භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩු වල බිල පාලනය කරගත හැකි උපක්‍රම

මේ වන විට ලෝකයේ බොහෝ රටවල් වල භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහල යනවා.ඒ  නිසාම දවසින් දවස ඉහළ යන ඔබේ ජීවන වියදමත් පාලනය කළ නොහැකි තත්වයකට පත් වෙලා ඇති.මේ කාරණාව දැන් අපේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩු වල බිල පාලනය කරගන්න පුළුවන් පුංචි උපක්‍රම කිහිපයක් ඔබට කියන්න අපි හිතුවා

සැලසුමක් සකස් කරන්න 

මේ ඔබ අනිවාර්යයෙන්ම සිදු කරන්නට ඕනෑ කටයුත්තක්. සැලසුමකට අනුව ඔබ භාණ්ඩ මිලදී ගැනීම සිදු කරනවා නම් අනවශ්‍ය මිලදී ගැනීම් බොහෝමයක් වළක්වා ගන්නට ඔබට පුළුවන්. ඒ වගේම මෙම සැලසුම සකස් කිරීම ඔබ ඉතා නිදහසේ කළ යුතුයි.නිවසේ මේ වන විටත් ඔබ සතුව ඇති සිල්ලර බඩු පරික්ෂා කර බලා , ඉදිරි දින කිහිපය හෝ ඉදිරි සති කිහිපය වෙනුවෙන් ඔබට අවශ්‍ය කරන භාණ්ඩ වල ලැයිස්තුවක් සකස් කරගන්න. 

ප්‍රමුඛතා වලට ඉඩ දෙන්න

ඔබේ නිවසේ ආහාර අවශ්‍යතා වලට ඔබට අනිවාර්යයෙන්ම උවමනා මොනවද කියලා ඔබ හොඳින්ම දන්නවා.ඒ නිසා ඔබ භාණ්ඩ මිලදී ගන්නට පෙර සකස් කරන ලයිස්තුවේ ඔබට අත්‍යවශ්‍යම භාණ්ඩ මොනවද කියලා තීරණය කරලා ඒවාට ප්‍රමුඛතාවය ලබාදීම සිදු කරන්න ඕන. ඔබේ එදිනෙදා අවශ්‍යතා වලට එතරම්ම උවමනා නොවෙන ද්‍රව්‍ය හැකිතාක් ඔබේ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්න.මේ උපක්‍රයත් ඔබේ මුදල් ඉතිරි කර ගැනීමට හොඳ මාර්ගයක්

Meal Plan එකක් අනුගමනය කරන්න 

අපි ඉහත කී කාරණා දෙක තවත් පහසු කර ගන්නට පුළුවන් මාර්ගයක් තමයි මේ. ඔබ සාප්පු සවාරි යන්නට කලින් ඔබ සතුව ඒ වන විටත් meal plan එකක් තිබෙනවා නම් එයට අවශ්‍ය කරන , අඩුපාඩු ඇති දේවල් මොනවද කියලා ඔබ දන්නවා. එවිට ඔබට මිලදීගන්නට අවශ්‍ය දේවල් වල ලයිස්තුව සකස් කරගන්නට ඔබට පහසුයි. ඒ විතරක් නෙවෙයි , ඔබට කුමන භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද කියලා අදහසක් තියෙන නිසා මිලදී ගැනීම් පවා ඉතා පහසුවෙන් කරන්නට පුළුවන්.

මිල ගණන් අඩු වෙළඳසැලක් තෝරාගන්න

මෙය ඔබට ඉතා පහසුවෙන් කළ හැකි දෙයක්.බොහෝ වෙළඳ සැල්වල ඇතැම් දිනවල සුවිශේෂී වට්ටම් සහිතව භාණ්ඩ විකිණීමට තිබෙනවා වගේම තවත් වෙළෙඳ සැල්වල සුපිරි වෙළඳසැල් වලට වඩා අඩු මිල ගණන් යටතේ භාණ්ඩ තිබෙනවා.මෙවැනි වෙළඳ සලක් ඔබ තෝරා ගන්නවා නම් එය ඔබට වඩාත් වාසිදායකයි

ඒකක මිල පරික්ෂා කරන්න 

බොහෝමයක් කුඩා ප්‍රමාණයේ අයිතම වල මිල තරමක් වැඩි අතර ඒ නිෂ්පාදනයේ ම විශාල ප්‍රමාණයේ අයිතමය මිලදී ගැනීම වඩා වාසිදායක වනවා.සීරියල් වර්ග , කිරිපිටි වර්ග , සීනි , ලුණු ආදි වියලි ආහාර ද්‍රව්‍ය වල කුඩා පැකට්ටු මිලදී ගන්නවාට වඩා විශාල පැකට් මිලදී ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න ඔබට පුළුවන්. 

හොඳින් පරීක්ෂාකර මිලදීගන්න

බොහෝ සුපිරි වෙළෙඳසල් වල ඇති රාක්ක මත  භාණ්ඩ අසුරා තිබෙන්නේ සුවිශේෂී වූ ක්‍රමයකටයි. හොඳ සහ ප්‍රසිද්ධ වෙළඳ නාම යටතේ ඇති මිල අධික භාණ්ඩ රාක්ක වල ඇස් මට්ටමේ ගබඩා කර තිබෙන අතරම සාමාන්‍ය වෙළඳ නාම යටතේ පහසු මිල ගණන් වල තිබෙන භාණ්ඩ අසුරා තිබෙන්නේ රාක්ක වල ඉහලම සහ පහලම කොටස් වලයි.ඒ නිසා ඔබ භාණ්ඩ තෝරා ගන්නා විට ඇස් මට්ටමේ ඇති භාණ්ඩ වෙත පමණක් අවධානය යොමු නොකර අනෙක් භාණ්ඩ සහ ඒවායේ මිල ගණන් ද හොඳින් පරීක්ෂාකර මිලදී ගැනීම් සිදු කරන්න 

තොග වශයෙන් මිලට ගන්න

වියලි ආහාර ද්‍රව්‍ය සඳහා මේ ක්‍රමය අනුගමනය කරන්න ඔබට පුළුවන්. බොහෝ ආහාර ද්‍රව්‍යවල අද පවතින මිල දින කිහිපයකින් වැඩි වීමට ඉඩ තිබෙන නිසා මේ ක්‍රමය ඔබට තරමක් වාසිදායක වෙයි. හාල් , පරිප්පු , සීනි , ධාන්‍ය වර්ග සහ තුන පහ වර්ග තොග වශයෙන් මිලට ගෙන ආරක්ෂාකාරී ලෙස ගබඩා කර තබන්නට ඔබට හැකියාව තියෙනවා.

ආදේශක වලට යොමු වෙන්න

ඔබ මීට පෙර දිනපතා මස් මාළු අනුභව කළ අයෙක් වුණත් වර්තමානයේ පවතින තත්ත්වය අනුව දිනපතාම ආහාරයට ගැනීම සඳහා මස් මාළු මිලට ගැනීම ඔබට අපහසු විය හැකියි. නමුත් ඔබේ දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ගැනීම අනිවාර්ය නිසා ඒ සඳහා ඔබට ආදේශක වෙත යොමු වන්නට පුළුවන්. ටෝෆු , සෝයා වර්ග වැනි දේවල්ද මස් මාලු සමඟ ම මිලට ගන්නවා නම් ඔබට මස් මාලු වෙනුවෙන් වැයවන මුදල තරමක් හෝ අඩු කරගන්නට හැකි වේවි 

ඉතිරි වන දේවල් වලින් පවා ප්‍රයෝජන ගන්න

බොහෝ විට ඔබේ ශීතකරණයේ තිබෙන එළවළු අපතේ යන අවස්තා ඕනෑ තරම් ඇති. වර්තමානයේ පවතින තත්ත්වය අනුව එසේ ආහාර ද්‍රව්‍ය අපතේ යැවීම ඒ තරම් සුදුසු නැහැ. ශීතකරණයේ ඉතිරිව ඇති එළවළු යොදාගෙන සුප් වර්ග , නූඩ්ල්ස් හෝ බත් වර්ග සකස් කරන්නට පුළුවන් වගේම ඔබ ඉවතලන්නට සූදානම් වන පලතුරු වලින් අතුරුපස , ජෑම් වර්ග හෝ චට්නි වර්ග උනත් සකස් කරන්නට ඔබට පුළුවන් 

මේවාට අමතරව ඔබට අවශ්‍ය එළවළු පළතුරු ඔබේ ගෙවත්තේම වගා කරගන්නත් ඔබට පුළුවන් . නමුත් ඔබේ අනෙක් අවශ්‍යතා සහ මිළදී ගැනීම් වෙනුවෙන් මේ උපක්‍රම කිහිපය අනුගමනය කිරීමෙන් ඔබේ සිල්ලර බඩු වල බිල්පත් පාලනය කර ගන්නට හැකියාව තියෙනවා.

Related Articles

Don't Miss


Latest Articles