සිය සේවාදායකයකුගේ දුරකතන ඇමතුම නිසාම නින්දෙන් පිබිදුනු කවීන් දුරකතන ඇමතුමේ නිමාවත් සමගම යළිත් යහනෙහි දිගා වුයේ නින්දෙහි අවශ්‍යතාවයක් ඇතිව නොවේ. පුරුද්දක් වශයෙන් නින්දෙන් පිබිදීමට පෙර අඩ හෝරාවක් පමණ අද දිනයේ තමා වෙත පැවරී ඇති වගකීම් සම්බන්ධව කල්පනා කිරීම සහ සැලසුම් කිරීම ඔහු පුරුද්දක් කර ගත්තෙකි. අද කතා කිරීමට ඇති නඩු පිළිබඳව පෙර දිනයේ අමර් විසින් එවන ලද කෙටි පණිවුඩය නැවත වරක් කියවා බැලූ කවීන් දෙනෙත් පියා ගත්තේය.
කවර හේතුවක් මත තමා අපරාධ නඩු විෂයය තෝරා ගත්තේදැයි බොහෝ විට ඔහුට කල්පනා වන වාර අනන්තය. වඩාත් අප්‍රියකර දෙය වන්නේ මිනීමැරුම් නඩු සඳහා පෙනී සිටීමයි. නීතීඥ වෘත්තියට පිවිසි මුල් කාලයේ එවන් නඩුවකදී විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිට ජයග්‍රහණය ලැබූ නමුදු ඉන්පසු ඇති වූ චිත්ත පීඩාව මාස ගණනාවක් යන තුරුත් සිතින් පහව නොගිය ආකාරය කවීන්ට සිහියට නැගිණ. අද දිනයේද එවන් නඩුවක පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීමට නියමිතව තිබේ. සැමියා සහ අනියම් බිරිඳ, නිත්‍යානුකූල භාර්යාව ඝාතනයට සැලසුම් කිරීමත්, සැලසුම් සහගතව මරා දැමීමත් පිළිකුල් සහගත සිදුවීමකි. නිත්‍යානුකූල බිරිඳගේ සහෝදරයා පැමිණිලිකරු ලෙසින් පෙනී සිටියි. එම නඩුවෙහි ප්‍රධාන සාක්ෂිකාරියක වන මියගිය තැනැත්තියගේ දියණිය සමග තමා හමුවට පැමිණි ඔවුන් දකිද්දී එක්වරම සිහියට නැගුණේ ආරාධ්‍යාගේ ළමා වියයි.
“දෙමාපියන් නිසා දරුවො සදාකාලිකවම වේදනා විඳිනවා.”
ඔහු තමාටම පවසා ගත්තේය.
කිසිවෙක් දොරට තට්ටු කරන හඬ ඇසුණු කවීන් නැගිට දොර හැරියේ ඒ සුහර්ෂා වන්නට ඇතැයි සිතමිනි. වසර ගණනාවක සිටම වෙනත් කාමරයක නින්දට යන සුහර්ෂා ඇතැම් දින වල උදෑසන යම් කරුණක් පිළිබඳව සාකච්ඡා කරන්නට තම කාමරයට පැමිණෙන අවස්ථා විය. එහෙත් කරදරකාරී මුහුණින් යුතුව දොරකඩ රැඳී සිටියේ රංජනී ය.
“ඇයි?”
කවීන් විමසුවේය.
“ලොකු බේබි කාමරේ නෑ.”
රංජනී හැඬුම්බර ලෙසින් පැවසුවාය.
“කාමරේ නෑ? එහෙනම් උදෙන්ම නැගිටගෙන මුහුද පැත්තට යන්න ඇති.”
කවීන් පැවසුවේය. බොහෝ දිනවල උදෑසනින්ම පිබිදෙන ආරාධ්‍යා මුහුදු වෙරළේ ඇවිදින්නට යන බව ඔහු දැන සිටියේය. අද දිනයේද ඇය නොඅනුමානවම මුහුද දෙසට යන්නට ඇතැයි කවීන් කල්පනා කළේය.
“මං ගිහින් බලලා ආවෙ සර්. කොතැනකවත් පේන්න නෑ.”
“මැඩම්ට කිව්වෙ නැද්ද?”
“කියන්න දොරට තට්ටු කරා සර්. දොර අරින්නෙ නෑනෙ. මැඩම් කැමති නෑ නින්ද අඩුවෙනවට. නිදාගන්නෙත් රෑ වෙලානෙ.”
රංජනී පැවසුවේ අඩක් චෝදනාත්මකව යයි කවීන්ට සිතිණ.
“වොෂ් රූම් එකේ බැලුවද?”
කාමරයෙන් පිටව යන කවීන් තමා පසුපසින් පැමිණෙන රංජනීගෙන් ඇසුවේය.
“බැලුවා. නෑ සර්. වෙනදා නම් පාන්දර නැගිටලා ලියනවා. කොහේ ගිහින්ද මන්දා මේ දරුවා.”
රංජනි පවසන්නේ කනස්සල්ලෙනි. ඔහු විහාරාගේ කාමරය අසළ නතර වූයේ සැක සිතින් යුතුවය.
“මේ කාමරේ බැලුවද?”
“නෑ සර්.”
රංජනී හිස කැසුවාය. කවීන් අගුලු නොදමා තිබූ කාමරයේ දොර විවෘත කළේය. ආරාධ්‍යා විහාරාගේ යහන මත කොට්ටයක්ද රහිතව වකුටු වී නිදා සිටියාය.
“ආරාධ්‍යා…”
කවීන් ආරාධ්‍යාගේ උරහිසින් අල්ලා අවදි කරන්නට වෑයම් කළ ද, සිහින් කෙඳිරියක් නගා ඇය අනෙක් පසට හැරුණාය.
“අපි හැමතැනම හෙව්වා. බේබි මේ කාමරේට ඇවිත්.”
රංජනී පැවසුවේ සැනසිල්ලෙනි. මෙතෙක් වේලාවක් තම සිතට වද දුන් අසුබවාදී සිතිවිලි ඒවනවිට ඇය කෙරෙන් පලා යමින් තිබිණ.
“යන්න. ගිහින් ඔයාගෙ කාමරේ නිදාගන්න. ඇයි සනීප නැද්ද?”
කවීන් ආරාධ්‍යාගේ නළළතට අත තබා බැලුවාය. ඇගේ නළළත්, ගෙලත් දැඩි උණුසුමෙන් යුක්ත විය.
“උණ…”
ඔහුට කියවිණ. රංජනී ද ආරාධ්‍යාගේ ගෙලට අත තබා බැලුවාය.
“අම්මෝ… උණ නේන්නම්. ගිනි මැලේට උණ…”
කවින් අන්දමන්දව බලා සිටියේය. දරුවෙකුගේ අසනීපයකට කළ යුත්තේ කුමක්දැයි ඔහු දැන නොසිටියේය. දරුවන් කුඩා කළ ඔවුන් බලා ගත් පොඩි හාමි දරුවන්ගේ සියලු අවශ්‍යතා පිළිබඳව සොයා බැලූ අතර ඉන්පසුව එම කාර්යය භාර වූයේ රංජනීටය.
“මොකද කරන්නෙ?”
කවීන් අන්දමන්දව විමසුවේය.
“දැනට මොනවා හරි බොන්න දීලා බෙහෙත් පෙති දෙකක් දෙන්නම් සර්. ඩොක්ට ළඟට එක්ක යන්න වේවි.”
“මට අද කලින් යන්න වෙනවා. අද වැඩ වැඩි දවසක්.”
“සර් වැඩ කරගන්න. මං බේබිව ඩොක්ට ළඟට එක්ක යන්නම්. හැමදාමත් එව්වා කරේ මමනෙ සර්.”
රංජනී පවසද්දී කවීන්ට වරදකාරී හැඟීමක් දැනිණ.
“සර් යන්න. බේබි ටිකක් නිදාගත්තදෙන්.”
රංජනී පැවසුවේ කවීන් කෙරෙහි අනුකම්පාවෙනි. නැවත වරක් නිදා සිටින ආරාධ්‍යා දෙස බැලු කවීන් කාමරයෙන් පිටව ගියේය.
*
පරිසරය පුරා තවමත් යන්තමින් අඳුර පැතිරී තිබේ. නැගෙනහිර අහස රත් පැහැ ගෙන ඇත්තේ හිරු උදා වීමට ආසන්න බව කියා පාන්නාක් මෙනි. හසිත් රිද්මයානුකූලව වෙරළට පෙරළී එන අලු පැහැති මුහුදු රළ දෙස බලා සිටියේය. මුහුදු රළ බිඳී යද්දී නැගෙන සුදු පැහැති පෙන පිඬු කවර හේතුවක් නිසා හෝ ආරාධ්‍යා සිහිපත් කළේය.
“මං මේ පෙණ දකින්නෙ පුංචි දරුවෙකුගෙ හිනාව වගෙයි හසිත්.”
දිනක් ඇය පැවසුවා මතකය.
“මම නම් දකින්නෙ වෙන විදියකට.”
තමා පැවසූ අයුරුත් ආරාධ්‍යා කුතුහලය රැඳි මුහුණෙන් යුතුව තමා දෙස බලා සිටි අයුරුත් ඔහුගේ මතකයට නැගිණ.
“මුහුදු රළ වෙරළට පෙරලිලා ඇවිත් බිඳිලා යද්දි මම නම් දකින්නෙ මිස් හිනා වෙනවා වගෙයි.”
“මම?”
ආරාධ්‍යා සිනාසුනාය.
“මම හිනාවෙද්දි එච්චරටම කැතද?”
“නෑ ලස්සනයි. මට ඒ හිනාව වර්ණනා කරන්න වචන නෑ මිස්. ගෑනු ළමයෙක් එච්චර ලස්සනට හිනාවෙනවා මම කවදාවත් දැකලා නෑ.”
“බොරු කියන්න එපා. ඇයි ගමේ කෙල්ල හිනාවෙද්දි ලස්සන නැද්ද?”
“මොන ගමේ කෙල්ලක්ද?”
හසිත් ව්‍යාජ අමනාපයකින් යුතුව සිප්පි කටුවක් අහුලා මුහුද දෙසට විසි කළේය.
“අපේ ගමේ ඉන්න ගෑනු ළමයි මට හැමෝම අක්කලා වගේ. නංගිලා වගේ. අපි හැමෝම ගමේ ජීවත් වෙන්නෙ එක පවුලේ අය වගේ.”
“කොච්චර හොඳද?”
ආරාධ්‍යා පැවසුවේ දුක් මුහුණින් යුතුවය.
“ඒ අතින් අපි පව් හසිත්. අපි ජීවත් වෙන්නෙ හුදකලා වෙලා. මොනවා තිබුණත් කාත්කවුරුවත් නැති ජීවිත.”
“එහෙම හිතන්න එපා මිස්.”
“එහෙම නැතිව කොහොම හිතන්නද මිස්ට?”
සරදම් ලෙසින් පැවසූ ආරාධ්‍යා සිනාසෙමින් වෙරළේ ඈතට දිව ගියාය. එදින ඇය හැඳ සිටි සමනළ අත් සහිත සුදු පැහැති ගවුම තවමත් මතකයට නැගෙයි. හසිත් දිගු සුසුමක් හෙලුවේය.
“ඇයි ආරාධ්‍යා මගෙන් ඈත්වුනේ?”
ඔහු තමාගෙන්ම ඇසුවේය.
“අනුමානයක් නෑ. මැඩම් ආරාධ්‍යාට කියන්න ඇති මගෙන් දුරස් වෙලා ඉන්න කියලා. කවදාහරි ආරාධ්‍යාව ලොකු සල්ලිකාරයෙකුට බන්දලා දේවි. මං ඒගොල්ලන්ගෙ සේවකයෙක් විතරයි. ඊයෙ මැෂින් එකක් බලන්න කියලා ගියේ ආරාධ්‍යාව බඳින්න ඉන්න කෙනාවත්ද?”
ආරාධ්‍යා සිහිවත්ම සියුම් තුඩකින් හදවත පාරන්නාක් බඳු වේදනාවක් දැනේ. රැකියාව හැර දමා ආපසු ගමට යන්නට සිතෙන වාරයන් ද අනන්තය.
“එහෙම යන්නෙ කොහොමද? අප්පච්චි වෙනුවෙන් වියදම් කරන්න මට සල්ලි කොහෙන්ද?”
අම්මා ද නොමැතිව තමා රැක බලාගන්නට, උගන්වන්නට අප්පච්චි කරන ලද කැපවීම සිතා ගත නොහැකි තරම්ය. එක් පයක ආබාධයක් සහිතව වුව ද ඔහු තමා ලොකු මහත් කිරීමට කරන ලද දෑ නිමක් නොමැතිය. තමා ලබන විශ්‍රාම වැටුප දෙසම බලා නොසිටි අප්පච්චි පොල්කටු හැඳි සාදා අලෙවි කළේය. ලීයෙන් කැටයම් කපන්නට සමත් ඔහු ඉන් ද ආදායමක් ලබන්නට ඇතත් අද වනවිට ඔහු කිසිවක් කර කියා ගත නොහැකි තත්වයකට පත්ව සිටියි. දැන් ඔහුට අවශ්‍ය සියලු සැප පහසුකම් ලබා දෙන්නට හැකි වී සිටින්නේ මෙහි සේවය කිරීමෙන් ලබන වැටුපෙනි.
“එක අතකට මෙච්චර ලොකු වැටුපක් ලැබෙන රස්සාවක් දාලා ගෙදර යන එක මෝඩකමක්.”
හසිත් කල්පනා කළේය.
දැන් හිරු රැස් හොඳින් පරිසරය පුරා පැතිර ඇත්තේ දවසේ වැඩ කටයුතු ආරම්භ කළයුතු බව සිහිපත් කරමිනි. මෙතෙක් අතෙහි ගුලි කරගෙන තිබූ සිප්පි කටුව මුහුද දෙසට විසි කළ ඔහු කාමරයට යාමේ සිතින් යුතුව ආපසු හැරුණේය.
*
සූරියබණ්ඩාර පවුලේ සියලු දෙනා දවසේ මුලින්ම හමු වන උදෑසන කෑම මේසයට සුහර්ෂා කලින්ම පැමිණ සිටියද, රංජනී ඒවනතුරුත් ආහාර මේසයට තබා නොතිබිණ. ඇය නොඉවසිල්ලෙන් ඒ මේ අත බලද්දී රංජනී කඩිනමින් ආහාර දීසි රැගෙනවිත් මේසය මත තැබුවේ සුහර්ෂාගෙන් දොස් ඇසීමේ බලාපොරොත්තුවෙන් වුව ද, ඇය කිසිවක් නොපවසා සිය ජංගම දුරකතනය දෙසට නෙත් හෙළාගෙන සිටියාය. කවීන් ද පිටත්ව යාමට සූදානම්ව පැමිණ හිඳගත්තේය.
“කෝ රංජනි බේබිලා? ඉක්මනට එන්න කියන්න.”
සුහර්ෂා සහ කවීන් ඉදිරියෙන් පිඟන් තැබූ රංජනී සුහර්ෂාගේ මුහුණ දෙස බලා සිටියාය.
“මොකෝ මේ බය වෙලා? කෝ ආරාධ්‍යා බේබි?”
“ඇයි ඔයා දන්නෙ නැද්ද? ආරාධ්‍යාට හොඳටම උණ.”
රංජනීට පෙර කවීන් පිළිතුරු දුන්නේය.
“උණ? ඒ කොහෙන් බෝ කරගත්ත උණක්ද?”
සුහර්ෂා ඇසුවේ නොරිස්සුමෙනි.
“මේ දවස් වල වෛරල් ෆ්ලූ එකක් තියෙනවා කියලා මම ඩොක්ටට කෝල් කරාම කිව්වා.”
කවීන් පිළිතුරු දුන්නේය.
“හරි ෂෝක්. මම ටුවර් එක යන්න ඔන්න මෙන්න කියලා හදාගත්ත ලෙඩේ.”
සුහර්ෂා රංජනී දෙස ද බැලුවේ නොපහන් නෙතින් යුතුවය.
“බේබිගෙ කාමරේට ගියානම් රංජනී මෙතනට එන්න එපා. මට උණ බෝ වුනොත් ඔක්කොම ඉවරයි. අයියෝ… ඈතින් ඉන්න ළඟට එන්න එපා රංජනී. මට කෑම එපා. මං කැෆටේරියා එකෙන් කන්නම්.”
අත් බෑගය අතට ගත් සුහර්ෂා නැගී සිටියාය.
“මං අද ඉඳලා එහේ නවතින්නම් ටුවර් එක යනකම්. බේබිව ඩොක්ට ළඟට එක්ක යන්න රංජනි.”
රංජනී කතා නොමැතිව බලා සිටියාය.
“මේ දවස් ටිකටයි, ටුවර් එක යන්නයි ඕන ඇඳුම් ටික ලෑස්ති කරන්න රංජනී… ආ… නෑ… නෑ… එපා. මංම ගිහින් ලෑස්ති කරගන්නම්. රංජනී දැන් යන්න.”
සුහර්ෂා උඩු මහලේ වූ ඇගේ කාමරයට දිව යන ආකාරය බලා සිටි කවීන් නිහඬව ආහාර ගත්තේය.
“අනේ මන්දා සර්.”
රංජනී දෙඋරහිස් හැකිලුවාය. ස්වල්ප වේලාවකට පසු සුහර්ෂා පහත මහලට පැමිණියේ ගමන් බෑගයක්ද රැගෙනය.
“වෙලාවට මං කලින්ම ඇඳුම් ලෑස්ති කරලා තිබ්බෙ. මං යනවා කවින්. ආරාධ්‍යා ගැන ටිකක් බලන්න. රංජනී… අද හසිත් සර් කෑමට එන්නෙ නැති වේවි.
”මම ලෑස්ති කරානෙ.”
රංජනී පැවසුවේ නොරුස්නා ලෙසිනි.
“කරන්න දෙයක් නෑ. මං යනවා. සෝමපාල ඇවිත්ද?
“ඇවිත් මැඩම්. මං බෑග් එක අරන් එන්නද?”
“එපා. එපා.”,.. යි සුහර්ෂා ඇඳුම් බෑගය ද රැගෙන දිව යන අයුරු කවීන් බලා සිටියේ වේදනාත්මක මුහුණින් යුතුවය.
*