බිම්මල් -14

උදා වූ දවස බොහෝ සුන්දර දිනයක් යයි මට සිතිණ. පරිසරය පුරාම යන්තමින් පැතිර ගිය මීදුම් පටලය,  හිරු උදා වී හෝරා කිහිපයක් යන තුරුම පරිසරය අත් නොහැර රැඳී තිබිණ. අම්මා විසින් වවන ලද රෝස පඳුරු වල නව මල් රැසක් පිපී තිබෙන අයුරු මම දුටුවෙමි. අලුත් දවසක්… ජීවිතයට නව බලාපොරොත්තු ඇති කරන දිනයක්… 

උදෑසන සිටම මා පසු වූයේ සතුටු සිතින් යුතුවය. පොරොන්දු වූ පරිදි මා වෛද්‍යවරයා වෙත  කැඳවාගෙන යාමට හේෂාන් පැමිණෙන තුරු මා පසු වූයේ නොඉවසිල්ලෙනි. මා සූදානම් වුයේද එම නොඉවසිල්ල සිත තුළ දරාගෙනය. අම්මා තෑගි කළ අලුත් බ්ලවුසයෙන් ද, රෝස පැහැති දිගු සායෙන් ද සැරසෙමින් සිටියදී සුදු නංගී කාමරයට පැමිණියාය.

“ආව්… ලස්සන.”

සුදු නංගී පැවසුවේ සැබෑවටමද, එසේත් නැත්නම් මා සැනසීමටදැයි මම නොදැන සිටියෙමි. ඇය මගේ ඇඳ මත වාඩි වී මා දෙස බලා සිටියාය. 

“ඔය විදියට ඇඳලා ඉන්නකොට ඔයා සින්ඩරෙල්ලා වගෙයි ලොකු. හරිම ලස්සනයි.”

මම කැඩපතින් දිස් වන මගේ රුව දෙස බලා සිටියෙමි. මෙම දින කිහිපයට මුහුණ මඳක් සිහින් වි තිබුණද, මගේ රුවෙහි අඩුවක් මට නොපෙනිණ.

“ඔන්න අද මමයි ඔයාගෙ කොණ්ඩෙ පීරන්නෙ. අද ලස්සනට ඉන්න ඕන දවසක්.”

සුදු නංගී පැවසුවාය.

“දැන් ඔයාට හොඳටම හොඳයිනෙ. ඔන්න බලන්න ලොකූ… අද ඩොක්ට කියනවා දැන් ඩිනාලිට හොඳටම හොඳයි. වෙඩින් එක ගත්තට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි ඉතින් ටිකක් ප්‍රවේශම් වෙන්න කියලත් කියාවි.”

සුදු නංගී මා යහන මත හිඳුවා මගේ කොණ්ඩය පීරන අතරේ පැවසුවාය.

“එහෙමම කිව්වා කියමුකො. මගේ වෙඩින් සාරි එකයි අනිත් හැමදේමයි හේෂාන්ගෙ අම්මා අරගෙන ගියාට පස්සෙ…”

සුදු නංගී තවදුරටත් වදනක් හෝ කතා කිරීමට නොහැකි වන ලෙස මගේ මුව අතින් වැසුවාය.

“එව්වා ප්‍රශ්න නෙමෙයි ලොකු. සල්ලි තියෙනවනම් ෂොප්ස් වල ඕනතරම් සාරි තියෙනවනම් , මහන්න අය ඉන්නවා නම් ඕවත් ප්‍රශ්නද?”

“ඒ වුනාට…”

“අද මේ හොඳ දවසෙ අසුබවාදී ලෙස සිතීම සම්පූර්ණයෙන්ම තහනම්.”

මගේ කොණ්ඩය පීරා නිමා කළ සුදු නංගී පැවසුවාය. සුපුරුදු ආකාරයට වඩා වෙනස් ආකාරයකට හිසකෙස් සකස් කර තිබීම නිසා මගේ මුහුණ වඩාත් ආලෝකමත්ව පෙනිණ.

“අද ඉඳලා ජීවිතේ දිහා සුබවාදී විදියට බලන්න ඕන. ඊයෙ රෑ මං යූ ටියුබ් එකේ වීඩියෝ එකක් බැලුවා. ඇක්සිඩන්ට් එකකින් ඇස් දෙකේ පෙනීම නැති වෙලා ගියාට පස්සෙ හැම කෙනෙක්ම අත ඇරලා දාපු ලේඩි කෙනෙක් හිතේ ශක්තියෙන් තනියම නැගී සිටියලු. මාත් හිතාගත්තා ඒ වගේ වෙන්න. හිත ඇත්නම් අපට කරන්න බැරි දෙයක් නෑ. ඔන්න බලන්නකො දැන් ලස්සන… රෝස මලක් වගෙයි.”

අම්මා කාමරයට පැමිණියාය. පිටත්ව යාමට සූදානම්ව සිටි ඇය මගේ දෙඋරහිසින් අල්ලා මගේ මුහුණ දෙස තත්පර කිහිපයක් බලා සිටියාය.

“අද ඔයා හරිම ලස්සනයි.”

ඇය පැවසුවේ සතුටු සිනාවක් මුවගට නගා ගනිමිනි.

“එයා විතරක් නෙමෙයි. ඔයත් ලස්සනයි. බලන්නකො. කෙල්ල වගේ ඉන්න හැටි. ඉරිසියත් හිතෙනවා.”

සුදු නංගී විහිලු කළාය. සැබවින්ම ලා නිල් පැහැති මුද්‍රිත මෝස්තරයකින් යුත් කුර්තාවකින් සැරසී සිටි අම්මා ද වෙනදාටත් වඩා සුන්දර ලෙසින් මම දුටුවෙමි. 

“අපි එක්ක යනවනම් කතාව තියෙද්දි ගිහින් ඇඳගෙන එනවා. හේෂාන් මෙලහටත් එනවා ඇති.”

අම්මා පැවසුවාය. 

“හරි. මම විනාඩි පහෙන් ලෑස්ති වෙන්නම්.”

සුදු නංගී කාමරයෙන් පිටව ගියාය.

“ඇත්තටම හේෂාන් ඒවිද අම්මා?”

මගේ ඇඳ මත හිඳගෙන සිටින අම්මාගෙන් මම ඇසුවෙමි.

“නොඑන්න හේතුවක් නෑනෙ. ඊයෙ මට එයාමයි කෝල් කරලා කිව්වෙ ඩිනාලිව එක්ක යන්න  මම එනවා ආන්ටි කියලා.”

“එයා එහෙම කිව්වට ආන්ටි එන්න නොදුන්නොත්?”

“හේෂාන් බබෙක් නෙමෙයිනෙ පුතේ. යමු. අපි පහළට ගිහින් ඉඳිමු.”

අම්මා මගේ අතින් අල්ලාගෙන පහත මාලයට කැඳවාගෙන ගියාය. අම්මා කෙසේ පැවසුවද, හේෂාන්ට පැමිණීමට ඔහුගේ මව ඉඩ නොදෙනු ඇතැයි යන සිතිවිල්ල මගේ සිතින් ඈත් කිරීමට කෙසේවත් නොහැකි විය. ඔහු පැමිණෙන බව පැවසූ වේලාව ඉක්ම යද්දී මා නොසන්සුන් වූයේ ඒ නිසාය.

“හේෂාන්ට ආන්ටි එන්න දෙන එකක් නෑ අම්මා. අපි යමු.”

මා අසළින් හිඳගෙන සිටි අම්මාට ඇසෙන සේ මම පැවසුවෙමි.

“විනාඩි පහයි පහු වුනේ. ඇයි ඔය හැටි කලබලයක්? ඒ ළමයා ඒවි.”

අම්මා සිනාසුනාය. ඇය පැවසූ ලෙසම තවත් විනාඩි පහක් ගත වන්නට පෙර හේෂාන් අප නිවසට පැමිණියේ මගේ සිත තුළ දහසක් මල් පුබුදවමිනි.

“පරක්කු වුනාද මන්දා ආන්ටි. අපි යමු.”

මා අසළ සිට ගත් ඔහු පැවසුවේය. මගේ දෙනෙත් වලට කඳුලක් නැගුනේ අහේතුකවය.

පිටත්ව යාමට සූදානම් වූ සුදු නංගී ද දිව ආවාය. හේෂාන් මා අතින් අල්ලාගෙන ගොස් මෝටර් රථයේ හිඳවූයේ බොහෝ ප්‍රවේශම් සහගත ලෙසය.

“අම්මා දන්නවද පුතා අද අපි එක්ක ඩොක්ටර් හම්බ වෙන්න යනවා කියලා.”

මෝටර් රථය ප්‍රධාන මාවතට පිවිසුනු පසු අම්මා ඇසුවාය.

“කිව්වෙ නෑ ආන්ටි. මං ප්‍රෙස් එකට යනවා කියලයි ආවෙ.”

“පුතාට ප්‍රශ්නයක් වේවි.”

“නෑ…”

හේෂාන් ආයාසයෙන් සිනාසුනේය.

“අම්මා දුර දිග බලන්නෙ නැතිව වැඩ කරනවා ආන්ටි. ඒ ගැන මට සමාවෙන්න. ඊයෙ සිද්ධිය වුනත්….”

“සමාව ඉල්ලන්න ඔයා වරදක් කරලා නැහැනෙ. චාන්දනී හදිසි තීරණ ගත්තට දැන් හිතින් දුක් වෙනවා ඇති. මං දන්නවනෙ චාන්දනීගෙ හැටි.”

මගේ මුහුණ දෙස බැලූ හේෂාන්ගේ මුවග වූයේ දුක් සිනාවක් යයි මට සිතිණ. වෙනදා මෙන් නොව ඔහුගේ දෑස් යට අඳුරු පැහැ වී තිබුනේ පසුගිය කාලය තුළ මුද්‍රණාලයේ වැඩ කටයුතු වෙනුවෙන් නිදි මැරීම නිසා වන්නට ඇත.

“මම ෆෝන් එක ඕෆ් කරලා තියෙන්නෙ. හදිසියේවත් ආන්ටිට අපෙ අම්මා කෝල් කළොත් මම ඉන්නවා කියන්න එපා.”

යන්තමින් හිස හරවා අම්මා දෙස බැලූ හේෂාන් පැවසුවේය.

“අපි නිසා ප්‍රශ්න ඇති කර ගන්න එපා පුතා. මට වුනත් ඩිනාලිව ඩොක්ට ළඟට එක්ක යන්න තිබුනා.  ”

“ඒක මගේ යුතුකම. ඩිනාලි වෙනුවෙන් කරන්න තියෙන හැමදෙයක්ම මම කරනවා.”

හේෂාන් පැවසුවේ ඇසෙන නෑසෙන හඬිනි. පිටතට නොපෙන්වා සිටීමට උත්සාහ කළ ද, ඔහු මහා දුකක් සිත තුළ රඳවාගෙන සිටිතැයි මට සිතිණ.

“කාලය හැමදේටම ඖෂධයක් කියනවනෙ පුතා. වොරි වෙන්න එපා. හැමදේම කාලයත් එක්ක විසඳේවි. අම්මා වුනත් ඇත්ත තේරුම් ගනීවි. හැබැයි හෙමිහිට.”

“එහෙම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු ආන්ටි.”

“අයියෝ… ඔය කතා දැන් නවත්තන්න. සින්දුවක් දාගෙන සද්ද නැතිව යමුකො. අතීතයයි වර්තමානෙයි ගලප තලප අනාවැකි කිය කියා යන්නෙ නැතිව.”

සුදු නංගී නොඉවසිල්ලෙන් පැවසුවාය. ඇය එසේ පවසන්නේ අම්මා හෝ හේෂාන් හෝ නොසිතා පවසන වදනකින් මගේ සිත රිදෙනු ඇතැයි සිතා විය යුතුය. සිනාසුන හේෂාන් ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කළේය. 

දමා යන්නට නොහැකි මිහි මත

එකම සම්පත – ඔබම පමණයි.

මිදි යන්නට නොහැකි මේ ලොව 

එකම බැඳුමද ඔබම පමණයි.

සෝමතිලක ජයමහයන්ගේ හැඟීම්බර කටහඬ සැනෙකින් මගේ දෙසවන් සිප ගත්තේය. මගේ මුහුණ දෙස බැලූ හේෂාන් එය සැනෙකින් ක්‍රියා විරහිත කළේය.

“ඇයි ඕෆ් කළේ? ඒක ලස්සනයි. මං ආසම සින්දුවක්.”

මම පැවසුවෙමි.

“ඒක ඇහෙනකොට දුක හිතෙනවා.”

යළිත් ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කරන හේෂාන් පැවසුවේ ඇසෙන නෑසෙන හඬිනි. මම නිහඬව ගීතයට සවන් දී සිටියෙමි.

බැඳුනු සෙනෙහස නොවන නිම්හිම්

ඇතද පණ නළ සමග රැකෙමින්

අපේ අත්වැල ලිහී ගිලිහෙන

මොහොත එයි කවදාක හෝ

යායුතුය ඒ නියත නික්මන

සියලු බැමි සිඳිනා…

මම ගීතයට සවන් දී සිටියේ දැහැනකට සම වැදුනාක් මෙනි. පාර හරහා ගමන් කරන තරුණ යුවලක් හේෂාන්ගේ මෝටර් රථයේ නොගැටී බේරුනේ යන්තමින් බව බොහෝ දුර ඈත සිත තබාගෙන සිටි මා දුටුවේ ද යන්තමිනි. හේෂාන් මෝටර් රථය නතර කළේය.

“මොකක්ද ප්‍රශ්නෙ පුතා?”

අම්මා ඇසුවද, හේෂාන්ගෙන් පිළිතුරක් නොලැබිණ.

“කල්පනාවෙන් ඩ්‍රයිව් කරන්න. ප්‍රශ්න තියෙනවනම් මල්ලකට දාලා මට දෙන්න. මං තියාගන්නම්.”

සුදු නංගී පැවසුවේ හේෂාන්ගේ සිත සැහැල්ලු කිරීමේ අරමුණින් විය යුතුය.

“ප්‍රශ්න නෑ සුදු නංගි. මට පොඩි නිදිමතක් ආවා. ඒකයි.”

නැවත රිය පණ ගන්වමින් හේෂාන් පැවසුවේය.

“තව ටිකෙන් අර කපල් එක…”

සුදු නංගී තවත් කිසිවක් පැවසීමට පෙර අම්මා ඇගේ කට මිරිකා ගන්නට ඇතැයි මට සිතිණ.

හේෂාන් ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියා විරහිත කර දැමුවේය. ඔහුගේ සිත එතරම් කැළඹෙන්නට ඇත්තේ ගීතය නිසාදැයි මම කල්පනා කළෙමි.

*

පෞද්ගලික රෝහලට යනතුරුම යළිත් අප අතර කතා බහක් ඇති නොවූයේ සිදු වූ සිදුවීම සියලු දෙනාගේම සිත් කම්පා කළ බැවින් විය යුතුය. අපගේ වාරය එනතුරු අප හිඳගෙන සිටියෙමු. තමාට බොහෝ පිපාසය ඇති බව පවසා සුදු නංගී අම්මා සමග පිටව ගියේ හේෂාන්ටත්, මටත් නිදහසේ කතා බහ කිරීමට ඉඩ සලසා දෙමින් යයි මට සිතිණ. ඔවුන් පිටව ගිය පසු හේෂාන් මට තවත් ළංව හිඳ ගත්තේය.

“දැන් ඔයාට හොඳටම හොඳයි නේද ඩිනාලි?”

“හොඳයි.”

මම පැවසුවෙමි.

“අද අපි ඩොක්ටගෙන් අහමු හේෂාන් වෙඩින් එක දැන්ම ගන්න පුළුවන්ද කියලා.”

හේෂාන් සිය කලිසම් සාක්කුවෙන් ගත් ලේන්සුවකින් මුහුණ පිස ගත්තේ අරමුණකින් තොරව බව මට දැනිණ.

“අහමු. ඒත් ඩිනාලි. මම හිතන්නෙ නෑ ඩොක්ට ඒකට ඉඩ දේවි කියලා. අඩුම තරමේ සික්ස් මන්ත්ස්වත් ඉන්න වේවි.”

“අපි ඕඩර් කරපු හැමදේම කැන්සල් කරන්න වේවි නේද?”

කල්පනා කරමින් සිටියා මිසක හේෂාන් මගේ පැනයට පිලිතුරු නොදුන්නේය.

“ආන්ටි මගේ සාරි, ජුවෙලරි අරන් ගියාට මට අලුත් ඒවා අරන් දෙන්න පුලුවන් කියලා අම්මා කිව්වා.”

“අම්මා ඒවා අරන් ගියේ තරහට නෙමෙයි ඩිනාලි. හිතේ දුකට. ගොඩක් බලාපොරොත්තු තියාගෙන වෙඩින් එකට සූදානම් වෙද්දි සිද්ද වෙච්ච දේට අම්මට දුකයි.”

“මටත් දුකයි.”

හේෂාන් මගේ අත තද කර අල්ලා ගත්තේය. ඔහුගේ අත බොහෝ සිහිල් ස්වභාවයෙන් යුක්ත විය. 

“හැමදේම හොඳම විදියට සිද්ද වේවි ඩිනාලි. අපි බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙමු.”

අම්මාත්, සුදු නංගීත් ඉක්මනින් පැමිණියේ අපගේ අංකයට පෙර අංකය හිමි රෝගියා වෛද්‍යවරයා හමුවට ගිය බැවිනි. හේෂාන් මා නැගිටුවා ගත්තේය. වෛද්‍යවරයා හමුවට යාමේ සූදානමින් කාමරයේ දොර අසළ රැඳී සිටියද, මගේ හද ගැස්ම වැඩි වූයේ මන්දැයි මට ද සිතා ගත නොහැකි විය.

*

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles