ඒ වෙලාවේ බෝ ගස් හන්දියට මත්තෙන් අහස තද ආකාස නිලෙන් යුතු වූවේ ය. ඝණ සුදු කැටි වලා කිහිපයක් එක පසෙක නතර වී තිබිණ. පරෙවියන් කිහිප දෙනෙකු ඉහළ අහසේ පියාසරනු පෙනුණේ ය. හිරු කිරණින් නැහැවුණු ඔවුන් දීප්තිමත් සුදු පැහැයකින් මගේ නෙත ගැටිණ.
බෝ ගස් හන්දියේ වැඩි කලබලයක් වූයේ නැත. කවුරුත් තම තමන් ගේ දෛනික කටයුතු අතරේ කිමිද සිටියහ. සුනාමියක් ඇවිත් තිබුණේ මගේ හදවත වෙත ය. ‘ඇයි ඒ සින්දුවට ආස’ කියන ඔහු ගේ වචන මගේ මනසේ පිළිරැව් නැගුණේ ය. ඒ ගීයේ වදන් අරුත ගැන මට සිහි වූයේ ඒ සුනාමිය අතරේ ය.
“සිඟමන් යදින්නට ආදරේ..පොහොසත් වැඩියි ඔබෙ මන්දිරේ…බිම බලා ගන්නෙමි ජීවිතේ…ඉරණම මෙයයි සංසාරයේ…”
ඒත් එක්ක ම මගේ දෙතොල් අතරේ සිනහ රේඛාවක් නැගෙන්නට ඇත. ඔහු සිය අගාධ දෑසින් මා විනිවිද බලා ගෙන ම සිට ඇති බව දැනුණේ ඉනික්බිති ය.
“මන්දා…ඒක කොහෙත්ම මගෙ ජීවිතේට සම්බන්ද තේරුමක් තියන සින්දුවක් නෙවේ. ඒත් ඒ වචන වලින් දනවන්න හදන හැඟීම බලන්න..ඒ යෙදුම්…ඒක ඇහෙන හැම වෙලාවෙම පපුවට මොකද්ද වෙලා යනව”
“ඒ සිංගර් කොහොමත් පපුවට දැනෙන්න කියන කෙනෙක්”
ඒ කියන්නේ ඔහුත් ඒ ගීයට කැමතියි කියන එක ද? කොහොම වුණත් ඔහු එය අසා තිබේ. එහි ගායකයා ගැන ද දනී.
“ඔව්. ගායකය කොහොම වුණත් මං ඒ වචන වලට ආසයි. ඒක ලිව්වෙ විහාර වෛශාක්‍ය. එයා තව සින්දු කීපයක් ලියල තියනව. ඒ හැම එකක්ම පුදුම අමුතු විදිහකට ෆීල් වෙන සින්දු. කෙලින් ලොකුවට මුකුත් නොකියා…එයා එයාගෙ වචන ඇතුළෙ මොනා හරි හංගල තියනව. අන්න ඒ හංගපු දේවල් තමයි අපේ පපු වලට පිහියෙන් ඇනල රිද්දන්නෙ. මට ඒව දැනෙන්නෙ අපිට නොතේරෙන දිව්‍යමය භාෂාවකට අයිති වචන වගේ. නොතේරුණා වුණත් ඒව හරියට දැනෙනව. සංගීතය විශ්ව භාෂාවක් කියන එකත් එක්ක තමංගෙ වචන හරියටම මුහුන් කරන කෙනෙක් විහාර. මං එයාව දකින්න වුණත් හරි ආසයි. ඒත් ටීවී ප්‍රෝග්‍රෑම් එකකවත් කවදාවත් එයාව දැකල නෑ. මං ෆේස් බුක් එකෙත් එයාව සර්ච් කළා. ෆෑන් පේජ් එකක්වත් නෑ”
නන්නාඳුනන පුද්ගලයෙකු ඉදිරියේ ඒ තරම් ලොකු කතා බහකට වැටෙන්නට තරම් ඒ වගේ මාතෘකාවක් පිළිබඳ හිස්තැනක් හිතේ තිබී ඇති බව මට වුව දැනුණේ බලාපොරොත්තු සුන් වූ බවක් හඟවන කට ඇද කිරීමකින් ඒ කතාව අවසාන කළාට පස්සේ ය. ඔහු ට සිනහවක් නැගිණ. ඒ මා ඔහු ගෙන් දුටු මුල් ම සිනහව ය. එය මා උමතු කරන්නට තරම් ආශ්චර්යයක් තැවරී තිබූ අහංකාර මන්දහාසයකි. මා කීවේ එහෙම හිනා යන කතාවක් ද? කොහොම වුණත් වැහි මන්දාරමක් අතරින් රත්තරං පාට ඉර එළියක් වැටුණා සේ ඒ හිනාවෙන් මගේ හද මන්දිරය එළිය විය.
ඔහු පයිනැපල් ජූස් උගුරක් බීවේ ය. වීදුරුව අතින් ගෙන මඳක් ඔසවා එදෙස බැලුවේ ය. එය රස ද නැත්ද කියා දැන ගන්නට මා උනන්දු වූයේ නැත. රැවුල් කොට වැවුණ මුහුණක, දුක් ගීතයක් වාගේ ඇස් දෙකක් ඇති මූණක කියවෙන නො කියවෙන කතා දස දහසක් අතරේ මං මුලා වෙන එක කෙතරම් අරුමයක් ද කියා මම අත් විඳිමින් සිටියෙමි.
“වින්ටේජ් කාර් කලෙක්ශන් එකක් තියනවද…ඒ ඔස්ටින් එකයි මේ මොරිස් මයිනර් එකයි දෙක ම මාර ක්ලැසික්. වොක්ස්වැගන් බීට්ල් එකක් නැද්ද…මං ආසයි බීට්ල් එකට…”
“ඔයා වින්ටේජ් ක්ලැසික් කාර් ගැනත් දන්නවද…”
එය තවත් සිනහවක් එක්ක නැගුණ පැනයකි. මම මූණ පිරෙන්නට සිනහ වුණෙමි.
“බීට්ල් එකක් නෑ ඔස්ටින් මිනි කූපර් එකක්නං තියනව. ඒකට පොඩි ගරාජ් ප්‍රශ්න වගයක් ඇවිත් තියෙන්නෙ මේ දවස් වල”
“වින්ටේජ් කාර් එකක් දැක්කම තේරෙනව ඒක කොච්චර කොලිටිද කියල…මොඩර්න් කාර් වල තියෙන්නෙ ඇහැ රවට්ටන ශයින් එකක් විතරනෙ. ඒ පිම්බීම අමතක කළොත්…වින්ටේජ්…කියන්නෙ කොහොමත් ඉතිං හයි කොලිටි තමයි..”
“තව මොනාද දන්නෙ…”
ඔහු නිකටෙහි අතක් ගසා ගෙන දිග කතා බහකට සූදානම් බවක් හැඟවී ය.
“ආ…”
ඔහු ගේ ඒ ප්‍රශ්නය ළඟ කරකවා අත් හැරිය බවක් මට දැනිණ. ඔහු ලස්මන ම ලස්සන සිනහවක් පෑවේ ය.
“නෑ මං කිව්වෙ…මල් ගැන…කේක් ගැන…ගිෆ්ට් ගැන…සින්දු ගැන…ලිරික්ස් ගැන..වෙහිකල්ස් ගැන…වින්ටේජ් කන්සෙප්ට් එක ගැන…තව මොනාද ඔයා දන්නෙ කියල…”
එවර සිනහ වූයේ මා ය. එය කෙතරම් ලැජ්ජාශීලී සිනහවක් වූයේ ද යත් මගේ ඇස් මටත් නො දැනී බිමට හැරී තිබිණ.
“ඇත්තටම ඒ කිසි දෙයක් ගැන මං දන්නෑ. ඒත් මං ඒ හැම දේටම ආසයි”
“විහාර වෛශාක්‍ය ඒ ඔක්කෝටම වඩා ස්පෙශල් වගේද…”
එවර ඒ සිනහව තරමක් උස් හඬින් නැගිණ. මම ඇස් පිය නො හෙලා බලා සිටියෙමි. ඔහු එහෙම ඇහුවේ මා විහාර ගැන කතා කළා වැඩි හින්දා ද? මා විහාර ගැන උන්මාදයකින් සිටිනවායි ඔහු සිතුවා ද? විහාරට වැඩියෙන් මා ලෙමන් අමරසිංහ ගැන උන්මාදයෙන් යයි ඔහු ට කිව යුතු නැත.
ඔහු නිතර ම ඇල්කොහොල් අල්ප මාත්‍රාවක් හෝ ගෙන සිටින්නේ කවර රිදුමක් යටපත් කොට දමන්නට ද යන පැනය හිත යටින් මතුව දිය බුබුලක් සේ ඉහළ ආවේ ය. නමුත් විශ් යූ වෙත එන පාරිභෝගිකයෙකු ගේ පෞද්ගලික ජීවිතයකට අපට ඇඟිල්ලක් හෝ පෙවිය නො හැකි ය. මිනිස්සු එහෙම ය. තම තමන්ගේ වේදනා සන්තාප කලාපයන් එක එක ආකාර වලින් ආවරණය කරති. නෙක නෙක වර්ණ ගල්වති. ඒවා තම තම කැමැත්ත පරිදි ය. විවිධ රිදුම් වලට විවිධ ඔසු තිබේ. ඒවා යොදා ගත හැක්කේ පුද්ගලයා අනුව ය. වේදනාව සේ ම එය සනහනු වස් යොදා ගත හැකි ඖෂධය ද පුද්ගලානුබද්ධ ය.
“කැඩිල බිඳිල ගිය ඒව පිරියම් කරන්න මහන්සි වෙනවට වඩා ඒව වෙන විදිහකට පවතින්න අරින එක හොඳයි. මුල් එක නෙවෙයි තමයි. ඒත් ඒක නෙවෙයි කියන්නත් බෑ. කොටිංම අලුත් එකක් කියන්නත් බෑ”
ඊළඟට ඔහු සිය ගැඹුරු හඬ අවදි කළේ කුඩා මේසය මත වූ මල් බඳුනකට අනුවර්තනය වූ එදා ඔහු කෝපි බිව් සුදු පාට පීරිසි කෝප්පය දෙස බලා ගෙන ය. කවිය ලියූ අත් පිස්නාව නූරි විසින් ඩැහැ ගන්නට යාමේ දී බිම වැටී බිඳී ගිය ඒ කෝප්පයෙහි කැඩුණු කැබැල්ල රඳවා පස් ස්වල්පයක් දමා මම එහි කුඩා ඇසතු පැළයක් සිටෙව්වෙමි. කොටින් ම එය තාප්පයක ඉපදී, කිහිප වතාවක් කපා දැමීම නිසා වැඩෙන්නට අවසර නො ලැබ කුරු වූ, මුල් කොටස මහත් වී ද අත්ත ඉතා කුඩා වූ කාක බෝ පැළයකි.
“සර් හරි අමුතු විදිහට හිතනව”
මම මිමිණුවෙමි. ‘ඒ හිතන විදිහට මං කැමතියි’ කියන කොටස අකමැත්තෙන් මුත් නො කියා ඉන්නට සිදු විය.
“ශිකී”
කියා මග දී ම කෑ ගසා ගෙන නූරි ආවේ ඒ වෙලාවේ ය.
“වෙඩින් කේක් ඕඩර් එකක් තියනව”
ඇය ඔහු ව දුටුවේ ළඟට ම පැමිණි ඉක්බිති ය. එක මොහොතක් ඇස් ලොකු කර ගෙන මදෙස බලා හිඳි ඕ, අනතුරුව ඔහු දෙස බලා සිනහවකට කට ඇද කළා ය.
“සර් ඇවිත්…”
මේ පැත්තට යන ගමං නතර වුණා. මෙතනට මං කැමතියි”
“අනේ…තෑන්ක් යූ සර්…”
ඔහු කලිසම් සාක්කුවෙන් මුදල් පසුම්බිය ගනිමින් නැගී සිටියදී නූරි මේසය දෙස බලමින් ගණන් හිලව් හිතෙන් හැදුවා ය. ඇය එහි නො සිටියේ වී නම් ඒ සංග්‍රහය වෙනුවෙන් මුදල් නො ගෙන සිටින්නට මම සිතා සිටියෙමි. ඒ, ඔහු ඒවා ඇනවුම් නො කළ බැවිනි. මගේ උවමනාවට මවිසින් පිළිගැන්වූ බැවිනි. නමුත් නූරි ට එහෙම කියා සිටින්නට තරම් දිරියක් මට වූයේ නැත. අපේ මේසය මත තිබි, සිය වෙනි වතාවට ද මන්දා මා කියවමින් තිබි, අතට ම දියව ගිය කරුණාසේන ජයලත් විසින් ලියන ලද ගැහැනු ළමයි පොත ඔහු අතට ගෙන නැවත තැබුවේ ය.
“මොකද්ද ශිකී නේද ඔයාගෙ නම කිව්වෙ…”
එය ආඩම්බරකාර ප්‍රශ්නයකි. ඒ වෙලාවේ ඔහු ගේ ඇස් වලත් ඒ ආඩම්බරය තිබිණ. මගේ නමෙන් කෑල්ලක් ඔහු ඇහිඳ ගන්නට ඇත්තේ නූරි ගෙනි.
“මම ශික්ෂා”
“ශික්ෂාට මං පොතක් දෙන්නං”
කියමින් ඔහු සිය රිය වෙතට ගියේ ය. මා නූරි දෙස බැලුවේ කැළඹීමෙනි. ඇගේ මුහුණේ “දෙන්නං උඹට” වන් බැල්මක් විය. මම විශ් යූ වෙතින් අඩියක් ඉස්සරහාට තැබුවෙමි.
ඔහු ආයේ ආවේ කුඩා, පරණ වූ පොතක් එක්ක ය.
“ඔයා කැමති වෙයි”
එය මහා කිවිවර පැබ්ලෝ නෙරූඩා ගේ ‘Twenty love poems and a song of despair’ නමැති කවි පොත ය. නෙරූඩා වූ කලී මා වසඟ කර ගත් කවියෙකි. ඔහු ට වයස දහ නවයක් තරම් තුරුණු වියෙහි දී පළ වූ පොතක් ලෙස මම ඒ ගැන දැන සිටියෙමි. ඒ එක්දහස් නවසිය විසි එක වසරේ ය.
මගේ ඇස් දීප්තිමත් වී ඔහු වෙත දැල්වෙන්නට ඇත.
“මං…බලල දෙන්නං”
ඔහු කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. මොරිස් මයිනර් රිය නික්ම ගියේ ය. මම එතැන එහෙම ම ගල් ගැහී සිටියෙමි.
“හරිනෙ…දැං ඉතිං පොත පෙරළන්න පටං ගත්තනෙ”
නූරි කඩිනමින් මවෙත ආවා ය. මගේ ඇස් වල සීතලක් මට දැනිණ. ඒ කඳුළු දැයි මම වහා නෙතු අත ගා බැලුවෙමි. නැත. කඳුළක සලකුණවත් එහි වූයේ නැත. නමුත් ඇස් ඇතුළේ සීතලක් විය.
මගේ අතකින් අල්ලා ගත් නූරි ඇදගෙන වාගේ මා විශ් යූ තුළට ගෙන ආවා ය. අපි දෙන්නා අපේ පරණ බීරළු කකුල් සහිත මේසය දෙපැත්තේ හිඳ ගතිමු.
“අනේ දෙයියනේ…ප්‍රශ්න මදි වෙලාද ශික්කො ඉන්නෙ…ඔයාට බය නැද්ද…මටනං අමුතු බයක් දැනෙනව. දුරක ගිහිං අතරමං වෙන්න හදන්නෙපා ශිකී…ආපහු හැරිල පාර හොයා ගන්න ඔයාට බැරි වෙයි…”
මම නෙරූඩා ගේ පොතේ කවරය දෙසට ඇස් බර කොට ගතිමි. අත්තක වැසූ හුදෙකලා කුරුල්ලෙකු ගේ රුවක් එහි වේ. ලෙමන් සුවඳ හාදයා ගේ මෝටර් රථය තුළ මේ වාගේ පොත් තියෙන්නේ ඇයි? ඔහු දරුනු හුදෙකලාවකින් පෙළෙනා මිනිසෙකු විය නො හැකි ද? ජීවිතයේ කිසි දාක මලක් නො ලැබූ, උපන් දිනය තනිව සමරන මනිසෙකු ගේ ආත්මීය හුදෙකලාවේ හතර මායිම් හි දිග පළල මිනුම් කරන්නට තරම් අප කවුරුන් ද?
“ඉරිදට මනමාලය එනවලු. ඒ දවස කිට්ටු වෙන්න වෙන්න මට දැනෙන දේවල් කියා ගන්න බැරි තරං ශිකී…ඔයා වගේ පොත් කියවන කවි ලියන කෙනෙක් නෙවේ මං. ඒත් ගින්දර කාවත් පුච්චන්නෙ එක විදිහට. තේජාන්ට දැම්ම බඳින්න බෑ කියනවනං මං වෙන මොනා කරන්නද වෙන ඕන එකෙක්ට කැමති වෙනව මිසක්…ඒත් මේක හරි අමාරුයි ශිකී…ඒ මනුස්සය බැඳල නෑ වෙන්න බෑ. ඔයාට දැං කොහොම දැනුණත් හිතෙන් දුර ගියාට පස්සෙ කොච්චර අමාරු වෙයිද කියල මං දන්නව. අනේ ඔය හීනෙං ඇහැරෙන්න ශිකී”
මම යටි තොල සපා ගෙන පොතේ කවරය පෙරළුවෙමි. පළමු පිටුවේ දකුණු පස ඉහළ කෙළවර වූ සිංහල හැඩ අකුරෙන් ලියවුණ අත්සනක ස්වභාවය ගත් නම මට කියවා ගත හැකි විය.
විහාර වෛශාක්‍ය අමරසිංහ!
දෙවියනි මා දෙදරා ගිය තරමක්!