සැමියාගේ අලුත් පෙම්වතියගේ දරුවා වෙනුවෙන් දික්කසාදය තෝරා ගත් බිරිඳක්

(නීතිඥ හසිතනී උපේන්ද්‍රා ජයරත්න මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් සකසා ඇත.වෘත්තිය ආචාරධර්ම වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ.)

චාමර සහ හසිනි මුණ ගැසෙන්නේ කොරියාවේ දී. විදේශ රටකදී මුණ ගැසෙන ලාංකිකයන් එකිනෙකාට කොහොමත් කිට්ටු අය වෙන්නේ ඉතා ඉක්මනින්. රැකියාව පිණිස මව්බිමෙන් ඈත් වී සිටියදී මුණ ගැසෙන ඔවුන් දෙදෙනා එකිනෙකාට බොහෝ සමීප වන්නේ හසිනි අසනීප වී සිටි කාලයක චාමර ඇයට කරන උපකාර නිසා.

“අසනීපයක් වුණාම තමන්ගෙම කියලා අය ළඟ නැතුවම තියන වේදනාව මම දන්නවනෙ. හසිනිට ඕනෑ උදව්වක් ඉල්ලන්න.”

චාමර එසේ කියා නවතින්නේ නැහැ. ඔහු ඇයට අවශ්‍ය ඖෂධ සොයා දෙනවා. කන්නට නොහැකි බව කියමින් ආහාර වර්ජනයේ යෙදෙන හසිනිට යූ ටියුබ් බලමින් ලාංකීය කෑම පිසිනවා. හසිනි රෝහලේ සිට නැවත ඇගේ නවාතැනට එද්දී චාමර එය හොඳින් අස්පස් කර අවසන්.

“චාමර කියන්නේ හස්බන්ඩ් මැටීරියල් එකක්.”

මිතුරියන් සමඟ හසිනි සරදමට මෙන් එසේ පැවසුවත් ඇය ඒ වනවිටත් ඒකපාර්ශ්වික චාමරට ආදරය කරන්නට පටන් ගෙන අවසන්. නමුත් ඇයට චාමරට ඒ බව කියන්නට ශක්තියක් නෑ. ඇය ඉන් පීඩා වින්දත් ඇගේ උපන්දිනය දවසේ සිදු වන්නේ අපූරු දෙයක්.
හසිනිට එදින ඇගේ ලාංකීය මිතුරු මිතුරියන් සහ විදෙස් මිතුරන් කිහිප දෙනෙක් උපන්දින සාදයක් සූදානම් කරනවා. හසිනි එයට සහභාගී වෙන්නේ ඉතා ආසාවෙන්. ඇය උපන්දින සාදයට අඳින්නට තෝරා ගන්නේත් චාමර ඇයට ලස්සනම පාට බව පැවසූ දම් පැහැ සාද ගවුමක්. නමුත් සාදයට යන හසිනිගේ මුහුණ බෙරි වී යන්නේ එක්තරා හේතුවක් නිසා. ඒ ඇයගේ සිහින පෙම්වතා එහි කොහේවත්ම නොවීම හේතුවෙන්.

“කෝ චාමර”

ඇය දෙදෙනාගේ පොදු මිතුරන්ගෙන් එසේ අසනවා. සමහරු එයට ප්‍රතිචාර දෙන්නටවත් උනන්දු වූයේ නැහැ.ඒ නිසා සාදය හසිනිට කිසිම සතුටක් ගෙනාවේ නෑ. නමුත් සියල්ල සුන්දර අතකට පෙරළුණේ හිටිහැටියේමයි. හදිසියේ සාදය පවත්වන තැන විදුලි ආලෝකය නිවී ගියා. Twlight සිනමා පටයේ තේමා ගීතය ඇසෙන්නට ගත්තා. හසිනිට සිතා ගන්නට නොහැකි වූයේ ඇය ඉදිරියේ මුදුවක් දිගු කරගත් චාමර දකිද්දී.

“අපි ලංකාවට ගිහින් ලස්සන වෙඩින් එකක් ගමු.”

දෙපාර්ශවයේ ඥාතීන්ට සම්බන්ධය දැනුම් දුන් පසු ඔවුන් එසේ කතිකා කරගත්තා. උඩරට මනාලියක් ලෙස පළමු දිනයේත් හින්දු මනාලියක් ලෙස දෙවැනි දිනයේත් හසිනි සැරසුණා. එය සිහිනමය මංගල උත්සවයක්.

එතැනින් පස්සේ ඔවුන්ගේ ජීවිතය ද ඉතා සුන්දර එකක් වුණා.කොරියාවේ කුඩා අපාට්මන්ට් එකක ඔවුන් ජීවිතය ආරම්භ කළා.

“අපි තව අවුරුදු කීපයක් මෙහෙම රස්සාව කරලා ලංකාවට ගිහින් බබෙක් හදමු.”

ඔවුන් එහෙම තීරණයකට එළඹුණා.ඕනෑම සුන්දර කතාවක් හදිසියේ අවසන් වී යන්නට පුලුවන්. චාමර සහ හසිනිට ඔවුන් අතර නොගැළපීම් තදින්ම දැනෙන්නට පටන් ගන්නේ වසර පහකට පසුවයි. 

“ඔයාට මොකද චාමර වෙලා තියෙන්නේ. දැන් අපි අතර සෙක්ස් ලයිෆ් එකක්වත් නෑ. ඔයා ඕනෑවට වඩා බොන්නත් පටන් අරන්.”

හසිනි එසේ කියද්දී චාමරටත් කියන්නට දේවල් තිබුණා.

“ඔයා මට නොකියා බෑන්ක් එකවුන්ට් එකක් පටන් අරන්.පෙරේදා මං ජනකගෙ ණය බේරන්න සල්ලි තියනවද ඇහුවම නෑ කියපු ඔයා මෙන්න දැන් චේන් එකක් අරන්. ඔයා දැන් මගෙන් රහස් හංගනවා. බොරුත් කියනවා.”

ජීවිතයේ අරමුණු වෙනස් වී ඇති බවත් දෙදෙනාට දෙදෙනා නුරුස්නාකම් ඇති වෙන බවත් ඔවුන්ට වැටහුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ රණ්ඩුවක් ඇති කරගන්නා මට්ටමට නොයා හිඳීමටයි.ආදරය අවසන් වුවත් දෙදෙනා අතර පවතින මිත්‍රත්වය නිසාම දෙදෙනා මේ ගැන අවබෝධයෙන් කතාබහ කරන්නට පටන් ගත්තා.

“අපි වෙන් වෙමු. ලංකාවට ගිය කාලෙක ඩිවෝස් වෙමු. නිකං හතුරුකමට ගෙයක් අස්සෙ ඉන්න ඕනෑ නෑනෙ.”

හසිනිගේ යෝජනාවට චාමර ද එකඟ වෙනවා. ඔවුන් වෙන් වෙන්නට තීරණය කරන්නේ ඉන්පසුවයි. එය දික්කසාදයක් නොව එකිනෙකාගෙන් දුරස් වීමක්.තරුණ ජීවිත බොහෝ කාලයක් ආදරයක් නැතුව ඉන්නේත් නැහැ.චාමරත් හසිනිත් තව දෙදෙනෙකු ආදරය කරන්නට පටන් ගන්නවා. ඒ අය සමඟ Living together ජීවත් වීම අරඹනවා.

“චාමර, මම අම්මා කෙනෙක් වෙන්න යනවා.”

කාලයක් යද්දී චාමරගේ කොරියානු පෙම්වතිය ඔහුට දැනුම් දෙනවා. දැන් ඔහු ඇය විවාහ කර ගත යුතුයි. ඊටපෙර හසිනිගෙන් දික්කසාදය ලබා ගන්නට අවශ්‍යයි. මේ ගැන හසිනි සමඟ විවෘතව කතා කරන්නට චාමර තීරණය කරනවා.

“මුලින්ම ඔයාටයි ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ටයි මගෙන් සුබ පැතුම්. අපි කොහොමත් ලංකාවට ගිහින් දික්කසාද වෙන්න හිටිය අයනෙ. ඒත් දැන් ඒක ඒ විදියට නිස්කාංසුවේ කරන්න බෑ. අපි ඉක්මනින් මේක කරගන්න විදියක් බලමු.”

එසේ පවසන හසිනි චාමරට දොස් නගන්නේ එකම කාරණාවකට පමණයි. ඒ පෙම්වතිය ගැබ් ගත් බව ඔහු අප්‍රේල් මාසය අග දැන ගත්තත් එය හසිනිට දන්වන්නට ජූනි මාසය දක්වා ප්‍රමාද වීම ගැනයි.

“මේ රටේ හැටියට කසාදයක් නැතුව බබා ලැබෙනකොට ප්‍රශ්න මතු වෙන්න පුලුවන්. ඒ නිසා දැන් අපි බලන්න ඕනෑ කොහොමද ඉක්මනින් ඩිවෝස් වෙන්නේ කියලා.”

නූපන් බිළිඳෙකුට සාධාරණයක් ඉෂ්ට කරන්නට සිතමින් දික්කසාදයට මුලින්ම වෙහෙසෙන්නේ ද හසිනි. ඇය මා අමතන්නේ ඉන්පසුවයි.

ඒ අවශ්‍යතාව මත ජූලි මාසයේ තුන්වැනිදා ඔවුන් දික්කසාද නඩුව ලංකාවේ ගොනු කරනවා. නඩුව පවරන්නේ හසිනි විසින්. Power of attorney මඟින් දෙදෙනාම ලංකාවේ සිටින  ඥාතින්ට නඩුව ඉදිරියට ගෙන යාමට බලය පවරනවා. ජූලි 16 වෙද්දී නඩුවේ සිතාසි නිකුත් වෙනවා. චාමරගේ නඩුවේ සිතාසි ලැබෙන්නේ ඔහුගේ සහෝදරයා වූ වරුණට. නඩුව අගෝස්තු විසි අට වැනිදාට නියම වූ නමුත් ඔවුන් ඉතාම ළඟ දිනයක් ඉල්ලා මෝසමක් ගොනු කරනවා. ඉන් පසු අගෝස්තු තුන්වැනිදාට නඩුව නියම වෙනවා. විත්තියෙන් විරෝධතා නැති බව එහිදී කියවෙනවා. දිවුරුම් ප්‍රකාශ මඟින් පැමිණිල්ල සාක්ෂි ලබා දීමටත් එහිදී අවසර ඉල්ලා සිටිනවා.දෙසැම්බර් මාසයේ දරුවා ලැබෙන්නට සිටින නිසා ඊට කලින් නෛසයි නියත තීන්දුව ලබා ගන්නට කටයුතු කළ යුතුයි. ඒ දරුවාට නිවැරදි පිතෘ භාවය ලබා ගැනීම වෙනුවෙන්.

නොවැම්බර් තුන්වැනිදා ඔවුන්ගේ දික්කසාද තීන්දුව ලැබෙනවා.

මේ ලිපිය මඟින් අපි ඔබට පැහැදිලි කළ කාරණා දෙකක් තිබෙනවා.පළමුවැන්න වෙනත් රටක සිටියදී දික්කසාදය ගොනු කළ හැකි නිවැරදි ආකාරයයි. අනිත් කාරණාව නිවැරදි ආකාරයෙන් ලියකියවිලි ලබා දීමෙන් දෙදෙනාම ලංකාවේ නැති වුණත් ඉක්මනින් සහ පහසුවෙන් දික්කසාදය ලබා ගත හැකි බවයි. පැමිණිල්ලේ සාක්ෂි ප්‍රකාශය ලිඛිතව ලබා දීමේදී කළ යුතු පිළිවෙළ වන්නේ ඇය ඒ රටේ ඉන්නා බැවින් මෙසේ දිවුරුම් ප්‍රකාශ ලබා දෙන බවට තවත් දිවුරුම් ප්‍රකාශයක් ලබා දීමයි.

චාමර ඉන්පසු ඔහුගේ පෙම්වතිය සමඟ විවාහ වුණා. ඒ දරු ප්‍රසූතියට පෙර දිනයකදී. දරුවාට නීත්‍යානුකූල පිතෘ භාවය ලබා දෙන්නට ඒ මඟින් ඔහුට හැකියාව ලැබුණා. කැමැත්තෙන් වෙන් වූ පසු චාමරගේ ජීවිතයේ ඇති වූ වෙනස්කම බාර නොගෙන දික්කසාදය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම වැනි දේ නොකළ හසිනි ද ඇගේ පෙම්වතා සමඟ විවාහ වුණා. ඇය මේ වෙනවිට සැමියා සමඟ වෙනත් රටකට සංක්‍රමණය වී සිටින අතර මව්පදවියට ද සැරසෙනවා.

අවබෝධය සහ එකිනෙකාට ගරු කිරීම නීතිමය කටයුතු පවා පහසු කරවන බව මේ කතාවෙන් හෙළිවන තවත් සත්‍යයක්.

Related Articles

Don't Miss


Latest Articles