සිහින අසපුව – 33 කොටස

එය බොහෝ සුන්දර සහ නිසංසල සඳ පහන් රාත්‍රියක් විය. සඳ දියෙන් නැහැවුනු මුලු පරිසරයම දිව්‍ය ලෝකය මෙන් සුන්දර නොවේදැයි සුහේල් පසෙකින් හිඳගෙන ඔහුගේ උරහිස මත හිස තබාගෙන සිටින විහාරා සිතුවාය. රැයේ පිපෙන මල් වර්ගයක සුගන්ධය නාස් පුඩු ඔස්සේ පිවිස හදවත සුවඳවත් කරන්නාක් මෙනි. එහෙත් සුහේල් නිහඬය. විහාරා යන්තමින් හිස හරවා සුහේල්ගේ මුහුණ දෙස බැලුවාය. දෙනෙත් අඩක් පියාගෙන සිටින සුහේල් ගැඹුරු කල්පනාවකය.

“සුහේල්…”

විහාරා සුහේල් ඇමතුවාය.

“ම්…”

“මොනවා හරි කියන්නකො.”

මඳ සුළඟින් විසිරී යන විහාරාගේ කෙටි හිසකෙස් එක මිටකට අල්ලා ගත් සුහේල් විහාරා දෙස බැලුවේ ආදරයෙනි.

“මම කල්පනා කර කර හිටියෙ මොනව දන්නවද විහාරා?”

“නෑනෙ. කියන්නකො.”

“මම හිතින් ලස්සන සින්දුවක් හැදුවා. ඒක ඔයා ගැන, අපේ ආදරේ ගැන කවදාවත්ම ලිය නොවුනු විදියෙ සින්දුවක්.”

“ඉතින් කියන්නකො.”

“කියන්නම්. ඇස් දෙක වහගන්න ඉතින්…”

ජංගම දුරකතනය නාද වන හඬින් තද නින්දේ සිටි විහාරා සිහින ලොවින් මිදුනාය. නිදිබර නෙතින් යුතුව ඇය දුරකතනය තිරයෙහි සටහන් වූ අංකය දෙස බැලුවාය. නොහඳුනන අංකයකින් ලැබෙන ඇමතුම හා සම්බන්ධ නොවන්නට සිතුණද, සිතට එක්වරම පිවිසි සිතුවිල්ලක් අනුව ඇය ඇමතුම හා සම්බන්ධ වුවාය.

“විහාරා… නිදිද මැණික?”

හදවතට බොහෝ සමීප වූ ඒ හඬ දුරකතනය ඔස්සේ ඇසෙද්දී විහාරාගේ නිදිමත පහව ගියේ සැනෙකිනි.

“සුහේල්…”

ඇයට කෑගැසිණ.

“සුහේල්… අනේ සුහේල්… කොහෙද ඉන්නෙ ඔයා? අනේ… මං දැන් හීනෙන් දැක්කා විතරයි. ඇත්තමයි.”

විහාරා හඬමින් පැවසුවාය.

“කලබල නොවී ඉන්න විහාරා. මම නෙදර්ලන්ඩ් ඉඳලා ආවෙ ඔයාගෙ අම්මලත් එක්ක. දැන් ගෙදර යන ගමන්.”

සුහේල්ගේ සන්සුන් කටහඬ ඇසිණ.

“ගෙදර? ඇයි මාව බලන්න නාවෙ? අනේ… සුහේල්… ඇත්තමයි. මං… මං හිතුවෙ… ඔයා…”

විහාරාට වදන් පැටලිණ.

“කලබල නොවී ඉන්න කිව්වනෙ. හසිත් අයියගෙ තාත්තට සනිප නෑලු. හසිත් අයියා එක්ක මමත් මේ ගෙදර යන ගමන්. මේ කතා කරන්නෙත් හසිත් අයියගෙ ෆෝන් එකෙන්.”

“අනේ මට මේක හීනයක් වගෙයි සුහේල්. මට තේරෙන්නෙ නෑ. කියන්න… මේක හීනයක් නෙමෙයිද කියන්න සුහේල්.”

“ඔයා කලබල වෙනවනෙ. කෙටියෙන් හැමදේම කියන්නම් විහාරා. අපි දෙන්නගෙ එෆෙයාර් එක දැනගෙන දවසක් ඔයාගෙ අම්මා ආවා මාව හම්බ වෙන්න. අම්මා කිව්වෙ කෙනෙකුගෙ ආදරයක් කඩා බිඳ දමන්න කැමති නෑ, හැබැයි විහාරව කසාද බඳින්න කලින් විහාරව සතුටින් සැපෙන් තියන්න පුලුවන් වාතාවරණයක් හදලා දෙන්න මට පුලුවන් වෙන්න ඕන කියලා. එයා තමයි මට යෝජනා කළේ මාව නෙදර්ලන්ඩ් වල ටේ්‍රනින් එකකට යවන්නම් හැබැයි කිසිම ආකාරයකින් ඒ කාලය තුළ විහාරා එක්ක කතා කරන්න තහනම් කියලා.”

“මැට්ටා. ඒක අහගෙන මාව මග ඇරලා යන්න ගියා?”

“මග ඇරියා නෙමෙයි විහාරා. තේරුම් ගන්නකො. ඔයාගෙ අම්මට වුනු පොරොන්දුව කඩ කරන්න මම කැමති වුනේ නෑ. ඇත්තම කිව්වොත් විහාරා. ඔයාගෙ අම්මා කියන්නෙ දේවතාවියක්.”

“දේවතාවියක්?”

විහාරා තොල් මතුළාය. සුහේල් නොදුටු කාලය තුළ උමතුවෙන් මෙන් අම්මාට බැන වැදෙමින් ඇය හා රණ්ඩු කරමින් ගත වූ කාලය පිළිබඳව පසුතැවිල්ලක් ඇය තුළ ඇති වූයේ නිතැතිනි.

“මම ආවම අපි කතා කරමු විහාරා. පරෙස්සමෙන් ඉන්න. මං කතා කරා කියලා කාටවත්ම කියන්න එපා.”

දුරකතනය විසන්ධි විය. විහාරාට යහනෙන් බිමට පැන නටන්නට සිතිණ. වහා දුවගොස් අක්කා ඇහැරවා මේ පිළිබඳව පවසන්නට සිතුණද, අවසානයේ එම සිතිවිල්ල ඇය මැඩ පවත්වා ගත්තාය.

“කමක් නෑ. උදේට කියනවා.”

විහාරා යහන මත වැතිරුනාය. නිදන්නට නොව මහ හඬින් ගීතයක් ගායනා කරන්නට ඇයට සිතිණ. ඇය කොට්ටය යට වූ දිනපොත අතට ගත්තාය.

“මම ජීවත් වෙනවා. ඔව්… මම ජීවත් වෙනවා. මම හුස්ම ඉහළ පහළ හෙලන බව මට දැනෙනවා.  හදවත ගැහෙන බව මට දැනෙනවා. ජනේලය අතරින් එන සුළඟ දිගේ එන මල් සුවඳ මට දැනෙනවා. මුහුදේ හඬ මට ඇහෙනවා. ඔව්… මම ජීවත් වෙනවා. එතකොට මෙතරම් කාලයක් මම ජීවත් වුනේ නැද්ද? නෑ. ජීවත් වෙන්න ඇති. ඒත් මගේ හිත මැරිලා තියෙන්න ඇති. සතුටුයි සුහේල්. හදවත පුපුරා යන තරම් මට සතුටුයි.”

දිනපොතෙහි සටහන් කළ විහාරා සැනසුම් සිතින් යුතුව යහනෙහි වැතිර දෙනෙත් පියාගත්තාය.

                    *

සුහර්ෂා ජීප් රියෙන් බැස ගත්තේ විඩාපත් ගතින් හා සිතින් යුතුවය. ඇය විසින් කරනු ලබන සමාජ සත්කාරය උදෙසා ලද සම්මානය දෝතට ගනිද්දී රියදුරු සෝමපාල එය රැගෙන යන්නට අත දිගු කළේය.

“ඇයි?”

සුහර්ෂා ඇසුවාය.

“බර ඇතිනෙ මැඩම්. මම ඇතුළෙන් තියන්නම්.”

“මම ලබපු සම්මානය මට බරක් නෙමෙයි සෝමපාල. මම අරන් යන්නම්. ඇතුළෙ තියෙන බෑග් ටික ගෙට අරගෙන යන්න.”

හිස නමා එය පිළිගත් සෝමපාල ජීප් රථය තුළ වූ බෑග් පිටතට ගන්නා අතරේ සුහර්ෂා ඉදිරියට පිය නැගුවාය. කවීන් හා විහාරා පමණක් නොව මලීෂ ද එකපෙළට සිටගෙන සිටින අයුරු දුටු ඇයට සිය දෙනෙත් අදහා ගත නොහැකි විය. ඇය දෙනෙත් පිස දමා එදෙස බැලුවාය. යළි නිවසට නොඑන්නෙමැයි නිවසින් නික්ම ගිය මලීෂ පැමිණ සිටින්නේ තමා සමග ගැටුමක් ඇති කර ගැනීමට යයි ඇයට සිතිණ.

“මහන්සිය මදිවට හිතට කරදර දෙන්නද මලීෂ ඇවිත් තියෙන්නෙ?”

ඇය තමාගෙන්ම ප්‍රශ්න කළාය. තමා විසින්ම සකස් කර ගත් මල් කළඹක්ද අතැතිව විහාරා , සුහර්ෂා ඉදිරියට දිව ආවාය.

“සුබ පැතුම් අම්මා..”

විහාරා මවගේ දෙකොපුල් සිප ගත්තාය.

“අම්මා? මං කොහොමද අම්මා වෙන්නෙ? මං මැඩම් සුහර්ෂා…”

හද තුළ ඇති වූ සන්තෘෂ්ඨිය සඟවා ගත් සුහර්ෂා පැවසුවාය.

“මැඩම් අම්මා… අනේ සොරි. මගේ අතින් වැරැද්දක් වුනානම්.”

විහාරා දිගු කළ මල් කළඹ අතට ගත් ඇය කවීන් දෙස බලා සිනාසුනාය.

“මෙයා කවදද ආවෙ?”

සුහර්ෂා ඇසුවේ මලීෂ දෙස බලමිනි.

“ෂූටින් ඉවර වුනේ ඊයෙ රෑ. ගෙදර එනකොට පාන්දර වුනා.”

“නළුවෙක් වෙලා නේද?”

“අපි හැමෝම නළු නිළියො තමයි අම්මා ජීවිත වේදිකාවෙ.”

මලීෂ පිළිතුරු දුන්නේය. සුහර්ෂා තමා අත වූ සම්මානය දෝතින්ම කවීන් අතට දුන්නේය.

“මේක හම්බ වෙන්න ඕන ඔයාට කියන එක හැමවතාවෙම වගේ මේපාරත් මට මතක් වුනා. ඔයා මට නිදහස නොදුන්නානම් මේ තරම් වැඩ කන්දරාවක් කරගන්න බැරිව යනවා. කෝ ආරාධ්‍යා?”

“ආරාධ්‍යා රංජනී එක්ක එකතු වෙලා තේ මේසෙ ලෑස්ති කරනවා.”

සම්මානය අතට ගත් කවීන් පිළිතුරු දුන්නේය.

“මහන්සියි. හොඳටෝම බඩගිනියි. පාන්දර නිදාගන්න වුනෙත් නෑ හරියට. හසිත්ගෙ තාත්තට අසනීපයි කියලා යන්න ඕන කිව්වා. කොහොමද දන්නෙ නෑ තාත්තට.”

සුහර්ෂා විඩාපත් ලෙසින් පුටුවක් මත හිඳ ගත්තාය. ඇය දෙස හොර බැල්මක් හෙලූ විහාරා ගෙතුළට ගියාය.

“විහාරා කළ දේවල් ඔයා කියද්දි ඇත්තමයි කවීන් මට මොනවා වුනාද කියලා හිතාගන්නත් බැරි වුනා.”

මලීෂ ද ගෙතුළට ගිය පසු ඇය කවීන්ට පැවසුවේය.

“ආදරේ කියන්නෙ ඒකට සුහර්ෂා. ආදරේ නිසා හැමදේම අත හැරලා දාපු අය ගැන අමුතුවෙන් ඔයාට මතක් කරන්න ඕන නෑනෙ.”

“ඇත්ත. ඒ සිද්ධිය තමයි මට ඉස්සරවෙලාම මතක් වුනේ කවීන්. ඒකනෙමෙයි. නීතියේ දෙවඟන  මොකද කියන්නෙ?”

මුවගට සිනාවක් නගා ගත් සුහර්ෂා කවීන් දෙස බැලුවාය.

“නීතියේ දෙවඟන චුත වෙන්නයි යන්නෙ.”

“ඒ කිව්වෙ?”

“මොනාලිගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ඇවිත්. වෙඩින් එකත් ළඟදි ගන්නවලු. අපට වෙඩින් කාඩ් එකකුත් එවලා තිබුනා.”

“අපට කිව්වෙ? අපි දෙන්නට?”

“නැතිව? වෙඩින් එකෙන් පස්සෙ දෙන්නම ඉන්දියා යනවා කියලා මොනාලි මට කිව්වෙත් ෆෝන් එකෙන්.”

“ඒක හොඳයි.”

සුහර්ෂා නැගිට්ටාය. දිව ආ ආරාධ්‍යා මව වැළඳගෙන ඇගේ දෙකොපුල් සිපගත්තාය. ආරාධ්‍යා පසුපසින් රංජනී ද පැමිණියාය.

“උණ හැදුනට පස්සෙ මැඩම් බේබිව දාලා ගියා කියලා තරහ වෙලා හිටියෙ.”

රංජනී පැවසුවාය.

“සමහර දේවල් හේතු නැතිව සිද්ද වෙනවා කිව්වට හැමදේටම හේතු තියෙනවා රංජනී. උණට මම හරි බයයි. බය හේතුව මේ දක්වාම කියලා නැති වුනත් ඔයා ආයුව බැඳලා යන්න කලින් මම හැමදේම කියන්නම්.”

සුහර්ෂා පැවසුවේ ආරාධ්‍යාගේ මුහුණ රතු කරමිනි.

“තේ මේසෙ ලෑස්තියි.”

රංජනී පැවසුවාය. සුහර්ෂා, කවීන් සහ ආරාධ්‍යා තේ මේසයට යනවිට මලීෂ සහ විහාරා මේසයට හිඳගෙන සතුටු සාමීචියෙහි යෙදී සිටින අයුරු දකිද්දී ආරාධ්‍යාගේ සිතට සතුටක් දැනිණ.

“මෙච්චර කාලයක් විප්ලවය විප්ලවය කියලා අපි කරලා තියෙන්නෙ විප්ලවයක් නෙමෙයි කියන එක දැන් හොඳටම තේරෙනවා නේද ලෝචනී? හැබෑ විප්ලවය තියෙන්නෙ අපේ හිත් ඇතුළෙ. මං ආපහු ගෙදර යනවා ලෝචනී. මොනවා නැති වුනත් මගේ දුප්පත් අම්මා අත් දෙක දික්කරලා පුතේ කියලා මාව බදා ගනීවි. කවදාවත්… කවමකවදාවත් මං වගේ කෙනෙක් ජීවිත කාලෙදිම හමු වුනේ නෑ කියලා හිත හදාගන්න.”

පසුගිය රාත්‍රියේ නැරඹූ මලීෂ රඟ පෑ ටෙලි නාට්‍යයේ ඔහු විසින් පවසන ලද දෙබස් ඛණ්ඩය ආරාධ්‍යාට සිහිපත් විය.

“කිරිබත් හැදුවෙ මට ද රංජනී?”

සුහර්ෂා සුපුරුදු ලෙසින් පළමු කිරිබත් කැටය කවීන්ගේ පිඟානට බෙදමින් ඇසුවාය.

“මැඩම් විතරක් නෙමෙයි. හසිත් සර්රුත් ආසයිනෙ කිරිබත් කන්න.”

රංජනී පැවසුවාය. ආරාධ්‍යාට හසිත් සිහියට නැගිණ. ඔහු පිළිබඳව මවගෙන් විමසීමට සිත් වුවද , ඇය කිසිවක් නොඇසුවේ සන්සුන් ස්වභාවයෙන් පසුවන මව කෝප වනු ඇතැයි බියෙනි.

“ඇත්තට හසිත්ගෙ තාත්තට කොහොමද දන්නෙ නෑ.”

සුහර්ෂා කෑම කන අතරේ ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගත්තද, පසුව බලාපොරොත්තු කඩ වූ ආකාරයෙන් එය පසෙක තැබුවාය.

“ඇයි?”

කවීන් ඇසුවේ දෙනෙතිනි. 

“ෆෝන් එක ඕෆ් කරලා.”

“හසිත් හොස්පිටල් එකේ වෙන්න ඇති. තාත්තට කොහොමද කියලා පස්සෙ කියාවිනෙ.”

ආරාධ්‍යා, විහාරා දෙස බැලුවාය. විහාරාගේ දෙනෙත් වල වූ හොර බැල්ම ඇයට තේරුම් ගැනීම අපහසු විය. තමා අසළට පැමිණි ‘බ්ලැක් ෂූස්’ට කිරිබත් කැබැල්ලක් කඩා දැමුවද, ඌ එදෙසවත් නොබලා ඉවිත්ව යන අයුරු ඇය බලා සිටියාය. 

“අපි දුන්නම තමයි කන්න බැරි. හසිත් දෙන ඕන දෙයක් කන්න පුලුවන්.” යි පවසන්නට සිත් වුව ද ඇය මුවට නැගි වදන් ගිල ගත්තාය.

“ඒකනෙමෙයි ආරාධ්‍යා. අද රෑට ආයුටත් එන්න කියන්න ඕන.”

සුහර්ෂා හදිසියේම පැවසුවාය.

“මං ආයුට කෝල් එකක් දෙන්නම්. ඒත් ඇයි?”

“අවෝඩ් එක ගත්ත සතුටට අද කාටත් මං ගානෙ ඩිනර්.”

“අපියි ඩිනර් එකක් දෙන්න කතා වෙලා හිටියෙ නේද තාත්තෙ?”

ආරාධ්‍යා සිනාසුනාය. අම්මා වෙනුවෙන් තාත්තා කේක් ඇණවුමක් භාර දී ඇති බව ද ඇයට සිහිපත් විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles