මම වෙනම මලක් -25

අනෝරා වැස්ස ඇද හැලේ.නොකඩවා ඇද හැලෙන වැස්ස දැන් ඕනෑවට වැඩි බව සිතුණු උමාලි ජනේලය වසා දැම්මා ය. ඉල්ලීමකින් තොරව වසා දැමුණු ජනේලයෙන් මෑත් වූ ඇය දෙස බැලුවේ නොපහන් දෑසකිනි.

“වැස්ස දිහා බලාගෙන හිටියෙ”

විකුම් එසේ කීවද මල්ලිගේ මඟ බැලීම ද කල්පනාවට වැටීම ද උමාලිට නුරුස්සයි. ඕනෑවට වඩා සිතන්නට යාම කිසිවක්ම යහපත් නොකරන බව ඇය දන්නේ අත්දැකීමෙනි.

“අපි වගේ තමයි අහසත්. දරාගෙන ඉඳල ඉඳලා කොයි වෙලාවක හරි කඩාගෙන වැටෙනවා. ඊටපස්සෙ අඬන්නෙ නතර කරන්න බැරි වෙන්න.”

මල්ලිගේ කාව්‍යාත්මක කතාවලට වෙනදා මෙන් එකඟ වන්නට උමාලි නොකැමති ය. කුමක් හෝ කවියක් පටලා ගත් විට එතැනින් ගීයක් ද එතැනින් චිත්‍රපටියක් ද දක්වා සාහිත්‍යමය කතිකා ගෙන ගිය දවස් තිබූ බව ඇත්ත ය. නමුත් මේ එවැනි කතාන්දරවලට දවස් නොවේ.

“අහසට වඩා ඔයා අඬල කියල පේනව.”

උමාලි එසේ කියන්නේ මල්ලී ය. නමුත් විකුම් නෑසුකන්ව සිටියේ ය. නොපෙනෙන සහ නොදැනෙන ලෙස ජීවත් වීම බොහෝ පහසු බව සිතෙන්නට පටන් ගෙන ටික කාලයකි. ඒ හැඟෙන පෙනෙන දේ බිඳී යන්නේ අක්කා හෝ අහස්‍යා අක්කා අසල විතරම ය.

“අඩුම තරමේ,අඩුම තරමේ නිමේෂාට වෙන කොල්ලෙක් ඉන්නවද කියලවත්.”

උමාලි එසේ කියද්දී විකුම්‍ට සිනාවක් නැඟිණ. “මහ නැට්ටුකාර කෙල්ලක් ඕයි. තමුසෙට මොලේ නරක් වෙලාද? ”එදා එසේ ඇසුවේ රුක්ෂාන් ය. එහෙත් හිස්තැන් පුරවා ගැනීම ඉතා ප්‍රවේසම් සහගතව සිදුවිය යුතු බව කියන්නට රුක්ෂාන් දැරූ උත්සාහය මෙතකැයි කියන්නට නොහැකි තරම් ය.

“මං මෝඩ වුණාට අනිත් කොල්ලො මෝඩ වෙන් නෑ අක්කා. නිමේෂා කියන්නේ රිලේෂන්ශිප් එකක් ඇතුළේ කැප කිරීම් කරන්න දන්න මනුස්සයෙක් නෙවෙයි.”

මල්ලීට හඬන්නටවත් නුවුමනා වීම ගැන උමාලිට වේදනා ඉපිදේ. අඩුම තරමේ ඔහු වේදනාව යනතුරු හඬනවානම් එය සතුටකි. නමුත් මල්ලී ගහක් ගලක් වන්නට පටන් ගෙන තිබේ.

විකුම් අක්කා දෙස බැලුවේ වෙනත් කතාවක් කියන අදහසකිනි. කියන්නට දෙයක් තිබේ. එය කියන්නේ කොහොමදැයි ඔහු දන්නේ නැත.

මිනිස්සුන්ට ජීවිතේ සෑහෙන්න මඟ ඇරෙනව. ඒත් ජීවිතේ කියන්නේ මඟ ඇරෙන්න ඕන තැනක් නෙවෙයි කියලවත් තේරෙන දවසක් මිනිස්සුන්ට එන්න ඕන.”

උමාලි කියද්දී විකුම් හිනැහුණේ වැහි අඳුරට ය.ජීවිතය වඩවඩාත් මඟ හැරෙන්නට යන බව පැවසූ විට අක්කා බැනුම ආරම්භ කරන බව ඇය දනියි.ඒ හන්දා විකුම් කතාව සඟවා ගන්නට හදිසි තීරණයක් ගත්තේ ය.

“දෙන්නෙක් ළං වෙලා රිලේෂන්ශිප් එකක් පටන් ගන්නේ ආදරෙන් ඉන්න.ඒත් ඒ ආදරෙන් ඉඳිල්ල දිගටම කරන්න බැරි නම් එකාට එකා පේන්න බැරුව යනව නම් නයි මුගටි වගේ ජීවත් වෙන්න ඕන නෑනෙ. වෙන් වෙන්න ඕන.”

උමාලි එසේ කියමින් මල්ලිගේ හිත හදන්නට උත්සාහ කළා ය. ඒකපාර්ශ්වික ප්‍රේමයක් නමක් ගමක් හෝ හරියට නොදන්නා දැරියක ගැන ඇති වී ඇතැයි පැවසීම විශාල ප්‍රශ්න ඇති වන්නට හේතුවක් බව විකුම් සිතී ය. ඔහු නිහඬ වන්නට සිතුවේ ඒ හන්දා ය.

එක් තරුණයෙකු ප්‍රේමයක සැබෑ වේදනාවෙන් එසේ වේදනා විඳිමින් හිඳිද්දී තවත් තරුණයෙකු ප්‍රේමය සිල්ලරට ගනිමින් සිටියේ ය. සෙව්වන්දි ජීවිතයෙන් එළවා දමා ජීවිතය තුළ අහස්‍යා රඳවා ගන්නා සිහිනයක එල්බ ගත් දුලාජ්ට දවස ගෙවුණේම සැලසුම් හදන්නට ය.

“කාටවත් කිසිම කෙනෙකුව අහිමි වෙන්නේ නෑ.. මොකද කවුරුවත් කිසිම කෙනෙකුට මුලුමනින්ම අයිති නොවෙන නිසා.. නිදහස ගැන තියන හැබෑම අත්දැකීම ඒක. ලෝකෙ තියන වටිනාම දේවල් අයිති කර නොගෙන ඒවත් එක්ක ජීවත් වෙන එක…” පාවුලො කොයියෝ මිනිත්තු එකොලහ කෘතියෙහි ලියා තිබූ දෙයක් දුලාජ් අහස්‍යාට ඇසෙන්නට කියෙව්වේ ය. ඒ ඔවුන් ගීතයට රූප රචනයක් සැලසුම් කරද්දී ය.

“මට නම් එහෙම අදහස් නෑ. මට ලබා ගන්න බැරි දේවල් ගැන මම හිතන්නෙත් නෑ. මං ඔය අදහස එක්ක එකඟ නෑ.”

අහස්‍යා එසේ පැවසුවේ වැඩිය සිතන්නේ නැතිව ය. කිසිවෙකු කිසිවෙකුට මුළුමනින්ම අයත් නොවන බව දුලාජ් පවසනවාට ඇය අකමැති ය. ඔහු ඒ නොකියා කියන්නේ කුමක් දැයි ඇයට වැටහේ. එහෙම විකාරයක් මෙතැන නැත. ඇය සහමුලින්ම රදීෂ්ගේ ය. 

“ආදරේ ඇතුළට නිදහස ඕනි කියන මගේ වැඩි විස්වාසයක් නෑ. කූඩැල්ලෙක් මැක්කෙක් වගේ එල්ලිලා ඉන්න ඕන කියන එක නෙමෙයි මම කියන්නේ. ඒත් ඕපන් රිලේෂන්ශිප් එකකට එකඟ නොවෙන ඕනෑම දෙන්නෙක් අනිත් කෙනාට අවංක වෙන්න ඕන.”

අහස්‍යා එසේ කියන්නේ වැඩි ගණනකට නැතිව ය. මේ යුවතිය දිනා ගැනීම අසීරු බව සිතෙද්දී දුලාජ්ට වේදනාවක් ඇති වේ. නමුත් අසීරුවෙන් දිනා ගන්නා දේවල්වලට ඇති වටිනාකම ඉහළ ය.

ආදරෙයි කසාදෙයි කියන්නේ දෙකක් කියල දැන් මට තේරෙනවා..”

සෙව්වන්දිබොහෝ දවසක් කල්පනා කිරීමෙන් අනතුරුව දුආජ්ට එසේ පැවසුවේ ඊයේ ය. ඒ මොහොතේ ඔහුගේ තොල් මත සිනාවක් ඇඳිණ.විවාහයකට බල නොකරන්නේ නම් ඇය හා විසීම ඔහුට ගැටළුවක් නොවේ. ඇයගේ ධනය ජීවිතය ගෙවා දමන්නට පාවිච්චි කරන අතර කැමැති තරමට පෙම්වතියන් ආශ්‍රය කරන්නට ඔහුට හැකියාව තිබේ

“කසාදයක් කියන්නේ තනිකරම පැවැත්ම වෙනුවෙන් කරන බොරුවක් සුද්දි.”

දුලාජ් ඔහුගේ ආටෝප සහිත බස් ඇරඹී ය.සෙව්වන්දි ඒවා තරයේ විශ්වාස කරමින් ඔහු තරම් දාර්ශනික කතා දන්නා මිනිසෙකු නැතැයි අදහන බැවින් දුලාජ් සිතට නැගෙන ඕනෑම විකාර සහගත කතාවක් පවසන්නේ ඈ සමඟ ය. කතා කරන්නට දන්නා තරුණයන්ට රැවටීම ඇතැම් තරුණියන්ගේ දුර්වලම නිලය ය. වචනවල ඇති ආදරය ජීවිතය මත තැවරෙන තෙක් බලා හිඳින ඔවුන් හති වැටෙන්නේ එය එසේ නොවන විටෙක ය.

“පැවැත්ම වෙනුවෙන්ම කියන්නත් බෑ නේද? සමහර මිනිස්සු බැන්දත් දරුවෝ හදන්න කැමති නෑනේ..එතකොට කසාදයක් මිනිස්සුන්ගෙ පැවැත්මට උදව් වෙනවා කියලා අපිට කියන්න අමාරුයි.”

සෙව්වන්දි එසේ පවසද්දී දුලාජ් කළේ උස් හඬින් හිනැහීම ය.ඔහු එතැනදී පැවැත්ම ලෙස අදහස් කළේ වර්ගයාගේ පැවැත්ම නොවේ. වෙනත් කතාවකි.

“මම කියන්නේ එහෙම පැවැත්මක් නෙවේ බබී.පුද්ගල පැවැත්ම. සාමාන්‍යයෙන් කෙනෙක් කසාදයට තෝරා ගන්නේ කොහොම කෙනෙක් කියලද ඔයා හිතන්නේ..”

ප්‍රේමවන්තයා එහෙම අසද්දී සෙව්වන්දි මොහොතක් ඒ ගැන සිතන්නට වූවා ය.අතීතයේ නම් ඈ සිතා හුන්නේ වඩාත්ම ආදරය දැනෙන තරුණයෙකු විවාහ කරගන්නට ය. එය වඩා උගත් තරුණයෙකු විය යුතු බව ඈ සිතුවේ පළමු ප්‍රේම සම්බන්ධය තුළදී ය.විවාහ කරගත යුත්තේ කඩවසම් සහ ධනවත් මිනිසෙකු බව තීරණය කරන්නට ඈ සිතුවේ සැමියා තෝරා ගනිද්දී ය. නමුත් එවැනි දියාරු උත්තර දුලාජ් වැනි ආදරවන්තයෙකුට සෑහෙන්නේ නැත.

“තමන්ට ජීවත් වෙන්න පහසුම සහ ආදරේම කෙනා. මං හිතන්නේ එහෙම. ඔයා හිතන්නේ ඊටවඩා වෙනස් විදියටද බබා?”

ඇය වඩා සුන්දර පිළිතුරක් ලබා දුන්නා  ය.ඒවා ඇගේ නිර්මිත කතා මිස සත්‍ය නොවන බව දන්නා දුලාජ් හිනැහෙමින් මොහොතක් ගෙවී ය.

“මිනිස්සු බහුතරයක්ම කසාද බඳින්න තෝරා ගන්නේ තමන්ගෙ පැවැත්ම තහවුරු කරන ගෑනියෙක් හරි මිනිහෙක් හරි තමයි සුද්දි. සල්ලි තියන මිනිහෙක්..හොඳ දේපලක් තියන ගෑනියෙක්.බුද්ධිමත් දරුවො හදන්න පුළුවන් වෙන විදිහේ මිනිහෙක්.ලස්සන ළමයි උපද්දන්න පුළුවන් විදියේ ගෑනියෙක්.. ඕක සමහරුන්ට මෙහෙම වෙනවා.සමහර පිරිමින්ට ඕනේ තමන්ගේ පරම්පරාව ගෙනියන්න පුළුවන් තරම් හයිය ගෑනියෙක්.ළමයි උපද්දවන මැෂිමක්.අන්න ඒකයි මම කියන්නේ කොයි අතින් බැලුවත් කසාදයක් කියන්නෙ බොරුවක්..”

විවාහය එපමණකට අසත්‍යයක් බව සෙව්වන්දි තවමත් නොසිතන්නී ය.තමන් සැමියාට අවංක වූවානම් ධනය ද සමාජ තත්ත්වය ද සුන්දර දරුවන් ද සියල්ල ලැබෙන්නේ උතුරා යන ආදරයක් ද සමඟ බව දැන් ඇය දන්නී ය.නමුත් ඒ සිහින ලෝකය දැන් ඇයට අයත් නැත.ඇතැම්විට සැමියාගේ ඒ සශ්‍රීකවත් ලෝකය නම නොදන්නා ගැහැනියකට අනාගතයේ හිමි වන්නට ඉඩ ඇති බව සිතද්දී ඇයට මතු වන්නේ දැඩි ඊර්ෂ්‍යාවකි. එහෙත් කරන්නට කිසිවක් නොවේ. දැන් ඇය දුලාජ් මත්තේම හිඳින ස්ථිර අධිෂ්ඨානයක එල්බ අවසන් ය. දැන් මේ හැඟීම් මොන අයුරකින්වත් වෙනස් කරන්නට නොහැකි ය.

“ඔයා මාව බඳින්න බෑ කියන්නනෙ ඔය ආටෝප ඔක්කොම කියන්නේ?”

ඇයට ඉනික්බිති හදිසියේ එසේ අසන්නට සිතිණ. කුඩා යුවතියක මෙන් ප්‍රේමයේම ඇලී ගැලී සිටීමේ ඵලක් නොවේ. සත්‍යයට ද මුහුණ දිය යුතුම වේ.

(ඔබේ අදහස් ලියා තබන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles