තේජ ගලප්පත්ති කාමරයේ මන්දාලෝක විදුලි බුබුළ ක්‍රියාත්මක කළේ ය. ඉනික්බිතිව කරන්නට තවත් වැඩක් තිබේ. ඔහු ඒ නින්දට සුදුසු සෞම්‍ය සංගීත ඛණ්ඩයක් වාදනයට ඉඩ හැරීම ය. පිජාමාවෙන් සැරසී හිඳින ලියෝන් හොඳටෝම නිදි ය. රෑ නවය කියන්නේ කුඩා බබෙකුට නිදා ගන්නට හොඳම වෙලාව වග ඔහුට මතක් කළේ ද තේජ ය.නැතිනම් ලියෝන්ට කියවන්නට ඕනෑතරමට දේ තිබේ.
“මෙහෙම නිස්කාංසු පරිසරයක් නම් ආයේ හම්බෙන් නෑ මහත්තය. මොකවත් ඕන නෑ මේ ලේන් එකේ කිසිම හාවක් හූවක් ඇහෙන් නෑ.”
එහෙම පැවසූ නිවෙස් හිමිකරු ඉන් අනතුරුව තමන්ට ළං වූ අන්දම තේජට මතක ය.
“අර සෝමසිරියගෙ බල්ලා නම් රෑට විලාප තිබ්බ. ඌ සද්ද කරන්නෙත් කාලෙකට විතරයි. රැලේ යන්නේ කාලෙකට විතරනෙ මහත්තයා.”
තේජට නිවස ඕනෑවටත් වඩා සිත් ගත්තේ ය. ඒ හන්දා නිවෙස් හිමිකරු පැවසූ මුදලට ඔහු කේවල් කළේ නැත. කේවල් කරන්නට දෙයක් ඇත්තේ නැත. ලියෝන් ද ගෘහ භාණ්ඩ කිසිවක්ම නැති ගෙබිම හරහා වැටී සිටියේ ගෙය දැන්ම අයත් කරගෙන ය.
“මහත්තයාගෙ නෝනා?”
ඒ ප්‍රශ්න ගෙවල් විකිණීමට නොවැදගත් ය. තේජ මඳහසක් දුන්නේ ය. පිළිතුරු නොලැබීම හිමිකරුට ගැටළුවක් නොවේ.කේවල් නොකර ගේ විකුණා ගන්නට ලැබී තිබේ. දැන් අනුන්ගේ කුණු වැඩකටම නැත.
ලියෝන්ට නිදන්නට හැර තේජ සඳැල්ලට පැමිණියේ ය. නිවෙස් හිමිකරු ඕනෑවටත් වඩා බයිලා ගසන්නෙකු බව පැවසුවේ ගේ බලන්නට තනියට ආ පසන් ය.
“උගෙ බොරු කයිය නම් වැඩී. මේක මේ කොට්ටාවටම තියන එකම ගේ වගේ ඌ කියෙව්වෙ.කමක් නෑ බං. තැන හොඳයිනෙ. උඹ ගාව සල්ලි තියනම් අරන් දාගනිං.”
පසන් එහෙම පැවසූ අන්දම සිහි කරමින් ඔහු සිගරැට්ටුවක් දල්වා ගත්තේ ය. ඈතින් පෙනෙන්නේ වෙල් යායකි.
“කොළඹ කිව්වට කොළඹම නෙවෙයි කියන්නෙ මෙන්න මෙව්වට. උඹ කැන්ඩි වලින් ආවේ මේ කොළඹ පොඩි පහේ සිල්ලර කඩයි, වෙලුයි, පොඩි ආප්ප කඩයි දකින්නද?”
පසන් ඇසූ මොහොතක් සිහි වී තේජට සිනා පහළ වේ.
“අනේ යකෝ.මේ ලංකාව. කොහෙත් ග්‍රාමීයයි. ඒ වගේම නගරබදයි.”
තේජ එපමණක් පැවසී ය. නමුත් පසන්ගේ කයිවාරුව නොනවතී. ඔහු තේජව ඇවිස්සෙනසුළු මාතෘකාවට පිවිසෙයි.
“උඹලා පාරාදීසේ සටනයි මේ ගගා වෙනස් කරන්න හදපු රට වෙනස් වෙලත් නෑ නේද? අපරාදෙත් උඹ ඒ කාලේ පොඩ්ඩව අම්මට දාලා ගෝල්ෆේස් ගෙවපු කාලේ.”
එතැනින් එහා පසන්ගේ කියවීම නවතින්නේ තේජගේ බැල්මකිනි.
“මම කරන කිසිම දෙයක් ගැන මං පසුතැවෙන් නෑ. එහෙම පසුතැවෙන දේවල් මම කරන්නෙත් නෑ. මං ඇත්තටම දේවල් කරන්නේ හොඳට හිතලා.”
තේජ එහෙම කියද්දී පසන්ට කියන්නට තිබුණේ කෙටි වාක්‍ය කිහිපයක් පමණි.
“කොහොමටත් මං දන්න ඇත්ත මං කියන්නං. උඹ පට්ට නරුමයෙක්. උඹේ ජීවිතේ ටාගට් මිසක්කා සෙන්සිටිව් කෑල්ලක් නෑ. තොට එහෙම ඒවා ඕනෑත් නෑ.”
ඒ සත්‍යයක්දැයි නැවත සිතා බලන්නට තේජට අවස්ථාවක් වූයේ නැත. ඉදිරිපස නිවසේ දොර විවර විණ. තරුණියක එළියට පැන ගත්තේ කොණ්ඩය තරකොට බැඳ ගනිමිනි. ඇය ගේට්ටුව විවර කළේ ද විලාප තබමිනි.
“සෝමේ අංකල්.. සෝමේ අංකල්ල්ල්ල්. අනේ එන්නකො. ඉෂාර මල්ලී…..ඉන්ද්‍රා ආන්ටී…”
ඇය හැඳ සිටින්නේ කෙල්ලන් රාත්‍රියට හඳිනා වර්ගයේ ටී ෂර්ට් ගවුමකි. ඇය ගෘහස්ථ හිංසනයට ලක් වූ ගැහැනියකදැයි තේජ විපරම් කළේ ය. නැතිනම් ඇය ඔය නිවසේ තනිව හිඳිනා කෙල්ලක වන්නට ඇත. ඇහැටුල්ලෙකු දැකීම පවා පත නයෙකු දුටු ගාණට ගැනීම කෙල්ලන්ගේ සිරිත ය. තේජ නිස්කාංසුවේ නාට්‍යය නරඹන්නට තීරණයක් ගත්තේ ය.
තවත් විලාප ගැසීම් කිහිපයකට පසු එහා නිවසේ හිඳින පිය පුතු දෙපල ද අම්මා ද එළියට පැන ගත් හ. කෙල්ලගේ හැඬීම වර්ධනය වූයේ සෝමසිරිගේ බිරිඳ දුටු විට ය.
“අම්මා කලන්තෙ දාලා. හාට් ඇටෑක් වගේ.”
ඉන්ද්‍රා වහා ගෙතුළට දිව යන අන්දම තේජ දිටී ය. වාහනයක් ගෙනෙන්නට පාරට දුවන්නැයි ඉෂාරට අණ ලැබුණේ සෝමසිරිගෙනි. ඔහු කුලී රථයක් ගෙන්වන්නට දුරකථනය අතට ගත්තේ ය.
“හොස්පිටල් යන්නද අංකල්?”
තේජ ඇසුවේ සඳැල්ලේ සිට ය. වාහනයේ යතුර ගන්නට ඔහුට මිනිත්තු කාලක්වත් නොගිය අතර ඔහු වහා සෙනඟ වෙත පැමිණියේ ය.
“මගේ වාහනේ යන්න.මල්ලිට ඩ්‍රයිවින් පුලුවං නේද?”
ඔහු ඉෂාරගෙන් ඇසී ය. තමන් තවමත් උසස් පෙළ පන්තියේ බවත් තාත්තාට මෝටර් රථ ලයිසන් නැති බවත් ඉෂාර පැවසී ය.
“අර නංගිට වාහනේ දුන්නොත්?”
මේ මිනිහාට පිස්සුදැයි ඉෂාරට සිතිණ.උදව් කරනවානම් එය බොක්කෙන්ම කළ යුතු දෙයකි.
“අනෝජා ඇන්ටි හින්දා ලාවණ්‍යා අක්කා ඔලුව විකාර කරන් අයියේ ඉන්නේ. ඒ මනුස්සයා කොහෙ ඩ්‍රයිව් කරන්නද? අයියා උදව් කරන්න හැදුවට තෑන්ක් යු. මං පික් මී එකක් දැම්මා”
දෙදාහෙන් පසු පරම්පරාවේ කටවල් හොඳ නැත. ඉෂාර ඒ වග තහවුරු කරමින් සිටියේ ය. ඒ මොහොතේම ලාවණ්‍යා පිටතට ආවා ය.
“වාහනේ හරිද මල්ලා?”
ඇයට හැඬේ. ඉෂාරට පෙර තේජ කතා කරන්නට සිතී ය.
“මං අම්මව හොස්පිටල් ගෙනියන්නං නංගි. ටක් ගාලා එන්න”
රෝගී කාන්තාව වාහනයට දමා ගන්නටත් ඉන්ද්‍රා ඇඳුමක් ඇඳ ගෙන එන්නටත් මහ වෙලාවක් ගත වූයේ නැත. මේ නිවසේ පිරිමි කිසිවෙකුත් නැද්දැයි දැන ගන්නට තේජට ඕනෑ විය. ගෙහිමියා සෝමසිරිගේ බල්ලා ගැන මිස අනිත් ගෙවල් වල මිනිසුන් ගැන කිසිවක්ම නොකීවේ ය.
“අංකල්.මගේ පුතා ගේ ඇතුළේ.අංකල්ට පුලුවංද මං යාලුවෙක්ට එන්න කියනකම් පුතාව පොඩ්ඩක් බලන්න. ගේ දොර ඇරලා.”
වාහනය පණ ගන්වද්දී තේජ එහෙම කියන්නට මතක තබා ගත්තේ ය.
සැබෑවටම ඔහු රිය පැදවූයේ මහත් වේගයකිනි. රජයේ ගිලන් රථයක් ගෙන්වා ගත්තානම් අගනා බව පැවසුවේ පිටුපස හුන් ඉන්ද්‍රා ය. එහි ඇත්‍තක් තිබේ. යම් කෙඳිරියක් නැඟුව ද කාන්තාවගේ තත්ත්වය බරපතලදැයි තේජට සිතේ.
“ප්‍රෙෂර් වැඩි වෙලා වගේ අක්කේ. බය වෙන්නෙපා ඈ. අපි නර්සින් හෝම් ගිහින් අවුලක් නම් කළුබෝවිලට අල්ලමු.”
ඉෂාර පවසද්දී ලාවණ්‍යා හිස සැලුවා ය. ඔවුන්ට ඕනෑ දේ කරන්නට තේජ තීරණය කළේ ය.
අනෝජා වහා හදිසි ප්‍රතිකාර සඳහා යොමු කෙරිණ. ඩෙනිමක් ද ටී ෂර්ටයක්ද හැඳ නොපිරූ හිස කෙස් ඇති කෙල්ල දෙස තේජ එක් බැල්මකින් බලා සිටියේ ය. ඇගෙන් මොනවා හෝ අසන්නට සිතේ. නමුත් එයට හිතක් ද නැත.
“ලොකු අක්කට හරි පොඩි අක්කට හරි කතා කරනවද පුතේ?”
ඉන්ද්‍රා ඇසී ය. තේජට යම් සැනසීමක් දැනිණ. ලෝකයේ කොහේ හෝ ඇයට අක්කලා දෙදෙනෙකු හිඳියි. ඒ කතාවේ සරල තේරුම ඇගේ අම්මා මිය ගියත් ලාවන්‍යා මේ ලෝකයේ තනි වන්නේ නැත. ඇය හිස ඔසවා බැලී ය.හොඳටෝම හඬන්නට කඳුළු ඇති දෑසක් දිලිසෙමින් තිබේ. එහෙත් ඇය නාඬන්නී ය. කොනිත්තා හෝ ඇය හඬවන්නට ආවේගයක් තේජට පහළ විය.
“අක්කලට කතා කරන්න නංගී.”
ඔහු හීන් සීරුවේ පැවසී ය. ඒ ඇයව හඬවන්නට ය.
“පොඩී ඉන්නේ නිව්සීලන්ඩ්, ලොකු අක්කා බදුල්ලේ. මේ හදිස්සියෙ බය කරන්න බෑ අයියේ”
ඇය එහෙම කියයි. ඇගේ තාත්තා ගැන ඉෂාරගෙන් හිමින් සීරුවේ ඇසිය යුතු ය.නමුත් ඊට පෙර හෙදියක් පිටතට ආවා ය. ලාවන්‍යා නැගිට්ටේ උකුලේ වූ පසුම්බිය පවා බිම දමාගෙන ය.
(ආදරය කියන්නේ තමන්ට තමන්ව පවා අහිමි කර ගැනීම නෙවෙයි. තේජත් ලාවන්‍යාත් එක්ක ඒ පාඩම හෙමින් ඉගෙන ගමු. මේ කතාවත් කියවන්න තීරණය කළාට හුඟාක් ස්තූතියි)