අම්මාගේ දේවාල පිස්සුව නිසා ජීවිතේ විනාශ වූ තරුණ දියණියක්

නෙත්මි වයස අවුරුදු දහ අටක යුවතියක්. ඇය පාසල් අධ්‍යපනයට ඒ තරම් මනාපයක් තිබූ කෙනෙක් නෙවෙයි. ඇයට කුඩා කාලයේ පටන් තිබුණේ වෙනස් වර්ගයේ සිහින.

“මට ඕනෑ නිළියක් වෙන්න. මං මොඩ්ලර් කෙනෙක් වෙන්නත් ආසයි. මං ඔය මොකුත් බැරි වුණොත් සැලෝන් එකක් දාගන්නවා.”

නෙත්මි එහෙම සිහින දකිමින් ඉගෙන ගැනීම හැකි තරම් අතපසු කළා.

දරුවන් සිහින වෙත ඇවිද යාමට දෙමාපියන් විශාල වශයෙන් බලපෑමක් එල්ල කරනවා. නෙත්මිට ජීවිතය ගැන බරපතල කමක් නැති වීමට මෙන්ම ඇය නූල කැඩුණු සරුංගලයක් බවට පත්වීමට වගකිව යුතු වූයේ ඇගේ අම්මා බව නොකියාම බැහැ.නෙත්මිගේ අම්මා වෘත්තිය ලෙස කළේ දේවාලයක් පවත්වාගෙන යාම. ඇය තමන්ට මියගිය ඥාතියෙකුගේ වරමක් ඇති බව කියමින් නිතරම ඒ කටයුතු වල නිරත වුණා. අයිසින් තවරා පෙන්වන අසත්‍ය පිළි ගන්නට අපේ රටේ මිනිසුන් ද බිඳුවක්වත් මැලි වන්නේ නැහැ. ඒ නිසා නෙත්මිගේ අම්මා වූ ගංගා ගෙවූයේ අතිශය කලබල ජීවිතයක්. ඇයට සෑම මොහොතකම දේවාලයේ කාර්යබහුල වෙන්නට සිදු වුණා.

“සුදු නෝනා.. දවල්ට ඉව්වද? සුදු නෝනා අර රෙදි ටික හේදුවද? සුදු නෝනා ඇවිල්ලා ඉන්න මිනිස්සුන්ට තේ හදනවා.”

ගංගා සෑම මොහොතකම නෙත්මිගෙන් වැඩ ගන්නට  පුරුදු වී සිටියා. එපමණක් නොවේ, නංගී සහ මල්ලිගෙ පාසල් වැඩ වලටත් දන්නා තරමින් උදව් කරන්නට ඇයට සිදු වුණා.

“මට මේ ජරා ගෙදර ඉඳලා ඇති වෙලා තියෙන්නේ.”

නෙත්මි එසේ පවසන්නට පුරුදුව සිටියා. ඇයට රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරීමට උවමනාව තිබුණත් ඒ වෙනුවෙන් මුදල් දෙන්නට ගංගා කැමති වූයේ නෑ.  

“අම්මා එන හැම මනුස්සයෙක්ගෙන්ම රුපියල් පනස්දාහට වඩා කඩා ගන්නව. මට උවමනාවකට සල්ලි දෙන්න බැරිද?”

නෙත්මි එසේ අසමින් ගංගා සමඟ නිතරම ගැටුම් ඇතිකර ගත්තත් ඇයට මුදල් ලැබුණේ නම් නෑ. ඒ නිසා නෙත්මි සෑම මොහොතක්ම ගත කර තිබුණේ ඉතාම කේන්තියෙන්.

අවන්ත, ගංගාගේ දේවාලය සොයා එන්නේ ඒ අතර. පෙනුමට අනුව අවන්ත ඉතා යහමින් මුදල් ගැවසෙන පුද්ගලයෙකු බව දැනගත් ගංගා ඔහුගෙන් හැකිතරම් සූරාකෑමට සිතා ගත්තා.

“මං ආවේ වශී ගුරුකමක් කරගන්න. මං යාළු වෙලා ඉන්න ගෑනු ළමයා මාව දාලා ගිහින්. හේතුවක් නැති විදියට මාව චෝදනා කරලා තමයි එයා මාව දාලා ගියේ. කතා කරන්න කිසිම අවස්ථාවක් දෙන්නෙ නෑ.අනේ මට එයාව වශී කරලා දෙනවද?”

අවන්ත එසේ ඇසූ විට ඔහුට ඇති අපල ද ඔහුගේ සම්බන්ධයට සඳහා ඇති බාධා ද කියමින් ගංගා විශාල බොරු තොගයක් ඇද බෑවා. ඉල්ලන ඕනෑම දෙයකට මුදල් විසි කරන මේ තරුණයා ගැන ඇයට වෙනත් අරමුණක් ඇති වුණා.

“නැවක් වගේ කාර් එකකින් එන සුද්දෙක් වගේ කොල්ලෙක්. කාමරේ අස්සේ රිංගන් ඉන්නේ නැතුව හිනා වෙලා යාලු කරගනිං. මෝඩකමට ඉන්නේ.”

ඉන්නේ කොහෙද කරන්නේ මොනවාද හරියට නොදන්නා තරුණයෙකු ගැන අම්මා කෙනෙකු දියණියකට එහෙම උපදෙස් ලබා දෙන්නේ නෑ. නමුත් මුදල් කියන්නේ ජීවත්වීමට එකම සාධකය බව සිතන බොරුවෙන් ජීවත් වන ගංගා නෙත්මිට ලබා දුන්නේ එවැනි අදහසක්.

“මං ඒ මනුස්සයගෙ වශිය හරියට මතුරන් නෑ. දේවාලෙට යන එන අතරේ උඹ හරියට වැඩේ කරගනිං”

ඇය නෙත්මිට එසේ පැවසුවා. කොහොමටත් අම්මාගේ මන්තර සහ යාතිකා කිසිම ප්‍රයෝජනයකින් තොර දේවල් බව දන්නා නෙත්මි එයට නම් කළේ හිනැහීම පමණයි. නමුත් මේ වෙද්දී ඇගේ “ක්‍රෂ් එක” බවට අවන්ත පත් වී තිබුණා.

හැරගිය පෙම්වතිය ලබා ගැනීමේ අදහස අවන්තගෙන් ක්‍රමයෙන් දුරස් වී ගියා. ඔහු නෙත්මිට ක්‍රමයෙන් ළං වෙන්නට පටන් ගත්‍තා. ගංගා එක් එක් ගුරුකම්වලට විවිධ තැන්වලට යද්දී අවන්ත සමඟ නිදහසේ සංචාරයේ යෙදීම නෙත්මිගේ පුරුද්දක් බවට පත් වුණා. 

“මට ගෙදර ඉන්න එක ඇති වෙලා. ඔයා හිතන්නකො එන මිනිස්සුට තේ හදන්නයි ගෙදර වැඩ කරන්නයි මට ජීවිතේ තිත්ත වෙලා තියෙන්නේ.”

නෙත්මි තමන්ට ඇති ඇත්තම ප්‍රශ්නය අවන්ත සමඟ එසේ විස්තර කළා. කුඩා කාලයේ පටන් තිබූ සිහින දේවල් ඉටු කරගන්නට නොහැකි වීමද ගැන ඇයට කියන්නට බොහෝ කතන්දර තිබුණා. අවන්ත තරමක් ජනප්‍රිය රෙදිපිළි වෙළඳ සැලක් පවත්වා ගෙන ගිය අයෙක්.

“අම්මාගේ දේවාලෙට උදව් කරන්න බැරිනම් ඔයා යමු මාත් එක්ක. ඔයාට පුලුවන් නේද මාත් එක්ක මගේ ෂොප් එකට උදව් කරන්න.”

අවන්ත එහෙම අසද්දී නෙත්මිට සිතුණේ ඇය අහසේ පා වෙන බවක්. ඇගේ නිවස කිසිම පහසුවක් සහිත එකක් නොවේ. කුලී නිවසක් වූ එහි මූලික පහසුකම් පවා තිබුණේ අඩුවෙන්. ගංගා මිනිස්සුන්ගෙන් කඩා වඩා ගන්නා මුදල් වලින් කරන්නට අනවශ්‍ය වියදම් බොහෝ වූ නිසා ඔවුන්ට කියා අනාගතයක් තිබුණේම නැති තරම්. නෙත්මිට ද අනාගතය ගැන විශාල සිහින තිබුණේ නැහැ. නමුත් ඇයට සුවපහසුවට ජීවත් වීමට ආසාවක් තිබුණා.

අම්මාට නොදන්වාම අවන්ත සමඟ යන්නට නෙත්මි කටයුතු කරනවා. සාමාන්‍ය භාෂාවෙන් පැවසුවහොත් “පැනලා යන්නට ලැබීම”  ඇයට තරමක ත්‍රාසජනක අත්දැකීමක් ද වුණා. මාල හතක් පැළඳ පෝරුවේ නැගීම යුවතියන් බහුතරයක සිහිනයක් වුණත් නෙත්මි හැදී වැඩුණු වටපිටාව මත ඇගේ සිහිනය වූයේ තරුණයෙකු සමඟ පැන යාමයි. ඒ සිහිනය ඉටු කර ගැනීමට ලැබීම ඇයට මහත් සතුටක් වුණා.අවන්ත කුලී පදනම මත ලබා ගත් හොඳ මට්ටමේ නිවසකට ඇය රැගෙන ආවා.  සතුටින් ජීවිතය ඇරඹුවත් නෙත්මිට විශාල ප්‍රශ්නයක් තිබුණා.

“ඇයි අයියේ අපි කසාද නොබඳින්නේ? මට කසාද බඳින්න ඕන. අපි දෙන්නා එකට ජීවත් වෙන්න පටන් ගත්ත නිසා මෙහෙම බලාගෙන ඉන්න එකේ තේරුමක් නෑනෙ.”

නෙත්මි එසේ කියද්දී අවන්තට කියන්නට දෙයක් තිබුණා.

“නෙතූ,ඔයා තාම පොඩි. 18 පැන්න විතරයි. ඔයාට සැලෝන් කෝස් එකක් එහෙම කරන්න ඕන කිව්වනෙ. ඒවා කරන්න මම සල්ලි දෙන්නම්. ඉගෙන ගන්න පටන් ගන්නකො. ඔයා සැලොන් එකක් හෙම දාගෙන තැනකට ආවට පස්සේ මම ඔයා ගැන අපේ ගෙදරට කියන්නම්. ඔයා දේවාලයක් කරන ගෑනු කෙනෙක්ගේ දුවෙක් කියලා මට මගේ අම්මලාට කියන්න බෑ “

එසේ කියමින් අවන්ත කතාව මඟ හැරියත් කුමක් හෝ ගැටළුවක් ඇති බව ඇයට නොවැටහුණාම නොවෙයි. 

“ඔයා අර අපේ අම්මා ලවා වශී කරගන්න ආව අක්කාට ඔයා තාම ආදරෙයි නේද? ඒක නේද ඔයාට මාව එපා වෙලා තියෙන්නේ”

නෙත්මි එසේ අසමින් රණ්ඩු කරද්දී එහෙම කිසිම දෙයක් නොමැති බවට අවන්ත සහතික කර පැවසුවා. නමුත් ඇය සිතූ කාරණාව අර්ධ වශයෙන් ඇත්තක් බව වැටහෙන්නට වැඩි කාලයක් ගියේ නෑ.

අවන්ත වෙළඳ සැලට ගොස් සිටි මොහොතක දොර සීනුව නාද වූ නිසා නෙත්මි ඒ ගැන විපරම් කළා.පැමිණ සිටියේ සුන්දර තරුණ ගැහැනියක්. ඇය කවුදැයි කල්පනා කරද්දී නෙත්මිට යම් කල්පනාවක් පැමිණියා.

“මේ අවන්ත අයියා වශී කරගන්න ඕනෑ කියලා ගෙනාපු ෆොටෝ එකේ ගෑනු කෙනා නේද?”

ඇය එහෙම සිතමින් කම්පනයට පත් වුණා. නමුත් අම්මා කියන පරිදි දෙපතුලට ගෙන්වා දීම් සිදු වන්නේ නැති බව ඇය දන්නවා. ඒ නිසා ඇයට ගුරුකම් ගැන සැකයක් නෑ. එහෙත් කුමක් හෝ ගැටලුවක් ඇති බව පැහැදිලියි.

“අක්කේ, ඔයා අවන්ත අයියා දාලා ගියාට පස්සේ එයා ඔයාව වශී කරගන්න අපේ අම්මගේ දේවාලෙටත් ආවා.ඒත් ඒ කිසිම දෙයක් සාර්ථක නොවුණු නිසා නේ ඔයාලා වෙන් වුණේ. එයා දැන් මගේ.අපි ලඟදිම කසාද බඳිනවා. අනේ අක්කේ, අපිට කරදර නොකර යනවද?”

නෙත්මි එසේ අසද්දී පැමිණ සිටි යුවතිය පාරමීට සිදු වී ඇති දෙය තේරුම් ගියා. ඇය මේ යුවතියට සියල්ල පැහැදිලිව තේරුම් කරන්නට කල්පනා කළේ මුලින් තිබූ අදහස අතැර දමමින්.

“නංගි, මම අවන්තගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවෙයි. වයිෆ්. ඔයා නොදන්නවට අපි තාම කසාද බැඳලා ඉන්නේ. ඇත්තටම එයා මාව වශී කරගන්න හදන්නෙත් මට ආදරේකට නෙවෙයි. මගේ සල්ලිවලට ආදරේට. මං එයාව දාලා ගියේ එයාගේ අනවශ්‍ය සම්බන්ධකම් නිසා. දැන් ඔයා එක්ක පවුල් කන නිසා මට පුලුවන් ඔයාව සම විත්තියට දාලා නඩු දාන්න. ඒත් ඔයා රැවටුණු පොඩි ගෑනු ළමයෙක් නිසා මං එහෙම කරන්නේ නෑ.”

නෙත්මිට දැනුණේ මුළු ලෝකයම බිඳ වැටුණු වගක්..ඇගේ හැඬීම දෙස බලා සිටි පාරමීටත් වෛරයක් වෙනුවට දැඩි වේදනාවක් දැනුණා.

පාරමී සහ අවන්ත අතර විවාහයට දැන් පස් වසරක් පිරී තිබුණා. අවන්තගේ කෙළවරක් නැති අනියම් සම්බන්ධතා නිසා පාරමී ඔහු අතැර යන්නේ කළකිරීමෙන්. ඇයට නිවසට එන්නැයි නොවදින වැඳුම් වදින අවන්ත අවසානයේ දේවාල වෙත පවා යන්නට කටයුතු කර තිබුණා.ඒ සැබෑ ආදරයකින් නොවේ. පාරමී පවසන පරිදිම මූල්‍යමය කාරණා මත.

පාරමී අනාචාරය යටතේ සාක්ෂි සහිතව අවන්තට නඩු පවරා දික්කසාදය ලබා ගන්නට කටයුතු කළා. නෛසයි තීන්දුව ලැබීමෙන් පසු ඔහුට නෙත්මිව විවාහ කරගන්නැයි පාරමී ඉල්ලා සිටියේ සැබෑ මනුෂ්‍යත්වයෙන්.තිස් හතර හැවිරිදි මිනිසෙකු අතින් එතරම් ළාබාල යුවතියක රැවටීමට ලක් විය යුතු නැතැයි පාරමී විශ්වාස කළා.

“මට ඔයාව එපා. ඔයා අපේ අම්මා ගාවට ඇවිත් දෙයියන්ටත් බොරු කිව්වා. අම්මත් කරන්නෙ බොරු නිසා ඒක නං කමක් නෑ කියමුකෝ.ඒත් ඔයා මගේ ආදරේට බොරු කරා. මට ඔයා එපා.”

නෙත්මි ඔහුව තදින් ප්‍රතික්ෂේප කර දමා රටින් පිටවී ගියා. අපේ සේවාදායිකාව වූ පාරමී පවසන අන්දමට දැන් නෙත්මි මැද පෙරදිග ගෘහ සේවිකාවක්.

විවිධ අවිචාරවත් රැකියා වලට යොමු වන දෙමාපියන් නිසා දරුවන්ට අපහසුතාවයට ලක් වන්නට සිදු වන බව නෙත්මිගේ ඛේදවාචකය මඟින් අපිට පැහැදිලි වෙනවා. මිල මුදල් ඇති බව පෙනෙන තරුණයන්ට තමන්ගේ සිහින සියල්ල ම සැබෑ කළ හැකි බව දරිද්‍රතාව ඇති පවුල් වල යුවතියන් විශ්වාස කිරීම තවත් ගැටළුවක්.

නෙත්මි, මේ කාරණා සියල්ලම නිසා ජීවිතය වරද්ද ගත් යුවතියක වීම සැබෑ වේදනාවක්.

Related Articles

Don't Miss


Latest Articles