මුර කුටිය තුළින් පිටතට පැමිණියේ තද කොළ පැහැති ඇඳුමින් සැරසී සිටි මිනිසෙකි. ආරක්ෂක නිළධාරියෙක් යයි සිතිය හැකි ඔහුගේ හිසෙහි කලු පැහැති තලප්පාවක් බැඳ තිබිණ. ඔහු හේෂාන්ට හිස නමා ආචාර කරන අයුරු මම බලා සිටියෙමි. මගේ සිතට අමුත්තක් දැනිණ.
“ඒ කවුද?”
වජිරා හෝ සුදු නංගී විමසන හඬ ඇසිණ.
“සික් ජාතිකයෙක් වගෙයි. ඔය ඔලුවෙ දාලා තියෙන එකට කියන්නෙ තුර්බාන් තොප්පිය කියලා.”
අම්මා පැවසුවාය.
“ඔයා කොහොමද දන්නෙ?”
සුදු නංගී ඇසුවාය.
“අපි මැරි කරපු මුල් කාලෙ අපි දෙන්නා ගිය ටුවර් එකකදි තාත්තගෙ යාලුවෙක් හමු වුනා. එයා සික් ජාතිකයෙක්. නම නම් හරියටම මතක නෑ. සිං කෙනෙක්. විජායි සිං වගෙයි මතක.”
“අපට පේන්න බොරුවට රණ්ඩු කළාට දෙන්නා එක්ක ලෝකෙ පුරා රවුම් ගහලා තියෙන්නෙ.”
සුදු නංගී සරදම් කළාය. අම්මාට, වජිරාට පමණක් නොව මට ද හඬ නගා සිනා පහළ වූයේ නිතැතිනි. එහෙත් මගේ සිත තුළ වූ කැළඹිලි ස්වභාවය ඉන් පහ නොවීය.
“මේ හොස්පිටල් එක කරන්නෙ ඉන්දියානු ඩොක්ට කෙනෙක් කියලා හේෂාන් කිව්වා. වැඩ කරන අයත් එහෙම අය වෙන්න ඇති.”
“මට බයයි අම්මා.”
මට කියවිණ.
“ඇයි බය වෙන්නෙ? බය වෙන්න එපා. මට විශ්වාසයි හැමදේම හොඳින් සිද්ද වේවි.”
සික් ජාතික ආරක්ෂක නිළධාරියා සමග කතා කරමින් සිටි හේෂාන් කිසියම් ලියවිල්ලක් සම්පූර්ණ කරන අයුරු මම බලා සිටියෙමි. එය නිමා කළ ඔහු මෝටර් රථය අසළට දිව ආවේ ප්‍රීතිමත් ලෙසින් යයි මට සිතිණ.
“එයා සික්ද?”
රියදුරු අසුනෙහි හිඳගෙන මෝටර් රථය පණ ගන්වන හේෂාන්ගෙන් සුදු නංගී ඇසුවාය.
“ඔව් සුදු නංගි. සික්.”
හේෂාන් පිළිතුරු දුන්නේය.
“මොන සික්ද? ලව් සික්ද?”
“මේ ළමයා මොනවා කියවනවද මං දන්නෙ නෑ.”
මුවට නැගි සිනාව සඟවා ගත් අම්මා ව්‍යාජ අමනාපයකින් පැවසුවාය. සික් ජාතික ආරක්ෂක නිළධාරියා මෝටර් රථයට ඇතුළට ප්‍රවිෂ්ඨ වන්නට ගේට්ටුව විවර කළේය. ගේට්ටුවෙන් ඇතුළත දක්නට ලැබුණ දර්ශනය මා විස්මයට පත් කරන්නට සමත් විය. දහස් පෙතියා මල් යායක්… කහ සහ තැඹිලි මිශ්‍රිත දහස් පෙතියා මල් පාත්ති සහිත අපූරු බිම්කඩ අතිශයින් මනස්කාන්ත දසුනක් විය.
“ඔය මල් පාත්ති හදලා තියෙන්නෙ ජාන්සි කියන නමේ අකුරු වලට. අමුතුම ලෝකෙකට ආවා වගේ නේද ඩිනාලි?”
තෙරක් නොපෙනෙන දහස් පෙතියා මල් යායම මිසක වෙනත් කිසිදු මල් වර්ගයක් දක්නට නොලැබුණද, තැන් තැන් වල ඉදි කර ඇති වතුර මල් සහිත කුඩා පොකුනු සිහියට නංවන ලද්දේ රෝහලක් නොව විසල් හෝටලයකි. මඳ දුරක් ගමන් කරද්දී ලා කහ පැහැය ආලේපිත තට්ටු හතරකින් යුත් ගොඩනැගිල්ලක් දක්නට ලැබිණ. හේෂාන් මෝටර් රථය නතර කරත්ම රෝද පුටුවක් රැගෙන සිනාමුසු මුහුණින් යුතුව ඉදිරියට පැමිණියේ කහ සහ කොළ පැහැයෙන් යුත් පන්ජාබ් ඇඳුමින් සැරසුණු කාන්තාවකි. ඇය අපට ආචාර කළේ ද සිනාමුසු මුහුණින් යුතුවය.
“මට වීල් චෙයාර් එකක් ඕන නෑ. ඇවිදගෙන යන්න පුලුවන්.”
රෝද පුටුවේ හිඳ ගැනීම ප්‍රතික්ෂේප කළ මම පැවසුවෙමි.
“එහෙම කියන්න එපා ඩිනාලි. ”
හේෂාන් මා රෝද පුටුවෙහි වාඩි කළේය. කාන්තාව එය තල්ලු කරගෙන ගිය අතර, හේෂාන්, අම්මා සහ සුදු නංගීත්, වජිරාත් පසුපසින් පැමිණියහ. රෝහල තුළට යත්ම පිළිගැනීමේ කවුන්ටරය අසළ වූ දැවැන්ත ඡායාරූපයක් මගේ නෙත ගැටිණ. එහි වු සුන්දර තරුණ කාන්තා රූපය මගේ සිත මොන තරම් නම් වශී කලේ ද යත් මගේ දෙනෙත් ඉන් ඉවතට ගැනීමට මට නොසිතිණ.
“එයා ද ජාන්සි කියන්නෙ මැඩම්?”
වජිරා අම්මාගෙන් විමසන හඬ මට ඇසිණ.
“ඒකතමයි. බලන්නකො ලස්සන. රැජිණක් වගෙයි.”
හේෂාන් කිසියම් ලියවිලි රැසක් සම්පූර්ණ කරන තුරු අම්මාත්, සුදු නංගීත්, වජිරාත් හිඳගෙන සිටි අතර මා හිඳ ගත් රෝද පුටුව ඔවුන් සමීපයෙන්ම තබා තිබිණ. එම කාලය තුළම මා බලා සිටියේ ලේඩි ජාන්සි යයි මා අනුමාන කරන සුන්දර කාන්තාවගේ ආකර්ෂණීය මුහුණ දෙසය.
මගේ රෝග වාර්තා සියල්ල ඇතුළත් ලිපි ගොනුව ලබා දී, ජාන්සි මෙමෝරියල් පිළිකා රෝහලේ පිළිකා රෝගියකු ලෙසින් ලියාපදිංචි කිරිමෙන් අනතුරුව කවුන්ටරයෙන් දෙන ලද කාඩ්පතක් රැගෙන පැමිණි හේෂාන්, එය රෝද පුටුව අසළ සිටි කාන්තාවට දිගු කළාය. එහි වූයේ කුමක්ද යන්න මම නොදැන සිටියෙමි.
“තර්ඩ් ෆ්ලෝර්. රූම් නම්බර් ට්වෙන්ටි ෆෝ.”
රෝද පුටුව තල්ලු කරගෙන පැමිණි කාන්තාව පවසනු මට ඇසිණ.
“බය වෙන්න එපා. හැමදේම හරි ඩිනාලි.”
හේෂාන් මගේ හිස අත ගෑවේ මගේ මුහුණෙහි වූ බිය මුසු බව හඳුනා ගෙන විය යුතුය.
“රූම් එකට ගියාට පස්සෙ ඩොක්ට ඔයාව බලන්න ඒවි. බය වෙන්න එපා. විශ්වාසය තියා ගන්න ඩිනාලි.”
විදුලි සෝපානයට ඇතුලු වූ පසු ද හේෂාන් පැවසුවේ මා සිත සැනසීමට විය යුතුය. අම්මා හෝ සුදු නංගී හෝ වජිරා වදනක් හෝ පවසා ගැනීමට නොහැකි තරමේ කම්පිත ස්වභාවයකින් පසුවන බව මට දැනිණ. ඔවුන් සැනසීමට මට උවමනා විය. මම අම්මා දෙස බලා මඳ සිනාවක් නැගුවේ ආයාසයෙනි.
“ඇයි ඩිනාලි?”
මෙතරම් සුන්දර ස්ථානයකට මා කැඳවාගෙන පැමිණීම පිළිබඳව සතුට පළ කරන්නට සැරසුණද, මගේ මුවට නැගි වදන් ගොලු වූයේ විදුලි සෝපානය තුළට ඇතුලු වූ පුද්ගලයා දැකීම නිසාය. තුර්බාන් තොප්පියෙන් ද, සුදු දිගු කලිසමකින් සහ සුදු අත් දිග කමිසයකින් ද සැරසී සිටි ඔහු කවර වයසක පසුවන අයෙක්දැයි නොවැටහුණු නමුත් ඔහුගේ දීප්තිමත් දෙනෙත් තරම් දීප්තිමත් දෙනෙතක් මගේ ජීවිත කාලය තුළම මා දැක නොතිබිණ. අප කිසිවකු දෙස නොබැලූ ඔහුගේ දෙනෙත් නතර වී තිබුණේ සෝපානයේ සවි කර තිබු ලේඩි ජාන්සිගේ කුඩා එහෙත් සුන්දර වර්ණ ඡායාරූපය දෙසය. හේෂාන්ගේ මෙන්ම අම්මාගේත්, සුදු නංගීගේත්, වජිරාගේත් දෙනෙත් ද ඔහු දෙසට යොමු වී ඇති බව මම දුටුවෙමි. තුන්වන මහළෙහි විදුලි සෝපානය නතර වු අප ඉන් පිටතට පැමිණියද, ඔහු විදුලි සෝපානය තුළ රැඳී සිටියේ සිව් වන මහළ කරා ගමන් කිරීමට විය යුතුය.
“කවුද ඒ?”
හේෂාන් විමසුවේ රෝද පුටුව තල්ලු කරගෙන පැමිණි කාන්තාවගෙනි.
“ඒ ඩොක්ට කුෂ්…”
කාන්තාව පැවසුවාය.
“ඩොක්ට කුෂ්?”
සුදු නංගී පුළුල් සිනාවක් මුවගට නගාගෙන පැවසුවාය.
“ඩොක්ට කුෂ්වාන්ත් සිං. හැමෝම ආදරේට කියන්නෙ ඩොක්ට කුෂ් කියලා. එයාට තමයි මේ හොස්පිටල් එක අයිති. ගෙදර තියෙන්නෙ ෆෝත් ෆ්ලෝ එකේ. දැන් ගියේ ගෙදරට.”
මා කාමරය වෙත කැඳවාගෙන යන කාන්තාව පැහැදිලි කළාය. ඇය අංක විසි හතර සඳහන් කාමරය අසළ රෝද පුටුව නතර කර එහි දොර විවෘත කළාය. කහ සහ කොළ පැහැයෙන් යුත් චාම් පන්ජාබ් ඇඳුමකින් සැරසී සිටි සුන්දර තරුණ කාන්තාවක් කාමරය තුළ සිට මල් කළඹක් රැගෙන ඉදිරියට පැමිණි ඇය මල් කළඹ මගේ දෝතට පිරිනැමුවාය.
“ලේඩි ජාන්සි රෝහලට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා.”
ඇය ඉංග්‍රීසි බසින් පැවසුවාය. මේ සිහිනයක්දැයි මට සිතිණ. රෝහලක නේවාසික වන පිළිකා රෝගියකුට මෙතරම් ආදරණීය පිළිගැනීමක්…?
“මම ඩොක්ට පීහු ෂර්මා. අද ඉඳලා මේක ඔබේ කාමරය… මේ ඔබේ නිවහන… සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යනතුරුම සෑම රෝගියකුටම අවශ්‍ය ප්‍රතිකාර වගේම මානසික සුවයත් ලබා දෙන්න අපි සෑම උත්සාහයක්ම ගන්නවා. ඒක ඩොක්ට කුෂ්ගෙ ප්‍රතිපත්තියක්.”
වෛද්‍ය පීහු ෂර්මා අම්මාට, හේෂාන්ට පමණක් නොව සුදු නංගීට ද, වජිරාට ද ආචාර කොට නික්ම ගියාය.
“මම ගිහින් ඩොක්ට පීහුව හම්බ වෙලා කතා කරලා එන්නම්.” යි හේෂාන් කාමරයෙන් පිටව ගියේය. රෝද පුටුව රැගෙන පැමිණි කාන්තාව රෝද පුටුව ද රැගෙන කාමරයෙන් පිටව ගියාය. මම වටපිට බැලුවෙමි. ලා කහ පැහැති බිත්ති සහිත කාමරය මධ්‍යයේ වු ඇඳට යොදා තිබූ ඇතිරිලි මෙන්ම ජනෙල් රෙදි ද ඉතාමත් ලා කොළපැහැයෙන් යුක්ත වූ අතර, ඒවා දකිද්දී මනසට බොහෝ සුවදායක බවක් දැනිණ.
“අනේ… කොච්චර ලස්සන තැනක්ද?”
මා යහනට නංවන අම්මා පැවසුවාය.
“එක අතකට මේ වගේ තැනකට එන්න තරම් ඩිනාලි මොන තරම් වාසනාවන්තද කියලා මට හිතෙනවා.”
“මං දන්නවා. මම ඉක්මනින්ම සනීප වෙනවා අම්මා.”
මම පැවසුවෙමි.
“මගේ හිතට දැන් දුකක් බයක් නෑ ඩිනාලි. මෙතන ඔයාට සැනසීම දැනෙන තැනක් වේවි.”
අම්මා පැවසුවේ දෑසට නැගෙන කඳුලු පිස ගනිමිනි.
“අර බලන්නකො.”
ජනෙල් තිර රෙදි අතින් මෑත් කළ සුදු නංගී කෑගැසුවාය. අම්මා සහ වජිරා ද ඒ අසළට දිව ගියහ. මම එදෙස බැලුවෙමි. මා සිටි ඇඳ උස් වූ බැවින් ජනේල අතරින් දිස් වන අපුරු දර්ශනය මගේ නෙත් සිත් පුරා දැක ගත හැකි විය. විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගිය සුන්දර වැව දෙස අම්මා ද බලා සිටියාය.
“මේ වගේ ලස්සන තැනක් හොස්පිටල් එක හදන්න කොහොම තෝර ගත්තද මන්දා.”
ඇය පැවසුවේ සතුටිනි.
“කාට වුනත් පින්සිද්ද වෙනවා මැඩම්.”
වජිරා පැවසුවේ දෑසෙහි කඳුලු පුරවා ගනිමිනි. සිනාවකින් මුව සරසා ගත් හේෂාන් කාමරයට පැමිණියේය. පැමිණි විගසම මගේ දෙඋරහිසට දෑත් තැබූ ඔහු මගේ මුහුණට තම මුහුණ ළං කලේ අම්මා සිටින බව පවා අමතක වු ලෙසිනි.
“මගේ ලකි ගර්ල්. හැම දෙයක්ම හොඳ විදියට සිද්ද වෙනවා. මම ඩොක්ට පීහු එක්ක කතා කළා. හොස්පිටල් එකට එන හැමකෙනෙකුටම නිදහස්ව ජීවත් වෙන්න පුලුවන්. ගෙදර වගේ. තමන් කැමති සින්දු අහන්න, ෆිල්ම්ස් බලන්න, පොත් කියවන්න හැමදේටම ඕන හැමදෙයක්ම තියෙනවා.”
මගේ දෙනෙත් වායු සමනය කළ කාමරයේ කෙළවරක වු රූපවාහිනිය දෙසට යොමු වුයේ නිතැතිනි. කුඩා පොත් රාක්කයක් ද පසෙක වු අතර එහි වූ පොත් සියල්ල ඉංග්‍රීසි බසින් ලියවුනු නවකතා වන්නට ඇතැයි මට සිතිණ.
“ආයෙම ඔයාව බලන්න එනකොට අපි පොත් ගොඩක් අරන් එන්නම්.”
හේෂාන් පැවසුවේය.
“අපි දැන් යන්න ඕන. වොෂ් එකක් දාගෙන ටිකක් රෙස්ට් කරන්න ඩිනාලි. ලොකු ඩොක්ටට ඔයාගෙ රිපෝට්ස් යවලා තියෙන්නෙ. ඩොක්ට දවල්ට ඒවි කියලා ඩොක්ට පීහු කිව්වා. දැන් අපි යමු නේද ආන්ටි?”
මගේ හදවත නතර වූවාක් මෙන් මට දැනිණ. එහෙත් මගේ සිත තුළ ඇති වේදනාව අම්මා සහ හේෂාන් කෙරෙන් වසන් කර ගැනීමට මට ඕනෑ විය. මම ආයාසයෙන් සිනාසුනෙමි.
“මොනවා හරි ඇත්නම් මට කෝල් කරන්න.”
“ආන්ටි ඔයාට බනීවි.” යි මට කියවුනේ ඉබේටමය. හේෂාන්ගේ මුහුණ වෙනස් විය.
“ඒක මං බලාගන්නම්. ඔයා ඒ ගැන වද වෙන්න එපා.”
ඔහු පැවසුවේය.
“අපි එහෙනම් යමු නේද ආන්ටි. ඉක්මනින්ම අපි එනවා ආයෙම ඔයාව බලන්න.”
“අපි ගිහින් එන්නම් පුතේ.”
අම්මා හඬමින්ම මා වැළඳ ගත්තාය. මම ආයාසයෙන් හැඬුම් තද කරගෙන සිටියෙමි. සුදු නංගී සහ වජිරා ද මා වැළඳ ගත්තේ දෑස් වලට නැගි කඳුළු සඟවා ගැනීමේ මහත් වෑයමක යෙදෙමින් බව වටහා ගැනීම මට අපහසු නොවීය.
“බබාගෙ සුදු හාවත් එළියෙන් තිබ්බා. අවසර දුන්නොත් ඒකා ළඟින් තියාගන්න.”
මම ඇඳෙන් බැස අම්මාට දණ නමා වැන්දෙමි. ජීවිතයේ පළමු වතාවට හේෂාන්ට ද දණ නමා වඳින්නට මට සිත් වුයේ මන්දැයි මම නොදැන සිටියෙමි.
“ඇයි ඩිනාලි මේ?”
මගේ උරහිසින් අල්ලා එසවූ හේෂාන් මා වැළඳගෙන කුඩා දරුවකු මෙන් හැඬුවේ මා ද හඬවමිනි.
“අපි ගිහින් එන්නම්. සතුටින් ඉන්න.”
“කුෂ්ට කියන්න… මේ උස්සේ ප්‍යාර් කර්තී හූ කිව්වා කියලා.”
සුදු නංගී පැවසුවේ ශෝකයෙන් පසුවන සියලු දෙනාම සිනා ගන්වමිනි.
අම්මාත්, හේෂාන් සහ සුදු නංගීත්, වජිරාත් මගෙන් සමුගෙන නික්ම ගිය පසු මට දැනුනේ පවසා ගත නොහැකි තරමේ තනිකමකි. කෙතරම් පාලනය කර ගැනීමට උත්සාහ කළ ද, එය දරා සිටිය නොහැකි වූයෙන් මම යහන මත වැතිර සිතේ දුක පහව යන තුරුම හැඬුවෙමි. යහන මත වූ මගේ ජංගම දුරකතනය නාද වන්නට වූයෙන් වහා මම එය අතට ගතිමි. එහි වූයේ හේෂාන්ගේ නිවසේ දුරකතන අංකයයි.
*