“ඔයාගේ කොම්පැනිය අයිති ලොකු අම්මගෙ එකම පුතාට. ඒ මහත්තයා ඔයාගෙ අයියා පුතේ.”
අම්මා එසේ පැවසූ දවස නිලුපුලී සිහි කළා ය. එහෙත් කිසිවක්ම රදීෂ්ට නොපවසන්නැයි අම්මා කියා නැත. ඒ හන්දා රහස් හෙළි කිරීම ගැන නිලුපුලී ලොකුවට නොසිතන්නට සිතා ගත්‍තා ය.
“මට රදීෂ් සර් දැක්ක ගමන් ආදරේ හිතුණා. ඒ ආදරේ විකුම් වෙනුවෙන් ඇති වෙන ආදරේට වඩා වෙනස්. ඒ ආදරේ තේරුම මොකක්ද කියලා හිතන වාරයක් ගානේ අමතක වෙන දේ තමයි එයා මගේ අයියා කියන එක.”
එය අමතකව යන්නට තරම් කුඩා කාරණාවක් නොවේ. නමුත් නිලුපුලී එය අමතක කර දමා ඉන්නට තරම් කැමැති ය. ඒ අන් කිසිවක් නිසා නොවේ. රදීෂ් සහ අහස්‍යා තමන් නැගණියක කර පිළි ගන්නට කිසිම ඉඩක් නැති හන්දා ය.
“එතකොට ඔයා ඇයි මෝඩියක් වගේ විකුම්ට ළං වෙන්න හදන්නේ.ලොකු අම්මගෙ අවසානෙම අත් කර ගන්නද? රදීෂ් ඔයාව තමන්ගේ නංගි කරගත්තත් විකුම් සර්ගෙ පවුලේ අය වේල්ල වත්තේ කෙල්ලක් බාර ගන්නේ නෑ.”
නිලුපුලී සේදුම් කාමරයට ගොස් කැඩපතෙන් පෙනෙන රුව හා දබර කරන්නට ගත්තා ය.
“පුදුම උනන්දුවකින් පවුලෙම විස්තර දිග ඇරියේ ඇයි නිලුපුලී.අඩුම තරමේ ලොකු අම්මා ගැන දන්නේ නෑ කියන්නවත් තිබ්බනෙ. රදීෂ් සර්ට මේ ඇත්ත කියා ගන්න උවමනාවක් ඔයාට තියනවා නේද?”
කැඩපතෙන් පෙනෙන රුව අසන්නේ රවමිනි. නිලුපුලී ඒ රුවට, ඇයටම රවා බැලුවා ය.
“රදීෂ් සර්ට එයාගේ අම්මා ගැන හොයන්න ඕනෑ ඇති. මටත් මගේ තාත්තා ගැන හොයන්න ඕන. බොස් කෙනෙක්ටයි ස්ටාෆ් මෙම්බර් කෙනෙක්ටයි පර්සනල් ලයිෆ් එක බෙදා ගන්න පුලුවන් සීමාවක් තියනවා තමා. ඒත් අයියෙකුටයි නංගියෙකුටයි එහෙම නෑ. “
අයියාට ඔහුගේ අම්මා ගැන දන්නා සියල්ලම කියන්නට හැකි බව ඇය සිතුවා ය. නමුත් ඇගෙන් ලබා ගන්නට පොරොන්දුවක් ද වේ.
“මටත් මගේ තාත්තා හොයලා ඕනෑ අයියේ.”
දවසක රදීෂ්ගෙන් එපමණක් ඉල්ලන්නට ඇයට ඕනෑ විය. ඔහු කියන පරිදි ඉගෙන ගන්නට පෞද්ගලික විශ්ව විද්‍යාල හෝ කිසිවක්ම ඕනෑ නැත. අයියා කෙනෙකු ලෙස ඔහුගෙන් ඕනෑ එක් උදව්වකි. ඒ තාත්තා සොයා ගැනීම ය.
“නිලුපුලී නම් වැඩ කරන්නේ කම්පැනි එක තමන්ගෙ තැනක් කියලා හිතාගෙනනෙ. හරිම අවංකයි.”
කාර්යාල සගයෝ එසේ කියද්දී නිලුපුලී කළේ මන්දස්මිතයක් තවරා ගැනීම ය. නොකීවාට මේ ඇගේ තැනකි.
“මෙයාගේ වෙන්නත් පුලුවන් ඉතිං. මෙයාගේ හස්බන්ගේ කසින් කෙනෙක්ගෙ ෂොප් එකක් කියලා ලිලී ෂේඩ්ස් අඳුන්වන්න පුලුවන් දවසක් එන්න පුලුවන් නේ.”
සචිනි එසේ කියා හිනැහුණා ය. නිලුපුලීගේ මුල් ඇත්තේ වේල්ල වත්තේ වග නොදන්නා කෙල්ලන් රෑනට ඕනෑ වූයේ ඇයව විකුම්ට ජෝඩු කරන්නට ය. එය ඉතාම සුන්දර කාරණාවකි. නිමේෂා වැනි උරචක්කරමාලයකින් මිදී විකුම් ලිලී ෂේඩ් හි කෙල්ලක හා බැඳීම සමූහ ජයග්‍රහණයක් යැයි කෙල්ලෝ විශ්වාස කළ හ. නිලුපුලී උනන්දුවෙන් වැඩ කරන්නට හේතුව ඒ හේතුව යැයි ඔවුන් සරදම් කළේ ඒ හන්දා ය.
නමුත් අම්මා රදීෂ් ගැන ඇත්ත පැවසූ දා පටන් නිලුපුලී වැඩ කළේ තමන්ගේ අයියාට ය. සහෝදර බැම්ම වෙනුවෙනි.
රදීෂ් ලියනාරච්චි!
ඔහු විශාල මිනිසෙකු ලෙස දැනෙන්නට හේතුව අමතකව යන මොහොතක පවා මතක් කරගන්නට ඇයට ඕනෑ ය. ඔහු මැදුරක උපන්න ද ඇය වේල්ල වත්තේ මුඩුක්කු නිවසක උපන්න ද ඔවුන් ඥාති දරුවන් ය. කාත් කවුරුත් නැති බව සිතා සිටියාට ඇයට අයියා කෙනෙකු වේ. එය සුළුපටු හැඟීමක් නොවේ. අනිත් කාරණාව ඇය හේවගේ නිර්මලා සහ හේවගේ චාරුලතා අතර වූ නෑකම ඔහුට පවසා අවසන් ය. ඒ හන්දා රදීෂ් ද මේ වෙද්දී ඇය ඔහුගේ නංගී බව දන්නවා වන්නට ද පුළුවන.හඬන්නට ද හිනැහෙන්නට ද නොදන්නා සිතුවිලි අතර නිලුපුලී අතරමං වී සිටියා ය. ඇයට ඇත්තටම ඕනෑ වූයේ හඬන්නට ය. කාත් කවුරුත්ම නැති බව දැනෙනවා වෙනුවට තමන්ගේ අය තමන් ගැන දැනගත් බව වැටහීමෙන් පසු හදවත ඕනෑවටත් වඩා බරවී ඇති බව ඇයට වැටහේ.
“අම්මේ, අම්මා යනවද ඉතිං රදීෂ් සර්ගේ දිහා?”
සියල්ල කෙටියෙන් අම්මාට පවසා නිලුපුලී අම්මාගෙන් එහෙම ඇසුවේ හවස් යාමයේ ය.
“එහෙ කවුද ඉන්නේ?”
නිර්මලාට තිබුණේ එහෙම ප්‍රශ්නයකි. ඇයට පාලිත ලියනාරච්චි සිහිව ආයේ ය. ඔහුට පෙම් කළ අතීතය! අක්කාට ද්‍රෝහී වූ අතීතය!! ඒවා අමතක කරන්නට අසීරු ය.ප්‍රේමය ඇති වන්නට හේතු ඕනෑ නොවේ. එහෙත් සමහර ප්‍රේම කතන්දර හට නොගන්නේ නම් යහපත් බව දැන් නිර්මලාට වැටහේ. ඒ ඒවා ප්‍රේම කතා නොවී අතිශය ආත්මාර්ථකාමී වන නිසා ය.එවැනි ආත්මාර්ථකාමී කතාවක් ඇරඹීම ගැන දැන් ඇයට ඇත්තේ කියන්නට බැරිතරමේ වේදනාවකි.
පාලිතට ඕනෑ වූයේ හැඟීම් සංතෘප්ත කර ගන්නට ය. නිර්මලාට ඕනෑ වූයේ කිසිම දවසක නොවිඳි ආදරය ය. ඔහුගේ උවමනාව මිසක ඇගේ අහිංසක සිහිනය ඉටු වූයේ නැත.
“ඔය ඕන තරම් රජකුමාරියො එකම රජාට ආදරේ කරේ”
ඇය ඉතිහාසයෙන් පවා නිදර්ශන සොයමින් සිත සනසා ගත් අතීතය දැන් නිර්මලාට වේදනාවකි. අක්කා අදට ද රදීෂ් අසල සෙවණැල්ලක්ව රැඳෙන්නට තිබිණ. සියල්ල විනාශ කර දැම්මේ ඈ ය.
“අම්මේ!!”
නිලුපුලීගේ ඇමතීමෙන් නිර්මලා පියවි සිහියට ආවා ය. අම්මාට දුක හිතෙන්නේ ලොකු අම්මා සිහි වීමෙන් බව නිලුපුලී උපකල්පනය කළා ය.
“රදීෂ් සර්ලගෙ ගෙදර ඉන්නේ සරුයි අහස්‍යා මැඩමුයි විතරයි.”
ඉන් අනතුරුව ඇය කෙල්ලන්ගෙන් දැනගත් ඕපාදූප අම්මා ඉදිරිපිට දිග හරින්නට නිලුපුලී වග බලා ගත්තා ය.
“සර් එයාගේ ගෙදර අය එක්ක හොඳ නෑලු අම්මේ. සර්ගෙ කුඩම්මා එක්ක සර් තරහයි කියලා තමයි ඔෆිස් එකේ ළමයි කියන්නේ. තව මං දන්න කෙනෙකුත් කිව්වා.”
නිර්මලා තිගැස්සුණා ය. රදීෂ් කල්‍යානිව ප්‍රතික්ෂේප කිරීම සාමාන්‍යයෙන් සිදු විය යුතු දේ බව ඇය දනියි. කල්‍යානි කොහොමටත්ම රදීෂ්ව මලක් සේ රකින දෙවැනි අම්මා කෙනෙකු වන්නේ නැත. නිර්මලාට එය කරන්නට ඕනෑ වුණත් එයට ඉඩක් ලැබුණේම නැත. එහෙත් නිර්මලාට මෙතැන ඇති ගැටළුව ලියනාරච්චි පවුලෙන් රදීෂ් දුරස් වීම නොවේ. ඇයට ඒ වාගේ කතා කියන්නට ඉන්නා ‘දන්න කෙනා’ ය.
“කවුද දන්න කෙනා?”
ඉස්සර ජීවත් වූ අම්මා මෙහෙම සුමට ප්‍රශ්න අහන්නේ නැත කැත අසභ්‍ය වචන ද අප්‍රසන්න ජෝඩු කිරිලි ද ගැහැනු ළමයින් භාවිතා වන අන්දම ගැන ඉතාම අප්‍රසන්න කතා ද ඇය කියවාගෙන යයි. නමුත් දැන් සිටින අම්මා ඊට බොහෝ වෙනස් ය. නිලුපුලීට ඇත්ත කියන්නට සිතිණ. මොකක්දෝ හේතුවකට ඇයට එහෙම කරන්නට සිතිණ.
“අහස්‍යා මැඩම්ගේ අයියව බැඳලා ඉන්නේ උමාලි කියලා මිස් කෙනෙක්. එයාගේ මල්ලි අපේ ඔෆිස් එකට එනවා. එයා අපි එක්ක හිතවත්.”
අනුන්ගේ ඕපාදූප ද කියන්නට තරම් ඒ හිතවත්කම ගොඩ නැඟුණේ කොහොමදැයි නිර්මලා නෑසුවා ය. ඒ වෙනුවට ඇය දියණියගේ හිස පිරිමැද්දා ය.
“පරිස්සමින්”
ඈ එහෙම කිව්වේ සැබෑම ආදරයකිනි.