බිම්මල් –  18

මේ මැදියම් රාත්‍රිය විය යුතු යයි මට සිතුණේ බොහෝ සෙමෙන් අහස් ගඟ තරණය කරමින් සිටින මහලු අවසඳ විවෘත ජනෙල් කවුළු අතරින් දිස් වෙද්දීය. අප නින්දට පැමිණෙන මොහොතේ සඳවතක සේයාවක් හෝ අහසේ දිස් නොවූ බව මට මතකය. මට අද රාත්‍රිය බොහෝ දිගු එකක් සේ දැනේ. නොකඩවා සිතට පිවිසෙන සිතිවිලි සුව නින්දකට කෙසේවත් ඉඩ නොදෙයි. අම්මා ගැඹුරු ලෙස හුස්ම ගන්නා හඬත්, සුදු නංගී සිහිනෙන් සිනාසෙන හඬත් ඉඳහිට ඇසිණ. ඔවුන් දෙදෙනාම මගේ කාමරයේ නිදන්නට පැමිණියේ හෙට දිනයේ මා නිවසින් නික්ම රෝහලේ නේවාසික වන්නට යන බැවින් ඇති වූ ශෝකය නිසා වන්නට ඇත. ඔවුන් පමණක් නොව වජිරා ද සිය මෙට්ටය රැගෙන පැමිණ මගේ කාමරයේ බිම අතුරා එහි නිදන්නට සූදානම් වූවාය. ඔවුන් තිදෙනාගේ ආදරයේ සුවඳ කිසි දිනයක නොමැති තරමටම මගේ හදවතට දැනුනේ එවේලෙහිය.

“කමක් නෑ නේද පුතේ අපි ඔයාගෙ කාමරේ නිදාගන්න ආවට?”

මගේ කොට්ටය දෙපසින් තමාගේත්, සුදු නංගීගේත් කොට්ට දැමූ අම්මා ඇසුවාය.

“අද අම්මයි, සුදුයි මා ළඟින් ඉන්නවට මං ආසයි.”

මම පැවසුවෙමි. යුගල යහන මත තිදෙනෙකුට ඉඩකඩ නොසෑහුණද, අම්මාගේත්, නංගීගේත් උණුසුම විඳිමින් නිවසෙහි ගත කරන අවසන් රාත්‍රිය ගෙවා දැමීමට මම ප්‍රිය වීමි. අම්මා මා තුරුලු කර ගත්තාය. සුදු නංගී ද මගේ අතක් වැළඳ ගත්තාය. ඒ විසල් වූ ආදරය මට දරා සිටිය නොහැකි වූයෙන් මගේ දෙනෙත් වලට කඳුලු නැගිණ.

“ඔයා අඬනවද පුතේ?”

අඳුරේම මගේ දෙනෙත් සිය ඇඟිලි තුඩු අගින් ස්පර්ශ කළ අම්මා ඇසු බව මට මතකය.

“කඳුලු එනවා ඇස් වලට. දුකට නෙමෙයි. සතුටට. චූටි කාලෙ අම්මා සුදුයි, මායි තුරුලු කරගෙන නිදාගත්තෙ මේ විදියට නේද කියලා මතක් වුනා.”

“ඒ නිදාගත්තෙ අපට ආදරේට නෙමෙයි. මේජර් වංශනාථගෙන් ආරක්ෂා වෙන්න.”

සුදු නංගී පැවසුවාය.

“මේන් මෙයා… මං හිතුවෙ හොඳටම නිදි ඇති කියලා.”

අම්මා මුදු ලෙසින් සිනාසුනාය.

“නිදි තමයි. හොඳටම නින්ද ගිහින් ඉන්නෙ.”

“එහෙනම් ඔය කියවන්නෙ?”

“ඒ හීනෙන්.”

මා පමණක් නොව අම්මා ද, යහන පාමුල සිටි වජිරා ද සිනාසුනේ සැහැල්ලු සිතින් යුතුවය.  අප කුඩා කාලයේ සුදු නංගීත්, මාත් නින්දට ගියේ එකම යහනේය. ඇතැම් රාත්‍රී කාලයන්හිදී අම්මා අප කාමරයට පැමිණ අප දෙදෙනා තුරුලු කරගෙන නින්දට ගියේ මන්දැයි මට එකල නොවැටහුණද, තාත්තා ගේ වධ හිංසා වලින් මිදෙන්නට ඇය එසේ පැමිණෙන්නට ඇති බව දැන් මට වැටහෙයි. අම්මා අප හා නොපවසන ජීවිතයේ සංවේදනා කෙතරම් ඇත්ද?

මේවනවිට මා තුරුලු කරගෙන සිටි අම්මාගේ අත් බැම්ම ලිහී තිබිණ. ඇය පසුවන්නේ තද නින්දේ විය යුතුය. අද දවස පුරාම බොහෝ වෙහෙස මහන්සි වූ ඇයට යහනට වන් සැනෙකින් නින්ද යන්නට  ඇතැයි මට සිතිණ. නින්දට පෙර මගේ අත බදා වැළඳගෙන සිටි සුදු නංගීගේ ද, අත අත හැරී තිබිණ.  අප කෙතරම් දෑ ආදරයෙන් බදා වැළඳ ගත්තද, ඒවා කෙමෙන් අප කෙරෙන් ගිලිහී යන බව මට දැන් වැටහෙමින් පවතින්නේ පිළිකා රෝගය පිළිබඳව දැනගත් පසු වන්නට ඇත. මට දැන් දුකක් නොදැනෙයි. ඇතැම් විට ජීවිතයෙන් සමුගැනීමට, අතහැර දමා යාමට නොහැකි කිසිවක් නැතත්, අම්මාගේත්, සුදු නංගීගේත්, හේෂාන්ගේත් ආදරය අත හැර දැමීම තරමක් දුෂ්කර වූවකි. එහෙත් ඒ බැඳීම් වලින් මිදෙන්නට මා සිතට ගත යුතුය. දුෂ්කරම කාර්යය වන්නේද එයයි.

මට හේෂාන් සිහියට නැගෙයි. ඔහු මේවනවිට තද නින්දට වැටී ඇත්ද නොඑසේ නම් මා දකින මේ අවසඳම ජනෙල් කවුළු අතරින් දකිමින් මා මෙන්ම ඔහු ද කල්පනා කරමින් ඇත්දැයි මට සිතිණ. පොරොන්දු වූ ලෙසම ගත වූ සන්ධ්‍යාවේ ඔහු මා දකින්නට අප නිවසට පැමිණි මොහොත මා මියෙන දින දක්වාම මතකයේ රැඳෙන සුන්දර වූ දිනයක් ලෙසින් සනිටුහන් වනු නොඅනුමානය. 

ඒවනවිට අම්මා නිවසට පැමිණ තිබිණ. ඇයත්, සුදු නංගීත්, වජිරාත් මා ගෙන යන ඇඳුම් ආදිය සකසමින් සිටියදී හේෂාන් උඩු මහලෙහි මගේ කාමරයට පිවිසුනේ අම්මාගේ අවසරය මත වන්නට ඇත. අප දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ඇති වී ගත වූ මුලු කාලය තුළම කිසිම දිනයක ඔහු මගේ නිදන කාමරයට පැමිණ නොමැති බව එවේලෙහි සිහියට නැගුණද, හේෂාන් දැකීමෙන් ඇති වූ සතුට නිසා එම සිතිවිල්ල සැනෙකින් මගේ සිතින් ඉවත්ව යන්නට ඇත.

“ඩිනාලි…”

මා යහනෙන් නැගී සිටිත්ම මා වෙනුවෙන් ගෙන ආ පාර්සල් රැසක් මේසය මත තැබූ හේෂාන්  මගේ දෙඋරහිසින් අල්ලා මා යහන මත හිඳ වූයේය.

“පොරොන්දු වුන විදියටම මං ආවා ඩිනාලි.”

මගේ කර වටා අත යවා තමා වෙත ළං කරගත් හේෂාන් පවසන හඬ සිහිනෙන් මෙන් මට ඇසිණ.

“හෙට ඔයා යනවා.”

ඔහු පැවසුවේ බිඳුනු හඬිනි.

“හෙට ඉඳලා සනීප වෙලා ආයෙම ගෙදරට එනතුරුම ඔයා අයිති අපට නෙමෙයි. හොස්පිටල් එකට.”

“මට සනීප වේවිද හේෂාන්?”

මම ඇසුවෙමි. 

“ඇයි නැත්තෙ? විශ්වාසය තියාගන්න ඩිනාලි. ඒ ඩොක්ට බොහොම දක්ෂ කෙනෙක්ලු. සනීප කරන්න බැරි නම් එයා පේෂන්ට් කෙනෙක්ව භාර ගන්නෙ නෑ.”

හේෂාන් පැවසුවේ මගේ මුහුණ ඔහු ලයට තුරුලු කර ගනිමිනි. මට වදනක් හෝ කතා කර ගැනීමට නොහැකි විය. අප අතර ප්‍රේම සම්බන්ධයක් ආරම්භ වු පසු, ඉඳහිට හාදුවක් හුවමාරු වූවා මිසක අප මෙතරම් සමීපව සිටි දිනයක් නොමැති තරම් ය.

“ඒ හොස්පිටල් එකට ගියාට පස්සෙ ඔයා ජීවත් වෙනවා කියලා දැනෙන්න පටන් ගනීවි. ඒ තරමටම ලස්සන පරිසරයක, ලස්සනට ගොඩ නගපු හොස්පිටල් එකක්.”

“ඔයා ගිහින් තියෙනවද?”

“නෑ. මට මේ ගැන කියපු කෙනා ෆොටෝස් පෙන්නුවා. හොස්පිටල් එකක් නෙමෙයි. හොටෙල් එකක් වගේ. ලස්සනයි.”

හේෂාන් පිළිකා රෝහල පිළිබඳව කළ වර්ණනාව නිසාම රෝහලේ නේවාසික වීමට ඇති වූ බිය හා අකැමැත්ත බිඳක් හෝ වී නම් එය ද තුරන්ව ගියේය.

“ලේඩි ජාන්සි මෙමෝරියල් හොස්පිටල් එක හදන්න හේතු වුන ලස්සන කතාවක් තියෙනවා. ඒකත් මට කිව්වෙ මගේ යාලුවා.”

“කියන්නකො.”

මම ඉල්ලා සිටියෙමි. හේෂාන් හිස දෙපසට වැනුවේ එය ප්‍රතික්ෂේප කරමිනි.

“ඒක ගියාට පස්සෙ ඔයාට දැන ගන්න ලැබේවි. ඒකත් හරියට ටජ් මහල් වගේ ආදරය වෙනුවෙන් හදපු සිහිවටනයක්. ඇත්තමයි. මිනිස්සු ආදරය වෙනුවෙන් මොන තරම් නම් දේවල් කරනවද?”

“හදිසියේවත් මං මැරුණොත් ඔයත් ඒ වගේ සිහිවටනයක් හදනවද හේෂාන්?”

හේෂාන් මගේ මුව සිය අතින් වැසුවේ තවත් වදනක් හෝ කතා කිරීමට ඉඩ නොතබමිනි.

“එහෙම හිතන්න එපා. ඔයා මැරෙන්නෙ නෑ. මං වෙනුවෙන් ජීවත් වෙන්න ඕන ඩිනාලි. මං වෙනුවෙන්…”

හේෂාන්ගේ දෑස් වල නැගී ඇති කඳුලු මම දුටුවෙමි. මා තවත් ඔහුගේ සිත පෑරිය යුතු නැතැයි මට සිතිණ..

“ඩිනාලී…”

අම්මාගේ නිදිබර කටහඬ ඇසිණ. ඇය නැගිට විදුලි පහන දැල්වූවාය. අඳුරට හුරුව තිබූ දෙනෙත් ආලෝකයට හුරු කර ගන්නට මඳ වේලාවක් ගත විය. අම්මා යහන මත හිඳගත්තාය.

“ඇයි අඬන්නෙ ඩිනාලි?”

ඇය ඇසුවේ මගේ මුහුණ දෙස පරීක්ෂාවෙන් බලමිනි.

“මම ඇඬුවෙ නෑ.”

“මට ඉන්න බෑ අම්මා කියලා ඉකි ගගහ ඇඬුවෙ නැද්ද ඔයා?”

අම්මා ඇසුවේ සැක සිතින් යුතුවය.

“නෑ.”

වජිරා ද පිබිද නිදා සිටි මෙට්ටය මතම හිඳගෙන දෑස් පොඩි කළාය.

“මැඩම් හීනයක් දකින්න ඇති.”

ඇය පැවසුවේ ද නිදිබර කටහඬිනි. සුදු නංගී ඒ වනවිට තද නින්දට වැටී සිටියාය.

“එහෙම වෙන්න ඇති. මං හිතුවෙ ඇත්තටම කියලා. අනේ… මං නිසා ඔයාගෙ නින්දත් කැඩුනා.”

විදුලි පහන නිවා දැමූ අම්මා යහන මත වැතිරුණාය.

“මම නිදාගෙන නෙමෙයි හිටියෙ.”

“එහෙනම්?”

අම්මා මගේ අත්ල අල්ලාගෙන එය සිප ගත්තාය.

“මට ගොඩක් දේවල් කල්පනා වුනා අම්මා. නිදිමතක් ආවෙම නෑ.”

“හිත එකඟ කරගෙන නිදාගන්න. හෙට උදේට යන්න ඕනනේ. ඔයාට බොන්න දෙයක් හදලා ගේන්නද එහෙනම්?”

“එපා. මං නිදාගන්න උත්සාහ කරන්නම්.”

ඒවනවිට මහලු අවසඳ ජනේලය අතරින් දිස් නොවුයේ සෙමෙන් සෙමෙන් අහස් මාවතේ ඈතට පියමං කර තිබූ නිසා විය යුතුය. අම්මා මගේ හිසකෙස් අතරින් ඇඟිලි තුඩු යවමින් බොහෝ සෙමෙන් පිරිත් සජ්ජායනය කරන්නට වුවාය. කෙමෙන් කෙමෙන් මගේ දෙනෙත් පියවෙන්නට පටන් ගත් බව මට මතකය. 

                                *

හේෂාන්ගේ මෝටර් රථය කලෙකින් පිළිසකර නොකළ අබලන් මාර්ගයක ගමන් කරමින් තිබිණ. පෙර දින වැටුණු වැසි නිසා මඩ වතුර පිරී ඇති වලවල් මග හරිමින් හේෂාන් මෝටර් රථය පැදුවූයේ නොපහන් නෙතින් යුතුවය. අබලන් මාර්ගය දෙපස වූ කුඹුරු වල ද තැනින් තැන වතුර පිරී තිබිණ.

“හොස්පිටල් එකට තව දුරද පුතා?”

අම්මා ඇසුවාය.

“තව කිලෝ මීටර් හයක් විතර යන්න තියෙනවා.”

යන්තමින් හිස හරවා බැලූ හේෂාන් පැවසුවේය.

“මොන පාරක්ද මේක?”

මුහුණ හකුළා ගත් සුදු නංගී පැවසුවේ තරහෙනි.

“ඔයා වර්ණනා කළ හැටියට අපි හිතුවෙ හොස්පිටල් එක තියෙන්නෙ දිව්‍ය ලෝකෙ කියලා.”

“මං කිව්වෙ මගේ යාලුවා කියපු එක. මෙහෙම පාරක් තියෙන බව දන්නවනම් මම කීයටවත් ඩිනාලිව මෙහෙට එක්ක එන්නෙ නෑ.”

“යන පාර දුෂ්කර වෙන්න පුලුවන්. ඒ වුනාට පුතා හොස්පිටල් එක හොඳ නම් නිසි ප්‍රතිකාර ලැබෙනවනම් ඒක නේද අපට ඕන?”

“ආපෝ… හොස්පිටල් එකේ හැටිත් හිතාගන්න පුලුවන්.”

සුදු නංගී අවඥාවෙන් මුව ඇද කළාය. හේෂාන් නිහඬව සිටියේ තරහෙන්ද එසේත් නැතිනම් ලජ්ජාව නිසාදැයි සිතන්නට මම උත්සාහ කළෙමි. ඒවනවිට මට තද හිසරදයක් දැනෙමින් තිබුනේ ගමනේ දුෂ්කර බව නිසා විය යුතුය.

“ඇයි?”

මා නළළත තදින් මිරිකා ගනිමින් සිටිද්දී මා දෙස බැලු හේෂාන් ඇසුවේය.

“හිසරදයක් දැනෙනවා හේෂාන්. ඔලුව පැලෙන්න තරම් කැක්කුමයි.”

“තව ටිකනෙ ඩිනාලි. චුට්ටක් ඔහොම ඉවසගෙන යමුකො.”

මම හිසරදය ඉවසා සිටින්නට උත්සාහ කළෙමි. එහෙත් එය කිසිසේත්ම ඉවසා සිටිය නොහැකි විය.

“අර තියෙන්නෙ හොස්පිටල් එක.”

සුදු නංගී කෑගැසුවාය. දුර්වර්ණ වු බිත්ති සහිත ඉතාමත් පැරණි ගොඩනැගිල්ලක් ඉදිරියෙහි හේෂාන් මෝටර් රථය නතර කළේය. පුවරුවෙහි වූ අකුරු මැකී ගොස් තිබූ අතර, එහි ‘රෝහල’ යන වදන පමණක් යන්තමින් කියවා ගැනීමට මම සමත් වීමි.

“මේක හොඳ ලෙඩ්ඩුන්ට ඉන්න නෙමෙයි. මැරිච්ච මිනිස්සුන්ට ඉන්න. හේෂාන් හිතුවෙ මගේ කෙල්ල මැරිලා කියලද?”

අම්මා තරහෙන් කෑගැසුවාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles