මම වෙනම මලක් – 33

“අම්මගෙ තිබ්බ කැලෑ ගති තමයි උඹටත් තියෙන්නේ. වත්තක ගැනියෙක්ගෙ ළමයෙක් හොඳ වෙන්නේ කොහොමද?”

පුංචි අම්මා දන්නා කාලයේ පටන් එසේ දෙස් තිබ්බා ය. රදීෂ් හොඳින් ඉගෙන ගනිද්දී පවා ඇයට තිබුණේ එවැනි චෝදනා ය. ඔහු මුඩුක්කුවකට අයත් කොල්ලෙකු බව ඇය කැට තබා කීවා ය.

“වේල්ල වත්තට පලයං උඹ අයිති එහෙට”

පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන්නට මුදල් උවමනා බව තාත්තාට කියද්දි පුංචි අම්මා කඩා පැන්නා ය. අම්මාගේ නම චාරුලතා බව උප්පැන්නයේ සඳහන් වීම සහ ඇගේ එකම එක ඡායාරූපයක් ගෙදර මුල්ලක තිබීමත් හැරුණු විට අම්මා කෙනෙකු ගැන කියන්නට කිසිම සාක්ෂියක් තිබුණේ නැත. නදීෂ්ගේ අම්මා වූ කල්‍යානිට උවමනා වූවානම් චාරුලතා ගැන කතාන්දරය සදහටම සඟවන්නට ද තිබිණි. නමුත් ඇයට ඒ තරමට විශාල හිතක් තිබුණේ නැත.කුඩා දරුවෙකුට අම්මා වීම අපහසු නැත. චාරුලතා මිය යද්දී රදීෂ් කුඩාවෙකි. ඔහුට හොඳ අම්මා කෙනෙක් වන්නට තැත් කිරීම කල්‍යානි අහකටම දැමුවා ය. ඇය රදීෂ්ගේ තමන්ගේ නොවන බව මතක ඇති කාලයේ පටන්ම ඔහුට පැවසී ය.

“මේ බිස්නස්වල මූට දෙන්න දෙයක් නෑ…”

හාඩ්වෙයාර් එකක එහෙමකට දෙයක් නැති බව ඇත්තකි. නමුත් තාත්තාට රහස් ව්‍යාපාර ඕනෑතරම් ඇතැයි ද රදීෂ් දැන නොසිටියා නොවේ. ඔහුට ඒවා ඕනෑ වූයේ නැත. ඔහුට ඕනෑ වූයේ ව්‍යාපාර කළමනාකරණය ඉගෙන ගන්නට ය. ඉන්පසු ලියනාරච්චි ලෝකයෙන් පිටවන්නට ය. එහි කිරුළ හිමි කුමරා නදීෂ් ය. විදූෂාගේ පැවැත්ම ද රදීෂ්ට ඒ තරමට ගැළපුණේ නැත. ඒ හන්දා ඔහුට ඕනෑ වූයේ සියල්ල අත් හැර දා පිට වෙන්නට ය. ඒ ගමන පටන් ගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ව්‍යාපාර කළමනාකරණය හැදෑරීමෙන් වුවත් එය නැවතුණේ ලිලී ෂේඩ් ඇරඹීමෙනි, අහස්‍යා හමු වීමෙනි.  පාලිත ලියනාරච්චිගේ පුතෙකු වී අහස්‍යාව හිමි කර ගැනීම කිසිසේත් පහසු වූයේ නැත. නමුත් අහස්‍යා ඔහුට උමතුවෙන් ප්‍රේම කරමින් සිටියා ය. ඒ ප්‍රේමයෙහි අහුකොන් තිබුණේම නැත. වසර විසි ගණනකට පසු ආදරයට නිර්වචන රදීෂ් දැන ගත්තේ ඇයගෙනි.

“ජීවත් වෙනවට ජීවත් වුණු මම කිසිම හැඟීමක් දැනීමක් තිබුන මිනිහෙක්වත් නෙවෙයි. මට ආදරේ කරනවට පින් මැණික.”

ඔහු එහෙම පැවසුවේ බොරුවට නොවේ. අහස්‍යාගේ උවමනාවට මල් ව්‍යාපාරයක් අරඹද්දී කෝටිපති ව්‍යාපාරිකයෙකු වීමේ සිහිනය ඔහුගේ සිතින් බැස ගොස් තිබිණි. ඒ වෙද්දී ඔහුට් උවමනා වූයේ ජීවත්වීමට සරිලන මුදලක් උපයමින් අහස්‍යා සමඟ නිදහසේ ජීවත් වන්නට ය.

“මට අම්මා ගැන හොයන්න හිතෙනවා.ඔයාගේ ආදරේ මට අම්මෙක්ගෙ ආදරෙත් මතක් කරලා දෙනවා. ඔයාගේ අම්මා මටයි උමාලිටයි ඔයාටයි ගගනටයි වගේම ආදරෙයි.අන්න එහෙම වෙලාවට මට මගේ අම්මා ගැන හොයන්න හිතෙනවා.”

කුඩා කාලයේ පිට රටවලට අලෙවි කරන ලද හෝ කුල වද්දන ලද දරුවන් ඉතා සුළු සාක්ෂි මත තමන්ගේ අම්මා සොයා පැමිණෙන කතන්දර ඕනෑතරම් වේ. මිනිසුන් එපමණකට නිර්භීත ය. දේවල් සොයා යන සුළු ය.

“එහෙම එන්නේ කට වචනෙට කිව්වොත් සුද්දො බං. අපි මේ කිලෝමීටර් පහ හයක් දුරකින් තියන වත්තකට ගිහින් ඕක ඇහුවට සුද්දන්ට දෙන සපෝට් එක අපේ උන් අපිට දෙන් නෑ.”

ගගන එහෙම කියමින් රදීෂ්ව අධෛර්යමත් කළේ ය. ඒ කාරණා දෙකකට ය. පළමුවැන්න මස්සිනාගේ මුල් කොළඹට තදාසන්න නගරයක තිබීම ගැටළුවක් නැත. නමුත් එය වේල්ල වත්තේ වීම ගැටළුවකි. අනෙක ඊට වඩා භයානක හේතුවකි. ඒ ඔය වතුකාරයන් සමඟ ගැටෙන්නට යාම ය. ඇත්තටම රදීෂ්ගේ අම්මා ඒ වත්තේ කෙනෙකු නම් ඔහුව ආදරයෙන් පිළි ගන්නට හේතුවක් තිබීම පවා උගහට ය. චාරුලතා මිය ගොස් තිබෙන්නේ සියදිවි නසා ගැනීමකිනි.

“මට දුකයි. ඇත්ත අතමානේ තියනවා. ඒත් හොයා ගන්න බෑ කියලමයි මට හිතෙන්නේ.”

රදීෂ් එසේ කියමින් දුක් වූ දවස් අනන්ත ය. පසුව ඔහු එය අතැර දමන්නට සිතී ය.අම්මා මියගොස් ය. ඇගේ නෑදෑයන් තමන්ව ඔවුන්ගේ යැයි පිළිගන්නට සතුටු වේදැයි කියන්නට අසීරු ය. ඒ හන්දා ඒ සිහිනය මිය යන්නට ඔහු ඉඩ දුන්නා ය.

එහෙත් නිලුපුලී ආවේ හදිසියේ ය.

“දුප්පත් ළමයෙක්.කැම්පස් යනකම් වැඩ කරපුදෙන් බබා. මං කියන්නේ ඒ අතර හරි පාට්ටයිම් කරන්න එයා සතුටු නම් කරපුදෙන්”

සැමියාගේ ව්‍යාපාරවලට අත දමා සියල්ල අවුල් කර දමන ගැහැනු ඕනෑතරමට වෙති. නමුත් අහස්‍යා රදීෂ්ගේ ව්‍යාපාරය වෙනුවෙන් ලබා දුන්නේ සුළු දායකත්වයකි. ආයතනය වෙනුවෙන් හොඳම තීරණයක් ගැනීම හැරෙන්නට ඒවා කිසිම අවස්ථාවක වෙනත් කෙනෙකුගේ හදවත බිඳ දමන දෙයක්වත් රදීෂ්ට හානියක් කරන දෙයක්වත් වූයේ නැත.

“ඒ දරුවා වේල්ල වත්තේ”

රදීෂ් බිරිඳට එසේ පැවසී ය.

“ඔයා ඕක ඔය තරමට හොයන්නේ නදීෂ්ලගෙ අම්මාගෙ නපුරුකම නිසා කියලා මට තේරෙනවා.”

අහස්‍යා කියන්නේ ප්‍රේමවන්ත සැමියාගෙ හිස පිරිමදිමිනි.

“මං දරුවෙක් හදන එක පරක්කු කරන හේතුව ඔයා දන්නවද?”

රදීෂ් අසද්දී අහස්‍යා හිනැහුණා ය. ඇය හේතු ගණනාවක් සිතා තිබේ. ඇතැම්විට ඔහු අහස්‍යා ගායිකාවක ලෙස සාර්ථක වන තුරු මඟ බලනවා විය හැකි ය.අතීත වේදනා ඔහු රිදවන හෙයින් හදිසියේ අහස්‍යා මිය ගියහොත් දරුවාට අයත් වන ඉරණම සිතමින් ඔහු බියට පත් වෙනවා වන්නට ද පුලුවන.

එහෙත් ඔහු පැවසුවේ වෙනම කතාවකි!

“මට හරි බයක් දැනෙනවා. මට හොඳ තාත්තා කෙනෙක් වෙන්න බැරි වුණොත්.අපේ තාත්තා කිසිම දවසක හොඳ තාත්තා කෙනෙක් වුණේ නෑ. මං එයාගේ අඩිපාරේ යයි කියලා මට බයයි.”

එහෙම වීමට ඇති ඉඩ අල්ප ය. නමුත් රදීෂ්ට එය වටහා දිය යුතු වන්නේ සීරුවෙන් බව අහස්‍යා ඒ මොහොතේ ද සිතුවා ය.

“ආදරයක් හින්දා හිත රිද්දා ගන්නවට වඩා අම්මා තාත්තා නිසා හිත රිද්දා ගන්න එක සෑහෙන අවුල් කියලා මම පිළි ගන්නවා බබා. ඒත් දැන් ඔයා ඔය මතකෙන් මිදෙන්න.”

ඒ මතකයෙන් මිදෙන්නට ඇය ඔහුව මනෝ උපදේශකයන් වෙත පවා ගෙන ගොස් තිබේ. ඒ හැම ප්‍රතිකර්මයක් ම තාවකාලිකදැයි ඇය සිතුවා ය.

“මේ ගෑනු ළමයා පුංචි. එයා වේල්ල වත්තේ වුණාට එයාට අම්මා ගැන මොනවත් දැනගන්න ඉඩක් නෑනේ. ඊටපස්සෙ එයා ඕවට එයාගේ අම්මලාව සම්බන්ධ කර ගනියි. ඔය මහ මිනිස්සු ඕවට සම්බන්ධ වෙන්න ගත්තම නිලුපුලීටත් පාඩුවේ රස්සාව කරගන්න ඉඩක් නැතුව යනවා.”

අහස්‍යා සිදුවිය හැකි දේ දිගින් දිගටම විස්තර කළා ය. රදීෂ් ඒ සියල්ල පිළි ගත් ලෙස හැඟවූ බව ඇත්තකි. ඇගේ සහතික පත් පරීක්ෂා කළ ද උප්පැන්න සහතිකය බලන්නට ඔහුට සිතුණේ ඊයේ ය. හැඳුනුම්පත පමණක් ගෙනවිත් තිබූ දැරිය උප්පැන්න සහතිකය ගෙන ආවේ මානව සම්පත් කළමනාකරණ නිලධාරිනිය රදීෂ් හරහා ද සිහි ගැන්වීමක් කළ පසු ය. එහි යම් කොස්සක් ඇතැයි ඔහුට සිතුණේ ඒ නිසා ය.

එහි පියාගේ නමට වූයේ ඉරකි!

ඒවා ගුණදහම් නාඳුනන රටක ගැහැනුන්‍ට අත් වෙන ඛේදජනක ඉරණම බව සිතා රදීෂ් ලිපි ගොනුව වසා දමන්නට සැරසුණා විතර ය.

නිලුපුලීගේ අම්මාගේ නම පැමිණ ඔහුගේ ඇසේ ඇනිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles