මා හද මට නැති විට -23

“මේ කතාව ඔයාට කියන්න ඕන එකක්ද දැන්ම කියන එක හරිද  කියලා මම දන්නේ නෑ.ඒත් මේක නොකියා ඉඳීම නිසා ඔයාලගේ ජීවිත වලට වෙන්නේ වැරැද්දක් කියලා මම හිතනවා.සමහරවිට ඔයාට තේරෙනවා ඇති.සමහරවිට ඔයා නොතේරෙනවා වගේ ඉන්නවත් ඇති.මම මේ කතාව කියන්නේ ඔයා මේ ගැන කිසිම දෙයක් නොදන්නවා කියලා හිතාගෙන”

අනුත්තරා තේජ ඉදිරිපිට අසුන්ගෙන එසේ කියවාගෙන යන්නට පටන් ගත්තා  ය. ඇය මේ කියන්නේ ප්‍රතාපසිංහ මහත්මියගේ නොසැලකිලිමත් ව්‍යාපෘතියක් ගැන නොවේයැයි තේජට විශ්වාස ය. ඔහු අනුත්තරා දෙස බලා සිටියේ පුදුමයෙනි.

“මට හිතෙන විදියට අපේ ලාවන්‍යා ඉන්නේ ඔයා ගැන ආදරෙන්.ඒක ක්‍රෂ් එකක් නෙමෙයි ආදරයක් කියලා හොඳටම දන්න නිසා මම මේ ගැන කියන්න හිතුවේ.ගෑනු ළමයෙක් ඉස්සෙල්ලා ආදරෙයි කියන එක වරදක් කියලා මමනම් හිතන්නේ නෑ.ඒ නිසා ලාවන්‍යා ඔයාට ආදරෙයි කියලා ඔන්න මම ඔයාට කිව්ව. තීරණයක් ගන්න එක ඔයාගේ වැඩක්.”

මේ කතාව මෙහෙම මතු වෙන වගක් තේජ සිතා තිබුණේ නැත. ඔහු ගල්ගැසී බලා සිටියේ ය.

ආදරය!

ඒ ජීවිතයට අවශ්‍ය දෙයක් බව ඔහු සිතන්නේ නැත. ඒ හන්දාම අනුත්තරාට කිසිම පිළිතුරක් නොදී සිටීම ඔහුට සහනයක් සහ පහසුවක් විය. එහෙත් අනුත්තරා සිතුවේ ඒ කල් බැලීමක් ලෙස ය.

“මං බැඳීම් කියන දේවල් මොනතරම් බොරුවක්ද කියලා හිතන මිනිහෙක්.මං ළඟ වෙනසක් නැතුව මගෙ දරුවවත් ඉඳියි කියලා මම හිතන් නෑ. එයාට වුණත් එයාගෙම ලෝකයක් හදා ගන්න දවසක් එනවා.”

රැවටීම් සහ පාවිච්චි කිරීම් ප්‍රේමයට පමණක් පොදු නොවේ. මිත්‍රත්වයක් තුළ පවා පාවිච්චි කිරීමට ලක් වූ විට  එය දරා ගැනීම ඉතා අපහසු කාරණාවකි. ඇතැම්විට සේව්‍ය සේවක බැඳීම් තුළ පවා ඇත්තේ පාවිච්චි කිරීම් ය. තේජ එවැනි පාවිච්චි කිරීමක් නිසා වේදනාවකින්දැයි අනුත්තරාට සිතුණේ බොහෝ වෙලාවකට පසු ඔහුගේ හඬ අවදි වූ විට ය. ආදර සම්බන්ධයක් තුළ හිඳිනවාටත් වඩා පුද්ගලයන් නිදහසේ හැසිරෙන්නේ මිතුරන් සමඟ ය.රිසි පරිදි කාරණා බෙදාගනිමින් මිත්‍රත්වයක් පවත්වා ගන්නා තේජ ලියෝන්ගේ අම්මා ගැන තවමත් සඟවන කාරණාව අනුත්තරාට අපහැදිලි ය. කාරණා එසේ තිබියදී ලාවන්‍යා ගැන දිග හැරීම ගැන ඇයට සන්තාපයක් ද දැනිණ.

ප්‍රේමයෙන් පිරී ගිය පසු දෙනෙත වඩාත් ප්‍රිය කරන දසුන වන්නේ ඒ ප්‍රේමයේ හිමිකාරයා වග ලාවන්‍යාට තේරුම් ගියේ උදෑසන සිට රෑ නින්ද දක්වාම තේජ ඇස ගැටීමට හදවතෙහි උපදින ඇල්ම හන්දා ය. ඇය ප්‍රේමයෙන් දෑස දල්වමින් ඔහුව පතමින් සිටියා ය.

“හැඟීම් දැනීම් හංගගෙන ජීවත් වෙන්න එපා.එතකොට ජීවත් වෙන එක හරි අමාරුයි.මේ ජීවත් වෙන පොඩි කාලෙදි ඇයි අපි ගල් ගැහිලා ඉන්නේ.බොරුවට හැඟීම් හංගන් නැතුව තේජට ඔය කැමැත්ත දැනෙන්න දීපං”

තේජගේ අබිරහස තවම විසඳී නැතත් අනුත්තරා මිතුරියට එසේ පැවසුවා ය. අඩුම තරමේ ලාවන්‍යා ඔහු කෙරෙහි ආදරයෙන් බව දැන් තේජ දනියි. මෙතැනින් එහා වෙන්නේ කුමක්දැයි බලා සිටිමින් කළ යුතු දේ කිරීමට අනුත්තරා හිත හදාගෙන හිඳියි 

“මම කිසිම දවසක ආදරේ කරල නැති ගෑනියෙක් කියලා තේරෙන්න ගත්තේ තේජට ආදරේ කරන්න හිතුණට පස්සේ.හැඟීමක් දැනීමක් නැතිව ඔහේ ජීවත් වෙනවාට වඩා හැඟීම් එක්ක ගනුදෙනු කරන එක හරිම අමාරුයි කියන එක මට තේරුම් ගිය තේජව මුනගැහුණට පස්සේ.”

ලාවන්‍යා එහෙම පැවසූ අන්දම අනුත්තරාට සිහි විණ. ප්‍රේමය හැඟීමක්වත් නැතිව මිතුරිය විවාහ ජීවිතයේ වසර කිහිපයක්ම ගත කළ බව සිතද්දී දැන් ඇයට දැනෙන්නේ පුදුමයකි.

“ලුණුයි බතුයි කකා හිටපු මනුස්සයෙකුට රසම රස කෑමක් ලැබුණට පස්සේ තමයි තේරෙන්නේ ලෝකෙ රස කෑමත් තියෙනවා කියල.”

එසේ පැවසුව ද අනුත්තරාට කියන්නට තවත් කාරණාවක් තිබිණ. බොහෝ ප්‍රණීත බවට සැලකෙන ආහාර වලට පවා දරුණු උදරාබාධ ඇති කිරීමේ හැකියාව පවතී. රසක් නොමැති ආහාරයකට එසේ නොවන වග සිහිවන්නේ එවැනි මොහොතක ය. 

කොහොමටත් ප්‍රේමය සම්බන්ධයෙන් අනාවැකි පැවසීම ඉතා අපහසු ය.

“අම්මා කෙනෙකුට තමන්ගේ දරුවාට එහා ලෝකයක් නෑ.ඒත් ලියෝන්ගේ අම්මා එයාව දාලා ගිහින්. ඒ දරුවාගේ රැකවරණයට කියලාහරි තේජ ආයෙ කසාදයක් බැඳගෙන දරුව තවත් අසරණ වුණොත්  මොනව කරන්නද කියලවත් ලියෝන්ගේ අම්මා හිතන්නේ නෑනෙ?”

අනුත්තරා හදිසියේ එසේ පැවසුවා ය.ආදරය සම්බන්ධ සියළු කාරණා යහපත්ව ඉෂ්ඨ වූ පසු ලියෝන්ගේ අම්මා කඩා වැදුණහොත් ඇති වන්නේ හොඳ වාතාවරණයක් නොවේ. එයට මුහුණ දෙන්නට හිත හදා ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. නමුත් ලියෝන්ගේ අම්මා ජීවත් වන්නේදැයි ඔවුන් නොදනී.

“ආදරේ කියන දේ බලහත්කාරයෙන් ඇති කරන්න අමාරුයි.ඒක දරුවෙක් සම්බන්ධයෙන් වුණත් එච්චරම තමයි.තමන්ගේ ලෙයින් උපදින දරුවෙකුට ආදරේ කරන තරමටම තවත් දරුවකුට ආදරේ කරන්න ඕනෙම මනුස්සයෙක් පුළුවන් වෙන්න ඕන. දරුවෙක් කියන්නේ දරුවෙකුට. මං ලියෝන්ට ආදරේ එයා තේජගේ දරුවා නිසා නෙවෙයි. අපේ ලේන් එකේ ඉන්න කොයි දරුවටත් මම ආදරෙයි”

ලාවන්‍යා කියන්නේ සිතිවිල්ලේ ය. ඇය ඒ කියන්නේ අසත්‍යයක් නොවන බව අනුත්තරා දනියි. නමුත් ඇයට තවමත් තේජගේ හදවත ගැන ලොකු විශ්වාසයක් නැත.

සිඟිති පුතු නින්දට වැටුණු පසු තේජ අඳුර පොරවා ගත් සඳැල්ලට ආවේ ය. රාත්‍රිය අන්ධකාර ය.තමන්ගේ ජීවිතය ද මේ අන්ධකාර රාත්‍රිය තරමට අඳුරු නොවේදැයි ඔහු සිතුවේ වේදනාවෙනි. කඳුළු දකින්නේ රෑ කළුවර පමණි.අන්ධකාර රාත්‍රිය සෑම වේදනාවක්ම සඟවා ගන්නට තමන්ට උදව් කරන වග ඔහු  සිතුවේ ය. ලාවන්‍යාගේ කාමරයේ විදුලි බුබුළ තවම දැල්වේ. නිදි නැත්තේ ඇයිදැයි අසන්නට ඇයට ඇමතුමක් ගන්නට සිතට ආ හැඟීම ඔහු වැර වෑයමෙන් මැඩ පවත්වා ගත්තේ ය. ලාවන්‍යා යටපත් කරගෙන කෞෂිගේ සිනාව මැවී එයි.

ඔහු ඇඟිලි තුඩු වලින් නළල මිරිකා ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles