“මල් මිටක් තියන්න ඔබ අතේ – මට කියා කොයින්ද මල් වනේ” මේ අපි අතර ජනප්‍රිය ගීතයක්. මල් වත්තකට අයිතිය නැතත් විවාහ සහ ප්‍රේම සංවත්සර බොහොමයකට පෙම්වතුන් අතින් පෙම්වතියන්ට මල් පොකුරු ලැබෙනවා.
ඒත් මේ කතාව ආදරය ගැන අරුත් සපයන්නට නොහැකි තරම් සුන්දර කතාවක්. ඇමරිකාවේ කන්සාස් ප්‍රාන්තයේ ගොවියෙකු තමන්ගේ ආදර බිරිඳ පනස්වැනි විවාහ සංවත්සරයට පුදුම කරන්නට සිතනවා. ඒ සූරියකාන්ත මල් වත්තක් තිළිණ කරමින්. ඔහු මල් පොකුරක් වෙනුවට මල් වත්තක්ම තිළිණ කරන්නේ ඔහුගේ ආදරය එපමණකට විශාල හන්දා වන්නට ඇති.
ලී විල්සන් මහතා වෘත්තිමය ගොවියෙක්. ඔහු අක්කර අසූවක භූමියක වෙනදා වවනවාට වඩා වෙනස් බෝගයක් වවන්නට මේ වතාවේ තීරණය කළා. ඒ ඔහුගේ විවාහ සංවත්සරය අගෝස්තු දහවැනිදාට යෙදෙන නිසා. ඔහුගේ බිරිඳ වූ රීනී විල්සන් මහත්මියගේ කැමතිම මල සූරියකාන්ත මලයි. ඔහු මේ අක්කර අසූව පුරාම සූරියකාන්ත බීජ පැළ කළේ පුතුගේ ද උදව් ලබා ගනිමින්.
“මම ඒ ගැන ගොඩක් කල්පනා කළා, ඇය සූරියකාන්තමල් වලට පුදුමතරම් කැමතියි. ඒ වගේම මම හිතුවා මේක සූරියකාන්ත වගා කරන අවුරුද්ද විය යුතුයි කියලා, ඒ නිසා මම ඇයට සූරියකාන්ත අක්කර 80 ක් වගා කළා”
ලී විල්සන් මහතා පවසනවා.
මේ මල් වත්තේ සූරියකාන්ත හොඳින් වැඩී ඇති අතර එක් අක්කරයක සූරියකාන්ත මල් 15,000 ක් පමණ අඩංගු වෙනවා.
මුළු මල් මිලියන 1.2ක් පවතින බවයි කියැවෙන්නේ. එය සැබෑවටම සුරංගනා කතාවකට සමාන වන්නේ ඒ නිසා. මල් කිහිපයක මල් පොකුරක් වෙනුවට මල් මිලියනයකටත් අධික ප්‍රමාණයක් ලැබීම ගැහැනියකට මොනතරම් සුන්දර අත්දැකීමක් දැයි ලියන්නට වචන ද නැති තරම්.
ඔහු මේ මල් යාය රහසිගතවවගා කර ඇත්තේ මැයි මාසයේ සිට. සූරියකාන්ත වත්ත පිහිටා ඇත්තේ ප්‍රැට් සිට සැතපුම් හතරක් නැගෙනහිරට වන්නට යි. සූරියකාන්ත සමය කෙටි බැවින්, ඒවා ඉදිරි දින 10 සිට 14 දක්වා පමණක් තිබෙන බව පැවසෙනවා. සංවත්සරය අගෝස්තු දහයට යෙදී තිබුණාට රිනී මහත්මියට මේ වෙද්දී රහස අනාවරණය වී අවසන්.
එය මට විශේෂ හැඟීමක් ඇති කළා. එය සූරියකාන්ත පිට්ටනියක්ම ලෙස මට හැඟෙන්නේ නෑ. ඊට වඩා පරිපූර්ණ සංවත්සර තෑග්ගක් තියෙන්න පුලුවන්ද?”
රිනී එසේ පවසන්නේ ආදරයෙන්.
ඔවුන් පාසල් පෙම්වතුන් ලෙස ඔවුන්ගේ ආදරය අරඹා තිබෙනවා. වයස දහසයේදී ඇගේ ආදරය ලැබුණු ආකාරය ගැනත් විල්සන් මහතා කතා කරන්නේ බොහෝ ආදරයෙන්.
ප්‍රේමය වෙනුවෙන් කරන්නට නොහැකි දෙයක් නැතැයි කතාවට පැවසූ නමුත් එය වචනවලට සීමා නොකර යථාවක් බවට පත් කරන මිනිසුන් ඕනෑ තරම් ලෝකයේ සිටිනවා. ඔහු තරුණයෙකු නොවේ. ජව සම්පන්න ලෙස ගොවිතැනෙහි යෙදුණාට විල්සන් මහතා ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නෙක්. එහෙත් ඔහු වෙහෙස නොබලා මෙවැන්නක් කරන්නට තරම් ඒ ආදරය මොනතරම් ගැඹුරුදැයි සිතන්නට හෝ ලියා තබන්නට බෑ.
“මිනිස්සු තෑගි විදියට මල් දෙන්නෙ මල්වල ප්‍රේමයේ අර්ථය කැටි වෙලා තියෙන හින්දා.මලක් අයිති කරගන්න හැම කෙනෙක්ටම සිද්ධවෙනවා ඒක මිලින වෙලා යන හැටි බලා ඉන්න.නමුත් ඔයා මිටියාවතක පිපිලා තියෙන මලක් දිහා බලන් ඉන්නව නම්, ඒක හැමදාටම ඔයා ළඟ තියේවි.මොකද ඒ මල හිරු බැහැලා යන හැන්දෑවල්වල, පින්නෙන් තෙමුණ පොළොවෙන් එන සුවඳේ, ක්ෂිතිජයේ පාවෙන වලාවන් වල කොටසක්.”
පාවුලෝ කොයියෝ ලියූ බ්‍රීඩා පොතෙහි සඳහන් මේ වාක්‍ය කිහිපය මේ ආදර කතාවට අපූරුවට ගැළපෙනවා. විල්සන් මහතාගේ මේ වෑයම මලක් ගාණේ ප්‍රේමයේ අර්ථය කැටි කරන්නට විය හැකියි. නමුත් ඔහු ඒ මල් නෙළා දෙනවා වෙනුවට මිටියාවතක්ම තිළිණ කරන නිසා රීනි මහත්මියට බොහෝ සුන්දර අත්දැකීම් ලැබේවි. සූරියකාන්ත මල් හිරු වෙත හැරෙන අන්දමත්, ඒවා මඳ පවනේ නැළවෙන අන්දමත්, ඒ මතින් හිරු බැස යන අන්දමත්, මල් යායට ඉහළ ඇති නිල් අහසත් ඇයට ප්‍රේමය ගැන බොහෝ සුන්දර මතක ඉතිරි කරන්නට ඉඩ තිබෙනවා.
ආදරයට සීමා ඇත්තේ නෑ. එය සියල්ලටම වඩා විසල් වන්නේ අප ඒ වෙනුවෙන් කරන කැපවීම් මත.
විල්සන් යුවළට දෑත් අල්ලාගෙන සියවෙනි විවාහ සංවත්සරය දක්වා ඇවිද යන්නට සුබ පැතුම්!