මගේ ගතට ඉමහත් සැහැල්ලුවක් දැනෙමින් තිබිණ. පුලුන් පෙඳක් සේ සිතෙන දිශාවකට පා වී යන්නට තරම් ඒ සැහැල්ලුව බලවත්ය. ඇතැම්විට වෛද්‍යවරුන් විසින් මට ලබා දෙන නිද්‍රා ජනක ඖෂධ නිසා මා දීර්ඝ නිද්‍රාවකට පත් වන්නට ඇතත් යටි සිත නිද්‍රාවකට පත් නොවී අවදිව සිටින්නට ඇත. මුහුදෙහි රළ නැගෙන්නාක් මෙන් එකක් පසුපස එකක් ලෙසින් මගේ මනසෙහි ඇඳෙමින් පවතින්නේ අතීත සිදුවීම් ද? එසේත් නැතහොත් ඒ සියල්ල මනසෙහි මැවෙමින් පෙනෙන අතීත සිදුවීම්ද?
“ඩිනාලි…”
මගේ උරහිස තදින් කොනිත්තාගෙන සිටින අරුණෝදිගේ හඬ මට ඇසිණ.
“ඔයාට යන්න ඕන කියලා කිව්ව නිසා ආට් එක්සිබිෂන් එක බලන්න ආවට මට නම් බෝරින් අනේ… ඔය හැටි මොනවා බලන්නද ඔය චිත්‍ර වල?”
රේල් පීල්ලක් මතට නැවී ඇති කුඩා පැලෑටියක පිපුණු සුදු මලක් සිතුවම් කර ඇති අපූරු චිත්‍රයක් අසළ මගේ දෙනෙත් නතර වී තිබේ. අරුණෝදි පසුවන්නේ නොඉවසිල්ලෙනි.
“බලන්නකො. කොච්චර ලස්සනයිද?”
සිතුවම අතින් දක්වමින් මම පැවසුවෙමි.
“ඔය පුංචි මලේ මොන ලස්සනක්ද මෝඩි? ලස්සන දෙයක් බලන්න ඕන නම් හෙමිහිට බෙල්ල හරවලා අර පැත්ත බලනවකො.”
අරුණෝදිගේ පෙරැත්ත කිරීම නිසාම මම සෙමෙන් හිස හරවා ඇය පෙන්වූ දෙස බැලුවෙමි. කහ පැහැයත්, තැඹිලි පැහැයත් මිශ්‍ර වු ලිනන් කමිසයකින් සැරසී සිටින උස් සිරුරකින් යුත් තරුණයාත්, ඔහුගේ මිතුරාත් මිසක අන් කිසිවක් මට දර්ශනය නොවේ.
“කෝ? මොකක්ද බලන්න කිව්වෙ? ඒ ඉන්නෙ බෝයිස්ලා දෙන්නෙක්නෙ.”
මම නැවතත් සිතුවම වෙතට දෙනෙත් යොමු කර ගනිමි.
“බෝයිස්ලා දිහා තමයි බලන්න කිව්වෙ. බලනවකො. අර උස බෝයි මාර හැන්ඩි. හරියට රිතික් රෝෂන් වගේ.”
“කවුද රිතික් රෝෂන් කියන්නෙ?”
“මෝඩයා… ඒකවත් දන්නෙ නැද්ද? දන්නෙම නැත්නම් අද ගෙදර ගිහින් හොයලා බලනවා. අන්න ඒ බෝයි මේ පැත්ත බලනවා.”
“විකාර නැතිව මෙන්න මේක බලනවා.”
මම ඊළඟ සිතුවම ඉදිරියෙහි සිට ගනිමි. උස් මැටි කොතලයක් හිස තබාගෙන ගලා යන දොළකට පිටු පා ගමන් කරන සුන්දර ලලනාවක් ඊළඟ සිතුවමෙහි විය. අරුණෝදිට මා පැවසූ වදන් නොඇසෙන්නේ ඇයගේ දෙනෙත් තවමත් පෙර කී තරුණයා කෙරෙහි යොමු වී තිබු නිසාද? මම සිතුවම දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි.
“ඔන්න මේ පැත්තට එනවා.”
අරුණෝදිගේ හඬ යන්තමින් මට ඇසෙන්නේ ඊළඟ සිතුවම වෙත දෙනෙත් යොමු කරගෙන සිටිද්දීය. තරුණයින් දෙදෙනා මා පසුපස සිටගෙන සිටින බව ඉවෙන් මෙන් මට දැනේ. යන්තමින් හිස හරවා බලද්දී අරුණෝදි පැවසූ තරුණයා මඳ සිනාවක් නගන අයුරු මම දුටුවෙමි. මම නැවතත් සිතුවම වෙත දෙනෙත් යොමු කර ගනිමි.
“අත ඉදිමිලා නේද?”
සුපුරුදු කටහඬක් මා අසළින් ඇසේ. මා සිටින්නේ කලා භවනෙහි චිත්‍ර ප්‍රදර්ශනයේ නොවන බව මට හැඟී යන්නේ ඒ කටහඬ ඇසෙද්දීය. ඒ වෛද්‍ය පීහු ෂර්මාගේ හඬ බව මට සිතෙන්නට වුවද, වෛද්‍ය පීහු ෂර්මා යනු කවරෙක්දැයි මතකයට නොඑයි.
“පීහු ෂර්මා… ඒ කවුද?”
මම මගෙන්ම විමසමි.
“කැනියුලා එක අනිත් අතට මාරු කරමුද?”
තවත් කාන්තා කටහඬක් ඇසුණද ඒ කාගේ කටහඬදැයි මතකයට නොඑයි. එක් අතක ඇති වූ දැඩි වේදනාවත් සමගම අනෙක් අතෙහි ඉදිකටුවකින් අනින්නාක් මෙන් වේදනාවක් ඇති වෙයි.
“අනේ මට රිද්දන්න එපා…” යි පැවසීමට උවමනා වුවද දෙතොල් පවා බරැති ඒවා ලෙසින් දැනෙන්නේ මන්දැයි මට නොවැටහෙයි.
“පව්… මට හරි දුකයි මේ පේෂන්ට් ගැන.”
“ඒ ළමයගෙ හිත එහෙම පිටින්ම කඩා වැටුනා. අපරාදෙ.”
“ඩොක්ට කුෂ් හරියට වොරි වෙනවා ඩිනාලි ගැන.”
එකකට එකක් වෙනස් කාන්තා කටහඬවල් මට ඇසෙමින් තිබේ. ඒ කටහඬවල් හුරුපුරුදු සේ දැනුනද, කාගේදැයි මතකයට නගා ගත නොහැකිය.
“පේෂන්ට්ගෙ ගෙදරට කෝල් කළාද?”
ඉන්පසු පවසන සියලු කටහඬවල් ඈත ලොවක සිට පවසන්නාක් මෙන් දැනේ.
“ඩිනාලි නම් මාර ලකි.”
අපේ නිවසේ ඉදිරිපස මමත් අරුණෝදිත් හිඳගෙන සිටිමු. නම නොදන්නා මල් පැලයක පිපී ඇති කුඩා රතු පාට මල් පිපෙන මල් ගස මලින් පිරී ඇත. අරුණෝදිගේ ඇඟිලි තුඩු අතර ඉන් මලක් රැඳී තිබේ.
“ඇයි කියලා දන්නවද? එදා ආට් එක්සිබිෂන් එකේදි ෆේන්ට් වුනු එකත් බ්ලෙසින් එකක් වුනා කියලා ඔයාට හිතෙන්නෙ නැද්ද?”
“ඇයි?”
මම අසමි.
“ඇයි කියන්නෙ? ගෙදරට කා එකෙන් ගෙදර එක්ක ගියා මදිවට දැන් සැරෙන් සැරේ කෝල් කරන්නත් පටන් අරන්.”
“කවුද?”
“වෙන කවුද? හේෂාන් මිසක්.”
“කතා කරනවා තමයි. දැන් සනීපද? ඩොක්ට ගාවට ගියාද වගේ දේවල්.”
“ඔය කතා කරද්දි නිකමටවත් මං ගැන අහන්නෙ නැද්ද?”
“නෑ. එහෙමනම් අහන්නෙ නෑ.”
“අපරාදෙ. ඒ වෙලාවෙ මට ෆේන්ට් වුනේ නෑනෙ. එහෙමනම් එයා මාවනෙ අල්ලගන්නෙ.”
“විහිලු කරන්න එපා අයියො.”
“විහිලු නෙමෙයි. සීරියස්ලි කියන්නෙ. කවදාහරි මං මැරි කරන්නෙ හේෂාන් වගේ කෙනෙක්ව.”
“ඇයි වගේ කෙනෙක්? හේෂාන්වම මැරි කරනවකො.”
“මම නම් කැමතියි. ඒ වුනාට එයා කැමති ඔයාටනෙ.”
අරුණෝදි සිය ඇඟිලි තුඩු අතර ඇති රතු මල පොඩි කර ඉවතට විසි කරයි.
“ඇයි ඒ මල පොඩි කරලා දැම්මෙ? පව්…”
“ලස්සන මිසක් සුවඳත් නැති මලක්. කඩලා අතට ගත්ත මල ආයෙම ගහට දෙන්න බෑනෙ.”
එසේ පවසන අරුණෝදි ඈතින් ඈතට ඇවිද යයි.
“අරුණෝදි…”
මම කෑගසමි.
“පේෂන්ට් ඇස් ඇරියා නේද?”
කිසිවකු අසන හඬ ඇසේ. ඒ හඬ වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ යයි මතකයට නැගුණද, කුෂ්වාන්ත් සිං යනු කවරෙක්දැයි සිතට නොඑයි.
“ඇස් ඇරියා. යන්තමින් හිනා වුනා. මොනවදෝ කියන්න හදනවා වගේ දැනුනා. ආයෙම නින්ද ගියා ඩොක්ට.”
ඒ ද ගැහැනු හඬකි. ඔවුන් කතා කරන්නේ මා පිළිබඳව නොවේද?
“මං හිතුවෙ තව සති දෙකතුනකින් ඩිනාලිට ගෙදර යන්න පුලුවන් වේවි කියලා. අර මනුස්සයා කරපු වැඩේ නිසා ළමයා ෂොක් වුනා.”
“දැන් උණ නම් එකසිය දෙකට අඩු වෙලා ඩොක්ට.”
එකිනෙකට වෙනස් කටහඬවල් මා සමීපයෙන් ඇසෙයි. සුපුරුදු සේ හැඟී ගිය ද ඒ කටහඬවල් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම අසීරුය.
“මට මොකක්ද වුනේ?” යි අසන්නට මට උවමනා වී තිබිණ. එහෙත් දෙතොල් බරැති ඒවා සේ දැනෙයි. දෙනෙත් පියන් පවා යන්තමින්වත් ඔසවා ගත නොහැකිය.
“මොකක්ද උඹ දැන් නටන නාඩගම?”
තාත්තා කෑගසන හඬ මට ඇසේ. විසිත්ත කාමරය මධ්‍යයෙහි වූ කෘතිම රෝස මල් බහා ඇති උස පිත්තල මල් බඳුන ඔහුගේ පා පහරින් විසි වී යයි. එහි හඬට සුදු නංගීත්, මාත් පහත මහලට දිව එමු.
“අනිත් උදවිය වගේ මං නටාපු නාඩගමක් නෑ.”
“දුවවත් ඉස්සර කරගෙන කොල්ලෙක්ගෙ කාර් එකක එන එක නාඩගමක් නෙමෙයිද?”
“ඩිනාලි ෆේන්ට් වුනාට පස්සෙ ඒ ළමයා තමයි මට කෝල් කලේ. මං කාර් එක අරන් ගියේ නැති නිසා එයා අපිව ගෙදරට ගෙනත් දැම්මා. එච්චරයි.”
“ඌට කොහෙන්ද උඹගෙ නම්බර් එක?”
“එව්වට උත්තර දෙන්න මං බැඳිලා නෑ.”
“එතකොට මං උඹගෙ කසාද මිනිහා නෙමෙයි?”
“ඒක තියෙන්නෙ මහ පොතේ විතරයි. කසාද මිනිහා විදියට ද තමුන් මෙච්චර කාලයක් මට සැළකුවේ?”
“සලකගෙන ඉන්න තිබුනා. තමුන් ගෑනියක් විදියට ගෙදරට වෙලා හිටියනම්. එපා කියද්දි බිස්නස් එකක් බදාගත්තා. හිතනවද සම්මාන ගත්තට තමුන් මහ ලොකු කෙනෙක් කියලා?”
“ඔව්. හිතනවා. මං මගේ වීරියෙන් සීයා දුන්න බිස්නස් එක දියුණු කරගත්තා. අද ඩිනාලි කේක්ස් කිව්වම නොදන්න කෙනෙක් නෑ. සකුන්තලා ඉද්දමල්ගොඩ කිව්වම නොදන්න කෙනෙක් මේ බිස්නස් ෆීල්ඩ් එකේම නෑ.”
“ඔය කෙහෙම්මල් බිස්නස් එක නිසා තමයි උඹ උඩ ගිහින් ඉන්නෙ. දැනගනින්. මං ගිනි තියලා දානවා ඔය කෙහෙම්මල් ෂොප් එක.”
“ගිනි තියන්න. ඒත් ඔයාට තියා කාටවත්ම මගේ හැකියාවට ගිනි තියන්න බෑ. මං වෙන තැනක ආයෙම බිස්නස් එක පටන් ගන්නවා. මට අලු මතින් නැගී සිටින්න පුලුවන්.”
“මොකක්ද උඹ කිව්වෙ?”
තාත්තා අම්මා අල්ලාගෙන ඇගේ හිස බිත්තියේ හප්පන්නේ වියරු වැටුනෙකු පරිද්දෙනි. අම්මාගේ හිස පුපුරා ලේ ගලා යද්දී සුදු නංගීත්, මමත් කෑගසමු.
“අනේ… අනේ… එපා…”
මහ හඬින් කෑගසන නමුදු මගේ මුවින් වදන් පිට නොවෙයි. ලේ… ලේ… ලේ… රතු පාටින් ගලන ලේ… බැලු බැලු සෑම තැනකින්ම දකින්ට ලැබෙන්නේ ලේ ය. එය අම්මාගේ හිස බිත්තියේ වැදීම නිසා ගැලූ ලේ නම් අධික රුධිර වහනය නිසා ඇය මිය යනු නියතය.
“අනේ… එපා මැරේවි…”
මම කෑගසමි. ඒ හා සමගම මගේ ගතින් අධික ලෙස දහදිය වැගිරෙන බව මට දැනේ. ලය තුළ ඇත්තේ දරා ගත නොහැකි අන්දමේ මහා බරකි. එම බර නිසා හුස්ම ගැනීම පවා අපහසුය.
“මොකක්ද ඩිනාලිට වෙන්නෙ?”
කිසිවෙකු කෑගසන හඬ ඇසෙයි.
“ඉක්මනට ඩොක්ට කුෂ්ට එන්න කියන්න.”
මහා කලබලයක් මා අවට සිදුවෙමින් පවතින බව මට දැනෙයි. හුස්ම ගැනීමට කෙමෙන් කෙමෙන් අසීරු වෙමින් පවතින බව මට දැනේ.
“ඩිනාලි… ඩිනාලි…”
වෛද්‍ය කුෂ්වාන්ත් සිංගේ හඬ මට යන්තමින් ඇසුනු නමුත් එය කෙමෙන් නෑසී යන්නේ මගේ දෙසවන් බිහිරි බවට පත් වෙමින් ඇති නිසාද? කිසිවකු මගේ මැණික් කටුව අසළින් අල්ලා ගත් බව යන්තමින් දැනේ. ඒ ස්පර්ශය මට හුරුපුරුදුය. වෛද්‍ය කුෂ්වාන්ත් සිං…
“ඩොක්ට…” යි පවසන්නට තැත් කළද මම මගේ ශරීරයෙන් ඉවත් වී යන බවක් මට දැනේ. කෙමෙන් කෙමෙන් ඉහළට යද්දී දැනෙන්නේ පුලුන් පෙඳක් බඳු සැහැල්ලුවකි.
මම යහන මත ඇති මගේ සිරුර දෙස ඉහළ සිට බලා සිටිමි. කඩි ගුලක් ඇවිස්සුනාක් මෙන් සියලු දෙනා කලබල වී ඇති ආකාරය මට පෙනෙයි. මීට පෙර දැක නොමැති වෛද්‍යවරුන් දෙපලක් පවා කලබලයෙන් කාමරය තුළට දිව එන අයුරු මම නිසංසලේ බලා සිටිමි.
“හාට් එක නැවතිලා.”
කිසිවකු පවසන හඬ ඇසෙයි.
“නැවතිලා නෑ. මං ඉන්නෙ උඩ.”
මගේ නතර වූ හදවත විදුලි සැර වද්දා පණ ගැන්වීමට වෛද්‍යවරුන් දරන උත්සාහය දෙස මම බලා සිටිමි. අඳුරු වූ මුහුණින් යුතුව වෛද්‍ය කුෂ්වාන්ත් සිං අනෙක් වෛද්‍යවරුන් දෙස බලන්නේ බලාපොරොත්තු කඩ වූ දෑසින් යුතුවය.
ඊළඟ මොහොතේ වෛද්‍ය කුෂ්වාන්ත් සිං මගේ මුවට සිය මුව තබා කෘත්‍තිම ශ්වසනය ලබා දෙන ආකාරය දෙස ද මම බලා සිටිමි. සියලු දෙනාගේම බලාපොරොත්තු සහගත දෙනෙත් ඒ දෙසට යොමු වී තිබිණ.