියා වලින් මිදෙන්න අමාරුයි. තවත් එක දෙයක් තියෙනවා. ඔයාට ජීවිතේ ඕන දෙයක් බෙදාගන්න මම ඉන්නවා.තුහින උනත් රනුකට ගොඩක් කිට්ටුයි. මේ ටික කාලෙට තුහින අපිට වුණත් හොඳ යාළුවෙක් වුණානෙ. සෝෂල් මීඩියා වල හරි තමන්ගේ දුකක් සතුටක් ලියන්න හිතෙන්නේ සමහර වෙලාවට ඒවා ශෙයා කරගන්න හොඳ යාළුවෙක් නැති උනාම කියලා මට හිතිලා තියෙනවා. මම හිතන විදිහ හරිම වැරදි වෙන්නත් පුළුවන්. ඒත් මම හිතනවා මිනිස්සුන්ගෙ ජීවිතයේ තියෙන හැම හිස්තැනක්ම වගේ පිරෙනවා හොඳ ආදරයක් ලැබෙනවාටත් වඩා හොඳ යාළුකමක් ලැබෙනවා නම්. ඒ යාලුකම අවංකයි නම්. මට පුලුවං මිනියක් මැරුවත් උඹට කියන්න. උඹට පුළුවන් මට ඕන දෙයක් කියන්න. හෙට උදේ වෙනකොට මේ ඔෆිස් එකම දැන ගන් නෑ කියලා අපි දෙන්නට දෙන්න හොඳට දන්නවා. එතකොට අපි අතරේ රහස් තියෙනවා. තමන්ගේ රහසක් කියන්න කවුරුත්ම නැති මිනිස්සුන්ට ඒ රහස් මුළු ලෝකෙටම කියන්න හිතෙනවා. එක අතකට තනිකම තමයි මලී හැමදේකටම මුල.”

රුවිනි දිගින් දිගටම කියන්නට වූවා ය. මේ තුහිනගේ දික්කසාද නඩුවේ පළමු නඩු වාරය ක්‍රියාත්මක වෙන මොහොත ය. ඒ මොහොතට විශ්වාසයෙන් මුහුණ දෙන තුහිනට වඩා අසරණ වී හිඳින්නේ උත්පලා නොවේදැයි මලිතිට සිතෙන්නට විය.

(ඔබේ අදහස්‍ රන් වටින බැවින් ඒවා වචන කර ලියා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles