සීත මාරුතේ – 01

ගුරුතලාව ඝණ මීදුම් දුමාරයකින් වැසී තිබිණ. ඒ මීදුම් පටලය කෙතරම් ඝණ වූයේ ද යත් අඩි කිහිපයකට එහා ඈත සුදු දුමක් මිස වෙන කිසිවක් ම පෙනුණේ නැත. ඉතා ම ආසන්නයේ දුමක් පා වී යන හැටි පෙනුණේ ය. මම උප විදුහල්පති නිල නිවාසයේ සිට දිගු පඩි පෙළ බැස මිදුලට ආවෙමි. ඒ එන ගමන්, රතු හා කළු වර්ණයෙන් ගෙතුම් කොට තිබූ මංකි තොප්පිය පහලට ඇද කන් දෙක වඩා හොඳින් වසා ගතිමි.

දිගු පඩි කිහිපය දෙපස සිටුවා තිබූ විවිධ වර්ග වලට හා විවිධ වර්ණ වලට අයත් කඳුකර මල් යාය පින්නේ නැහැවී ගෙන මුත් මා හා සිනාසුණි. ඇසට අසු වන මානයේ වූ සයිප්‍රස්, ටර්පන්ටයින් හා දේවදාර උස් ගස් යාය මුළුමනින් මිහිදුමෙන් වැසී ගොසිනි. නිල නිවාසයේ මිදුල තනිකර මල් උයනකි. මේ නම් දිව්‍ය විමානයකැයි මට සිතිණ.

උපන් දා සිට ම කොළඹ ජීවත් වූ අප, වැලිමඩ ප්‍රදේශයේ ගුරුතලාව ග්‍රාමයේ පදිංචියට විත් තවම දින කිහිපයක් පමණකි. අප්පච්චි උප විදුහල්පති ලෙස කටයුතු කළේ මේ පාසලේ නමින් ම කොළඹ පිහිටා ඇති පෞද්ගලික පිරිමි විද්‍යාලයක ය. අපේ ජීවිත මුළුමනින් කොළඹ සමග බද්ධ ව තිබිණ. ඒ පෙකණි වැල බිඳ දමා කඳුකරයේ පදිංචියට එනවා කියන කාරණය ගැන සිතා ගැනීමට හෝ හැකියාවක් වූයේ නැත. එය එපමණට ම හිත් බිඳ දමනා පුවතකි. නමුත් අප්පච්චි ට සිය ගුරු සේවයේ අවසාන භාගය කලබලකාරී නොවන නිදහස් පරිසරයක නිදහසේ ගෙවා දැමිය යුතු වූයේ ය. මා හා නංගී මේ ගමනට එරෙහි ව සීතල අරගලයක් කළ බව ඇත්ත ය. නමුත් ඒ අප්පච්චි සමගින් නොවේ. අම්මා සමගිනි. උප විදුහල්පති වරයෙකු වන අප්පච්චි සිය දරුවන් තිදෙනා අරබයා ගෙදර ගෙන ගිය පාලනය ගැන මා ඔබට යමක් කිව යුතු ය කියා නො සිතමි. නංගී එය හඳුන්වන්නේ ‘මිලිටරි පාලනය’ කියා ය. අප කැමති වූවත් නො වූවත් අප ගුරුතලාවට පැමිණිය යුතු ව තිබිණි.

අප්පච්චි සේවය කරමින් උන් කොළඹ පාසල, ලෝක යුද්ධ සමයේ දී යුධ කඳවුරක් ලෙස භාවිතයට ගත්තෙන් එම පාසලේ උගත් සිසුන් කඳුකරයේ මෙම පාසලට ගෙනැවිත් තිබේ. යුද්ධයෙන් අනතුරුව කොළඹ පාසල යළි විවර වී ද ගුරුතලාවේ ඇරඹුණ ශාකාව එසේ ම පැවතිණ. මෙහි උප විදුහල්පති තනතුර පුරප්පාඩු වූ බව දැන ගත් ගමන් අප්පච්චි ඒ සඳහා ඉල්ලුම් කළේ ටික කලක සිට ඔහු නිදහස් පරිසරයක් ගැන සිහින මවමින් සිටි නිසා ය.

මමත් නංගීත් දෙදෙනා ම පාසල් අධ්‍යාපනය නිමා කොට සිටියෙමු. තව දුරටත් පාසල් ගියේ දහ වන වසරේ සිසුවකු වන මල්ලී පමණකි. මම නම් මෝස්තර නිර්මාණය පිළිබඳව පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ද ලබා ගෙන සිටිමි. නංගී උසස් පෙළ ප්‍රතිඵල වලට අනුව රජයේ විශ්ව විද්‍යාල සඳහා ඉල්ලුම්පත් යොමු කොට සිටින්නී ය.

“මන්නං කැමතියි එහෙ යන්න. එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටි වලට හෝස් රයිඩින් කරන්න පුළුවන්”

මල්ලී මේ සුන්දර පාසලේ වන සුවිශේෂ අංග ගැන ප්‍රහර්ෂය පල කළේ ය. නංගී ඔහු ට රැව්වා ය.

“හෝස් රයිඩින් නෙවෙයි ඩොංකි ට අන්දන්න ඕන මූව. යමුකො උඩ දාගෙන. අස්සයෙක් පිටිං වැටෙන්න ඕන මූව. අනේ අම්මප ඒ අස්සය පයිං අනින්නත් ඕන මූට”

නංගී ඔහු ට දෙස් දෙවොල් තැබුවා ය. මා සිනහව නතර කර ගෙන සිටියේ අසීරුවෙනි.

පුරුදු පරිසරය අතැර දැමීමේ දුෂ්කරතාවයක් ඕනෑ ම හදවතකට දැනේ. නමුත් මා මේ කඳුකර පරිසරයට වසඟ ව ගියේ පාසලේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුළත් වෙත්දීම ය. සැබවින් ඒ මිහිපිට වන් සදෙව් ලොවකි. පිවිසුම් දොරටුවේ සිට පාසල් භූමිය මැදින් වැටෙනා ගුරු පාර, අක්කර ගණනාවක් වන විදුහල් බිමේ ඈතට දිවෙන්නකි. භූමියේ දිග කිලෝමීටර දෙකක් පමණ වන බවත්, මේ බිම අශ්ව ලාඩමක හැඩය ගන්නා බවත් අප්පච්චි විස්තර කළේ ය. පාසලක් නොව මගේ දෑස් ඉදිරියේ මැවී තිබුණේ හරිත උද්‍යානයකි. පාසල සතුව සත්ව ගොවිපළක් ද නිල්ල දිලෙනා කුඹුරු යායක් ද වේ. මාර්ගය දිගේ අප්පච්චි ගේ කොරොල්ලා වර්ගයේ මෝටර් රථය ඇදී යත්දී නෙත් මානයෙන් පසුපසට ඇදුණ ටර්පන්ටයින් ගස් යාය මා උමතු කරවී ය. මා සිටියේ මෝටර් රථයේ කවුළුවෙන් පිටතට හිස දමා ගෙන ඒ දර්ශනයෙන් වශීකෘත ව ය.

“අම්මෙ…මෙන්න අක්ක පිනි බානව”

එක්වර ම නංගි ගේ බෙරිහන් දීම ඇසිණ. සීතලට අඳිනා ඇඳුම් ඇඳ දෑත් පපුවේ බැඳ ගෙන සීතලට ගුලි වී ඇය පඩි පෙළ ඉහත්තාවේ මූණ නරක් කර ගෙන සිටියා ය.

“අනේ මේ…මට ඔයාට වගේ පීනස නෑ. බලනවකො නාකි ආච්චියෙක් වගේ ස්වීටර්ස් දාගෙන…සීතලේදි විඳින්න ඕන සීතල…ඒකට මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ සීතලේදි සීතලට වෛර කරල රස්නෙදි උණුසුමට වෛර කරන්න”

මා පණ්ඩිත කතාවක් කීවේ නංගී ව තව දුරටත් උදහස් කොට සතුටු වන්නට මිස වෙන දේකට නොවේ.

මිදුලේ සමන් පිච්ච මල් ගාල මල් පොරවා ගෙන සිටියේ ය. මෙහි පැමිණිමෙන් පසු තෙවන දිනටත් මම සමන්පිච්ච මල් දෝතක් නෙලා ගතිමි. ඒ සරල සන්සුන් සුවඳ දවස පුරා ම මා සමගින් රැඳෙන්නේ ය.

සමන් පිච්ච මල් දෝත පීරිසියක තබා, පෙර දා වතුරට මල් දැමූ ගෝලාකාර වීදුරු බඳුනේ වූ සමන් පිච්ච වතුරෙන් මම මුහුණ සෝදා ගතිමි. ඊළඟට බඳුනට අලුත් වතුර පුරවා අලුත් සමන්පිච්ච මල් දැමුවෙමි.

“ඕවගෙන් හේදුව කියල ඔයා ලස්සන වෙන්නෑ හරිද”

මල්ලී කොලොප්පමක් කරමින් එතැනින් යන්නට හදත්දී ම මම ඔහු ගේ පිට මැදට පහරක් ගැසුවෙමි.

“අම්බෝහ්…”

ඔහු කෑගැසුවේ රිදුණාටත් වඩා අම්මා අවුස්සා තබන්නට ය.

“මොකද ආ මේ..අප්පච්චිට ඇහුණොත්නං බැණුං තමයි හොඳේ..උදේ පාන්දරම..”

මා හිතුවා සේ ම අම්මා  එතැනට ආවා ය.

“මේ බලන්නනකො දුවා මට ගහනව”

“මොකද දුවා උදේ පාන්දරම කුළල් කාගන්නෙ…”

“මේකා මට එක එක ඒව කියනව”

“මොනාද එක එක ඒව. මං කිව්වෙ ඇත්තනෙ. සමන් පිච්ච ටබ් එකක බැහැල හිටියත් මෙයා ලස්සන වෙයිද..”

“තමුසෙට මම..”

මා යළිත් අත දිගු කරත්දී ඔහු පැන දිව්වේ ය. අම්මා සිනහව තද කරගෙන සිටියා ය.

“අම්මත් හිනා වෙන්නකො. ඒකා මොනා කළත් අම්ම කරන්නෙ හිනා වෙන එක තමයි. එයාවනෙ ලොකු කරගෙන ඉන්නෙ..හ්ම්..”

මම බොරුවට නෝක්කාඩු වුණෙමි. අම්මා ගේ ආදරය අප තිදෙනාට ම සම වුණත්, ගෙදර ඉන්නා එක ම කොල්ලා ඔහු වන නිසා ද බඩ පිස්සා ඔහු වන නිසා ද මල්ලී ට ලැබෙනා සැලකිලි වැඩි ය.

“පොඩි එකා එක්ක දෙන්නම කරන්නෙ එල්ලෙන එකනෙ. ලොකු නෙවෙයි..මල්ලි තාම පොඩියි දුවා. සෙල්ලං වයසනෙ”

හැම තිස්සේ ම රණ්ඩු වූවාට ඔහු ට නංගිගේ හා මගේ සිත් වල වන්නේ ද අපරිමිත ආදරයකි. මල්ලී ඒ බව දනී. 

“අපි ඉයර් ටෙන් වලදිනං අම්ම අපිට කිව්වෙ ලොකුයි කියලනෙ. එතකොටත් අපි ලොකුයි ඒ ඩොංකි පොඩියි”

නංගී ද සිය විරෝධය පෑවා ය. ළමයින් ගේ රණ්ඩු වලදී හැම දාම නංගී හා මා එක පැත්තක ය. ඒ අපට පොදු ගැහැනු කුලකය නිසා විය යුතු ය. 

“දෝණී…කට කට…ඔයාගෙ සද්දෙ දැන් හරි වැඩියි…අප්පච්චි බලාගෙන ඉන්නෙ ඕව හොඳේ”

අම්මා නංගී ට අනතුරු ඇඟවීමක් කළා ය. නංගී මූණ ඇද කර ගත්තා ය. මගේ තොල් කොනට සිනහවක් ආවේ ය.

“කොහොමත් ඉතින් අපේ ගෙදර පොඩි එකා මල්ලිනෙ. තව අවුරුදු කීයක් ගියත් ඒක වෙනස් වෙන්නෑනෙ”

එසේ කියමින් අම්මා අප වෙතින් නික්ම ගියා ය. මම නංගි ගේ මුහුණ දෙස බැලුවෙමි. මගේ සිනහව පුපුරා ගියේ ඇගේ මුව ඇද වී තිබූ ආකාරය නිසා යි.

මේ සෙනසුරාදා ය. පාසල් ගුරු නේවාසිකාගාර වල නේවාසික ව හිඳිනා තරුණ ගුරුවරියන් දෙදෙනෙකු මා හා නංගී සමගින් මිතුරු වූයේ අප මෙහි පැමිණි දා ම ය. එදා සන්ධ්‍යාවේ ඔවුහු සිය උප විදුහල්පති තුමා ගේ පවුලේ අය දැන හැඳින ගන්නට අප නිවසට පැමිණියහ. අපට ආසන්න වයස් වල සිටි අය නිසා කසුනි හා හංසිකා අප සමගින් වඩාත් කුළුපග වූහ. සෙනසුරාදාට කඳුකරයේ ඇවිදින්න යන්නට යෝජනා කළේ ඔවුන් ය. සාමාන්‍යයෙන් අප්පච්චි අප අරබයා දැඩි නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක කළ ද අප ට අවශ්‍ය වූ යම් කිසි නිදහසක් ලබා දීම ගැන ද දෙවරක් නො සිතුවේ ය. ඔහු ගේ නීති රීති වලට හේතුව, ජීවිත කාලය ම ළමයින් ඇසුරේ ගෙවා, ඔවුන් අනතුරට පත් කරනා සමාජ කාරණා ගැන තිබූ අවබෝධය හා අත්දැකීම් ය. අපට නිදහස ලබා දෙන්නට හේතුවත් එයම ය කියා මම සිතමි. අප්පච්චි අපට සරුංගල සේ ඉගිල යන්නට යම් කිසි ඉඩක් ලබා දී නූල සියතෙහි තබා ගන්නට වග බලා ගත්තේ ය. 

අප, ගෑනු ළමයින් සිව් දෙනා එක්ක ඇවිදින්නට යන්නට මල්ලී ද එල්ලීගෙන එන්න හැදුවත් නංගී ඔහු ට රවා කීවේ එක වචනයකි.

“කෙල්ලෙක්ද…”

මල්ලී ගෙදර නතර වූයේ ය.

සම වයස් වල කෙල්ලන් සිව් දෙනෙකු එක් වූ කල එතැන මැවෙන්නේ වෙනම සුන්දර ලෝකයකි. අපේ සිනා කතා හඬවල් කඳුකරයේ පාළු නිහඬ බව දෙපළු කරමින් දෝංකාර නැංවිණ. අත් දෙක මුව දෙපසින් තබා නංගී හූ කීවා ය. ඒ හූ හඬ වටේ කඳු යාය වල හැපී නැවත නැවතත් අප වෙත ආවේ ය. 

“අලුත් වයිස් ප්‍රින්සිපල්ගෙ දුවලට පිස්සු කියල ගමේ මිනිස්සු කියයි හොඳේ”

“මේ…ඊළඟ වීක් එන්ඩ් එකේ ඇඩිශන් බංග්ලෝ එක බලන්න යන්ද…”

“ඊළඟ වීකෙන්ඩ් වෙනකල් ඉන්න ඕනද අනේ..හෙට යංකො. හෙට සන්ඩේනෙ”

“නංගී…අප්පච්චිගෙ හැටි දන්නවනෙ. මේ නිදහසත් නැති කර ගන්න බෑ. මේ සතියට මේ ඇති”

“හා හා ඉතිං”

කසුනි හා හංසිකා දෙදෙනා ම ප්‍රාථමික අංශයේ ඉගැන්වීම් කරනා ගුරුවරියන් ය. ඔවුන් ද කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වලින් පැමිණ සිටියෙන් අප අතරේ සමීප බවක් ඇති වීම වඩා පහසු වූවා කියා සිතමි. පාසල් ගුරු නේවාසිගාරයට සීමා වූ ජීවිතය නිසා අප සමග පිටතට යාම ඔවුන්ට ද සතුටක් ගෙන දුනි. 

අප ඇවිද ගියේ වැලිමඩ හපුතලේ මාර්ගයේ බොරලන්ද දෙසට යයි කසුනි කීවා ය. එය වූ කලී එතුවක් කල් මා ඇවිද ගොස් ඇති මාර්ග වලින් සුන්දර ම මඟ ලෙස මගේ මතක ඉතිහාසයේ සනිටුහන් වේ. ස්වර්ගයට යන මාර්ගය එය ද කියාත් මට නො සිතුණා නොවේ. මග දෙපස වන උස් ටර්පන්ටයින්, සයිප්‍රස් හා දේවදාර ගස් වල කොළ සුළඟට සෙලවෙත්දීත් මට ඒ හරිත සුවඳ දැනිණ. නැවුම් වායු ගෝලයේ වූ සිසිල, ආශ්වාස කරත්දී නාසයට පවා දැනුණේ ය. සමහර තැන් වල පාර අයිනේ වූයේ අර්තාපල් හා උඩරට එළවළු සිටවූ වගා බිම් ය. එක ම හරිත පැහැයකින් ඇසට හසු වෙන මානයේ යායට දිස් වන අර්තාපල් වගාව මන බඳනා එකකි. ඊටත් ඈතින් දිස් වන්නේ නිල්වන් කඳු යාය ය. මේ මොන තරම් නම් සුන්දර රටක් ද?

“මාර ඊස්තටික් අප්ප…අනේ දෙයියනේ මට චිත්‍ර අඳින්න පුළුවන් වුණානං…”

 ටික දුරක් යත්දී නංගී කකුල් රිදෙනවා කියමින් කන් කෙඳිරි ගාන්නට වූවා ය. අපි ත්‍රීරෝද රියක් ගැන ඉව කරමින් ඇවිද යන්නට වූවෙමු. වැලිමඩ දෙසට යමින් තිබි ත්‍රිරෝද රියක් හමු වූයේ ය.  අපි බොරලැන්ද ගමනාන්තය බව රියදුරු තරුණයාට දැනුම් දුන්නෙමු.

“හතරක් දාන් යන්න බෑ හරිනං”

“ශරීර හතරක් වුණාට අපි දෙන්නෙක්ගෙ බර නෑ අනේ”

රිය තුළ වූයේ සිනහ සාගරයක් හා එක ම කන් කරච්චලයකි. 

“වැලිමඩට ගියානං මට කන් දෙක පෙන්නන්න හොස්පිට්ල් යන්න වෙනව”

අප බැස ගත්දී රියදුරු තරුණයා සිනහවකින් කීවේ ය. සැබවින් ම කොළඹට වඩා මම මේ ජීවිතයට පෙම් කරන්නට පටන් ගනිමින් සිටියෙමි.

සීතල තදින් දැනිණ. කෝපි කෝප්පයක උණුහුම බෙහෙවින් උවමනා වී තිබුණේ ය. හොඳ පෙනුමක් තිබූ භෝජනාගාරයක් බලා අපි එහි ගියෙමු. 

අප අසුන් ගත් මේසයට පෙනෙනා තැනෙක වූ මේසයෙහි හිඳ තේ කෝප්පයක් තොල ගාමින් සිටියේ උස යයි සිතිය හැකි හීන්දෑරි තරුණයෙකි. මගේ ඇස් කිහිප වරක් ඔහු වෙත යොමු වූයේ ඇයි කියා නො දනිමි. කෙල්ලන්ගේ උස් සිනා කතා හඬ ඔහු ට නො රුස්නා බවක් පෙනෙන්නට තිබිණ. වරක් හෝ දෙකක් ඔහු ඒ නො රිස්සුම් බැල්ම අප වෙත හෙළුවේ ය. තේ කෝප්පය පීරිසිය මත තබමින් කිහිප වරක් ම හෙතෙම අත් දිග සුදු කමිසයේ අත මඳක් මෑත් කරමින්  ඔරලෝසුව දෙස බැලුවේ ය.

“අරය අපිට රවනවද කොහෙද”

මම ඔහු දෙස බලා ගෙන ම මිමිණුවෙමි. ඔහු ට පිටුපා උන් නංගී හැරී බලත්දී ම ඔහු දුටුවේ ය.

“ස්..බලන්න එපා මෝඩියෙ”

“අයියෝ…නාකිනෙ…තිස් ගාණක්වත් ඇති මං හිතන්නෙ”

“තිස් ගාණක් කියන්නෙ නාකිද බූරියෙ කොල්ලෙක්ට…”

“බූරි..”

කසුනි හා හංසිකා හඬ නගා සිනහ වූහ. 

“බූරුවගෙ ගෑනු සතා බූරි තමයි. අච්චර ස්මාට් කොල්ලෙක්ට නාකි කියන්නෙ”

“හැබැයි පොර මාර උණකින් වගේ ඉන්නෙ”

“කොල්ලෙක් ටිකක් ආඩම්බර වුණාම මොකෝ”

“ආයිෂ් අප්ප මෙයා ගිහිං තියන දුර”

“ශුවර් එකට ළමයි තුන් දෙනෙක්වත් ඇති”

“මං හිතන්නෙ බැඳල නෑ”

“මේං මෙයා හඳහනුත් බලල “

අපේ කංකරච්චලය මොහොතකට මීයට පිම්බා බඳු නිහඬතාවයකට පත් වූයේ කුඩා දැරියක් දිවගෙන ඔහු වෙත පැමිණීමත් සමග ය. ඒ පිටුපසින් දැරිය ගේ මව යයි සිතිය හැකි තරුණියක පැමිණියා ය. ඔහු තේ කෝප්පය තබමින් නැගී සිටියේ එක බැල්මක් අප වෙතට හෙළමිනි. ඒ බැල්ම වෙනකෙකු වෙත නොව මවෙත ම හෙලූ සෙයක් මට දැනුණේ ඇයි කියා නො දනිමි. ඇස් වලින් ඇතුළු වූ යමක් හදවත් පත්ලට කිඳා බැස නුහුරු නුපුරුදු සසල බවක් ඇති කරනා ලදී. ඔහු දැරිය වඩා ගෙන බොජුන් හලෙන් පිට වත්දී කෙල්ලන් ගේ සිනහව උස් හඬින් පුපුරා ගියේ ය. නමුත් මට සිනහ වන්නට අමතක වී තිබිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles