පතිදම්වැල් 17

“ඒ වුණාට තාත්තා එහෙම කිව්වට මම රෙඩි නැත්තම් මොකද කරන්නේ?”

හිත අස්සේ සිර කරගෙන හුන් තාත්තා විසින් සිත තුල තැන්පත් කර ගිය ප්‍රශ්නයේ බර මදක් හෝ ලිහිල් කරගන්නට පුලුවන් වූයේ දිස්නා සමග කීමෙනි.

හමු වී මහ කාලයක් ගත් වී නොමැති වුවද දිස්නා යනු විශ්වාසය තැබිය හැකි අයෙකු බව උශාලි දැන හුන්නාය.

“ඔයා නිකන් මේ කලබල වෙලා තියෙන්නෙ තාත්තා අද කියල හෙට ඔයාව බන්දල දෙන්න හදනව වගේනේ. එහෙම දෙයක් නෙවිනෙ. තාත්තා කියන්නෙ දැන් කාලෙ හරි කියල විතරයි”

කාලය හරි නැති වග දන්නේ උශාලි පමණකි.අනෙක් අතට කාලය හරි වුවද තමාට විවාපත් කරගන්නට හැකි මිනිසෙකු ගැන අදහසක් හෝ සිතුවිල්ල උශාලිගේ සිතේ නැත.

සිත ඇතුළතින් කාට පෙම් කළ ද ලබා ගන්නට නොහැකි තැන කුමක් කළ යුතුද යන්න ගැන වැටහීමක් උශාලිට නැත.

ආදරය යනු ලබාගැනීමක් අයිතිකරගැනීමක්ම විය යුතුද කියා තමා පාසල් වියේ මිතුරියකගෙන් ඇසුවා උශාලිට තවම මතකය.

ඒ පාසල් බස් රියේ උන් කොලු ගැටයෙකුගෙන් උශාලිට ප්‍රේමාරාධනාවක් ඇති බව ඇය කියූ මොහොතේය.

පමුදි අතේ ප්‍රේමාරාධනාව ලියා එවූ අයියා අසල්වැසි පිරිමි පාසලක දඟකාර කොලු ගැටයෙක් බවත්, ක්‍රිකට් ක්‍රීඩා කරන පාසලේම ජනප්‍රිය චරිතයක් බවත් උශාලි නොමැති වුවහොත් මැරෙන බව පවසා ඇති බවත් දැනගත් මොහොතේ පවා උශාලිඋන්නේ සිනා සෙමිනි.

“ඔච්චර ආදරේ නම් එයාට කියන්න මැරෙන්න එපා, ජීවත් වෙන්න කියල. එයා මැරුණම ඒක මට ප්‍රශ්නයක් නොවී තියෙන්නෙ නෑනෙ. අන්තිමේ හැමෝම කියාවි මම එයා එක්ක යාලු උනේ නැති නිසා එයා මැරුණ කියල. තමන් ගොඩක් ආදරේ කරන කෙනෙක්ට අපි එහෙම ප්‍රශ්න ඇති කරන්නෙ නෑනෙ”

ගෙදරටවත් එම ගැටලුව ගැන කියන්නට තරම් එහි විශේෂත්වයක් උශාලි එදවස නොදුටුවාය. හිමින් සැරේ සැහැල්ලුවේ පාවී ආ ගමනක් නොසිතු මොහොතක එකම තැන නතර වන්නට හේතු වුයේ අනෝරා වර්ෂාවන් ඇද වැටුණු මොහොතක අහම්බයකින් මෙන් නෙත ගැටුණු ඒ රුව නිසාවෙන් බව පැහැදිළිය.

දෛවය තමාව ගෙනවිත නතර කරවා ඇත්තේ කොපමණ අමාරුම ප්‍රේම සංකීර්ණයක බව උශාලි නොදන්නවා නොවේ.

එහෙත් මේ ප්‍රේම කතාවේ සියලුම දේ දන්නා එකම පුද්ගලයා තමා ය. මේ ගැන කිසිදුවදනක් කිසිවෙකු සමග බෙදාගන්නට හැකියාවක් ද නැත. සිත අස්සේම යමක් සිර කරගෙන ඉද්දී සිතට දැනෙන කලබලය කරදරය මොනතරම් ද?

මෙවන් ගැටලු මින් පෙර ජීවිතයේ නොතිබූ සමණල සැහැල්ලුවකින් තටු සලමින් උන් කෙල්ලකට මෙය බරකි.

“ඔයාට ඇත්තටම කොල්ලෙක් නැත්තෙ ඇයි?”

දිස්නා අහන්නෙ අමුතුම ප්‍රශ්නය.

“මට ඉතින් කිසිම කෙනෙක් ගැන එහෙම විශේෂයක් දැනිල නෑ කවදාවත්”  යැයි කිව්වද එය සංස්කරණය කල නිවැරදි කළ යුතු වචන රැසක්ම ඇති පිළිතුරක් බව උශාලි නොදන්නවානොවේ. එහෙත් තමා සිතෙන් කෙනෙකුට ප්‍රේම කරන බවටත්, ලබාගන්නට නොහැකි ඒක් පාර්ශ්වික ආදරයකින් බැඳී හිඳින බවටත් කියාගන්නට අපහසුය.

“කිසිම කෙනෙක් ගැන?”

“හ්ම්ම්”

“ඒ වුනාට ඇස් වලින් නම් කියවෙන්නෙ වෙනම කතාවක්” කියමින් සිනාසෙන දිස්නාගේ ඇස් ඉදිරියෙ උශාලි නිරුත්තරය.

“ඇයි එහෙම කිව්වේ?”

“අහල නැද්ද මිනිස්සු කියනවා හිත අස්සෙ හංගන් ඉන්න ඒව ඇස් දෙකෙන් එළියට පේනවා කියල. සිංදුවකුත් තියෙන්නෙ ගුණදාස කපුගේ කියන දෙතොල නොකීදේ දෙනෙතේ ලියවෙනව කියල”

“පිස්සුනේ”

“කවුද කපුගේටද?”කියමින් දිස්නා සිනාසෙමින් විවේක කාමරයෙන් එළියට යන්නේ සිනා මල්වැලක් උශාලි වෙතට එවමිනි.

තාත්තාත් අම්මාත් කිසිම දිනක තමාට විවාහයකට හෝ විවාපත් කල ගත යුතු අයකු වෙනුවෙන් බලපෑමක් එල්ල නොකරන බව උශාලි හොඳාකාරවම දනී. තමා යම් දිනක විවාහ වියයුතු බවත් උශාලි දනී.

මෙතෙක් කල් නොදැනුන පරිද්දෙන් සිත අස්සට ඒ සිතුවිලි ගලා එන්නේ තාත්තා විසින් කියනු ලැබූ වචන ඔස්සේ බව උශාලි නොදන්නවා නොවේ.

“ඔයාව අපිට බරක් කියල නෙවෙයි පුතා අපි මේ කියන්නෙ. දරුවෙක් විශේෂයෙන්ම ගෑණු දරුවෙක් ඉද්දි අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට හිතට දැනෙන  බය වැඩියි.

ඒ ගෑණ්හ් දරුවව කලට වේලාවට ගෙදරින් එලියට පිටකරගන්න බැරිඋනාම ඔයාලා නොදන්නව උනාට තාමත් මෙච්චර දියුනු ලෝකෙක උනත් මිනිස්සු දේවල් හිතනවා. අපේ මිනිස්සු කොහොමත් පුරුදු වෙලා ඉන්නෙ දකින දේ ගැබ අමුතුම අර්ථකථන දෙන්න නිසා කසාද නොබැඳපු ළමයෙක්ට හදන ප්‍රශ්න වැඩියි.

ඒ ප්‍රශ්නවලින් ගැලවෙන්න කියල අපිට මේ ඔයාව හම්බෙන පලවනි කෙනාටම කසාද බන්දල දෙන්න ඕන කියල නෙවෙයි.

ඔයාට අපි සම්පූර්ණ ඉඩකඩ දෙනවා ඔයාට හොඳටම ගැලපෙන කෙනාව තෝරගන්න.  ඔයාව එයාව හොයාගත්තම තමයි අපි එතනට මැදිහත් වෙන්නෙ.මම හිතනවා ඔයාට බුද්ධිය තියෙනව කියල ඔයාට වඩාත් සුදුසු කෙනාව තෝරගන්න”

සුවච කීකරු දියණියක මෙන් තාත්තා කියන සියලු දේ අසාගෙන හුන්නද සිත තුළ වූ කැළඹීන දැන් උන්නේ තමා පමණකි.

“අපි කැමතියි අපිට හයිය තියන කාලෙක ඔයාලගෙ වැඩ කටයුතු ඉවර කරල දෙන්න පුලුවන් නම්. තව අවුරුදු හතකින් විතර මට රිටයර් වෙලා එන්න වෙනව. ඉස්සරනම් අපේ ඉන්ඩස්ට්‍රි එකේ මිනිස්සු අඩු නිසා අවුරුදු හැත්තෑවක් විතර වෙනකම් වැඩ කරන්න පුලුවන් උනත් දැන් ඕනතරම් තරුණ ළමයි ඉන්නවා

අනිත් එක මටත් මහන්සියි. ඊටත් වඩා මම රට ඉන්න එකෙන් ලොකුව අසාධාරණෙ උනේ අම්මිට. අම්මිට හැමදේටම තනියමනෙ ෆේස් කරන්න උනේ. ඉතින් දැන් මම හිතනව මම ගෙදර ඇවිත් හිටියනම් හොඳයි කියලා.

ඔයාලගෙ වැඩ ඉවර උනාට පස්සෙ මට ලැබෙන ග්‍රැටිවිටි එක ඇති අම්මිටයි මටයි ඉතිරිකාලේ ජීවත් වෙන්නෙ.

තව අවුරුදු හතකින් කියන්නෙ ලොකු කාලයක්නේ. ඉතින් ඒ කාලේ මම හිතන්නෙ අපිට හොඳටම ඇති හොඳම හොඳ තීරණයක් ගන්න”

අම්මටත් තාත්තාටත් එකිනෙකාගෙන වෙනන්ව දෙරටක වාසයකරන්නට වූයේ තමාගේ සහ අයියාගේ ජීවිතය සැපවත් කරන පිණිස බව උශාලි නොදන්නවා නොවේ.

“අම්මටත් තිබුනෙ තාත්තා එක්ක එහෙ යන්න” කියා විහිලුවටමෙන් කීවද එසේ කිරීම තවත් වගකීම්, විශේෂයෙන් දරුවන් රැකබලා ගැනීමේ වගකීමෙන් මිදී එසේ යන්නට හැකියාවක් නොතිබූ බව දන්නේ ගීතාංජලී මහත්මිය පමණකි.

එසේ වසර ගණනාවක් දරුවන්ගේ ජීවිතය සැපවත් කරනු පිණිස වෙන් වී හුන් දෙදෙනෙකි අම්මා සහ තාත්තා.

පෙර පාසලේ විවේකය අවසන් බව කියවන සීනුව නාද වීමත් සමග උශාලි තම පංති කාමරය වෙත ගියේ ක්‍රීඩා කරමින් හිඳිද්දී සීනුව නාද වීම නිසා පංති කාමරවලට දුව එමින් උන් පොඩ්ඩන් රොත්ත අතරිනි.

ඊළඟට අරඹන්නට ඇත්තේ ක්ලේ වලින් එක එක නිර්මාණ හදන අත් වැඩ පංතියක් බැවින් පොඩ්ඩන්ගේ බඩු බාහිරාදිය තැන්පත් කර තිබෙන කබඩයෙන් ඒප්‍රන් රැගෙන ආ යුතුය.

නැත්තම් ඉතින් මේ පොඩ්ඩන් ගෙවල් වල යන්නේ අලවා ගත හැකි සෑම තැනකම ක්ලේ කැබලි අලවාගෙන බව උශාලි අත්දැකීමෙන් දනී.

මවක් නොවීම මවක් වන්නට ඉඩ කඩලැබීම ගැන උශාලිට සතුටුය. මෙය පෙරහුරුවක් බඳුය. අනෙක් අතට කුඩාවුන් සමග කාලය ගත කිරීම සිත අස්සේ ගොඩ ගැසී තිබෙන අනෙක අප්‍රමාණ ප්‍රශ්න කන්දරාව මදකට හෝ අමතක කරලන්නට හේතුවකි.

අද සිකුරාදා බැවින් මේ වැඩකටයුතු අවසන්ව ගෙදර ගිය පසු දින දෙකකට පමණ මද විවේකයක් ලැබෙන බැවින් හවස් වරුවේ ක්ලේ ක්‍රියාකාරකම් සමග පොඩ්ඩන් සමග ක්‍රියාකාරී වන්නට ලැබීම ගැන කණස්සල්ලක් සිතේ නැත.

සෙනසුරාදා උදෑසනම නාවල විවෘත විශ්ව විද්‍යලයේ ඩිප්ලෝමා පාඨමාලාවේ අධ්‍යයන කටයුතු සඳහා යෑමට ඇත.

උදෑසන නවයට ඇරඹෙන පංති අවසන් වන්නේ සවස දෙකට පමණය. අතර මැද විවේක කලයක් ලැබෙන බැවිනුත් කාර්‍යබහුල සතියකට පසු ලැබෙන මද විරාමයක් බඳු නිසාවෙනුත්  සෙනසුරාදාට දේශන සඳහා සහභාගි වන්නට වීම සතුටකි.

අනෙක් අතට දේසන අවසන් වූ පසු නුගේගොඩ සරසවියට ගොස් පොතක් පතක් තෝරන්නට ලැබෙන ඉඩ හෝ නුගේගොඩ නගරයේ ඇඳුම් කඩයක රවුමක් ගසන්නට ලැබීමද උශාලිගේ කම්මැලි දින චරියාවට එක්වන වෙනසකි.

“තීච, මේක හොඳද?”

කල්පනාව බිඳ දමමින් තමා විසින් සකසනු ලැබූ ක්ලේ නිර්මාණ පෙන්නන්නට දඟලන පොඩ්ඩන්ගේ කලබලයයි.

රතු පාට පලතුරු, කහ පාට එලවලු,කොල පාට කාර්, නිල් පාට කුරුල්ලන් වැනි නෙක වර්ණ ක්ලේ නිර්මාණයන්‍ ය.

ඒ ක්ලේ නිර්මාණ වලට යටින් දිලෙන පොඩ්ඩන්ගේ කිරි සිනා පිරි වතය.

“ඔයා මොනවද හැදුවේ?”

උශාලි එසේ ඇසුවේ මහ බර සාර වැඩක් කරමින් මෙන් ක්ලේ අනමින් හුන් දුලන්‍යගෙන් ය.

“ඉස්තෝබෙලි”

“ඔයා ආසද ස්ට්‍රෝබෙරි වලට?”

“ඔව්, ලසයි”

දුලන්‍යාට ඇත්තේ ඇගේ තාත්තාගේම විසල් දෑස බව උශාලි පැහැදිලිව දුටුවේ ඒ මොහොතේය.

එහෙත් ඒ දෑසේ සැබෑ හිමිකරු දුලන්‍යාගේ තාත්තා නොවේ.

සිහිනයෙන් තමා වෙත එන තම සිතේ ලැගුම් ගත් පෙම්වතාටය.

ඔහු හිමිකරගන්නට අපහසු බව දන්නවා වුවද ඔහු ගැන සිතීම තහනම් නැත.

සීතල වැස්සක් මෙන් සිහිල් සිතුවිලි ගෙන එන ඔහු ගැන නොසිතා ඉන්නට සිත ඉඩ නොදේ.

“කොහෙන්ද ඉතින් ඔයාට ස්ට්‍රෝබෙරි?”

“තාත්ති ගේනවා”

“කොහෙන්ද තාත්ති ස්ට්‍රෝබෙරි ගේන්නේ?”

“කඩෙන්?”

“මටත් දෙනවද?”

“මොනවද?”

ඔයාගේ තාත්තිව කියා සිත ඉල්ලුවද මුවින් ඉල්ලන්නට හැකි ඉතින් ස්ට්‍රෝබෙරි පමණකි.

“ස්ට්‍රෝබෙරි”

“මම තාත්තිට කියන්නම් චීචටත් ඉස්තෝබෙලි ගෙනත් දෙන්න කියල”

පොඩ්ඩි තාත්තාට එය කීවහොත් ඔහුට තමාව මතක් වේද?

අනෙක් අතට මතක් වෙන්නේ අමතක වූ ඒවාය. ඔහුට තමා අමතක වී ඇතැයි යන සිතුවිල්ල ප්‍රේමය පසුපස හඹා එන විරහව අයත් සිතුවිල්ලකි. එහෙත් මීට වඩා ඔහුට ළංවෙන්න තමාට හැකියාවක් නැත.

දුලන්‍යාගේ හිස් අතගා උශාලි ඇයගේ මේසය අද්දරින් නික්ම ගියේ ස්ට්‍රෝබෙරි තරම්ම සුන්දර ප්‍රේමයකුත් එහි ඇති මද ඇඹුල් රස සමාන හිමිකරගත නොහැකි ආදරයක මිහිර සිතෙහි රඳවාගෙනය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles