මම වෙනම මලක් – 36

“තනිකම කියන්නේ මනුස්සයෙක්ට දැනෙන්න ඕනෑම නැති දෙයක්. ඔයාගේ අම්මා අවුරුදු විසි එකක්ම ඒ තනිකම එක්ක ෆයිට් කරනවා ඇති. එතකොට එයාට ඔය විදියට තරහ යන එක හරිම සාමාන්‍ය දෙයක්.”

විකුම්ට රදීෂ් ගෙන් පැවරුණු රාජකාරිය වූයේ නිලුපුලීගේ පවුලේ විස්තර වැඩිදුරටත් සොයා බැලීම ය. නමුත් ඔහු ඒ සියල්ල පසෙකලා තමන්ගේ දුක ඇයට කියන්නටත් ඇගේ දුක අසන්නටත් පටන්ගෙන තිබිණි.

“මගේ අම්මා එයාගේ ලොකු අම්මා කියලා විශ්වාසයි. ඒ නිසා මට ඒක තහවුරු කරගන්න ඕන.”

රදීෂ් එහෙම පැවසූ මොහොතේ විකුම්ට යම් සැනසීමක් දැනිණ. ඇය වේල්ල වත්තේ කෙල්ලක බව ඇත්තකි. නමුත් ඇය ගගන අයියාගේ මස්සිනාගේ නංගී ය.දැන් ඇයට එරෙහි වීම ගෙදර අයට පහසු දෙයක් නොවේ. නමුත් ඒ සියල්ලටම පෙර ඈට ආදරය කරන බව පැවසිය යුතු යැයි ඔහුට සිතිණ. ඒ කවදාදැයි නොදන්නා නමුත් එය කළ යුතුම වේ.

“අම්මව වත්තෙන් එළියට ගන්න. රදීෂ් එයාලගෙ ගෙදරට එන්න කියනවනම් අම්මව එක්ක යන්න. අහස් අක්කවත් රදීෂ් අයියවත් කීයටවත්ම මිනිස්සුන්ට වැඩකාරයන්ට වගේ සලකන් නෑ.”

ඔහු එසේ පහදා දෙන්නට වූයේ ය. නිලුපුලී සිනා මුහුණක් යැව්වා ය.  ඔහු කිසිවක්ම නොදන්නා බව ඇය සිතයි. එකම අක්කාගේ පුතුගේ නිවසේ මෙහෙකාරකමට යාමට සිදුවීම අම්මට කොහොම දැනෙනවාදැයි ඇයට සිතා ගන්නට නොහැකි ය.

“නිර්මලයි චාරුලතයි එක වගේ නෑ. නිර්මලා කිරි කෑල්ල වගේනෙ. උඹට තියෙන්නේ චාරුගෙ හැඩරුව. ඇත්තටම නිර්මලා වගේ උනානම් උඹට අවුරුදු කුමාරියක් වෙලා රඟපාන්න යන්න තිබුණා”

ශාන්ති නැන්දා තිස්සේම එසේ දොඩවයි. නිලුපුලීට අම්මා ගැන දුක හිතෙන්නේ එහෙම වෙලාවට ය.

“අම්මා මොකද කිව්වේ රදීෂ්ලගෙ ගෙදර යන්න.”

විකුම් අසයි.

“යමු කිව්වා.”

නිලුපුලී එසේ කියන්නට ප්‍රවේසම් වූවා ය.ඊට වඩා දේවල් පැවසීම අනවශ්‍ය ය. රදීෂ්ම දවසක සොයා ගන්නවා මිසක මේ නෑකම් ගැන ඔහුට දැන ගන්නට තැබීම අනවශ්‍ය බව ඇය සිතුවා ය.

“මේ කිසිම දෙයක් නෑනේ තාත්තා හිටියනම් කියලා මට හිතෙනවා. ඇත්තටම ඔයා හිතනවද මට තාත්තාව හොයා ගන්න පුලුවන් වෙයි කියලා?”

නිලුපුලී ඇසුවා ය. ඇයට ඇත්තටම එහෙම ආශාවක් වේ. තාත්තාගේ උණුහුම මියෙන්නට පෙර එක්වතාවක් හෝ විඳින ආශාවකින් ඇය දැවෙමින් හිඳියි. දුවෙකුට තාත්තා කෙනෙකු ඕනෑම ය. නමුත් අම්මා ඇය ලැබුවේ ප්‍රේමයක ප්‍රතිඵලයක් ලෙස ද බලහත්කාරකමක ප්‍රතිඵලයක් ලෙසදැයි නිලුපුලී නොදන්නී ය. බලහත්කාරයක ප්‍රතිඵලයක් වූවානම් අම්මා එය හංගන්නේ නැති නිසා තමන් ප්‍රේමයක ප්‍රතිඵලයක් බව සිතන්නට නිලුපුලීට ඕනෑ වූවා ය.

නංගිට මම කතාවක් කියන්නද?”

විකුම් හදිසියේ ඇගෙන් හදිසියේ ඇසුවේ ය.නිලුපුලී අසා හිඳින කුඩා දරුවෙකුගේ රුව සහුත ස්ටිකරයක් ඔහුට යැවී ය .ඔහු කොහොමටත් කතා කරන දේ බොහෝ රසවත් ය. නමුත් ඔහු මෙවෙලෙහි පැවසුවේ රසවත් දෙයක් නොවේ.

“මගේ කසින් අක්කෙක් හිටිය.පවුලෙ ඔන්ලි චයිල්ඩ්.එයා ජීවත් වුණේ අම්මගෙයි තාත්තගෙයි රූකඩයක් වෙලා.එයාට ඇත්තටම අම්මලා ගොඩක් ආදරේ කළා තමයි.හැබැයි අම්මටයි තාත්තටයි දුක නොහිතෙන්න තමා එයා එක්සෑම් වුණත් පාස් වුණේ.මැරි කළාට පස්සේ ඒ අක්කා එයා ඉන්නෙ සතුටින් කියල ගොඩක් ලොකුවට පෙන්නුවා.ඇත්තටම එහෙම සතුටක් නෑ කියල මට මොකක්දෝ එකකට හිතුණා..”

ඔහු මේ කතාව කියන්නට හේතුව ඇයට වැටහේ. නමුත් නීති දමන්නටවත් තාත්තා කෙනෙකු ඇයට නැත. හරියටම බලද්දී මෑතක් වෙනතුරුම අම්මා සිටියේ ද නැත.

“සමහර වෙලාවට අපි හුඟාක් සතුටින් ඉන්නව කියල පෙන්නන්න ට්‍රයි කරනවනම් එතන මොකක්ම හරි අවුලකුත් තියනව..”

එය නිලුපුලීට වඩාත් තදින් දැනිණ.එය ඇයට අදාළ කතාවකි. ඇය සමහරවිට උස් හඬින් හිනැහෙන්නේ හඬන්නට නොහැකිකමට ය.  කඩි ගුල මෙන් ඇවිස්සෙන වත්තක ජීවත් වුවත් ඇයට සෑම මොහොතකම දැනුණේ තනිකමකි.

“ඊටපස්සේ ඒ අක්කගෙ තාත්තා,මගේ මාමා නැති වුණා.මාමගෙ අවසන් කටයුතු වෙලාවේ අක්කා මාමාට ලාස්ට් කිස් එක දීලා කියපු කතාව මට හොඳටම ඇහුණා..”

තමන්ගේ තාත්තා ජීවත් වෙනවාදැයි නිලුපුලීට හදිසි බියක් හට ගැනිණ. ඔහුව දකින්නටත් පෙර ඔහු මේ ලෝකයෙන් නික්ම ගොස් ඇත්නම්! ඇය ඒ සිතුවිල්ලට අකමැති ය.ඇයට එක තත්පරයකට හෝ තාත්තේ යැයි ඔහුට අමතන්නට උවමනා ය.

“අක්කා කිව්වේ,තාත්තේ මං ඔයාගේ සතුටයි හිතේ සාමෙයි නිසා හිත ඇතුළෙන් දුක් වින්දා.ලෝකෙට සෑහෙන දේවල් හැංගුවා.මෙතනින් පස්සෙ මං එහෙම වෙන එකක් නෑ කියල..”

විකුම් එසේ කියා දිගු හුස්මක් හෙළුවා ය. ඔහුගේ ඒ ඥාති සහෝදරිය ගැන ඇයට දුකක් ඇති විය. නමුත් ඒ නොදන්නා තරුණියට ඇයව පාලනය කරන්නට හෝ තාත්තා කෙනෙක් සිටි බව නිලුපුලීට සිතේ. දෙයක් නැත්තටම නැති වෙනවට වඩා එහි නරකම ආකාරයක් හෝ හිමිවී තිබීම නරක නැති බව කියන්නට ඇයට ඕනෑ විය.

“ඔයාගේ අම්මවයි ඔයාවයි  දකින්න ආයෙම එන්න ඕනේ වුණේ නෑ කියන්නේ එයත් තද හිතක් තියන කෙනෙක් කියන එකනෙ.”

විකුම් එසේ කියද්දී නිලුපුලී කඳුලක් පිස ගත්තා ය.  තාත්තාට ඇයව ඕනෑ නැත. රදීෂ් ලියනාරච්චි ඥාති සහෝදරයෙකු වූවාට ඇයට ඔහුට අයියා කියන්නටත් ඔහුගේ ආදරය ලැබීමත් ගැන ඇත්තේ සැකයකි. ප්‍රේමයක් හිත අස්සේ තබාගෙන දුක් වින්දාට විකුම් ඇයගේ හැඟීම් ගැන දන්නා අල බෝලයක් නැත. එහෙම බලද්දී ඇය සදහටම පිරිමියෙකුගේ හුස්මක් නොවැදුණු ලෝකයක තනිව හිඳින්නියකි.

තමන්ගේ හීන අහිමි වුණු කෙල්ලො කියල සංගණනයක් තිබ්බොත්..කොහොමද ප්‍රතිඵල ගන්නේ?”

ඇය විකුම්ගෙන් අසා යැව්වා ය. ඒ කතාව ඔහුට ගෙන ආවේ පුදුමයකි. ඇය මේ තරමට පියා අහිමි වීමෙන් පීඩා විඳින බව වැටහෙද්දී ඔහුට ද ඒ තාත්තා හොයන්නට එක් වන්නට සිතේ. නිලුපුලී අනුන්ගේ සතුට ගැන පවා සිතන කෙල්ලකි. ඇයට දුක් විඳින්නට ඉඩ දිය යුතු නොවේ.

“ඒ හීනෙට ලෝකෙ ඉන්න සල්ලිකාරයන්ගෙ දූලාගෙ ඉඳලා දුප්පත්ම ළමයි වෙනකන් අයිති.ලෝකෙ ඉන්න හැම ගෑනියෙක්ම අයිතියි.ගෑනු පිරිමි කියන්නත් බෑ.හැමදේම ලැබුණා කියන මිනිස්සුත් ඉන්නෙ මොකක්ම හරි හීනයක් අහිමි කරගෙන.. බලන් ගියාම අපි ඔක්කොම ඉන්නේ හීන අහිමි කරගෙන’ 

ඒ ජීවිතය ගැන යථාර්ථය ය.අප සියල්ලන්ම ලැබූ දේවල් අමතක කළ අය ය.නොලැබුණු සිහින වෙනුවෙන් හැල්මක් නැතිව දුවන අය ය.එහෙත් සැනසීම ලබා ගන්නට නම් අප ලැබූ දේ සම්බන්ධයෙන් සතුටු විය යුතු නොවේදැයි නිලුපුලීට නොසිතුණා නොවේ. නමුත් ජීවිතය කුමක් හෝ හිස්කමකින් පිරී ගොස් අවසන් ය.

ඇය ඒ හිස්කම ද පීඩනය ද විකුම්ට පැවසුවේ එනිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles