මල්වර මල් සර – 20

විජේරාම හන්දියේ කඩ සාප්පු විදුලි ආලෝකයෙන් ආලෝකවත් ව තිබුණේ ය. සඳ පළුවක් ද තනි තරුවක් ද අහසේ එක කොනක පායා තිබී විශ්ව විද්‍යාලයේ සිට විජේරාම හන්දිය තෙක් ම දුල්නෙත් දෙස බලා ගෙන පස්සෙන් පස්සට යමින් තිබිණ. ආකාස තලාවේ තැන් තැන් වල තනි වී සිටි තරුවක් සිය කිරණ පොළොව වෙත ළඟා කරවීමේ අසීරු උත්සාහයක් දරමින් සිටියේ ය. විදුලි එළි තරු එළි සමග කරට කර තරඟයකින් දිනමින් සිටිනු දැකිය හැකි විය.

 බස් නැවතුමේ දී වේගය අඩු කළ පළමු එකසිය තිස් අටෙහි එල්ලුණ දුල්නෙත් දුරකතන කනේ ගසා ගෙන ම වීදුරු කවුළුවක් අයිනේ අසුන් ගත්තේ ය. තැන් තැන් වල කිහිප දෙනෙකු හැරුණු විට බස් රථයේ අසුන් වැඩිපුර හිස් වූයේ ය.

“බස් එකට නැග්ගද…”

අයානා ගේ මන්මත් කරවන හඬ සවනෙන් රිංගා පපුව තෙක් ගමන් කළේ ය. දුල්නෙත් උගුර යටින් හ්ම් මිටියක් තැබුවේ ය.

“මන් දන්නෑ ඔයා කොහොම මං ගැන හිතනවද කියල…ඒත් මේක මං ඔයාට කියන්න ඕනෙ දුල්නෙත්”

“කියන්න”

ඒ තනි වචනය පපුවෙන් නිකුත් වූ හුස්මක් ද සමග බස් රියේ වීදුරුවෙන් පිටතට විසි වී ගියේ ය.

“විදුරගෙන් ප්‍රපෝසල් එකක් එද්දි මං පිටස්තර කිසිම පිරිමියෙක්ට ආදරේ කරල තිබුණෙ නෑ දුල්නෙත්. හිත යටින්වත්. ගෙදරිංම එයාව ප්‍රපෝස් වෙද්දි බෑ කියන්න හේතුවක් මට තිබුණෙත් නෑ. ඔයා දන්නවද දුල්නෙත් වෙඩින් එකට හැම දේම ලෑස්ති කරල වෙඩින් කාඩ්ස් පවා බෙදල තියෙද්දි…රෙජ්ස්ට්‍රාර් නම් ප්‍රසිද්ද කරල තියෙද්දි…වෙඩින් එකට දවස් තුන හතරකට කලින් රෙජිස්ට්‍රාර් ළඟට දුවල ගිහිං ඒ මැරේජ් එකට විරුද්දයි කියල කියපු කෙල්ලෙක් මං. එහෙම කරන්න පුළුවන් කියල මං දැන ගත්තෙත් විහිළුට වගේ ඒ රෙජිස්ට්‍රාර් කියපු කතාවක් නිසා. ඒ වෙඩින් එක එහෙමම නතර කරන්න වුණා. කවුරු මොනා කිව්වත් මං කිව්වෙ බෑ කියල විතරයි. විදුර පීඑච්ඩී එකට රට ගියා. අපි බැඳල යන්න හිටිය ගමන ඒ. මන් දන්නෑ එයා ඔයාට මොනා කොයි විදිහට කිව්වද කියල. සමහර විට විදුර කියන්න ඇති බැඳල එයා මාව ඩිවෝස් කළා කියල. ඒත් ඇත්තටම සිද්ද වුණේ ඔය මං කියපු දේ. ඊට පස්සෙ ඇත්තටම ගොඩක් දේවල් සිද්ද වුණා. කසාදෙ කැඩිල ගිය නිසා නෙවෙයි දන්න කියන අය මටයි ගෙදර අයටයි දාපු ප්‍රෙශර් එක නිසා මං සෑහෙන්න ඩීප්‍රෙස්ඩ් වුණා. රිකවර් වෙන්න සෑහෙන කාලයක් ගත වෙන්න ඇති. මං ආයෙ ජීවත් වෙන්න පටන් ගත්තෙ නිර්වාණෙ නිසා. මං ඒකට හරි ආදරෙයි දුල්නෙත්. ඒත් අද උදේ විදුර  නිර්වාණෙට ගොඩ වුණේ මගෙ සැනසීමට ආයෙමත් ගිනි තියාගෙනද කොහෙද…”

අයානා ගේ කොපුල් තලා දිග කඳුළු ගලා යමින් තිබිණ. ඒ කඳුළු දිය වී යන එක හොඳ ය. අතීතයේ අප්‍රසන්න මතකයන් දිය කර ගෙන ම කඳුළු ගලා යන එක හොඳ ය. 

“සයුරංග මට මොනාත් කිව්වෙ නෑ”

දුල්නෙත් කොඳුළේ ය. කෙසේ වතුදු මෙතෙක් ඔහු පෙලූ සන්තාප වේදනා බස් රථය හරහා හමා ගිය වේගවත් සුළං පහරට හසුව අතුරුදන්ව ගියා සේ ඔහු ට දැනිණ. අයානා සුරක්ෂිතව හිඳිනවාය කියන ප්‍රහර්ශය ඔහුව ද සුළං රොදක් බවට පත් කොට තිබිණි.

“එහෙනං…”

“මට කිව්වෙ මංජරී…ඔයා බැඳල කියල. එයාට සයුරංග කියල තියෙන්නෙ”

“මට දැනුයි තේරුණේ”

“ඒ කිව්වෙ…”

“ටික කාලෙකට කලින් අයිය එයාගෙ යාළුවන්ට බොරුවක් කියල තිබුණ…මං බැඳල රට ගියා කියල…සමහර විට විදුරට ආරංචි වෙන්න වෙන්නැති…එයා තාමත් ඒක එහෙමයි කියල හිතං ඇති”

එකසිය තිස් අටෙන් ඔහු පන්නිපිටියේ දී පැන ගත්තේ හුරු පුරුද්දට වාගේ ය. එකසිය හැත්ත හතරක් නැවතිල්ලේ තිබි හින්දා ඊට ද ගොඩව අන්තිම අසුනේ අඩමානයට හිඳ ගත්තේ ය.

අයානා එරමිණියා ගොතා ගෙන යහන මත හිඳ සිටියා ය. මහා බරකින් නිදහස් වූ සැහැල්ලුව ඇගේ පපුවේ විය. නමුත් දුල්නෙත් වෙනුවෙන් ඒ සියල්ල හෙළිදරව් කරන්නට ඇය මේ තරම් ඉක්මන් වූයේ ඇයිද යන සිතිවිල්ල ඇය තුළ ලැජ්ජාවක් නො දැනවූවා ම නොවේ.

ඒ බස් එක අඹ ගස් හන්දියේ නතර වන තුරුත්, එක්සත් මාවත දිග ඇවිද යන තුරුත්, ගෙට ගොඩ වූ පසුවත් දුරකතන සංවාදය නිමා වී තිබුණේ නැත. සැබවින් නිමා කරනවා නම් ඊට ඕනෑ තරම් අවස්ථා තිබිණ. නමුත් දුල්නෙත් ට සේ ම අයානා ට ද එකක් නිම වෙත්දී තවත් මාතෘකාවක් කතාවට ඇදී ආවේ ය.

“කන්නැද්ද…”

කාමරයට කර පොවා, තවමත් සෝදා ඇඳුම් මාරු කොට හෝ නැතිව යහනේ උඩුකුරුව වැතිරී උන් දුල්නෙත් දෙස බලා ප්‍රියන්ති විමසුවා ය. දුල්නෙත් මඳක් හිස ඔසවමින්, දුරකතනය සවනේ තිබියදී ම අම්මා ට පිළිතුරු දුන්නේ ය.

“මං කාල ආවෙ සුමීරලගෙ බෝඩිමෙන්. අම්මල නිදියන්න”

ප්‍රියන්ති දොර තිර රෙද්ද තවත් මොහොතක් අල්ලා ගෙන සිට, එය අතැර නික්ම ගියා ය.

“එහෙනං ඔයා වොශ් දාල කාල නිදියන්න දුල්නෙත්”

“බඩගිනි නෑ”

“ඒත්…”

“මං ඔයාට දෙයක් කියන්නද…”

“හ්ම්”

“විදුර දැං කාත් එක්කද ඉන්නෙ කියල දන්නවද…”

“ම්හු”

“මංජරී එක්ක. ලිවින් ටුගෙදර්”

හුස්මක් උඩට ඇද්දත් අයානා කිසිත් නො කියා සිටියා ය. ඒ ඇය ගේ හැටියකි. අනුන්ගේ ජීවිත විවේචනය කරන්නට තබා ඒ ගැන වචනයක් කියන්නට හෝ ඕ දහස් වර සිතන්නී ය.

දුල්නෙත් යහනෙන් නැගිට ගොස් කාමරයේ දොර වැසුවේ ය.

“තව දෙයක් කියන්නද…”

“කියන්..න…”

අයානා ගේ මුදු මොළොක් සිනහ හඬ, මීට හෝරා කිහිපයකට පෙර තිබූ දොම්නස් බව මුළුමනින් අකා මකා දැමූ බවක් කියා පෑවේ ය.

“තෑන්ක් යූ”

“ඇයි…”

“මං වෙනුවෙං හිටියට”

අයානා ගේ පපුව හිර වූයේ ය. රාත්තල් ගණනක බරක් පපුව මත පැටවී ඇතිවා මෙන් ඇය දකුණතින් පපුව අල්ලා ගත්තා ය. ඇගේ ඇස් මල් පෙති වඩාත් බිමට හැරිණි. මුළු සිරුරේ ම හිරි වැටීමක් ඇය අත්වින්දා ය. ඒ තරම් ප්‍රේමයට ආසන්න කතාවක් මීට පෙර කිසිදු පිරිමියෙකු ඇගේ සවනට කොඳුරා කියා නැත. 

“මාව හොයා ගත්තටත් තෑන්ක් යූ දුල්නෙත්”

කියා ඇගේ පපුව කෑ ගසා කීවේ ය. නමුත් ඒ වචන වලට පණ දෙන්නට බැරි තරමට ලැජ්ජාව ඇය හිරිවට්ටා තිබිණ.

ඒ වත රතු වී ඇති සැටි දුල්නෙත් හිතෙන් මවා ගෙන සිටියේ ය.

මැදියම් රැයට ආසන්න වන තුරු ම ඒ දුරකතන සංවාදය දික්ගැස්සී තිබිණ. දුරකතන දෙක ම ඒවා රඳවා ගෙන සිටි සවන් පෙති වලට කීවේ රත් වීමක් ගැන කතාවකි. දුල්නෙත් ගේ දුරකතනය බැටරි බැස නිවී යාම ගැන සංඥා නිකුත් කරමින් සිටියේ ය.

“එහෙනං දැං ඔයා නිදියන්න”

අයානාගේ ඇස් පියවී ගිය තරම ය. ආදරය කියන්නේ ඒ තරම් සුවයක් හිතේ දැනවිය හැකි හැඟීමකැයි ඇය නො දැන සිටියා ය.

“කාල ඉන්නෙ කිව්වෙ බොරුවටනෙ. ඔයත් කාල නිදියන්න”

“දැං බඩගිනි නෑ”

“ඒ වුණාට ගෑස්ට්‍රයිටිස් වලට එයි. ඔයා දවල්ට කාලත් නැතුව ඇති”

දවාලේ බත් මුල මිතුරන්ට දී කන්න බෑ කියූ හැටි සිහි වී දුල්නෙත් ගේ මුව සිනහවකින් පොපියෑවේ ය. 

රාත්‍රියේ ඉතිරි හෝරා කිහිපයෙන් ද කොටසක්  නිදි වර්ජිතව හිඳ දුල්නෙත් නින්දට වැටුණේ අළුයම ය. අයානා නම් වැටුණ ගමන් සුවෙන් නිදා ගත්තා ය.

ඒ උදයේ නාලිනී මුළුතැන්ගෙට එන විටත් අයානා කුස්සියේ කිරිබත් උයමින් සිටියා ය.

“මේ මොකද මේ…”

උයනවා කියන්නේ අයානා අකමැති ම දේ බව දන්නා නාලිනී ට ඒ සැබැවින් ම විශ්මයක් වූයේ ය. අයානා මුදු සිනහවක් පෑවා ය.

“දුශ්ගෙ බර්ත් ඩේ එකනෙ…ඒකයි…”

දුරාශා ගේ උපන් දිනය බව ඇත්ත ය. නමුත් සිය දෑතින් ම කිරි බතක් උයා දවස අරඹන්නට වූ ප්‍රීතිමත් බව එය ම නොවන බව අයානා දැන සිටියා ය. 

ඇය දුම් කබලට සුවඳ කුඩු ඉසිමින් පහළට ආවේ කිරි උතුරනා සිතකිනි. පසලොස්වක පොහොය හඳක් වාගේ අයානා ගේ ආත්මය ආලෝකයෙන් වාං දමන්නට විය. ඇය සොබා දහමට ස්තූතිවන්ත වූවා ය. හොඳ ම දේවල් ජීවිතය කරා එන්නට පමා විය හැකි ය. ඒ වෙනුවෙන් ඉවසීම කෙනෙකු ලබන ලොකු ම ජයග්‍රහණය වේ.

අයානා නිර්වාණ ද්වාරය විවර කරත්දී දුල්නෙත් දොරකඩ හිටගෙන හිටියේ ය. ඇගේ ඇස් මුලින් ලොකු වී ඊළඟට පුරුදු සිනහවෙන් විකසිත විය.

පාන්දර යාමයේ ඇහැ පියවුණ ද දුල්නෙත් උදේ ම අවදි වූයේ ය. එවෙලේ ම ඇඳ ගෙන ඔහු විජේරාම ට ආවේ හිත කැළඹිලි සහගත වූ බැවිනි. යම් නො ඉවසිල්ලක් ඔහුව ඉක්මන් කරවූයේ ය. අයානා හිතේ ඈතින් ද මෑතින් ද පායා හිටියා ය.

“ඇස් වහ කට වහ යන්න”

 දුම් කබල දුල්නෙත් ගේ හිස වටා කරකවමින් අයානා තවත් සුවඳ කුඩු පොදක් ඉස්සා ය. ඇගේ දෑස් වලින් ආදරය පිටාර ගලමින් තිබිණි. දුල්නෙත් නිර්වාණ ද්වාර යේ උළුවස්ස වමතින් අල්ලා ගෙන අයානා ගේ මූණ දෙස කෙළින් ම බලා සිටියේ ය. ඇස් පියන් බිමට හරවත්දී ඇගේ මුහුණ රතු වී තිබිණ. 

“ආ…මේ මොකද මේ…ඊයෙ රෑ මෙයා මෙහෙද හිටියෙ…”

කියාගෙන දුරාශා තිරුවානා මිදුලට ගොඩ වූවා ය. මේ වෙලාවේ ඇය ආ එක එක අතකට හොඳ යයි අයානා ට සිතිණ. ඇය දුම් කබල පසෙකින් තබා දුරාශා ව වැළඳ ගත්තා ය.

“විශ් යූ අ හැපී බර්ත් ඩේ දුශ්…”

“තෑන්ක් යූ මැණික”

“බර්ත් ඩේ එකද…අපි දන්නෙත් නෑ”

“ඔව්…හග් කරනව”

දුරාශා හා දුල්නෙත් උනුන් වැළඳගන්නා දෙස අයානා බලා සිටියේ ඇස් වලට කාන්දු වූ තුනී කඳුළු පටලයක් එක්ක ය.

“මං ඊයෙ කොච්චර වෙලා බලං හිටියද එයි කියල…හොඳටම හවස් වෙලා මෙහෙං ගියේ”

ඒ නෝක්කාඩුව දුරාශා ගෙන් දුල්නෙත් වෙතට ය. දුල්නෙත් ලැජ්ජාශීලී ඇස් වලින් අයානා දෙස බැලුවේ ය. නිර්වාණය තුළට ඇරයුම් කරන බැල්මකි ඇය ඔහු ට දුන්නේ.

“කිරිබත් ටිකක් උයං එනව කියල හිතුව. ඒත් වෙලාව නෑ අප්ප දවල් කෑමත් හදල කිරිබත් උයන්න”

“මං හැදුව”

අයානා කහ අරලියා මලක් වාගේ සිනහ වූවා ය. ඇස් දෙක ලොකු කර ගෙන බලා උන් දුරාශා මේසය වෙත ගියේ කලබලයෙනි. කිරිබත පිසුවේ අයානා ය. උම්බලකඩ ලුණුමිරිස නම් ඇය අම්මා ලවා හදවා ගත්තා ය. නාලිනී වගේ රසට කිරිබතට ලුණු මිරිස හදන්න අයානා හඳුනන කිසිවෙකු දන්නේ නැත. රතු ලූණුත් උම්බලකඩත් දෙහිත් පදමට මුහු කෙරෙනා ඒ ලුණු මිරිසත් එක්ක කිරි බත් ඕනේ තරම් කන්නට පුළුවන.

“මේකනං මගෙ බර්ත් ඩේ එක වෙනුවෙං උයපු කිරි බතක් වෙන්න බෑ ගොයියො”

ටික වෙලාවක් කිරිබත් මේසය දෙස බලා උන් දුරාශා අත් දෙක ඉණට ගෙන එසේ කීවේ පසෙක වූ පතුළට කෙසෙල් කොළ කැබැල්ලක් දමා ඇසුරූ කිරිබත් කැබලි සහිත කෑම පෙට්ටිය දුටු ඉක්බිති ය. දැන් මේ හිඳින්නේ පෙර දා හැන්දෑවේ මෙතැන උන් අයානා නොවේ. ඇය සමු ගත් හෝරා කිහිපය තුළ යමක් සිදුව ඇති බව ඉවෙන් වාගේ හැඳින ගත් දුරාශා, ආදරණීය තරවටු බැල්මකින් අයානා හා දුල්නෙත් වෙතින් ඉවතට ගියා ය. 

කෙසෙල් කොළය තවා ගැනීම නිසා ඇති වූ සුවඳ මේ දැනුත් විහිදෙමින් තිබිණ. අයානා කෑම පෙට්ටිය ගෙන දුල්නෙත් වෙත පෑවා ය.

“යාළුවොත් එක්ක කන්න”

ඔහු එය ගත්තේ බර වූ හදවතකිනි. ආදරය පපුවට දැනෙන්නේ වෙනම ම බරක් දනවමිනි. ගැහැනිය පිරිමියෙකු වෙනුවෙන් හා පිරිමියෙකු ගැහැනියක වෙනුවෙන් හදවතින් ම කැප වෙත්දී එක ඇස් බැල්මකින් පවා ඒ බර පපුවට දැනෙයි.  මංජරී ඇසුරේ කොහෙත් ම එවන් හැඟීමක් දැනී නැති බව දුල්නෙත් ට සිහි කර ගත හැකි විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles