පෙමාතුර -1

ජන අරගලයට සහභාගී වී මහ වැහි මැද්දේ ම ගෙදර ආ අපි, දිය නා ගෙන සැහැල්ලු ඇඳුමින් සැරසී කෝපි බොන්නට හිඳ ගතිමු. ගියේ අප තිදෙනා ය. සනෝජා පුංචි, ඇගේ යෙහෙළිය නදීරා හා මා ය. අම්මා ගෙදර සිටියා ය. දණහිස් වේදනාවක් ඇති ව තිබුණෙන් අම්මා ගෙදර නතර වී ද ඇය හදවතින් අරගලයේ සිටියා යි මම විශ්වාස කරමි. 

අපේ දේශපාලන මත හා ප්‍රතිපත්ති සමාන හෝ එකිනෙක මත සමපාත වූයේ හෝ නැත. ඒවායේ යම් යම් වෙනස්කම් තිබිණි. සර්ව ජන ඡන්ද  බලය යන වරප්‍රසාදය යටතේ ලැබී තිබූ කැමති දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට ඡන්දය ලබා දීම යන කාරණයේදී අප කතිරය ගසා ආවේ එකිනෙකට වෙනස් පක්ෂ හා පුද්ගලයන්ට වන්නට පුළුවන. ඇතැම් විට ඒ අතිශය පුද්ගලික කාරණය ගැන අප ප්‍රසිද්දියේ කතා කළේ හෝ නැත. සැබවින් ඒ පෞද්ගලිකත්වයක් බවත්, එකිනෙකා ගේ ඒ පෞද්ගලිකත්වයට ගරු කළ යුතු බවත් දැන සිටියා  පමණක් නොව එසේ කළ යුතු යයි අපි විශ්වාස ද කළෙමු. නමුත් මේ කාලේ මිනිසුන් තමන් අදහන දේශපාලන පක්ෂය හෝ නියෝජිතයා වෙනුවෙන් සමාජ මාධ්‍ය තුලින් ද ගහ මරා ගන්නා සැටි  අප නො දුටුවා නොවේ. අප වාගේ රට වල බොහෝ මිනිසුන්ට සමාජ මාධ්‍ය යනු උනුන් ගේ කිළිටි රෙදි හෝදනා ලොන්ඩරියකි. ඔවුන් එහි සිට නො කරනා දෙයක් නැති තරමි. ඇතැම් විට අපි ඒ ගැන හාස්‍යයෙන් ද විටෙක කෝපයෙන් ද කතා කළෙමු.

“හුඟක් රට වල ඉස්කෝල ළමයින්ගෙ ප්‍රෝග්‍රෙස් රිපෝට් කාඩ් එක ළමයගෙ අතට දෙන්නෙත් නෑ. ඒක පේරන්ට් කෙනෙක්ට තමයි දෙන්නෙ. ගුරුවරයයි දෙමව්පියොයි ඒ ළමයින්ගෙ දුර්වලකං ඉම්පෲව් වෙන්න ඕන තැන් පර්සනලි කතා කරල ඒවට සොලියුෂන්ස් හොයා ගෙන ළමයින්ට කියන්නෙත් අන්න ඒ හැදෙන්න ඕන තැන් ටික විතරයි. ලකුණු ටික අතට දීල ළමයව තව ටිකක් මානසිකව වට්ටන්නෑ නෑ. ඒකට අපේ රටේ..අම්මල තාත්තල ඉන්ටනෙට් එකෙන් රිසල්ට්ස් ඩවුන්ලෝඩ් කර ගත්ත ගමං කරන්නෙ මෙන්න මගෙ ළමයගෙ රිසල්ට්ස් කියල ෆේස් බුක් දාන එක. ඉතින් උන්ට තමං කඩේ යන පොලිටීශියන් වෙනුවෙන් එෆ් බී එකේ මරා ගන්න එක මහ දෙයක්ද…”

අප වෙත එවන් පොදු එකඟතා තිබිණි. ඡන්දය පාවිච්චි කළේ කවර දේශපාලන පක්ෂයක් වෙනුවෙන් වී ද අපේ හදවත් වල එක අරමුණක් තියෙන්නට ඇත. රට වෙනුවෙන් රිදුම් දෙන එක තැනක් තිබෙන්නට ඇත. ජන අරගලයට ගොස් රට වෙනුවෙන් හඬ නගන්නට අපට හැකි වූයේ එනිසා ය. රට අගාධය කරා යනවා නම් අපට පක්ෂ හෝ පාට වලින් ඇති පලක් නැත. සියල්ලට පෙර රට ය.

“මට කොෆී එපා”

නදීරා ශීතකරණය හැර බීර කෑන් එකක් ගෙන විවර කළා ය. ඇතැම් විට මේ මොහොතේ ඇය දුම් වැටියක් දල්වා ගන්නට ද බැරි නැත. එසේ කළත් අපි ඇගේ පෞද්ගලිකත්වයට එරෙහි ව අරගල නො කරන්නෙමු. නමුත් ඇය දන්නා කාරණය, එය ඇගේ ශරීර සෞඛ්‍යයට කෙසේ බලපානු ඇත්ද යන කාරණය ගැන සිහිපත් කරන්නෙමු. 

“හැමදාම නෑනෙ. ඉඳල හිටලනෙ”

එවන් විටෙක ඈ කියන්නී ඒ වරදට ඇගෙන් ම සමාව ඉල්ලන්නා සේ ය. 

මේ ගෙදර ගෑනු ගෙදරකි. මා එහෙම කියන්නේ මේ ගෙදර ස්ථිර පදංචිකරුවන් වන්නේ ගැහැනුන් සිව් දෙනෙකු වන නිසාවෙනි. මෙහි නීති ප්‍රකාර හිමිකාරත්වය වන්නේ මගේ තාත්තාට ය. ඔහු මිය ගියේ මිය යාවියි බලාපොරොත්තු ව උන් වෙලාවක හෝ වයසක නොවුණෙන් සිය දේපල ඔහු ගේ උරුම කරුවන් වන අම්මා  අයියා  හෝ මා නමින් ලියා පවරා තිබුණේ නැත. තාත්තා ගේ මිය යාමෙන් පසු අයියා ඔහු ගේ ව්‍යාපාර සියතට ගත්තේ ය. මම කවදටත් කොහොමටත් ව්‍යාපාර ගැන උනන්දු වූ කෙල්ලක නොවෙමි. අම්මා ද එසේ ය. එහෙයින් ඔහු ට ඕනෑ හැටියට ඒවා කර ගන්නට අයියාට ඉඩ දී අපි පසෙකට වීමු. අපේ බැංකු ගිනුම් වලට අයියා මාසිකව මුදල් බැර කරයි. ඒ ව්‍යාපාර වල ලාභාංශ නිසි ආකාරයෙන් දැයි මම නො දනිමි. මා ඒවා විමසන්නට යන්නේ ද නැත. මන්ද මගේ වියදමට ඒ මුදල් ඉහටත් උඩින් බැවිනි. විවාහයෙන් පසු අයියා වෙන ම නිවසක පදිංචියට ගියෙන් මහ ගෙදර අම්මා හා මා තනි විය. අවිවාහක අම්මා ගේ නංගී අප හා පදිංචියට ආවා ය. ටික කලකට පසු ඇගේ දික්කසාදිත මිතුරිය නදීරා ද අපේ ගෙදර කාමරයක නවතින්නට ආවා ය. ඇය කාමරයක් ඉල්ලා සිටියේ කුළියට වී ද අම්මා ඇගෙන් මුදලක් ලබා ගත්තේ නැත. අපේ හුදෙකලා ජීවිත වල තනි නොතනියට කවුරුන් හෝ සිටිනා එක හොඳ බව අම්මා තීරණය කරන්නට ඇත.

මේ ගෑනු ගෙදර ගෑනුන් හතර දෙනාට ජීවිත හතරකි. ජීවිත කතා ද හතරකි. ඔවුන් තුන් දෙනාට ම අතීත තුවාල තියේ. අප එක්කෙනා දෙන්නා හෝ සිව් දෙනා ම හෝ එක් වෙන අවස්ථා වල ඒ තුවාල පිරිමැදීම් සිදු වීම සාමාන්‍ය ය. 

තුවාල රිදෙනා බව අපි දනිමු. නමුත් ඒ රිදුම් පවා අනෙකාට පාඩමක් වෙනවා දකින්නට ඔවුන් රිසි වූ බව ද මම දැන සිටියෙමි. විශේෂයෙන් ම ඔවුන් ගේ රිදුම් වලින් මා පාඩමක් ඉගෙන ගන්නවා ඇතැයි ඔවුහු බලාපොරොත්තු වූහ. මන්ද යත් ගැහැනු ගෙදර හිඳින ලාබාල ම ගැහැනිය මා ය. අවිවාහක ගැහැනුන් දෙදෙනෙකු වී ද සනෝජා පුංචි කිසි දා විවාහ නොවනා තීරණයක සිටියා ය.  ඔවුන් දන්නා පරිද්දෙන් තවමත් ප්‍රේමයක නො පැටළුණ ගැහැනිය මා ය.

නමුත් දැනටමත් මම ප්‍රේමයක පැටලී ඇත්තෙමි. හද දවනා කාරණය නම් එය වූ කලී ඒක පාර්ශ්වික ප්‍රේමයක් වීම ය. ඒක පාර්ශ්වික ප්‍රේමයක් වනාහි මන්දර පව්වක බරක් බව දන්නේ එවන් අත්දැකීමක් ලැබූවෙකු ම පමණකි. එය කොහොම රිදුමක් ද කියා විඳ බැලිය යුතු ය.

ප්‍රේමයේ රිදුමක් ඕනෑ ම හදවතක් විඳ තිබිය යුතු ය යන්න මගේ පුද්ගලික අදහසයි. එවැන්නක් නො විඳි පපුවක් සයුරක් නොදුටු ගඟුලක් බඳු ය.

මගේ ඒක පාර්ශ්වික ප්‍රේමය ගැන කියන්නට දිග කතාවක් මට තිබේ. එක අතකට එහි වන දිග කුමක් ද කියා මම මගෙන් ම අසමි. 

මට මතක හැටියට ඒ ඇස් මුලින් ම මට හමු වූයේ මේ වාගේ ම වැහි දිනයක මගදී ය. මම කුඩයක් හෝ අතේ නැති ව හුදෙකලා බස් නැවතුමක ගාල් වී වැස්ස දෙස බලා ගෙන සිටියෙමි. මා වාගේ කාල වේලාව ගැන හෝ යන එන තැන් ගැන හෝ ඉන්නා හිටිනා තැන ගැන හෝ නිනව්වක් නැති, ඇති වැඩකුත් නැති හෙමින් ගමනකුත් නැති විදිහේ ඉබාගාතේ සරණා චරිතයකට අහඹු වැස්සකට කොටු වීම කියන්නේ ආශ්වාදයක් මිස පශ්චත්තාපයට හේතුවක් නොවේ. ඒ නිසා කුඩයක් අත නැති වීම ගැන මම සංකා නොවැඩුවෙමි. මලකඩ බැඳුණ ටකරන් වලින් කොටු කරනා ලද, ඒ ටකරන් වැහෙනා සේ ටියුෂන් නළුවන් ගේ සේයා සහිත පෝස්ටර් ඇලවූ බස් නැවතුමේ හිරිකඩ වැදී ගෙන වැස්ස දෙස ඔහේ බලා හිඳිනා කෙල්ලක ගැන, පිටින් බලන්නෙකු කෙසේ හිතනවාද ඔහු ට ඒ කෙසේ පෙනෙනවා ද කියා මම නොසිතුවෙමි. කොහොමත් මම අනුන් හිතනා දේවල් ගැන වද වෙන්නට යන විදිහේ කෙල්ලක නොවෙමි. ඒ වෙලාවේ මට ඕන වුණේ හිස පමණක් නො තෙමී පැවතුණ ද ඒ මහ වැස්ස තුළ වැස්ස නොවන එක්තරා අංශුවක් වන්නට පමණකි. 

බස් නැවතුම ඉදිරියේ නතර වූ කළු පාට ඇක්වා රිය ගැන හෝ මට උනන්දුවක් තිබුණේ නැත. පැති වීදුරුව පහත් කළ තරුණයෙකු “ගේ ළඟින් ඩ්‍රොප් කරන්න පුළුවන්” කීවේ ය. වැස්සේ චමත්කාරය අතරින් මට ඔහු දැනුණේ කෙල්ලන් රවටා ගෙන රියට නංවා ගන්නට හදනා ජේත්තුකාරයෙකු ලෙස පමණි. මගේ මුවග සිනහවකට ඇද විය. ඒ සිනහව ඔහු ට ඇද කරනු වස් උපන් එකක් බව ඔහු ද වටහා ගන්නට ඇත.

“නෝ තෑන්ක්ස්”

ඒ මූණ දෙස ඉතා හොඳින් බලා මම වචන වලින් පමණකුදු නොව හැඟීම් වලින් ද ඔහු වෙතට දමා ගැසුවෙමි. වීදුරුව වහා වැසිණි. පාරේ පිරී තිබි බොර දිය දෙබෑ කර ගෙන රිය නික්ම ගියේ ය. 

ආයේ මා ඔහු දුටුවේ වැස්ස මඳක් තුරල් වූ පසු ගෙදර විත් දිය නා ගෙන කාමරයේ සඳැල්ලට ගිය විට ය. යාබද නිවසේ මතු මහලේ උස් වීදුරු කවුළුවක් හැර ගෙන පිටතට එන්න ආ ඔහු, මා දැක වහා ඒ වසා ගෙන යළි ඇතුළට ගියේ ය. ඒ ඔහු බව වහා මට සිහි විය. යාබද නිවසේ මතු මහළේ කුළී වැසියෙකු හිඳිනා බව දැනී තිබිණි ද මට ඔහු මතක නො තිබූ බව දිව්රා කිව හැක. කුළී නිවැසියාත් වැස්සේ සිය මෝටර් රථයෙන් මා ගෙදර ඇරලන්නට විමසූ ඔහුත් එක්කෙනෙකු බව වැටහෙත්දී මට මහත් අපහසුතාවයක් දැනිණ. ඔහු ඒ විදිහේ යෝජනාවක් කරන්නට ඇත්තේ මීට පෙර මා මෙහි දී දැක, හැඳින ගත් නිසා බව මට පසක් වූයේ එවෙලේ ය. 

නම හෝ නො දන්නා ඔහු ට ‘සොරි’ කියන්නට මට ඕනා විය. නමුත් මා එසේ කරන්නට සඳැල්ලේ කල් මැරි බොහෝ අවස්ථා වල සිදු වූයේ ඔහු නො දුටුවා සේ මා මග හැරීම ය. මගේ බලා හිඳීමේත් ඔහු ගේ මග හැරීමේත් අනිසි ප්‍රතිඵලය වූයේ මගේ හිත ඔහු කෙරේ ප්‍රේමයෙන් ආතුර වීම ය.  

“කිසා මොකද සද්දයක් බද්දයක් නැත්තෙ…තාම ඉන්නෙ ප්‍රොටෙස්ට් එකේද…”

නදීරා ගේ ඇස් මවෙත දැල්වී ගෙන තිබිණ. මම ඉක්මන් මඳහසක් පෑවෙමි. තවමත් මා ගොළු කොට තැබූයේ නගර මධ්‍යයේ නිහඬ අරගලයේ දී දුටු ඒ දර්ශනයයි. උද්ඝෝෂණ පාඨයක් සහිත පුවරුවක් අතින් ගෙන උන් මගේ අසල්වැසියා ගේ වැලමිටෙහි දෑතින් ම එල්ලුණ තරුණියක් ඔහු ගේ කම්මුලක හාදුවක් තබනු මා දුටුවේ කෙසේදැයි තවමත් මට සිතා ගත නො හැකි ය. අප එතැනට ගොස් මඳ වෙලාවක් ගත වී තිබුණ ද එතෙක් මා ඔහු ව දුටුවේ නැත. නමුත් ඇය ඒ හාදුව දෙනකොට ම ඔහු ද මාව දුටුවේ ය. මොහොතකට සිහි එලවා ගත නො හැකි ව සිටිය ද, එළඹි සිහියත් සමග මම විගස ඉවත බැලුවෙමි. සටන් පාඨ අමතක ව ගොස් මා ගොළු වූයේ එවක් පටන් ය. 

“මිනිස්සු ගැන මාර ආදරයක් ඇති වුණා නදී. ඇත්තටම දේශපාලකයො උන් ගෙ අතේ හැම දාම බලේ තියා ගන්න කළේ අපිව එක එකාගෙන් බෙදල වෙන් කරල තියපු එක. පක්ශෙං…ආගමෙන්…ජාතියෙන්…තත්වෙන් තරාතිරමෙන් වුණත් බෙදිල දුරස් වෙලානෙ මිනිස්සු හිටියෙ. ඒත් උන් ඔක්කොම අද එතන හිටියෙ මමත්වය කියන දේ අත්ඇරල. මේ ටවුන් එකේම ජීවත් වෙන එක එක ලෙවල්ස් මේන්ටේන් කරපු මිනිස්සු ඔක්කොම එහෙම එකට එක අරමුණක් වෙනුවෙන් කෑ ගහනව දැක්කම මාර ෆීලින් එකක් ආව”

සනෝජා පුංචී කියා ගෙන ගියා ය. ඇය කියන්නේ ඇගේ හදවතට දැනෙනා දේ ය. කොහොමත් ඇය හදවතට එකඟ හෘදයාංගම ගැහැනියකි. උගත් මධ්‍යම පන්තිය නියෝජනය කරන්නා වූ ඕ සිය මැදි විය ගෙවී යන තුරු තවම අවිවාහක ව සිටින්නේ ද  හිතට එකඟ ව කළ ප්‍රේමය රැවටූ මිනිසෙකු නිසා ඇති වූ කලකිරීම මත ය. 

කෝපි කෝප්පය බී කෝප්පය සෝදා තබා මා කාමරයට ගියේ තනි වීමේ උවමනාවක් තදින් දැනෙමින් තිබි නිසාවෙනි. තවමත් වැස්ස මුළුමනින් නතර වී නැත. මම උස් වීදුරු පියන් විවර කර ගෙන සඳැල්ලට වීමි. තෙත සුළං රැල්ලක් කොහේදෝ සිට විත් මා වැළඳ ගත්තේ ය. සීතලට වෙව්ලා ගිය මම දෑත් පපුව මත බැඳ ගතිමි. මහත් තනි කමක් හදවත ගැඹුරේ ම සිට ඉකියක් ලෙසින් පිටතට ආවේ ය. ඒ මොහොතේ ඉකි බිඳිමින් හඬනවා මිස මට වෙනත් විකල්පයක් වූයේ නැත. එය පුදුම ආත්ම අනුකම්පාව පිළිබඳ හැඟීමකි. ටික කලක සිට මම එක පිරිමියෙකු ට ආදරය කරමින් හිඳිමි. එය වූ කලී තනිකර ම මගේ හදවතට පෞද්ගලික වූවකි. මා ඔහු ට පෙම් කරනා බවක් ඔහු හෝ දැන සිටියේ නැත. නමුත් එය මට ගැටළුවක් වූයේ ද නැත. එම ඒක පාර්ශවික වූ ප්‍රේමයේ බර තනි ව දරා ගන්නට මම සූදානමින් සිටියෙමි. මන්ද යත් එය මවිසින් පටවා ගත් බරක් වන නිසාවෙනි. අනිත් අතට මම ඒ බරැති හැඟීමට ද ප්‍රේම කරන්නට පටන් ගෙන සිටියෙමි. 

හදිසියේ සියල්ල සුළි කුණාටුවක් සේ ප්‍රචණ්ඩ වී තියේ. මට ම වාවා ගත නො හැකි හැඟීම් ප්‍රවාහයක් මා යට කර ගනිමින් තිබෙනුයේ ඔහු ගේ පෙම්වතිය යයි සිතිය හැකි තරුණිය දැකීමෙන් ඉක්බිති ය. එය වූ කලී වචන කෝටි ගණනකිනුදු විස්තර කළ නො හැකි විදිහේ අසරණ කමකි. 

මා තනි ව ප්‍රේම කරමින් සිටි බව ඇත්ත ය. නමුත් ඔහු ට පෙම් කරන්නට කෙනෙකු සිටිනා බව ඇස් ඉදිරියේ ම සනාථ වී තිබියදී මා කෙසේ මාව ම දරා ගන්න ද?

හදිසියේ ම ඔහු දොර ඇර ගෙන පිටතට ආවේ ය. සඳැල්ල එළිය කළ බිත්ති ලාම්පු වල ලා එළියෙන් අප අප දෙස ම බලා හිඳිනා බවක් මට දැනිණ. මගේ කොපුල් මත කඳුළු වල තෙත පාරවල් නො මැකී තිබුණේ ය. මා හඬනා බවත්, ඒ කඳුළු ඔහු නො දැකිය යුතු බවත් සිහි කළේ කවුද කියා මම නො දනිමි. ක්ෂනික ව හැරී ගෙතුලට වන් මම විදුලි පහන් නිවාලමින් ම දොර පියන් වැසුවෙමි. ඉනික්බිති යහනට වැටී ඉකිලමින් හඬන්නට පටන් ගතිමි.

එක වචනයකිනිදු ප්‍රේමයක් ගැන කතා කොට නො තිබි, ඒ වැහි දවසේ වචන දෙකක දොඩමළුවක් පමණක් පැවති පිරිමියෙකු වෙනුවෙන් එහෙම හැඬීම ප්‍රේමයට කියනා තවත් නමක් සේ සැලකිය නො හැකි ද?

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...