“ඒ ලෙවල් රිසල්ට්ස් එන්න ළඟයි නේද?”
ඉන්නා පරිසරය ගැන කිසිදු කතාවක් නැවත නොපැවසූ විකුම් නිලුපුලීගෙන් එසේ අසා එවා තිබිණි. නිලුපුලී බය සහ චකිතය ඇති ඉමෝජියක් යවන්නට තීරණය කළා ය.
“ඔයා හොඳටම පාස් ඇති. බය වෙන්න එපා.තමන්ගේ අනාගතය ගැන හිතලා මහන්සිවෙලා වැඩ කරන මිනිස්සු කවදාවත් පරදින්නෙ නෑ.”
විකුම් එහෙම ලියා එවා තිබිණ. එහි වරදක් ද නැත.ඔහු කියන්නේ ඇත්තකි. වේල්ල වත්තෙන් එගොඩ වන දිනයක් ගැන නිලුපුලිට නියත සිහිනයක් තිබිණි. ඇය ඒ සිහිනය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කළා ය. ඉගෙනීම මිස එවැනි තැනකින් නික්මෙන්නට වෙනත් හේතු නැති බව ඇගේ මනසට වැටහෙන්නට ගත්තේ තේරෙන වයසට එද්දී ය.
“උඹට නම් ඔය ලස්සනෙන් ප්‍රයෝජන අරගෙන මේකෙන් එළියට යන්න පුළුවන්.”
එහෙම කියන අය ඕනෑතරම් වත්තේ සිටිය හ. ලස්සන කෙල්ලන් ඕනෑම තැනක සිටින නමුත් උගත් කෙල්ලන්ට ඊට වඩා තැනක් තිබෙන්නට නොහැකිදැයි නිලුපුලී සිතුවා ය.
“ලස්සන ප්‍රයෝජනේට ගන්නවනම් එක්කො හොඳ මනුස්සයෙක් ව අල්ලගන්න ඕනි. නැත්තං නිළියක් හරි මොඩ්ල් කෙනෙක් හරි වෙන්න ඕනි. එහෙමත් නැත්තං ඊට වඩා පහළම ඔප්ෂන් එකට යන්න ඕන. ඒ නැතුව වත්තෙන් එළියට යන්න ලස්සනෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ මොකක්ද?”
ඇය එවැනි මොහොතක ඇගෙන්ම අසා ගත්තා ය.
ඉගෙන ගැනීම පහසු නැත. අමතර පන්ති යන්නට ද අවශ්‍ය පොත පත ගන්නටද ඇයට මුදල් නොතිබූ තරම් ය. ඒ දවස්වල අම්මා ඇය සමග බින්දුවක්වත් හිතේ හොඳක් තිබුණේද නැත. ඒ නිසා ඉගෙන ගැනීම ලෝකයේ ඇති අමාරුම කටයුත්ත බව නිලුපුලි ඕනෑතරම් සිතුවා ය. නමුත් ඉගෙනගෙන හොඳ රස්සාවක් ලබා ගත් පසු මේ වත්තෙන් එගොඩ වන්නට හැකි ය. කුඩා නිවසක් හෝ කුලියට ලබාගෙන නිස්කලංක ජීවිතයක් ගෙවන්නට ද හැකියාව තිබේ.
“ජීවත් වෙන්න මිනිහෙක් ඕනෑම නෑ බං. ඒත් සල්ලි ඕනෑ. මගේ මොලේ මහන්සි කරලා කරන රස්සාවකින් හොඳට සල්ලි හම්බ කරන්නයි මට ඕනේ.. ඇඟ මහන්සි කරල සල්ලි හම්බ කරන අය ඕන තරම් මේ වත්තේ ඉන්නව නේ”
නිලුපුලී රුක්ෂානිට එසේ පැවසුවේ ඒ හන්දා ය. ඇයට තිබුණේ එවැනි සංකල්පනා ය.
“පාස් වුණොත් ඒ මගේ වාසනාව. පාට් ටයිම් හරි ජොබ් එක කරන්නත් රදීෂ් සර්ගෙන් උදව් ඉල්ලන්න ඕන.”
නිමේෂා වැනි යුවතියන් සමඟ බලද්දී නිලුපුලී ජීවත් වන්නට මොනතරම් අරගලයක් කරන්නේදැයි විකුම්ට සිතුණේ ඒ මොහොතේ ය. ඇයට සරසවි අධ්‍යාපනයට යන්නට සිදු වුණත් රැකියාව අත හරින්නට හැකියාවක් නැත. ජීවන සටන සහ අනාගතය අතර ඇය සිරවී තිබේ. විකුම්ට දැනුණේ වේදනාවකි.
“අහස් අක්කයි රදීෂ් අයියයි හොඳ මිනිස්සු. මං හිතන් නෑ කීයටවත්ම ඔයාට ඉගෙන ගන්නකොට රස්සාව නැති වෙයි කියලා.”
මුලින්ම ලියනාරච්චි යුවල ඇපයට තැබූ ඔහු ඊළඟ වචන පැවසුවේ ඉන් පසුව ය.
“අපි උදව් කරන්නම්. ඔයා ඉගෙන ගන්න. පුලුවන් තරම් ඉහළට ඉගෙන ගන්න.”
නිලුපුලීට ඒ වචන දැනුණේ මහත් සැනසිල්ලක තැවරී ය. වචනයෙන් නොපවසා ද ආදරය කරන්නට හැකි බව ඇයට සිතිණ. ඔහු කතා කරන්නේ ලැදියාවෙනි. ආදරයෙනි. ආදරයක් ඇති බව නොපැවසුවාට ඇයට ඒ වාගේ කතා ජීවත් වන්නට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් ය.
ජීවිතය තුළ ගන්නා සමහර තීරණ වැරදී ගිය පසු එතැනින් එහා ගන්නා බොහෝ තීරණ වැරදී යයි. නිමේෂා පසු කරමින් සිටියේ එවැනි කාලයකි. එහෙත් මෙතැනින් එහා එසේ නොවිය යුතු බව ඇය සිතමින් සිටියා ය. ඇයට එසේ සිතන්නට ද ඕනෑ වූවා ය. ඇගේ ප්‍රසිද්ධ බව තව වැඩි කරන්නට සමත් සහකරුවෙකු ගැන ඡායාවක් ඇගේ සිතේ කොනක ඇඳෙමින් තිබිණ.
“ආදරේ කරන්න දන්න මිනිහෙක් ලැබෙනව නම් එතනින් එහා මොකුත් ඕන නෑනෙ.”
දිනක් එසේ පැවසුවේ ඇය සමඟ යූ ටියුබ් වීඩියෝවල රංගනයේ යෙදෙන පාරමී ය. නමුත් නිමේෂාගේ අදහස එතැනින් එහා එකක් විය.
“ආදරේට විතරක් සැපෙන් සනීපෙන් ජීවිතයක් හදලා දෙන්න බෑ. ආදරේ තම්බලා කන්න බෑනෙ. මිනිහෙක්ට සල්ලි තියෙන්න ඕන.මම විකුම්ව තෝරා ගත්තු එකම හේතුව ඌ පරම්පරාගත සල්ලිකාරයෙක් වෙච්ච එක”
ප්‍රේමය මුදල හෝ වත්කම මත පදනම් විය යුතු බව ඇය විශ්වාස කරයි.බොහෝ අරමුණු වෙර වීර්යයෙන් උපයා ගන්නා වර්තමානයට වඩා සතයක්වත් අතේ නැති වූ කාලයේ ඇගේ ජීවිතය බොහෝ අසීරු වූ බව ඇයට මතක ය. විකුම් මුණ ගැසෙන්නට පෙර ඇය ආදරය කළ සහන් ද මුදල් හදල් තිබූ කොලුවෙකු නොවේ.
“මං සල්ලි තියන කාලෙක අරන් දෙන්නං.”
ඔහු එකල එසේ පිළිණ දුන්නා පමණක් නොවේ. වැර වෑයමකින් ඒවා ඇයට රැගෙන දුන් දවස් ද තිබිණ. නමුත් විකුම් එසේ නොවේ. ඕනෑ නැති වියදම් කිරීමෙන් වළකින්නැයි නිමේෂාගෙන් දොස් අසනතුරුම ඔහු ඇය කැමති දේ රැගෙන ආවේ ය.
“මං දොඩම් ගෙඩියක් කන්න ආසයි කිව්වම දොඩම් වත්තක් ගේන්න එපා අයියෝ. තව පළතුරු ඕන තරම් තියනවනෙ. ඔයාට මං දේකට ආසයි කීවම ඒවම අරන් සල්ලි නාස්ති කරනවා.
එහෙම කියද්දී පවා විකුම් කළේ හිනැහීම ය.
එහෙත් ඒ සියල්ල අතීතයකි. දැන් ඇය ඉන්නවාදැයි සිතන්නටවත් කාලය නාස්ති නොකරන පෙම්වතෙකු ගැන සිතමින් කාලය නාස්ති කිරීම කළ යුතුම දෙයක් නැති බව නිමේෂා තීරණය කළේ රූගත කිරීමකට පිටත්ව යන අතර ය.
“විකුමා එක්ක තිබ්බ අෆෙයා එක බ්‍රේකප් වුණාට පස්සෙ අහස්‍යා ගෑනි එයාගේ අලුත් වීඩියෝ එකට මට කතා කරන් නෑ වගේ.”
ඇයට ඒ අතර සිහියට ආයේ ය. නමුත් අහස්‍යාගෙන් ඵලක් නොවේ. ඇයට දුලාජ්ට අමතන්නට සිතිණ.