මම වෙන ම මලක් – 20

“නිකං අත තුවාල කරගන්න එපා”

බිත්තියේ වතාවක් අත හප්පාගත් හිත තුවාල වූ තරුණයා හැරී බැලුවේ ය. අනෙක් කිසිවෙක් කිසිවක්ම නොකියන්නට තීරණය කළ ද නිලුපුලීට ඔහු නවත්වන්නට ඕනෑ වී තිබිණ. 

“ආදරේ හින්දා නිකං විනාස වෙන්න එපා”

ඇය මහා පණ්ඩිතකමකින් ඊළඟ උපදෙස ලබා දුන්නා ය. තරුණයා දෑස් ඔසවා පණ්ඩිත කෙල්ල දෙස බැලුවේ පුදුමයකිනි. ආවේගාත්මක වී නැති කළේ රදීෂ්ගේ සහ අහස්‍යාගේ නම්බුව නොවේදැයි ඔහුට හදිසියේ සිතිණ. ඔහු මල් පෙති පාගා ඇවිද ගොස් පුටුවකට වැටුණේ ය.

“මට වතුර ටිකක්”

ඔහු ඉල්ලා සිටියේ කාගෙන්දැයි කියන්නට දන්නේ නැත. නිලුපුලී වහා වතුර ෆිල්ටරය අසලට ගොස් සීතලම වතුර වීදුරුවක් පුරවා ගත්තා ය. ඔහු එය හිස් කළේ එක උගුරට ය.

“ආදරේ නිසා නාස්ති වෙන්න එපා. එයාට ඔයා එපානම් ඔයා ඇයි මල් යවන්නේ? මලක් දෙන්න ඕන ආදරේ මනුස්සයෙක්ට.”

විසිරී ගිය රෝස පෙති බලමින් නිලුපුලී පැවසුවේ මහත් වේදනාවකිනි. ඇත්තටම ඇයට වේදනාව අපතේ ගිය මුදල ගැන නොවේ. නාස්ති වී ගිය හදවතක් ඇති තරුණයාගෙන් නාස්ති වී ගිය මල් පොකුර ගැන ය.

“උදව් කළාට ස්තූතියි.”

ඔහු වතුර වීදුරුව ඇය අතින් තැබුවේ එහෙම කියන අතර ය. අනතුරුව ඔහුට ප්‍රශ්නයක් අසන්නට සිතිණ. ඒ ප්‍රශ්නය මෙවෙලේ ඇසීම නරකදැයි ඔහුට සිතුණේ නැත. කොහොමටත් ඔහුට මේ හොඳ නරක පෙනෙන කාලයක් නොවේ.

“මිස් අලුතින් නේද ස්ටාෆ් එකට ආවේ? නම මොකක්ද?”

තමන්ගේ නම නිලුපුලී වග ඇය පැවසුවා ය. ඔහුගේ දෙතොලේ මන්දස්මිතයක් ඇඳී මැකී ගියේ ය. මුහුණ නොරොක් කරගෙන යකෙකු වාගේ හැසිරුණු කොල්ලාට ලස්සනට හිනා වෙන්නට හැකි වීම ගැන නිලුපුලීට දැනුණේ සතුටකි. ඒ සිනාව ඇගේ ඇසෙහි තැන්පත් නොවී ය. හිත පතුලේම තැන්පත් විය.

“නිල් මානෙල් මලක්”

එසේ පැවසූ විකුම් මල් පෙති පාගා ගෙනම යන්නට ගියේ ය. අයිස් කැටයක් මෙන් මිදී යාමේ හැඟීම කුමක්දැයි නිලුපුලීට වැටහුණේ ඒ මොහොතේ ය.

“රස්සාවට ආව දා ඉඳන් තිබ්බ ක්‍රෂ් එක අපේ චූටි නංගිට පූජා කරලා හිත හදා ගත්තු උතුම් අක්කෙක් මම.”

උපේකා කෑගැසුවේ නිලුපුලී පොළොවට ඇද දමමිනි. 

“ඔයා හිතන්නේ නිලූ කෙල්ල විකුම්ට ක්‍රෂ් වුණා කියලද?”

සචිනි එසේ අසද්දී උපේකා වඩාත් උස් හඬින් හිනැහුණා ය. අනතුරුව ඇය නිලුපුලී අසන්නට වඩාත් බය කතාව පැවසුවා ය.

“විකුම් සර් සෑහෙන වේදනාවක් අරගෙන ඇවිල්ලා ඒ වේදනාව මෙතන හලලා මේකිට දුකක් දීලා යන්න ගියා. අද ඉඳන් මේ මොහොතේ ඉඳන් පැටියෝ උඹට හරියට කන්න බෑ, නින්ද යන්නේ නෑ, අපි කතා කරන එක පවා වදයක්.”

කෙල්ලන් රොත්ත එක පොදියට හිනැහේ. අඩුම තරමේ අල්ලන්නට බැරි අත්තක් ගැන සිහි කරදී ඔවුන් තමා පොළොවට ගන්නේ නම් මැනවියැයි නිලුපුලී සිතුවා ය. මුල්ම දවස්වල ඇය ප්‍රතික්ෂේප කළත් අහස්‍යාගේ මිල අධික විලවුන් පාර්සලයටත් අම්මාගේ රහ බත් එකටත් පින් සිදු වන්නට දැන් නිලුපුලී කෙල්ලන් රොත්තගේ චූටි නංගී ය.

“අර නිමේෂා කියන ඉන්ස්ටා මොඩල් සමයම විකුම් සර්ට අමතකම වෙන්න අපේ චූටිගෙ හිනාවයි කරුණාවන්ත කමයි හේතු වුණානම් මට ඒ ඇති. රස්සාව පරදුවට තියලා මං ඒ ලව් එකට සපෝට් කරනවා”

සචිනි පිළිණ දුන්නා ය. ගල්ගැසී සිටි නිලුපුලී වචන සොයා ගත්තා ය.

“අනේ විකාර කියන්න එපා සචී අක්කේ. ඒ සර් ආවේ හොඳටම අවුල් වෙලා. එහෙම වෙලාවට මනුස්සකමට කතා කළාම ඒක හිතට දැනෙනවා. එයාට වුණේ එහෙම දෙයක්.”

නිලුපුලී වහා පැවසුවා ය. නමුත් ඔහුගේ ඇස් බැල්ම අමතක කරන්නට ද අසීරු ය. ඔහු ඇත්තටම ආදරයෙන්දැයි සිතන්නට කල් මදි වුවත් ඇයට ඒ ඇස් බැල්ම අමතක කරන්නට අසීරු ය.

විකුම් වාහනයට විත් ගුවන් විදුලිය ක්‍රියාත්මක කර ගත්තේ ය. ආදරය නිසා නාස්ති නොවන්නැයි කෙල්ලක විසින් ඔහුට අණක් ලබා දුන්නා ය. ඒ සොදුරු ආඥාව පිළි ගනිමින් සන්සුන් වන්නට ඔහුට සිතේ. මැරෙන්නට ඕනෑ බව සිතමින් උපරිම වේගයෙන් අපරීක්ෂාකාරීව රිය ධාවනය කරන්නට පුරුදු වී සිටි තරුණයා ඉතා මන්දගාමීව රිය පදවන්නට පටන් ගත්තේ ය.

නිලුපුලේ නිල දෙන්න මට

මම කඩුපුලක් පුබුදුවමි දවාලක

දොලේ දොලදුක කෙළවර කළ හැක

කඳුල මිදුලෙ වළලන දවසක

සෙනෙහසේ රස මවා ගන්න මට

උරහිසේ හිස තියාගන්න ඔබ

ක්‍රිෂාන්ත එරන්දකගේ ඉමිහිරි ගී හඬ ඇසෙන්නට වූයේ ඒ මොහොතේ ය. නිලුපුලේ නිල අත්ලෙහි කොහේ හෝ තැවරී ඇතිදැයි සිතන්නට විකුම්ට ඕනෑ විය.ඔහුට හදිසියේ එක් දෙයක අවශ්‍යතාවය දැනෙන්නට විය.

ඒ කඳුළ මිදුලේ වලලා දමන්නට ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles