සිහින අසපුව – 15 කොටස

සැබවින්ම ආදරය යනු කුමක්දැයි මේධානි කල්පනා කළාය. සැබෑ ආදරය සිතක් තුළ ජනිත වන්නේ එක් වරක් පමණක් නම් රෙහාන් සහ ලෝචන යන දෙදෙනාම තම සිතට එකවරම පිවිසෙන්නේ ඇයි? දෙදෙනෙකුගේ දෑත එකවර අල්ලා ගත නොහැකි වුව ද, ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු අමතක කිරීම කළ නොහැකි දෙයක් සේ මේධානිට සිතිණ. එහෙත් සමාජ සම්මතය අනුව දෙදෙනාගෙන් එක් අයකු අනිවාර්යයෙන්ම තෝරා ගත යුතුය. මේවනතුරුත් තමාට ආදරය කරන බව ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ ප්‍රකාශ කර නොමැති හෙයින් පළමුව තම ආදරය ප්‍රකාශ කරන තැනැත්තා තම ජීවන සහකරු ලෙසින් තෝරා ගැනීමට අවසානයේදී මේධානි අදිටන් කර ගත්තාය.”

උදෑසන සිටම, තමා විසින් ලියනු ලබන නවකතාවේ පිටු කිහිපයක් ලියූ ආරාධ්‍යා පෑන පසෙක තැබුවාය.

“ඇත්තටම මම මේ ලියන්නෙ මගේ ජීවිතයද?”

ඇයට සිතිණ. රෙහාන් සහ ලෝචන ගැන ලියද්දී තම සිතට එක්වරම ප්‍රවිෂ්ඨ වන්නේ හසිත් සහ ආයුෂ්ය. ආයුෂ් යනු බොහෝ මෑතකදී හඳුනා ගත් අයෙකු වුව ද, ඔහු මේවනවිටත් තම කුඩා ලය තුළ වූ විශාල හදවතේ පදාසයක්ම අත්පත් කරගෙන ඇති ආකාරය පුදුම සහගතය.

“මම දැනගෙන හිටියෙ නෑ ආරා නවකතා ලියනවා කියලා.”

පසුගිය දිනයේ ඔහු සමග පිළිසඳරෙහි යෙදෙමින් සිටියදී ඔහු පැවසු අයුරු ආරාධ්‍යාට සිහි විය. ආරාධ්‍යාගේ සිත ගැස්සිණ. ‘ආරා’ යන ආදරණීය නමෙන් තමා හැඳින්වූයේ පාසලේ මිතුරියන් පමණකි. 

“දන්නෙ කොහොමද මං නවල්ස් ලියනවා කියලා?”

ඇය ඇසුවේ විමතියෙනි.

“ඔයා මට කෙලින්ම නොකිව්වට කතා කරපු වචන වලින් මම අල්ල ගත්තා.”

ඔහු සිනාසුනේය.

“දැනට නවල්ස් කීයක් විතර ලියලා තියෙනවද?”

“මහ ගොඩක් නෑ. දැන් ලියන්නෙ තුන්වෙනි එක.”

“දිගටම ලියන්නද බලාපොරොත්තුව?”

“අපෝ නෑ.”

ආරාධ්‍යා සිනාසුනාය.

“ගෙදර ඉන්න මේ කාලය තුළ හිත නිදහස් කරගන්න හිතාගෙන ලිව්වට ආයෙම ස්ටඩීස් පටන් ගත්තම මට ලියන්න වෙලාවක් එන එකක් නෑ.”

“ආයෙම ස්ටඩීස් පටන් ගන්නවා කියලා කිව්වෙ?”

“තව එක අවුරුද්දයි මම ගෙදර ඉන්න බලාපොරොත්තු වෙන්නෙ. ඊටපස්සෙ ස්ටඩීස් වලට පිටරටකට යන්නයි බලාපොරොත්තු වෙන්නෙ.”

“හොඳයි… ඒක බොහොමත්ම හොඳයි. මනුස්සයෙක්ගෙ ජීවිතේ ටාගට් එකක් තියෙන්න ඕන.  එහෙම ටාගට් එකක් නැත්නම් ඒක හරියට ගමනාන්තයක් නොදැන යන වාහනයක් වගේ වෙනවා.”

“තෑන්ක් යූ.”

“ඇයි මට තෑන්ක් කරන්නෙ?”

“මේ දක්වා හැමෝම මට කිව්වෙ දැන් ඉතින් මැරි කරන්න කාලෙ හරි කියලා. අම්මටයි තාත්තටයි මේ හැටි සල්ලි තියෙද්දි මොනවටද ඉගෙන ගන්න මහන්සි වෙන්නෙ කියලා අහන අයත් හිටියා.”

“සල්ලි වලට කරන්න බැරි මොන තරම් දේවල් නම් තියෙනවද ආරා? මං අංකල් එක්කත්   කතා කර කර හිටියෙ පබ්ලිකේෂන් එකක් කරන්න අදහසක් තියෙනවා කියලා. මං ඒක පටන් ගන්නවා. ඉස්සර වෙලාම පබ්ලිෂ් කරන්නෙ ඔයාගෙ නවල්ස්…”

“ඇත්තටම?”

ආරාධ්‍යා ඇසුවේ විමතියෙනි.

“ඔව්. ගෙදරටම වෙලා ඉන්න එකේ ඔයාට මට උදව් කරන්න පුලුවන් නේද?”

“උදව්? ඒ මොනවටද?”

“පබ්ලිකේෂන් එක පටන් ගන්න.”

ආයුෂ් තම දෙනෙත් දෙස එක එල්ලේම බලා සිටියේය. ඔහුගේ දෙනෙත් වල සටහන් වී ඇත්තේ දැඩි අධිෂ්ඨානයකි.

“උදව් කරන්න මම ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.”

“දැනගන්න ඕන නෑ. මං කියා දෙන්නම්.”

“මං කැමතියි.”

ආරාධ්‍යා දෙවරක් නොසිතාම පැවසුවාය.

“මේ විදියට නිකරුණේ කාලෙ ගත වෙද්දි මට මහා දුකක් ඇති වෙනවා ගත වෙන කාලෙ ආයෙම ගන්න බෑ නේද කියලා.”

තාත්තා පැමිණියෙන් කතා බහ එතැනින් නතර වූව ද යළිත් දිනෙක තමා හමු වීමට පැමිණෙන බවට ආයුෂ් දුන් පොරොන්දුව සිත තුළ ඇති කරන්නේ මහත් සතුටකි. තමා විසින් ලියන ලද පොතක් මුද්‍රණය වීම තරම් ලේඛකයකුට හෝ ලේඛිකාවකට අන් සතුටක් ඇත්දැයි ආරාධ්‍යා කල්පනා කළාය.

“බේබි…”

රංජනීගේ කටහඬ වසා තිබූ දොරට පිටතින් ඇසිණ.

“එන්න…”

ආරාධ්‍යා පැවසුවාය. දොර විවර කරගෙන පැමිණි රංජනී දුම් දමන තේ කෝප්පයක් සහිත  කුඩා බන්දේසිය මේසය මත තැබුවාය.

“බේබි නැගිටලා ගොඩක් වෙලා වෙන්න ඇති. ටී එක පරක්කු වුනාද මන්දා. මට නින්ද ගියානෙ බේබි…”

ජනෙල් තිර හකුළා දමන රංජනී පැවසුවාය.

“මැඩම් ගෙදර ආවෙ මහ රෑ දෙගොඩහරි ජාමෙ. ඒ වෙලාවෙ නැගිට්ටා. ඒ නිසාද මන්දා මට නින්ද ගියා.”

“කෝ අම්මා?”

“තව නිදි. අනේ මන්දා බේබි. අපේ ගම්වල ඔය විදියෙ දේවල් වෙනවනම් එහෙම….”

රංජනී වදන් ගිල ගත්තාය.

“ඔහොම දේවල් කිව්වෙ?”

“ගෑනු කියන්නෙ ගෑනුන්ට බේබි. තනියම ගමන් බිමන් යනවා. මහ රෑ එනවා. මැඩම්ට දැනමුතුකමක් කියන්නත් බෑනෙ.”

“ගෑනු කෙනෙක් මහ රෑ තනියම ගමන් බිමන් යන එක වරදක්ද?”

ආරාධ්‍යා ඇසුවාය.

“නැතිව?”

රංජනී තවත් මේසය අසළට සමීප වූවාය.

“රෑ පානෙ තනියම ගමන් බිමන් යද්දි මිනිස්සු කතන්දර කියනවා.”

“මිනිස්සු කියන දේවල් ඇඟේ ඇලෙනවද?”

“ඔය ඉතින්… බේබි කියන කතා. මං කියන්නෙ අපේ සර් වුනත් වැරදි. අපේ ගම් වල ඔහොම දෙයක් වුනා නම් එහෙම ගෙදර පිරිමියා ගෑනිව ගෙදරින් පන්නලා දාලා.”

“අපේ තාත්තා සම්ප්‍රදායික පිරිමියෙක් නෙමෙයි. අම්මව හොඳින් අවබෝධ කරගෙන ඉන්න හොඳ ස්වාමි පුරුෂයෙක්.”

“අනේ මන්දා…”

රංජනී දෙඋරහිස් ගැස්සුවේ අප්‍රසාදයෙනි.

“ගෑනු පිරිමි කියලා හිතන්නෙ නැතිව මිනිස්සු කියලා හිතන්න රංජනී.”

“අනේ මන්දා. මේ නගර වල මිනිස්සු හිතන හැටිද මන්දා. බේබි තේ නිවෙන්න කලින් බොන්න.  මං කෝප්පෙ ගෙනියන්න පස්සෙ එන්නම්.”

රංජනී කාමරයෙන් පිටව ගියේ සිත නොහොඳින් වන්නට ඇතැයි ආරාධ්‍යාට සිතිණ. නැවතත් නවකතාව ලියන්නට පෑන අතට ගත්තද, ඒ හා සමගම කාමරය තුළට කඩා වැදුනේ විහාරා ය. රාත්‍රී ඇඳුමින් සැරසී සිටි විහාරා ආරාධ්‍යාගේ යහන මතට වැටුනාය.

“ඇයි?”

පෑන පසෙක තැබූ ආරාධ්‍යා නැගිට්ටාය.

“හිසරදේ අක්කෙ. මගේ ඔලුවට ඕඩිකොලොන් ටිකක් දාන්නකො.”

නළළ මිරිකාගෙන සිටි විහාරා පැවසුවාය. ආරාධ්‍යා ඕඩිකොලොන් බෝතලයෙන් අල්ලක් හලා එය විහාරාගේ හිසට දමා පිරිමදින්නට වූවාය.

“සොරි කරදර කරානම්. එදා මට තරහ ගිහින් මගේ ඕඩිකොලොන් බෝතලේ විසි කරා.”

දෑස් පියාගෙන සනීපයට සිටි විහාරා පැවසුවේ මඳ සිනාවක් මුවගට නගාගෙනය.

“නිකරුණේ තරහ ගන්න එපා කියලා මම හැමතිස්සේම කියන්නෙ ඒක තමයි ළමයො.”

“නිකරුණේ නෙමෙයි. හේතු ඇතිවයි තරහ ගන්නෙ. දැන් ඇති.”

විහාරා ආරාධ්‍යාගේ අත අල්ලා ගත්තාය.

“මේ ටී එක බීලා ඉන්න. මං පෙති දෙකක් දෙන්නම්. බීලා නිදාගත්තම හිසරදේ අඩු වේවි.”

“මං තේ බීලා ඉන්නෙ. පෙති එපා. වේදනාවක් වුනාට මං මේ හිසරදේට කැමතියි.”

“ඇයි?”

“හිසරදේ නිසා හිතරදේ අඩුවෙනවා.”

“මොනවා කියනවද මන්දා. ඒකනෙමෙයි. මට ඔයාගෙන් කාරණාවක් අහන්න තියෙනවා.”

යහන මත හිඳ ගත් ආරාධ්‍යා ඇසුවාය.

“දන්නවා.”

දෑස් පියාගත්වනම විහාරා මඳ සිනා පෑවාය.

“අංක එක කොහෙද මේ හැමදාම යන්නෙ? උත්තරය… මං සුහේල්ව හොයනවා. කොහොමද කියලා අහන්න එපා. හොයනවා. කවදාහරි මට හමු වේවි කියලා හිතාගෙන හොයනවා. අංක දෙක… ඔයාට ප්‍රසන්ට් කළ පර්ෆියුම් එකයි චොක්ලට් එකයි කොහෙන්ද? උත්තරය… මට කෙනෙක්ගෙන් ලැබුන තෑග්ගක්. මැඩම්ගෙ සල්ලි වලින් ගත්ත දෙයක් නෙමෙයි. වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද?”

“තියෙනවා.”

ආරාධ්‍යා පැවසුවාය.

“සොරි. ප්‍රශ්න අහන්න දුන්න කාලය අවසානයි. ඔබ සැමට ස්තුතියි.”

විහාරා, ආරාධ්‍යාගේ කොට්ටය තුරුලු කරගෙන සැනෙකින් නින්දට වැටුනාය. විහාරා දෙස මොහොතක් බලා සිටි ආරාධ්‍යා කාමරයෙන් පිටවූයේ අරමුණකින් නොවේ. ඇය පියගැට පෙළ බැස්සාය. විසිත්ත කාමරයේ තැනින් තැන බෑග් සහ පාර්සල් රැසක් ගොඩ ගසා තිබෙන අයුරු ආරාධ්‍යා දුටුවාය. ඒ සියල්ලම අම්මා විසින් ඊයේ රැගෙන පැමිණි ඒවා වන්නට ඇත. නා නා වර්ණයෙන් යුත් මල් කළඹ රැසක් ද සෝෆාව මත තබා තිබිණ. ආරාධ්‍යා ඉන් මල් කළඹක් අතට ගෙන නාසයට ළං කර බැලුවාය. වර්ණයත්, හැඩයත් මිසක සුවඳක් නොමැති වූ මල් කළඹ ඇය ආපසු තැබුවාය. මේ මල් අම්මාට ලැබුණු ඒවා විය යුතු යයි ඇයට සිතිණ.

“ආරාධ්‍යා…”

ආරාධ්‍යා හැරී බැලුවාය. රාත්‍රී ඇඳුමින් සැරසී සිටින අම්මා පියගැට පෙළ බසිමින් සිටින අයුරු ඇය දුටුවාය. සිනාසෙන්නට උත්සාහ කළ ද ආරාධ්‍යාගේ මුවග සිනාවක් නොනැගිණ.

“ගෙදර එද්දි එකයි.”

සෝෆාව මත හිඳ ගත් ඇය මල් කළඹක් අතට ගත්තාය.

“මම එද්දි ඔයගොල්ලො නිදි. වේලාසනින් එන්න හිටියට ඒක කරන්න බැරි වුනා. නුවරඑළියට පොඩි වැස්සකුත් තිබුනා. ඩ්‍රයිව් කරේ හෙමින්. මං ගෙනාව ඇඳුම් අවුරුද්දට ඇන්දද?”

සුහර්ෂා ආරාධ්‍යාගේ මුහුණ දෙස බලා සිටියාය. ආරාධ්‍යා ඇය ඉදිරියෙන් හිඳ ගත්තාය.

“ඇඳුම් ඔක්කොම මට මදියි.”

ඇය පැවසුවාය.

“එහෙම වෙන්නෙ කොහොමද?”

“මම ඉස්සර හිටිය පුංචි ළමයා නෙමෙයි අම්මා. දැන් ඉස්සරට වඩා ලොකුයි.”

දියණිය පවසන වදන් වල සත්‍ය අසත්‍යතාවය නිරීක්ෂණය කිරීමට මෙන් සුහර්ෂා ආරාධ්‍යාගේ හිසේ සිට දෙපතුළ දක්වා විපරමෙන් බැලුවාය.

“මම කාවහරි ෆොප් එකට යවලා මාරු කරන්නම්. අද නම් බැරි වෙයි. අද වැඩ වැඩි දවසක්නෙ. කෝ විහාරා?”

“නිදි.”

ආරාධ්‍යා පැවසුවාය.

“තමුන් කරන්නෙ මොනවද නොකරන්නෙ මොනවද කියලාවත් තේරුම් ගන්න බැරි තරමට  විහාරා ආදරෙන් අන්ධ වෙලා.”

සුහර්ෂා තමාටම පවසා ගත්තාය.

“ආදරේ කරන එක නරක දෙයක් නෙමෙයි. ඒත් ආදරෙන් අන්ධ වෙන එකයි වැරැද්ද.”

විහාරා ආදරයෙන් අන්ධ වූවා නොව සුහේල්ගේ  අතුරුදහන් වීම ඇගේ ජීවිතයම අවුල් බවට පත් කර ඇතැයි පැවසීමට සිත් වුව ද, ආරාධ්‍යා කිසිත් නොපැවසුවාය.

“ඒකනෙමෙයි. හසිත් ඔයගොල්ලන්ට කතා කරාද ආරාධ්‍යා?”

ආරාධ්‍යා තිගැස්සුනාය. අම්මා බොහෝ කාරුණික ලෙසින් මෙසේ විමසන්නේ යහපතකට නොවන බව ඇයට දැනිණ.

“අපට කතා කරන්න හසිත් අපේ කවුද?”

ඇය පැවසුවේ හසිත් යනු නොවටිනා කෙනෙක් බව මවට ඒත්තු යන පරිද්දෙනි.

“අවුරුද්දට විෂ් කරන්නවත්?”

“අම්මවත් අපට විෂ් නොකරපු එකේ පිට මිනිස්සු මොනවට විෂ් කරනවද?”

“හසිත්ට මෙහෙන් උදේ කෑම ගන්න එන්න කියලා කිව්වෙ ඒ ළමයා අසනීපෙන් ඉන්න නිසා.  ඇවිත් කාලා ගියදෙන්. ඕනවට වඩා කතාවට ගියොත් එහෙම මං එයාව අස් කරලා දානවා. අර දිසාලා අස් කරලා දැම්මා වගේ.”

“මොනවා? දිසාලා? අම්මා එයාව අස් කරාද? ඇයි ඒ අසරණ ළමයව අස් කරේ?”

“මම චෙයාර්මන්. මට ඕන කෙනෙක් ගැන ඕනම තීරණයක් ඕනම වෙලාවක ගන්න පුලුවන්.”

සුහර්ෂා අසුනින් නැගී සිටියාය.

“ඒක අසාධාරණ තීරණයක් කියලා හිතනවනම් ඔයගොල්ලො දැනගන්න ඕන අනවශ්‍ය අයව ආශ්‍රය නොකර ඉන්න. රංජනී…. මෙතන කැවිලි පාර්සල් වගයක් ඇති. කුස්සියෙන් තියන්න.”

සුහර්ෂා මුලුතැන්ගෙය දෙසට ගියාය. ආරාධ්‍යා ඇය ගිය දෙස බලා සිටියේ අදහා ගත නොහැකි ලෙසිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles