Vintage Eyes – 09

ඒ දවස හීනයක් වාගේ ය. අම්මා සමග මා කළුබෝවිල රෝහලට යන විට තාත්තා ගේ සහෝදරවරුන් කිහිප දෙනෙකු එහි එකිනෙකා ගේ මුහුණු පෙනෙන සේ කුඩා රවුමක් සෑදී මුමුණමින් සිටියහ. අප දුටු වන ඒ කතා බහ නතර වී සියලු ඇස් අප වෙත යොමු වූවායි සිතිය හැක. තාත්තා ගේ ඥාතීන්ව මා ඒ දුටුවේ වසර විසි ගණනකට පස්සේ ය. තාත්තා අපේ ලෝකයෙන් ඈත් වී යාමත් සමග ඔවුන් සමග පැවති සබඳතා ද ඈත් ව ගියේ ය. තමන් වැරදි වේවා නිවැරදි වේවා අම්මා ඔවුන් සමග බලෙන් එල්ලී ඇසුරු කරන්නට ගියේ නැත. තාත්තාත් ඈත් වී ගිය එකේ ඥාතීන් කුමට දැයි ඇය සිතුවාට සැක නැත. එහි වූ හැම බාප්පා කෙනෙකු ම, ලොකු තාත්තා කෙනෙකු ම, නැන්දා කෙනෙකු ම හරි ඉක්මනින් වයසට ගොස් ඇතිවා සේ මට දැනිණ. සමහර විට ඒ කාලෙකට පස්සේ දුටු නිසා විය හැක.

අම්මා ඔවුන් වෙතට සමීප වූවා ය. එතකොට ඔවුන් ගේ රවුම ටික ටික ඈත් මෑත් වී අම්මා ට ඉඩක් වෙන් විය. මම ඊට අඩියක් දෙකක් මෙපිටින් නතර වීමි. අම්මා ට මුලින් ම හැඬුම් ආවේ ය. ඇය ටික වෙලාවක් ලේන්සුවෙන් ඇස් තද කරමින් සිටියා ය.

“නංගි ආපු එක ලොකු දෙයක්. දුව දැං ලොකුයි නේද…”

පොඩි නැන්දා මදෙසට හැරී බලා කීවා ය. මම මූණිච්චාවටවත් හිනා වෙන්නට නො ගියෙමි. කොහොමත් හිනාවක් මට ළඟ පාතකින් වූයේ ම නැත.

“බලන්නකො වෙච්ච දෙයක්. තව කොච්චර කල් ජීවත් වෙන්න හිටිය මනුස්සයෙක්ද…හාට් ඇටෑක් එකක් ඇවිත්නෙ…”

“පපුවෙ රිදිල්ලක් තියනව කිය කියලු හිටියෙ. බේත් ගන්න ගියෙ නෑලුනෙ”

“ඔෆිස් එකේදි එක පාරටම පපුව අල්ලගෙන ඇල වෙලා. ඉස්පිරිතාලෙට ගේනකොටත් වැඩේ සිද්ද වෙලා ඉවරලු”

ඔය වගේ කතා ගොඩක් ඇහුණේ ය. ඒවා හරි මූසල කතා ය. මට ඒවාට කන් දෙන්නට ඕනෑ වූයේ ම නැත. ඒ හින්දා මම තව ටිකක් එහාට, ඒ කතා නෑසෙන තරම් දුරට ගොස් සිට ගතිමි. තවත් ටික වෙලාවකින් අම්මා මවෙත ආවා ය. ඇය මාත් කැටුව රෝහල තුළට ඇවිද ගියා ය. අපට පිටුපසින් මහප්පා කෙනෙකු හා බාප්පා කෙනෙකු ඇවිද එන්නට වූහ.

එක එක තැන් වලට යන්නට අම්මාට සිදු විය. එය මහා අද්භූත චාරිකාවක් සේ මට නම් දැනිණ. අතනින් මෙතනට, මෙතනින් අතනට! මෝචරියට ගොස් මිණිය බලා හඳුනා ගැනීම ඒ වෙහෙසකර ක්‍රියාවලියේ දුෂ්කර ම අත්දැකීම සේ අම්මා ට දැනෙන්නට ඇත. බාප්පා සමග ඇය එයින් පිටතට ආවේ ඇස් තද කර මිරිකා හරිමිනි.

“මෙච්චර ඉක්මනට තාත්ත මෙහෙම යයි කියල මං හිතුවෙ නෑ බබා”

පොලීසියට යත්දී අම්මා කෙඳිරුවා ය. 

“ජීවිතේ එහෙම තමයි අම්මෙ”

අම්මාටත් වැඩිය වයසින් දැනුමෙන් හා අත්දැකීමෙන් පරිනත ජීවියෙකු සේ මම මිමිණුවෙමි. රෝහලෙන් පොලීසියට, පොලීසියෙන් රෝහලට…අම්මා විඩාපත් ව සිටියා ය. නමුත් වෙන කවදාටත් වැඩි චිත්ත ධෛර්යයකින් ඇය ඒ හැම පියවරක් ම තැබුවා ය. රෝහලෙන් මිණිය ගෙන මල් ශාලාවට භාර දෙන විට හවස් වී තිබිණ. ඒ වෙත්දීත් අම්මා වතුර උගුරක් හෝ බීවේ නැත. බාප්පලා මහප්පලා ඇයට යමක් කන්නට බොන්නට එන ලෙස කතා කළ ද අම්මා ඒ සියලු යෝජනා ප්‍රතික්ශේප කළා ය.

“දැන් මිණිය ගෙනියන්නෙ කොහෙටද…ඕනනං මල් ශාලාවෙම වැඩේ කරන්න පුළුවන්”

ඊළඟ බරපතල ම ප්‍රශ්නය වූයේ එය ය. ඒ වෙත්දී තාත්තා ගේ දෙවන බිරිඳව ද මම එක එක තැන දී දුටිමි. ඇය තවත් කිහිප දෙනෙකු සමග සිටියා ය. තාත්තා ගේ ඥාතීහු අම්මා සමග සේ ම මාරුවෙන් මාරුවට ඇය සමග ද කතා කළහ. මහප්පා මේ ප්‍රශ්නය විමසූයේ මඳක් හඬ උස් කොට දෙතුන් අඩියක් ඈතින් උන් දෙවන බිරිඳටත් ඇසෙන සේ විය යුතු ය.

“මං ගෙනියනව අයියෙ”

අම්මා විගස කීවා ය. මට බැලුණේ තාත්තා ගේ අනිත් බිරිඳ දෙස ය. ඇය බිම බලා ගත්තා ය. තාත්තා ගේ මිණිය බෙදා ගන්නට අම්මා සමග ඇය තරග කරනු ඇතැයි මා බලාපොරොත්තු වී ද එවැන්නක් කිසි සේත් සිදු වූයේ නැත. ඇය සිටියේ මුළුමනින් පරාජිත හැඟීමක කියා මම සිතමි. හැම කෙනෙකු ගේ ම ගෞරවය හිමි වූයේ අම්මාට ය. හැම කෙනෙකු ම යමක් විමසා සිටියේ අම්මා ගෙනි. එතැන්හිදී නිරායාසයෙන් අම්මා තාත්තා ගේ සැබෑ බිරිඳ වී දෙවන බිරිඳ කිසිවෙකු ගේ සැලකිල්ලට බඳුන් නොවෙන තත්වයකට වැටී සිටියා ය. නමුත් ඒ වෙලාවේ නම් මට ඇය පව් කියා සිතිණ.

“නංගිගෙ අකමැත්තක් නැත්තං…”

අම්මා එසේ කීවේ තාත්තා ගේ දෙවන බිරිඳ දෙස බලා ය.

“මං..අකමැති නෑ..”

ඇය උගුර යටින් කියා ගත්තා ය. එතෙක් ගල් ගිල්ලා සේ සිටි මගේ ඇසින් කඳුළක් ගිලිහුණේ ඒ වෙලාවේ ය. මට ඔවුන් දෙදෙනා දෑතින් වැළඳ ගෙන හඬන්නට සිතිණ. ඔවුන් දෙදෙනා ම ගැහැනුන් ය. එක අතකට ඔවුන් දෙදෙනා ම තාත්තා ට ආදරය කළ ගැහැනුන් ය. තාත්තා අම්මා ට වැඩියෙන් ඇයට බැඳී සිටි බැව් සැබවි. නමුත් තාත්තා ට වැඩියෙන් ආදරය කළේ ඔවුන් දෙදෙනා ගෙන් කවුදැයි නිගමනයකට පැමිණිය නො හැකි ය. ඇතැම් විට තරාදියක දමා මිනුම් කළ හැකි නම් දෙආකාරයක වී ද ඒ පෙම් කතා දෙකෙහි ම සමාන බරක් ඇතිවා වන්නට පිළිවන.

“කමක් නෑ නේද පුතේ…”

ඊළඟට අම්මා මදෙස හැරී ඇසුවා ය. මා හිස සැළුවා පමණකි. වචනයක් පිට කර ගත නො හැකි තරමට මගේ ඇතුළාන්තය අධි පීඩන කලාපයක් ව තිබිණ. 

උන් හිටි ගමන් ජීවිත මත්තේ එහෙව් සිදුවීම් විය හැකිය ය කියා අදහා ගැනීම පහසු නැත. නමුත් එය එසේ වී තිබිණ. අප ගෙදර ගිහින් ගේ අස් පස් කරන්නට පටන් ගතිමු. කවදාවත් මිනිසුන් මිණියක් ගෙදරට ගෙන ඒමේ සූදානමක සිටින්නේ නැත. ඥාතීහු ද අසල්වැසියෝ ද ගෙදරට විත් කොඩි දැමීම, හට් ගැසීම පුටු ගෙන ඒම වැනි කටයුතු වල නිරත වන්නට වූහ. මා හිටියේ තනිකර ම හීනයක ය. පුටුවක් මතට වී බලා ගත් අත බලා ඉන්නට තිබුණා නම් සුවයකි. නමුත් හැම කෙනෙක් ම හැම දෙයක් ම විමසුවේ අපෙනි. මගෙන් හෝ අම්මා ගෙනි. ඒ නිසා අපට මුළු ගැන්වී බලා ගත් අත බලා සිටීමේ හැකියාවක් වූයේ නැත.

තමන්ගේ කෙනෙකු මිය ගිය විට ගෙදර අය රොබෝවරුන් වන්නේ ඉබේට ම ය. ඔවුහු හැම දේ ම කරති. නමුත් හදවත ඒ මුළු කාලය පුරා පවතින්නේ නිර්වින්දනය වී ය.

මිණිය ගෙනාවේ මධ්‍යම රාත්‍රිය පහු වූ විට ය. අම්මා සන්සුන් ව මිණිය ගෙට ගත්තා ය. අම්මා ගැන බලන්නයි කල් ඇතිව ම මම නූරිට කීවෙමි. ඇය කෑ කෝ ගසා හඬා වැළපී සිහිසන් වන්නට වුව හැකි යයි මම අනුමාන කර ගෙන සිටියෙමි. නමුත් ඕ තොමෝ සන්සුන්ව මේ වියෝව භාර ගත්තා ය. ඉසිහින් ඉකි හඬක් පමණක් ඇසුණේ ය.

අම්මා දෙණ අසලට වී බොහෝ වේලා එදෙස බලා ගෙන සිටියා ය. වරින් වර කඳුළු පිස දා ගත්තා ය. ඇයට බොහෝ දෑ සිහි වන්නට ඇත. ඇය සිය අනාගතය ම තාත්තා ගේ දෝතට දී ඔහු වෙතට ආවා ය. නමුත් ඇයව ගැහැනු දරුවෙකු සමග තනි කොට ඔහු වෙනත් බිරිඳක වෙත ගියේ ය. යළි ඔහු ඇය වෙත ආවේ අවසන් ගමන යන්නට ය. අම්මා ට මොනවා හිතෙන්නට ඇත්ද? ඇය මොනවා හිතන්නට ඇත්ද? නමුත් ඇය දිරියවන්ත ගැහැනියකි.  මළ ගෙදරට ආ සැම, ඕ දෑත් එක් කොට පිළිගත්තා ය. දෙණ බැහැ දැක පිටතට ගිය මිනිසුන් උනුන්ට කොඳුරා ගනිමින් එක එක ඒවා කීවෝ ය. මෙතෙක් කාලයක් සිටියේ නැති සැමියෙකු ගේ දේහයක් ආලින්දයේ සතපවා තිබීම අමුත්තක් බව ඇත්ත ය. අම්මා ගම්මුන්ට කියා තිබුණේ ඒ විවාහයෙන් ඇය වෙන්ව සිටින බවයි. තාත්තා අප අතැර ගියායි පැවසීම ඔහු ට කරන අගෞරවයක් සේ ඇය සිතන්නට ඇත. නැත්නම් ඒ අපට ම කර ගන්නා අගෞරවයක් සේ සිතුවා වන්නටත් පිළිවන. ඉතින් ඒ වෙන් වූ සැමියා ගේ දේහය මේ ගෙදරට ගෙන ඒම ගැන කසු කුසුවක් ගම්මුන් අතර ඇති වීම ගැන පුදුම විය යුතු නැත. මිනිසුන් එහෙම ය.

දෙවන බිරිඳ මළ ගෙදර ආවේ කොයි වෙලාවේ ද කියා නිනව් නැත. නමුත් පසු දා ඇය ද දෙණ අසලක වන පුටුවක හිඳ ගෙන සිටිනු දැකිය හැකි විය. ඇය වරින් වර හැඬුවා ය. එතකොට මිනිසුන් තව තව කතා කියන්නට ඇත. 

නූරි මාත් එක්ක ම සිටියා ය. විශ් යූ වසා දැමූ බව ඇය කීවා ය. ඉරිදාට එන්නට සිටි මනාලයාට දැනුම් දී ඒ දිනය කල් දා ගත් බවක් ද ඇය කීවා ය.

“අපරාදෙනෙ…ඒ වැඩේ කරන්න තිබුණනෙ”

මම පසු තැවුණෙමි.

“පිස්සුද…මෙහෙ මළ ගෙයක් තියෙද්දි අපේ ගෙදරට මනමාලයො ගෙන්නන්න පුළුවන්ද…අනිත් එක මේව දකිනකොට මේ ජීවිතේ ඇත්ත තේරුම මොකද්ද කියල හිතෙනව ශිකී..මැරෙන දවස කවදද කියලවත් දන්නෙ නැතුව ඒ ටික කාලෙට අපි මොන තරං විගඩං කරනවද…ඔයාගෙ තාත්ත වුණත් කවදාවත් හිතන්න ඇත්ද මේ දේවල් මේ විදිහට කෙළවර වෙයි කියල….”

ඔබ විශ්වාස කරාවිද කියා මම නො දනිමි. තාත්තා ගේ දේහය ගෙදර ආලින්දයේ තැන්පත් කොට තිබූ ඒ මුළු කාලය පුරා ම, ඒ වන තුරුත් මා ඔහු ගේ මූණ දෙස බලා තිබුණේ නැත. එහෙම කරන්නට තරම් දිරියක් ශක්තියක් මට  නැති බව ඉඳුරා දැන උන් නිසාවෙනි. බැලුවේ වී නම් වාවා ගන්නට මා අපොහොසත් වන බව දැන උන් නිසාවෙනි. මා එතැනින් ගියේ ආවේ ඉවත බලා ගෙන ය. මගේ තාත්තා මගේ හදවතේ සදාකල් ජීවත් වන්නේ ය. ඔහු මිය ගියා කියා සිතන්නට හෝ දකින්නට මට ඕනෑ වූයේ නැත.

දෙවන දිනයේ අවසන් කටයුතු සිදු කරන්නට යොදා ගෙන තිබිණ. පාංශකූලය සඳහා වැඩි ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ තාත්තා ගේ බිරිඳ හා දරුවා ලෙස හැඳින්වූයේ මා හා අම්මා ය. ඒ නම් ගම් උන් වහන්සේ ට ලබා දෙන්නට ඇත්තේ පිය පස ඥාතීන් ය. නමුත් ඒ වෙලාවේ මගේ පපුව ඉමහත් දුකකින් පිරී ගියේ ය. අම්මා එක්ක ජීවත් වූවාට වඩා වැඩි කාලයක් තාත්තා ජීවත් වූයේ ඇයත් එක්ක ය. නමුත් ඇය බිරිඳ නොවේ!

පැන් වඩන වෙලාවේ අම්මා ඇයට ඇස් වලින් අඬගසනු මා බලා ගෙන ය. ඇයත් එක්ක තවත් දෙතුන් දෙනෙකු විත් පැන් කොතලයට අත ගැසූහ. අම්මාත් ඇයත් දෙදෙනා ම කඳුළු වගුරුවමින් සිටියහ.

“අනේ ආනන්ද…මෙච්චර කල් ඔයා කොතනක හරි ඉන්නව කියල මං හිත හදං හිටිය ආනන්ද…ඒත් දැං මං කොහොම හිත හදා ගන්නද…ඔයා නෑ කියල මං කොහොම හිතන්නද දෙයියනේ…”

අම්මා විලාප නගා හඬන්නට ගත්තේ පෙට්ටිය වසා දෙණ නිවසින් පිටත් කරන්නට සූදානම් වෙත්දී ය. තාත්තා ගේ බිරින්දෑවරු දෙදෙන උනුන් වැළඳ හඬන්නට වූහ. මට ඒ දර්ශනය දෙස බලා සිටිය නො හැකි තරම් වූයේ ය. 

අම්මා ව කිහිප දෙනෙකු විසින් අල්ලා වත්තන් කර ගෙන වාහනයකට දමනා ලදී. එම රියෙහි ඉඩක් නොවුණෙන් මා හා නූරි සුසානය වෙත ගියේ මගේ ස්කූටියෙනි. පෙත් මග දිග ගොස් බස් පාරට වැටී බෝ ගස් හන්දියෙන් හැරී සුසානයට යා යුතු ය. හන්දියේ සියලු කඩ දොර වල සුදු කොඩි දමා තිබෙනු මා දුටුවේ අමුතු සිහිනයක් පරිද්දෙනි. ඒ කොඩි අපේ තාත්තා ගේ මිය යාම වෙනුවෙන් යයි මගේ සිතින් ගලපා ගැනීම මට පහසු වූයේ නැත. ඒ වගේ කොඩියක් ගැන කවදාවත් මා මනස් රූපයක් හෝ හැඳ නො තිබූ බැවිනි. 

පපුව දවාලන වේදනාවක් ඇතුළත විය. අප කවුරුත් දිනෙක මේ ගමන යන බව දැන සිටියද එය ප්‍රායෝගිකත්වය සමග ඈඳා ගැනීම හිතන තරම් පහසු නැත.

තාත්තා ගේ දෙණ මිහිදන් කරත්දී ගැහැනුන් දෙදෙනෙකු ගේ විලාපයන් උඩු සුළඟ හා මුහු විය. මම දෙතොල් සපා ගෙන සියල්ල මා තුළ ම හිර කර ගෙන සිටියෙමි. සුසානයෙන් එක එක්කෙනා නික්ම ගොස් අන්තිමට එහි තාත්තා ට වඩාත් සමීප කිහිප දෙනා පමණක් ඉතිරි වූ වෙලාවේ මා පිටුපසින් “අක්කෙ” කියනා ඇමතුමක් ඇසිණ. මට යයි නො සිතුණත් මා හැරී බැලූයේ නිකමට ය.

“අපි යනව අක්කෙ”

වේදනාවෙන් පුපුරු ගසමින් තිබූ තුරුණු ගැහැනු දෑසක් මදෙස බලාගෙන නතර වී තිබිණ. මට එකවර ඒ කවුදැයි නිශ්චිත කර ගත හැකි වූයේ නැත.

“අම්මල දෙන්නෙකුගෙ බඩවල් වලින් ඉපදුණත් ඒ එක තාත්ත කෙනෙක් නිසානෙ අක්කෙ. තාත්ත නැති වුණාට පස්සෙ හරි මට අක්ක කෙනෙක් ඉන්නව කියල ඇස් දෙකෙන් දකින්න පුළුවන් වුණ එක සතුටක්…”

මගේ මොළය යමක් වටහා ගත්තේත් මා ඇය වැළඳ ගත්තේත් එකට ම ය. අපි දෙන්නා ම ඉකි ගසමින් හැඬුවෙමු. ඒ මන්දැයි මා දන්නේ නැත. නමුත් හෝ ගා කඳුළු ගැළුවේ ය. කඳුළු තුනී වී යන්නට කෙතරම් කාලයක් ගත වූයේ ද, අපේ ග්‍රහණය ලිහිල් වූයේ ඉනික්බිති ය.

“තාත්ත නැති වුණාට මට අක්ක ඉන්නව නේද…”

ඇය ඉකිබිඳුම යටපත් කර ගනිමින් විචාලා ය. මම හිස පමණක් සැළුවෙමි. නූරි ඇගේ දුරකතන අංකය මගේ ජංගම දුරකතනයේ සනිටුහන් කර ගත්තා ය. 

ගෙදර ඇවිත් ඇඳ බදා ගත් පසුව ය මා හිර කර ගෙන උන් කඳුළක් වී නම් එය ඉහිර ගියේ. මට නින්ද යමින් අවදි විය. අවදි වෙමින් යළි නින්ද ගියේ ය.

“ශික්ෂා…කවුද ඇවිත් ඔයාව අහනව”

කියා කවුදෝ මන්දා මා අවදි කරත්දී මම යහනෙන් බැස ආලින්දයට ගියෙමි. අඳුර ටික ටික ගලා ගැලෙමින් තිබිණ. මිදුලේ හට් එකක් තුළ හුදෙකලා පුටුවක හිඳ ගෙන උන්නේ විහාර වෛශාක්‍ය අමරසිංහ ය. සිහි එලවා ගන්නට සෙයින් මම ටික වෙලාවක් ඔහු දෙස බලා ගෙන ම සිටියෙමි. මගේ ඇස් තඩිස්සි වී ඇති සෙයක් මට දැනිණ. හිස කේ අවුල් වී මා පිස්සියක සේ පෙනෙන්නට ඇත. ඒ උමතු සිහිනයේ ම දෙපා අද්ද අද්දා මම ඔහු වෙත ගියෙමි. විහාර අසුනෙන් නැගී සිටියේ ය.

“දැනුයි මං දැනගත්තෙ…මයි ඩීපස්ට් සිම්පති ශික්ෂා…”

මම ඔහු ට යාබද ප්ලාස්ටික් පුටුව මතට වැටුණෙමි. ඔහු මවෙත හැරී මූණට එබුණේ ය. මගේ මුහුණ මත පරණ වූ කඳුළු පැල්ලම් ද ඇස් මත්තේ අලුත් කඳුළක් ද තියෙන්නට ඇත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles