සඳ ගංතෙර – 23

අමුතු පන්නයේ ඕපාදූපයක් ලැබුණු විට එය ආරක්ෂා කරගන්නට සමහර ගැහැනුන්ට අපහසු ය. භාග්‍යා ඒ මොහොත පසුකරමින් සිටියා ය. නොදන්නා අලුත් අම්මා මල් පොකුරක් යැවීමේ සිට ඇගේ දරුවාට රන් ආභරණ තෑගි කිරීම දක්වා අමුතුම දේ සිදු වෙමින් තිබේ. මෙතැන රැකියාවට පැමිණි දා පටන් ප්‍රධානියාගේ අනියම් සම්බන්ධතා ගැන අසන්නට නොලැබුණු බව ද ඇය දන්නී ය. අනෙක් අතට අලුත් අම්මා කෙනෙකු කියන්නේ සහස්ට සහ විහස්‍ට සම වයසක පසු වන්නියක විය යුතු වේ.

එවිට මේ චාන්දනී මැතිණියට ආරංචි නොවන්නට උවමනා අමුතු කතාවක් වන්නට ඉඩ නැත.

“නෑයෙක්ට වෙන්න ඇති බං. ලොක්කා අපිට වුණත් සලකන්නේ ළමයින්ට වගේනෙ. හොටෙල් බිලක්වත් නම් ඉතිං ඕපේ හොයන්න තිබ්බා. නිව් බෝන් බබෙක්ට මලුයි කරාබුයි පංචායුධයි යවන එක මහ දෙයක් යැ.”

ලිහිණි, භාග්‍යාගේ කතාව අසා හිඳ පැවසුවේ එවැන්නකි. මේවා ගණන් ගන්නට වටිනා ඕපාදූප නොවේ. ප්‍රධානියා ඥාති දියණියක වෙනුවෙන් ත්‍යාගයක් යවන්නට ඇත.

“චාන්දනී මැඩම් බොහොම බුද්ධිමත් මනුස්සයෙක්නේ. බබෙක් ඉපදුනු ගමන් තෑගිත් උස්සගෙන ඉස්පිරිතාලෙට දුවන්නේ නැහැ කියලා මැඩම් දන්නවා. ඒ හන්දා ඔහොම කරන්න ඇති.”

ඒ කතාව ඇත්තකි. නමුත් මෙහි ඇති අමුතුම කාරණය නම් වෙනදා මෙවැනි දේ කරන්නට උපදෙස් දෙන්නේ විජේවර්ධන මහත්මිය වීම ය.

මේ අභිරහස කෙසේ හෝ දැන ගන්නටත් ඉන්පසු ඒ ගැන ගවේෂණය කරන්නටත් භාග්‍යා ඉටා ගත්තා ය. ඒ වෙනුවෙන් ලිහිණි උදව් නොකළාට කමක් නැත.

මල් පොකුරකට ප්‍රේමය රැගෙන එන්නට හැකි බව හැම කෙනෙක්ම දන්නා කතාවකි. නමුත් මේ මල් පොකුර සැකය සහ අවිශ්වාසය හිත් තුළ ඇති කරමින් තිබිණ. එහි ඛේදනීය ම කතාන්දරය වූයේ තමන් විජේවර්ධන එවැන්නක් සිදු කළේ නැවත ආදරය ඇති කිරීම අපේක්ෂාවෙන් වූ නිසා ය. පුතුන් දෙදෙනකු ලැබුවද චාන්දනීගේ හදවත තුළ තාරකා අහිමිව ගිය වේදනාව විශේෂයෙන්ම ඇති වග ඔහු දැන සිටියේ ය. සහස් හා විහස් උපත ලබද්දී සෞඛ්‍යමය කාරණාවක් හන්දා චාන්දනීට ගර්භාෂය අහිමි විය. දියණියකගේ සිහිනය බොඳව ගියේ ඒ ආකාරයෙන් ය. 

“කොල්ලො දෙන්නෙක් ඉන්නවා කියන්නේ දවසක කෙල්ලෝ දෙන්නෙක් ලැබෙනවා කියන එක චන්දි.”

එහෙම කියන්නට පුරුදුව සිටිය ද චාන්දනීගේ හදවත තාරකා වෙනුවෙන් වැඩියෙන් ද සඳරැස් වෙනුවෙන් ඊට මඳක් ස්වල්පව ද හඬා වැළපෙන වග ඔහු හොඳින්ම දැන සිටියේ ය. වසර ගණනකට පෙර වූයේ උමතු ප්‍රේමයකි. තමන්ගේ දරු දෙදෙනා සහ ප්‍රේමවන්තයා යන තෝරා ගැනීම් වලින් ප්‍රේමවන්තයා තෝරාගන්නට වන තරමටම චාන්දනි ප්‍රේමයෙන් බැඳී සිටියා ය. ඇයට කමල්ගෙන් තොර ලෝකයක් වූයේ නැත. ළඳ බොළඳ කෙල්ලක සේ තමන් වටා වූ ලෝකය අහිමි කරගනිමින් ඇය ඔහුට බැඳෙමින් සිටියා ය. 

එකල තමන් කළ වරද වැටහුණේ නැති වුවද දරුවන්‍ට මවක අහිමි කළ වරද ගැන කමල් තැවෙන්නේ දැන් ය!

අලුත් උපන් බිළිඳියකට මල් පොකුරක් සහ රන් ආභරණ තිළිණ කර ඔහු නිවා ගන්නට හදන්නේ ඒ පශ්චත්තාපය ය.

“මල් බොකේ එකක් ඇවිත් තිබ්බා. අක්කා ඒකට ටිකක් අවුල්. “

දුලන්‍යාටත් සඳරැස්ටත් දුලාජ් පැවසුවේ මන්ද්‍ර ස්වරයකිනි. තුවාලයේ  වේදනාව මතුවෙමින් පවතින හන්දා වේදනා නාශක ලබාගෙන හුන් තාරකා ඊට වඩා හදවතේ වේදනාව ප්‍රබල බව තේරුම් ගත්තා ය. දැන් යහනෙන් නැගිට ඇවිද බලන්නට කාලය වුවත් ඇය මල් පොකුරේ ශෝකයෙන් බිළිඳිය ද තුරුළු කරගෙන යහන මතට වී සිටියා ය.

“මේ මැසේජ් එක ඒ මනුස්සයට කවුද කියලා තියෙන්නේ?”

සඳරැස් අසන්නේ සැකයෙනි.ඔහු කවරදාකවත් තම පෙම්වතියකටවත් අම්මා කවුදැයි හෙළි කර නැත. පෙම්වතියන් ජීවිතය දිග ඇවිද යන්නට යන අය ය. ඔවුන්ට ජීවිත රහස් හෙළි කිරීම නොකළ යුතු දෙයක් වග සඳරැස් තරයේම විශ්වාස කළේ ය.

එහෙත් අක්කා එසේ වන්නට ඉඩක් නොවේ.ඇය දුලාජ් අයියාට නොකියනා දෙයක් නොමැත.

“මොනව වුණත් මේ වෙලාවෙ අම්මා හිටියනම් කියලා එකක් අක්කගෙ හිතේ තියනවද මන්දා බං.”

අක්කාගේ ගර්භනී කාලය පටන් ගත් සන්දියේ සිට දුලාජ් එසේ කියන්නට හුරු වී සිටියේ ය.සැබෑවටම අක්කා මුහුණ එල්ලාගෙන සිටි දවස් සඳරැස්ගේ ද මතකයේ තිබේ. ගැහැනු දරුවෙකුට අම්මා ඕනෑම දවස් අක්කා කෙසේ ගෙවන්නේදැයි සිතමින් සඳරැස් ද බොහෝ පෑරුණු තැන් නැවතුවාම නොවේ.

“අයියා චාන්දනී විජේවර්ධනට කතා කරාද?”

සඳරැස් සෘජු ප්‍රශ්නයක් ඇසී ය. ඔහු කිසි දවසක අම්මා යන වචනය නොපවසන්නෙකි. දුලාජ්ගේ අම්මා මව්වත් ගුණ පිරුණු ගැහැනියක බව දැන සිටියත් ඔහු ඇයට පවා කියන්නේ නැන්දා ය.

“මං මොකටද බං උඹලගෙ අම්මට කතා කරලා මේවා කියන්නෙ. මං තාරු දන්නෙ අද ඊයෙද?  එයාට අම්මා ඕනෑ වෙලාවෙ අපේ අම්මා එනවානම් මේ හදිසියේ උඹලගෙ අම්මා හොයන්නෙ ඇයි මම.”

වෙහෙස සහ කැළඹීම් නිසා දුලාජ් ද වෙනදාට වඩා කෝපයක් උපදී. අයියා සහ සඳරැස් අතර වහාම හිට ගන්නට දුලන්‍යා සිතුවා ය. පළමුවැන්න මොහොතේ කැළඹීමට පත් විය යුතුම නොවේ. අනෙක් කාරණාව නම් මේ ඇයගේ ජීවිතය තුළ ප්‍රමුඛතා ලැයිස්තුවේ පසුවන පිරිමින් දෙදෙනා ය. ඔවුන් කිසිම හේතුවකට එකිනෙකා රිදවා ගත යුතු නොවේ.

“ඔයාලගෙ නෑයො කවුරුත් නැද්ද අයියේ, මේ වගේ දෙයක් ආන්ටිට කියන.”

ආදරවන්තයාගේ අම්මාට අම්මා කියන්නට දුලන්‍යා මඟ බලා සිටියා ය. එහෙත් ඔහු අම්මාට අම්මා කියන්නට කැමති නැත. අනෙක් අතට අයියා ඉන්නා තැන කෝලම් කරන්නට ද අපහසු ය. සියල්ලටම වඩා විසඳා ගන්නට ප්‍රශ්නයක් ද තිබේ. 

“ඕපාදූප ගැන නම් විශ්වාස කරන්න බෑ. සමහර වෙලාවට ලොකු අම්මලාගෙ අක්කලා එහෙම මනුස්සකමට ඔහොම පණිවිඩයක් දුන්නා වෙන්නත් පුලුවන්.”

චාන්දනී විජේවර්ධන ඇගේ පවුලේ උදවිය අමතකම කළ කාලයක් තිබිණ. නමුත් දැන් ඇය කෝටිපති ව්‍යාපාරික බිරිඳකි. විවිධ සුළු ව්‍යාපාර කරමින් සිටි කමල් නම් තරුණයා සමඟ ඇය හිතුමනාපයට යන්නට ගිය කාලයේ ඇයව අමතක කරන්නට පවුලේ අයට හැකි විය. එහෙත් දැන් ඇය සියල්ල උපයා ගත් ගැහැනියකි. පවුලේ අයට වඩා වටින්නේ ඇය බව සඳරැස් දනියි.

ආපහු එයාගෙ හෙවණැල්ලක්වත් නොවැටෙන්න අපි පරිස්සම් වෙන්න ඕන”

ඔහු දුලාජ්ට එසේ පැවසුවේ මේ ගැන සොයන්නට සිතමිනි.

(අසනීප වූ බව කිව්වාම ඉක්මන් සුව පැතූ, මගේ ෆේස්බුක් එකවුන්ට් එකට මැසේජ් කරලා බෙහෙත් පවා කියපු හැමෝටම හරිම ආදරෙයි. අදත් ඔයාලාගෙ ආදරය ලියා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles