මල්වර මල් සර -33

සඳුදා වරුවෙන් නිර්වාණ ද්වාර ය වසා දැමිණ. දුරාශා උත්සාහ කළේ ඒ වරුව නතර වී අයානා වෙනුවෙන් කළ හැකි උදව්වක් කරන්නට ය. නමුත් අයානා ඊට ඉඩ නො දුන්නා ය.

“ඇත්තටම නිර්වාණෙ වැහුවත් මට කරන්න ලොකු වැඩක් නෑ. හිතේ තියන අමතු ගැස්ම නිසයි මේක වහල දාන්න හිතුවෙ. ඔයා අදත් දවසම වැඩ කරල හෙට පෝය දවසෙත් එනව කිව්වහම සහන් රණ්ඩුවක් අල්ලයි  ඒක නිසා දැන් ගිහින් හෙට එන්න”

“මං කොහොමත් හෙට එනව අයා”

දුරාශා අයානා ගේ අතක් අල්ලා ගත්තා ය.

“මේ වගේ වෙලාවක මං ඔයාව තනි කරන්නෑ”

“මං දන්නව. අදට වඩා හෙටයි ඔයා ඉන්නෝනෙ දුශ්. මං දන්නෑ මොන වගේ තත්වයක් ඇති වෙයිද කියල. මං සතුටු වෙන්න හිතපු හුඟක් වෙලා වල ඒක ඉවර වුණේ කොහොමද කියල ඔයා දන්නවනෙ…හෙට මගෙ අත තදින් අල්ලගෙන මාව බදා ගන්න බලාගෙන ඔයා මං ළඟ ඉන්නම ඕනෙ. උදේට උය උය ඉන්න කරදර වෙන්න එපා. අපි හොඳ තැනකින් කෑම ඩිලිවර් කරමු සහන්ට. පැටව් දෙන්නව අරං එන්න”

“හරි හරි ඒව බලමුකො. එහෙනං ඔන්න ඔය ගැන හිත හිත වද වෙන්න බෑ හරිද…සතුටෙන් ලෑස්ති වෙන්න ඕන”

“හ්ම්”

සිනහ වී දුරාශා ට සමු දුන්නා ට නො නවතින ගැස්මක් අයානා ගේ හදවතේ විය. ගේ අස් පස් කළාට ඇගේ හිත තිබුණේ ම ලොකු කල්පනාවක පැටලී ය.

“විදුර ඒ වෙලාවට මෙහෙට එයිද අම්මෙ…”

තවත් හිතේ හිර කර ගෙන ඉන්නට බැරි වෙලාවක ඒ බය වචන වී අයානා ගේ මුවෙන් පිට පැන්නේ ය. නාලිනී දියණිය දෙස බලා උන්නේ දෑස් ලොකු කර ගෙන ය. අම්මා කෙනෙකු වශයෙන් ඇගේ පපුවේ වූ බර ගැන පැහැදිලි කරන්නට හෝ ඇය දන්නේ නැත. දස මසක් කුස දරා ගෙන සිටියදී ද දහම් සේ නොව අයානා ඇයට කිසිදු වද වේදනාවක් නො දුන්නා ය. ඇය ලෝකයට බිහි වූයේ ද දරා ගත නො හැකි වේදනාවක් නාලිනී ට නො දෙමිනි. ළමා වියේදී ද අයානා කරදර නොකළ දැරියක වූවා ය. ඇය දහම් ට සාපේෂව දඟ වැඩ නො කළා ය. නිහඬ බවට රිසි වූවා ය. අධ්‍යාපන කටයුතු වලදී වුව කවුරුන්වත් බලපෑම් කරන තුරු නො සිට ඇගේ වැඩ කර ගත්තා ය. ඒ වාගේ ම ඇය නිතර ම සාධාරණය පැත්තේ සිටියා ය. සිය විවාහය අවලංගු කර දමන්නට තරම් දිරියක් ඇයට තිබුණේ ද තමන් ගැන සිතනවාට වඩා අනුන් ගැන සිතන්නට තරම් සාධාරණ වූ හින්දා ය.

එහෙම කෙල්ලකට වරදින්නට පුළුවන් දැයි නාලිනී හිතුවා ය. නමුත් මේ ලෝකය අමුතු ය. සමහර වෙලාවට අගතියක් සිදු වන්නේ හොඳ මිනිසුන්ට ම ය. හෙට දිනයේ දී විදුර මෙහි විත් යම් කිසි සිදු වීමක් වුව හොත් අයානා ගේ ජීවිතය යළි පිළිසකර කළ නො හැකි අගාධයක ගිලී යනු ඇති බවට භීතියකින් ඇය කීරි ගැසී ගියා ය.

“ඇත්තටම එහෙම මුකුත් වෙයිද ඒයි…”

නාලිනී සිය සැමියා වන රෝහණ වෙතින් එසේ විමසූයේ අවශ්‍ය කලමණා ටිකක් ගෙන එන්නට විජේරාම හන්දියේ සුපිරි වෙළෙඳ සැලකට යන අතර මෝටර් රථයේ දී ය.

“කෙල්ල හොඳටම බය වෙලා ඉන්නෙ. ගිය සැරේ කසාදෙට ලෑස්ති වෙද්දි අර ගෑනු ළමයෙක් ඇවිත් විදුර එයාව බඳින්න පොරොන්දු වෙලා ඉන්නෙ කියල දරුවගෙ හිත බිඳල දැම්ම. යාන්තං කෙල්ල හිත හදා ගත්ත විතරයි. විදුර ඇවිත් මොකක් හරි බොරුවක් ගොතල කියල මේක කඩාකප්පල් කළොත් නං…”

“ඔයා බය නොවී ඉන්න”

රෝහණ එහෙම කීවේ නිකං කටට ආවාට ම නොවේ. විදුර අයානා හා දුල්නෙත් අතර වන සම්බන්ධයට බලපෑම් කරන බව දැන ගත් දා සිට ම රෝහණ මේ ගැන කල්පනා කරමින් සිටියේ ය. අඩු තරමින් නාලිනී සමග හෝ ඔහු ඒ බව කතා කොට නැත. 

“එහෙම වුණොත් මං ඕකව ඉතුරු කරන්නෑ”

“ඒකව ම ර ල හිරේ ගියත් මොකටද…අර මිනිස්සු අපේ ළමයව ප්‍රතික්ෂේප කළොත් එහෙම…”

“මං වැඩේට පෝය දවස දා ගත්තෙත් ඒකමයි. කැම්පස් නිවාඩුනෙ…අපි බලමු මොකද වෙන්නෙ කියල”

නාලිනී නිහඬ වූයේ රෝහණ ව විශ්වාස කරන්නට ඇගේ වන පුරුද්ද නිසා ම ය. ඔහු හැමදාමත් ඔවුන් ගේ පවුල වටා ආරක්ෂක පවුරක් සරි වූයේ ය. විශේෂයෙන් ම අයානා කියන්නේ ඔහු ගේ හුස්ම ටික බව නාලිනී දනී.

“කොහොමත් මේ වගේ දෙයක් ගොඩනගන්න ඕන ඇත්ත කියන පදනම උඩයි නාලිනී. අපි ඒ අයට බොරු කියන්නවත් මුකුත් හංගන්නවත් ඕන නෑ. හෙමිහිට ඇත්ත කතා කරමු. දැන් නැතත් පහු වෙලා හරි මේව පිටිං ආරංචි වුණොත් ඒක ඊට වඩා නරකට හිටින්න පුළුවන්..ම්…”

“ඒක ඇත්ත”

නාලිනී සුසුමකින් නිවුණා ය. ඒ බර හිතෙන් ඉවත් කොට පසෙකින් තැබිය යුතු යයි ඇය සිතුවා ය. අයානා නිතර ම කියන්නේ හදවත මත කුඩා බරක් හෝ තියා නො ගන්නා ලෙසයි. ටික ටික ඒ බර වැඩි වී අසාධ්‍ය විය හැකි ය කියා ද බරකින් තොර ව සැහැල්ලුවෙන් ඉන්නා තරමට නිරෝගී ව සිටිත හැකිය කියා ද ඇය නිතර නාලිනී ට උපදෙස් දෙයි.

“එන විදිහකට මූණ දෙමු”

ඒ සුසුමේ කෙළවර ඇය එසේ කීවා ය.

එදා මැදියම් රැයක් වන තුරු අයානා හා දුල්නෙත් දුරකතනය ඔස්සේ සම්බන්ධ වී සිටියහ. බියක් නො පෙන්වන්නට අයානා උත්සාහ කළ ද ඇගේ හිතේ වූ භීතිය ඔහු ට නො දැනුණා නොවේ. ඇගේ හිත සනසනු වස් ඔහු නොයෙක් දේ කීවේ ය. 

“අපේ තාත්ත අම්මව ගෙනාපු විදිහ මට කියලනෙ තියෙන්නෙ. ඒ තාත්තගෙ පුතා විදිහට ඔයා මාව විශ්වාස කර ගෙන ඉන්න. මොන ප්‍රශ්න ආවත් දවසක අපි අපේ වෙලා ඉඳියි”

ඒ වචන ටික අයානා ගේ හිතේ ඉතා තදින් ලැගුම් ගත්තේ ය. එනිසාවෙන් ම බිය පසෙකින් තබා හිත සවිමත් කොට ගෙන මේ සිදුවීමට මුහුණ දීමේ ශක්තිය ඇතිව ඇය උදෑසන ම අවදි වූවා ය.

දුරාශා ගේ ගෙදර තිබුණේ වෙන ම තත්වයකි. පෝය දවසේත් නිර්වාණයට යාම ගැන සහන් පාන්දරින් ම රණ්ඩු කරන්නට ගත්තේ ය.

“කවුද දන්නෙ තමුසෙ මොන මගුලක යනවද කියල. වැඩට යනව කිය කිය මොකෙක් එක්ක හරි කොහෙ හරි රිංගනව ඇති. මොකද මං බලං ඉන්නෙ නෑනෙ”

ඔහු ගේ කතාව දුරාශා ගේ හිතේ මහත් අප්‍රසන්න බවක් දැනවී ද ඇය නිහඬ ව සිටියේ ඒ වගේ කතා හැදීම ඔහු ගේ මානසික ව්‍යාධියක් යයි දැන් දැන් ඇයට අවබෝධ වෙමින් තිබීම නිසා ය.

“ගෙදරින් එහාට අඩියක් තියන්නෑ. අද පෝයනෙ. රස්සාවට යනව නෙවෙයිනෙ”

දුරාශා ගේ සීමාව ඉක්මවා ගියේ සහන් ගේ ඒ විධානයත් එක්ක ය. බොහෝ සිදුවීම් වල දී පියා ගෙන උන් ඇගේ මුව විවර වූයේ ඒ වෙලාවේ ය. ඇගේ ඇස් වලින් පිට වූයේ වෛරයේ ගින්දර නොවේ. ආත්ම අභිමානයේ අපරාජිත කිරණ ය. ඇයට තව දුරටත් ඔහු ගේ පය ට පෑගී ඔහු ගේ අවලස්සන කතා අසමින් මිරිකී සිටින්නට ඕනෑ වූයේ නැත. ජීවිතයේ එක වතාවක් හෝ තමන් වෙනුවෙන් නැගී සිටිත යුතු බව කුමක් හෝ බලවේගයක් විසින් ඇගේ කනට කොඳුරා කියමින් තිබිණ.

“මං යනවමයි සහන්. ඔයාට බෑ මාව නතර කරන්න. ඔව් අද වැඩ නෑ තමයි. ඒත් අයානාගෙ ජීවිතේ අද වැදගත් දවසක්. මං එයා ළඟ ඉන්න ඕනම දවසක්. මං අවුරුදු දෙක තුනක් තිස්සෙ ඒ කෙල්ලගෙන් පඩියක් අර ගන්නව. මෙහෙමවත් ඔයා එක්ක ඔළුව උස්සල ඉන්නෙ එහෙම කීයක් හරි හම්බ කරපු නිසා. මට කිසි දෙයක් අමතක නෑ සහන්. මේලෝකෙ වරදක් කරන්නැතුව මං ඔයාගෙං ඕන තරං නින්දිත කතා අහගෙන තියනව. මං ඉවසං හිටියෙ පොඩි උන් දෙන්න නිසා. හැබැයි එහෙමයි කියලත් දිගින් දිගටම නින්දා විඳින්න මං ලෑස්ති නෑ. මොකද මාත් ගෑනියෙක්. මටයි කියලත් ආත්ම ගෞරවයක් තියනව. ඔයා හිතනව ඇති ගෑනියෙක්ට එක මිනිහෙක්ගෙං සෑහීමට පත් වෙන්න බැරුව පිරිමි කීප දෙනෙක් තියං ඉන්න ඕනයි කියල. ඔයා හිතනව ඇති මං මේ හැම වෙලේම එක එක මිනිස්සු එක්ක යනව කියල. මන් දන්නෑ ඔයා මොන හේතුවක් නිසා ඒ වගේ විකාර හිතනවද කියල. සමහර විට ඒක මානසික ප්‍රශ්නයක් වෙන්න ඇති. එහෙමනං ඒකට බෙහෙත් අරං හොඳ කර ගන්න. ඕන්නං මං සයිකෑට්‍රිස්ට් කෙනෙක් චැනල් කරල ඔයාව එක්කං යන්නං. හැබැයි සහන් ඕගොල්ලො වගේ පිරිමි කොහොම හිතං හිටියත් ගෑනුන්ට බැරි නෑ පිරිමියෙක් නැතුව ජීවත් වෙන්න. අනේ ඕන තරං පුළුවන්. ටිකක් මහන්සි වෙන්න වෙයි. සමාජෙ අනිත් ඔයා වගේම හිතන පිරිමින්ගෙන් ටිකක් කරදර එයි. ඒත් තනියම ජීවත් වෙන්න වුණත් මං බයයි කියල හිතන්නෙපා. ඔයාට ඔච්චර සැකනං මාව අත්ඇරල දාන්න. හැබැයි මට මාව විශ්වාසයි. ඒ වගේම මං මට අවංකයි”

වෙනදා ට අඩි හප්පා බඩු පොළොවේ ගසා දුරාශා ව බය කර ගන්නට හදනා සහන් ඒ වෙලාවේ මුළුමනින් හැකිලී ගියේ ය. ඔහු ගේ මුවට එක වචනයක් හෝ පැමිණියේ නැත. දුරාශා දරු දෙදෙනාව ද සූදානම් කර ගෙන නිර්වාණය වෙත ආවා ය. ඇයට ජයග්‍රාහී හැඟීමක් දැනිණ. වෙන කවුරුන් හෝ ඇය වෙනුවෙන් පෙනී සිටින්නට පෙර තමන් ම එසේ කිරීමේ ආත්ම අභිමානය ඇගේ මුහුණේ හසරැල්ලක් ඇඳ තිබිණ.

එදා නාලිනී ගේ කෑම වල සුවඳින් ගෙදර පිරී ගියේ ය. දුරාශා ඇයට අත් උදව් දුන්නා ය. කුස්සිය සිනා කතා වලින් ප්‍රාණවත් ව තිබිණ.

“ගෑනු තුන් දෙනෙක් එකතු වුණහම මෙහෙම සද්දනං තව කොහෙද හත් අට දෙනෙක් එකතු වුණානං…”

රෝහණ කුස්සියට එබී විහිළුවක් කළේ ය.

“ගෑනු කොච්චර ප්‍රබලද කියල ඒගොල්ලොම දන්නෑ අංකල්. ගෑනු හරියට කට ඇරිය දවසට පිරිමින්ට කටවල් වහ ගන්න වෙන්නෙ ජීවිත කාලෙටම…”

දුරාශා එහෙම කීවේ සිනහ වෙමිනි. නමුත් ඇගේ ඇස් වල දීප්තිමත් බවේ කිරණ කදම්බ සමූහයක් ඒකරාශී ව තිබිණ. රෝහණ සිනහ වෙවී කුස්සියෙන් නික්ම ගියේ ය. බවලතුන් තිදෙන ඇසින් ඉඟි කොට මහ හඬින් සිනහ වූහ.

ඔවුන් නිර්වාණය ඉදිරියේ බව දුල්නෙත් අයානා ට ඇමතුමක් දී කීවේ ය. අයානා පිය ගැට පෙළ දිග දිව විත් නිර්වාණ ද්වාරය විවර කළා ය. ලොකු මල් කළඹක් අතේ ඇතිව ප්‍රියන්ති ඇදෙස බැලුවේ සිනහවකිනි. ඊළඟ මොහොතේ මල් කළඹ ප්‍රියන්ති අතින් අයානා අතට මාරු විය. පිළිගැනීමේ හාදුවක් ද හුවමාරු වූයේ ය. ප්‍රියන්ති ගේ ඇස් වල අයානා ගැන නො පැහැදීමක සේයාවක් හෝ නො වී ය. සේනක දුල්නෙත් දෙස බලා ඉඟියක් කළේ ය. දුල්නෙත් ගේ මුහුණට සිනහවක් ඇවිත් නතර විය.

“යමු අම්ම උඩට…තාත්ත යමු”

අයානා සේනක ව ද වැළඳ ගත්තා ය. 

“අපේ එකාගෙ තෝර ගැනිල්ල තමයි තෝර ගැනිල්ල…නැද්ද ප්‍රියා…මේ බෝනික්කෙක්නෙ”

ප්‍රියන්ති අයානා ගේ කම්මුලක් පිරිමැද ඈ අනුව පිය ගැට පෙළ නැඟුණා ය. ඒ අඩි කිහිපය සංසාරයක් තරම් දුර සේ අයානා ට දැනිණ. ඇය හුස්මක් ගත්තේ අන්තිම පඩියත් නැගුණ ඉක්බිති ය. රෝහණත් නාලිනීත් දුරාශාත් පිය ගැට පෙළ ඉස්මත්තේ අලුත් නෑයින් පිළිගන්නට සැදී පැහැදී සිටියහ. 

කෙසේ වෙතත් ඒ අන්තිම පියවර තබත්දී ප්‍රියන්ති ගේ ඇස් ලොකු වූයේ ය. අදහා ගත නො හැකි යමක් සිදු වෙමින් ඇති බව ඇය ට ක්ෂණික ව දැනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles