කිසිවකු මගේ උරහිසින් අල්ලා සොලවනු දැනුනෙන් මම දෑස් හැරියෙමි. ජ්‍යෝතිගේ දෑස මා ඉදිරියෙහි පෙනි පෙනීත් මට දැනුන බිය කිසිසේත්ම පහ නොවීය. යහන මත හිඳගත් මම කෑගසා හැඬුවෙමි.
“ඇයි එහෙම කළේ?” යි මම යළි කෑගැසුවෙමි.
ජ්‍යෝති මා ඇගේ ලයට තුරුලු කරගත්තාය.
“මැඩම්… මැඩම් හීනයක් දැකලා.”
ඇය තරයේ පැවසුවාය. මට එය කිසිසේත්ම විශ්වාස කළ නොහැකි විය. වෙඩි වැදී, ලේ ගලන තුවාල වලින් යුතුව වැටී සිටින හේෂාන්ගේත්, අරුණෝදිගේත් මගේ මනසෙහි මැවි මැවී පෙනිණ.
“මං උන් දෙන්නටම වෙඩි තියලා මැරුවා.”
තාත්තා පැවසූ වදන් මගේ දෙසවන් තුළ දෝංකාර දෙමින් ඇසෙන්නට විය. ඇතැම් විටෙක ඉතා තදින් කෝප ගන්නා ඔහුට එය කළ නොහැක්කක් නොවන බව මම දැන සිටියෙමි. වරක් ඔහු අම්මා මරා දමන්නට පිස්තෝලය අම්මා දෙසට එල්ල කරද්දී ඇය එයට මුහුණ දුන් එඩිතර ස්වභාවය ද මගේ මතකයට නැගිණ.
“කරන්න පුලුවන් එච්චරනෙ. වෙඩි තියලා මරා දානවා. හැබැයි තමුන්ට ගැලවීමක් නැති බවත් මතක තියාගත්තොත් හොඳයි.”
අම්මා පැවසූ පසු කතා බහකින් තොරව නිවසින් පිටව ගිය ද, සුදු නංගී හා මා තුළ ඇති වූ බිය දින ගණනාවක් පුරාම පැවතිණ. අප එදින සිට නින්දට ගියේ ද අම්මා මැදි කරගෙනය.
“මැඩම්… ඒක හීනයක්.”
මගේ මුහුණෙහි වතුර පොදක් තැවරූ ජ්‍යෝති නැවත නැවතත් පැවසුවාය.
“ඒක හීනයක් නෙමෙයි. අනේ ඇයි එහෙම කළේ? මට බයයි ජ්‍යෝති.”
මා දැක ඇත්තේ සිහිනයක් නොවන බව මට සහතිකය. මගේත් හේෂාන්ගේත් විවාහය සිදු නොවන බව තාත්තාට සැළ වූ පසු ඔහු මෙවන් දරුණු තීරණයකට එළඹෙන්නට ඇති බව මට ඉර හඳ මෙන්ම විශ්වාසය.
මම කෑගසා හැඬුවෙමි. කිසිදිනෙක නොහැඬූ අයුරින් හැඬුවෙමි. මගේ ලය තුළ මහා බරක් හිර වී ඇත්තාක් මෙන් මට දැනිණ. තවත් මොහොතකින් මගේ ලය පැලී මා මිය යනු ඇතැයි මට සිතිණ.
“අනේ… මාත් මැරේවි ජ්‍යෝති.”
හුස්ම ගැනීමට නොහැකි බව දැනෙද්දී මම කෑගැසුවෙමි. ජ්‍යෝති කිසිවක් කර ගත නොහැකිව කැළඹීමට පත්ව සිටියාය. ඇය මා සැනසීමට කෙතරම් උත්සාහ කළ ද මට මගේ සිත පාලනය කර ගත නොහැකි විය.
“මැඩම්… චුට්ටක් ඔහොම ඉන්නකො.”
ඇය මා අල්ලා ගත්වනම ඇගේ ජංගම දුරකතනයෙන් කිසිවකුට ඇමතුමක් ලබා දෙන හඬ ඇසුණද, කතා බහ සිදු වූයේ ඔවුන්ගේ භාෂාවෙන් වූ හෙයින් මට කිසිවක් නොවැටහිණ. හේෂාන්ට සහ අරුණෝදිට තාත්තා වෙඩි තැබූ පුවත ඇය ද නිසැකවම දැන සිටිනු ඇතැයි මට සිතිණ. මගේ මනස විකල් වී යන්නාක් මෙන් මට දැනිණ.
තවත් ස්වල්ප වේලාවක් ගත වී ගියේය. දොරට කිසිවකු සෙමෙන් තට්ටු කරන හඬ ඇසිණ. නිසැකවම ඒ පොලීසියෙන් විය යුතුය. බියෙන් තැතිගත් හදින් යුතුව දොර දෙස බලද්දී මා දුටුවේ කාමරය තුළට පිවිසෙන වෛද්‍ය කුෂ්වාන්ත් සිං ය. මම යහනෙන් බැස ඔහු කරා දිව ගියෙමි.
“ඩොක්ට… අනේ… හේෂාන්ට වෙඩි තියලා. අරුණෝදිට වෙඩි තියලා.”
මම ඔහු බදාගෙන කෑගැසුවෙමි. ඔහු සන්සුන් ලෙසින් මගේ හිස පිරිමැද්දේය.
“ඔයා කලබල වෙලා ඩිනාලි. එහෙම දෙයක් සිද්ද වෙලා නෑ. ඔයා දැකලා තියෙන්නෙ හීනයක් කියන එක තේරුම් ගන්න.”
වෛද්‍ය කුෂ්වාන්ත් සිං මා අල්වාගෙන යහන කරා කැඳවාගෙන පැමිණියේය.
“ඔයා ඉන්නෙ හිත කලබල වෙලා. ඇත්ත තේරුම් ගන්න ඩිනාලි. හොඳ ළමයා වගේ.”
“ඒක ඇත්තක් ඩොක්ට. ඇත්තක්. තාත්තා එහෙම කළා. මං එයාගෙ හැටි දන්නවා ඩොක්ට.”
මම සත්‍යයත්, මිථ්‍යාවත් අතර අතරමං වී සිටිමි. කිසිසේත්ම මගේ සිත පෙලන සිතිවිලි වලින් මට මිදීමට නොහැකි බව මම දැන සිටියෙමි.
“නිදාගන්න දැන්.”
ජ්‍යෝතිගේ උපකාරය ඇතිව මා කොට්ටය මත හාන්සි කළ ඔහු පැවසුවේ කරුණාවෙනි.
“මට බයයි.”
“බයවෙන්න එපා. මං ඉන්නවා ළඟින්.”
“ඩොක්ට යන්න යාවි.”
“නෑ. මාව විශ්වාස කරන්න. ඔයා අවදි වෙනතුරුම මං මෙතන ඉන්නවා.”
ඔහු පුටුව මගේ යහන සමීපයට ගත්තේය. ඉන්පසු ඔහු ජංගම දුරකතනයෙන් කිසිවකු අමතන හඬ ඇසුණද, ඔවුන්ගේ බසින් කළ කතා බහ මට නොවැටහිණ.
“නිදාගන්න උත්සාහ කරන්න. හැමදේම ඊටපස්සෙ හරියාවි.”
වෛද්‍ය කුෂ්වාන්ත් සිං මගේ නළළත අත තැබුවේය. මම ඔහුගේ අත දැඩි ලෙස අල්ලාගෙන සිටියෙමි. කිසිදිනෙක නොදැනුන අන්දමේ මහා සුරක්ෂිත භාවයක් මට දැනෙමින් තිබිණ.
“මොකක්ද ප්‍රශ්නෙ ඩොක්ට?”
කිසිවකු අසන හඬ ඇසුණද මම දෙනෙත් හරින්නට බිය වීමි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං කිසියම් විස්තරයක් කරන හඬ ඇසුණද, මට කිසිවක් නොවැටහිණ. පැමිණ ඇත්තේ වෛද්‍ය පීහු ෂර්මා විය යුතු යයි යටි සිතට සිතුනද, මම දෙනෙත් හරින්නට බිය විමි.
“ඩිනාලී… ඔහොම නිදාගන්න.”
වෛද්‍ය කුෂ්වාන්ත් සිං හෝ වෛද්‍ය පීහු ෂර්මා මට එන්නතක් ලබා දෙන්නට ඇත. මගේ දෙනෙත් කෙමෙන් කෙමෙන් අඩවන් වන්නට විය. කිසිවකු කිසියම් ගායනයක් කරන හඬ යන්තමින් ඇසෙන්නට විය. මා වලාකුළු අතරින් පාවී යන්නාක් මෙන් මට දැනෙමින් තිබිණ. නොවැටහෙන භාෂාවකින් කෙරෙන කතා බහ ඇසුණේ එහා ලෝකයකින්ද?
“අපි යනවා ඩිනාලි.”
හේෂාන්ගේ කටහඬ මට ඇසුණේද එහා ලෝකයක සිට විය යුතුය.
“දැන් ඩිනාලිට සතුටුද?”
අරුණෝදිගේ කටහඬ ද ඇසිණ. කෙමෙන් කෙමෙන් ඔවුන්ගේ කටහඬවල් නෑසී ගොස් සියල්ලම සන්සුන් වන්නට විය. මා ගැඹුරු ලෙසින් හුස්ම ගන්නා බව පමණක්ම මට දැනෙමින් තිබිණ.
*
මට හදිසියේම ඇහැරිණ. මේ රාත්‍රියද එසේත් නැත්නම් දහවලද යන්න සිතා ගත නොහැකිව මම දෙනෙත් හැර බැලුවෙමි. මගේ යහන අසළ තබා ගත් පුටුවක් මත වෛද්‍ය කුෂ්වාන්ත් සිං හිඳගෙන නින්දට වැටී සිටියේය. ඔහුගේ අතැඟිලි හා පැටලී තිබූ අත සෙමෙන් නිදහස් කරගත් මම කුමක් සිදු වූයේද යන්න කල්පනා කළෙමි. තාත්තා හේෂාන් සහ අරුණෝදි වෙඩි තබා මරා දැමූ පුවත සිහිනෙන් දකින්නට ඇති බවත් ඉන්පසු මා උමතු වූවකු මෙන් හැසිරුණු බවත් සිහියට නැගෙත්ම මගේ සිතට දැනෙන්නට වුයේ මහත් ලජ්ජාවකි. මම යන්තමින් හිස ඔසවා බැලුවෙමි. ජ්‍යෝතිද පුටුවක් මත හිඳගෙනම තද නින්දට වැටී සිටියාය.
මට තද පිපාසයක් දැනිණ. අත දිගු කර වතුර වීදුරුව ගන්නට සැරසෙත්ම වෛද්‍ය කුෂ්වාන්ත් සිං පිබිදුනේය.
“ඇයි ඩිනාලි?”
“වතුර…”
“ඉන්න. මං දෙන්නම්.”
ඔහු වතුර වීදුරුවක් පුරවා මගේ හිස ඔසවා මගේ මුවට ළං කළේය. මම වතුර වීදුරුව බීගෙන බීගෙන ගියෙමි. ජ්‍යෝති ද පිබිද යහන අසළට පැමිණියාය. මට දැඩි සීතලක් දැනිණ. මුලු ගතම වෙව්ලන්නාක් මෙන් දැනුනෙන් මම පොරෝණය ඇද දෙවුර වසා ගතිමි.
“ඇයි?”
වෛද්‍ය කුෂ්වාන්ත් සිං ඇසුවේය.
“සීතලයි.”
“මැඩම්ට හොඳටම උණ ජ්‍යෝති.”
මගේ නළලතටත්, ගෙලටත් අත තැබූ ඔහු පවසන හඬ ඇසිණ.
“ඒකතමයි. උණ විකාරෙන් කියවලා තියෙන්නෙ.”
“අද මොකක්ද සිද්ද වුනේ?”
“මැඩම්ට ඇවිදින්න යන්න ඕන කිව්වා. මං ටිකක් ඇවිදින්න එක්ක ගියා. මැඩම් අද හිතේ කරදරෙන් හිටියෙ ඩොක්ට.”
“බොන්න දෙයක් ගේන්න. ඊටපස්සෙ උණ අඩුවෙන්න බෙහෙත් දෙන්නම්.”
“මං ගේන්නම් ඩොක්ට.”
ජ්‍යෝති කාමරයෙන් පිටව යන්නට ඇතැයි මට සිතුණේ කාමරය නිහඬතාවයේ ගිලී තිබූ හෙයිනි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං සෙමෙන් මගේ නළළත පිරිමදින බව මට දැනිණ. මහා සුරක්ෂිතතතාවයක් මගේ සිතට දැනෙමින් තිබිණ. එය පියකු ළඟ සිටින කළ දියණියකට දැනෙන අන්දමේ මහා සුරක්ෂිතතාවයකි.
“ඩොක්ට…”
දෙතොල් චලනය කළ නොහැකි බවක් දැනුනද මම සෙමෙන් මිමිණුවෙමි.
“යස් ඩිනාලි. කියන්න. මොනවද ඕන?”
“ඇත්තටම… ඇත්තටම… හේෂාන්ටයි අරුණෝදිටයි කරදරයක් නැද්ද?”
“කොහෙත්ම නෑ. මං හොයලා බැලුවා. ඒ දෙන්නා හොඳටම සුරක්ෂිතයි. ඊයෙ ඒ දෙන්නා ලංකාවෙන් ගිහින් කියලා ආරංචියි.”
මම සැනසුම් සුසුමක් හෙලුවෙමි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං පවසන්නේ සත්‍යයක් විය යුතුය.
“මං ඒ දෙන්නා එක්ක තරහක් නෑ ඩොක්ට.”
“මං දන්නවා. ඔයා තරහක් හිතන ළමයෙක් නෙමෙයි.”
“මං ළමයෙක් නෙමෙයි.”
වෛද්‍ය කුෂ්වාන්ත් සිං සෙමෙන් සිනාසෙන හඬ මට ඇසිණ.
“මට ඔයා මගේ දරුවෙක් වගෙයි ඩිනාලි.”
“මං දන්නවා. තාත්තා කෙනෙක් හිටියත් මං තාත්තා කෙනෙකුගෙ ආදරේ විඳලා නෑ. දැන් මට ඒ ආරක්ෂාව දැනෙනවා ඩොක්ට.”
“මෙහේ ඉන්නතාක් කල් මං ඔයාට ඒ ආරක්ෂාව රැකවරණය දෙනවා. මාව විශ්වාස කරන්න.”
මම මඳ සිනා නැගුවෙමි. යන්තමින් හිස ඔසවා ඔහුගේ මුහුණ දෙස බලන්නට උත්සාහ කළ ද, මගේ හිස පුපුරන්නාක් මෙන් වේදනාවක් මට දැනෙමින් තිබිණ.
“ඇයි ඩිනාලි?”
“මට අමාරුයි. ඔලුව පුපුරන්න වගෙයි.”
“හරි යාවි. ඔයාට මෙඩිසින් අරන් එන්න කියලා මං පණිවිඩයක් යවලා තියෙන්නෙ.”
“තෑන්ක් යු ඩොක්ට.”
මම දෑස් පියා ගතිමි. එහෙත් හිස තුළින් දැනෙන වේදනාව දරා ගත නොහැකි තරම් ය. අම්මා කිසිවක් පවසන හඬත්, සුදු නංගී සිනාසෙන හඬත් මා සමීපයෙන් ඇසිණ. ඔවුන් මෙහි පැමිණෙන්නට ඇත්තේ කවර මොහොතකද?
“අම්මා…”
මම සෙමෙන් පැවසුවෙමි.
“සුදු…”
මම සුදු නංගීගේ අත අල්ලා ගන්නට අත දිගු කළෙමි. බරැති අතක් මගේ අත අල්ලාගෙන සිටින බව මට දැනිණ.
“අපි කොෆි ටිකක් බීලා ඉඳිමු ද මැඩම්?”
විකාරරූපී සිහිනයන් අතර මා පාවෙමින් සිටියදී ජ්‍යෝතිගේ කටහඬ ඇසිණ.
“කට අරින්න ඩිනාලි.”
මම මුව විවර කළෙමි. මඳ රස්නෙන් යුත් කෝපි වල රසය මුවට දැනුනද, ඊළඟ මොහොතේ බඩවැල් පෙරලාගෙන එන වමනය මට වළක්වා ගත නොහැකි විය.
“ඩොක්ටගෙත් ඇඟේ වොමිට් නේද?”
ජ්‍යෝති ඇසුවාය.
“ඒකට කමක් නෑ. පූනම්ට එන්න කිව්වද?”
“දැන් ඒවි ඩොක්ට.”
මගේ නළළතට සිහිලසක් දැනිණ. ඒ සමග ඕඩිකොලොන් සුවඳක් ද දැනිණ. නිවසේ සිටියදී උණ හෝ හිසරදය සෑදී ඇති විටෙක අම්මා ඕඩිකොලොන් ප්ලාස්ටරයක් නළළත දැමීමට පුරුදුව සිටියාය. ඇතැම් අවස්ථා වල එය හිරිහැරයක් මෙන් මට දැනෙද්දී එය ගලවා විසි කරන අන්දම මතකයට නැගුණද, මේ මොහොතේ ඉන් දැනෙන සිහිලස හිසට සුවයකි.
“පව්..”
නින්දත් නොනින්දත් අතර සිටියදී ඈත ලොවකින් මෙන් ඇසෙන හඬවල් මගේ දෙසවන් සිප ගත්තේය.
“පව් මේ ළමයා. ඩොක්ට ගිහින් චේන්ජ් කරගෙන එන්න. අපි ඩිනාලිව බලා ගන්නම්.”
මගේ දෙනෙත් කෙමෙන් පියවෙන්නට විය. වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ, වෛද්‍ය පීහු ෂර්මාගේ, පුනම් ගේ, ජ්‍යෝතිගේ මුහුණු මා ඉදිරියේ පාවෙන්නාක් මෙන් දර්ශනය වෙමින්ම මා තද නින්දකට වැටෙන්නට ඇත.













