මම වෙනම මලක් -39

“ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න පුලුවන් කියලා ඔයා හිතනවද?”

විකුම් ඇසුවේ සිසිල් පානය නිලුපුලීට සමීප කරවමිනි. සීත කළ චොකලට් පානයකට හිතේ ඇති වේදනා මකන්නට හැකි බව ඔහු පැවසුවේ ගැටළුව කුමක්දැයි නිලුපුලීගෙන් අසන්නටත් කලින් ය.

“මට ඔයාව මුණ ගැහෙන්න ඕනෑ.”

නිලුපුලී ගෙන් පැමිණ තිබුණේ හදිසි පණිවිඩයකි. විකුම් උදෑසන අවදිවූයේ ද ඒ පණිවිඩයට ය. ඔහු ඒ පණිවිඩය දෙතුන් වතාවක් ම කියවා බැලුවේ ය. නිලුපුලී තමන්ට බොහෝ සමීප චරිතයක් වග ඔහු ඇයට දැනෙන්නට දී තිබිණ.නමුත් ආදරය ගැන කියන්නට ඔහු දැන්ම ඉක්මන් වූයේ නැත. එසේ තිබිය දී ඇයට මේ හදිසියේ හමුවිය යුතු බවට විධානයක ස්වරයෙන් ඉල්ලා සිටින්නේ ඇයිදැයි විකුම්ට ඇති වූයේ පුදුමයකි.

සිතන්නට දෙයක් නැත. අනිවාර්යයෙන් නිමේෂා ඇය අමතා රණ්ඩුවක් අරඹන්නට ඇත. නිමේෂා කියන්නේ එහෙම චරිතයකි. එවැනි දෙයට නොපෙළෙඹෙන ලෙස විකුම් ඇයගෙන් ඉල්ලා තිබේ. නමුත් කියන දේ ඇසීමක් නිමේෂාගේ ජීවිතය තුළ නොවේ. ඇය හිතුවක්කාරියකි.

ඔහු ඇයව අවසන් වරට මුණ ගැසුණු අන්වත් නොවටින මතකයකි මතක් කරන්නටවත් නොවටින මතකයකි.

සමාව ඉල්ලන්නද ආවේ?”

නිමේෂා දෑත් බැඳ ඇසුවේ අසංවරව ය. සැබෑවටම ඇයට ආදරය කළ දවස් තිබුණාදැයි ඒ මොහොතේ විකුම් සිතී ය. ඇයට ආදරය කළ දවස් පසුගිය වසර කිහිපයේම තිබෙන්නට ඇත. මේ හිඳින්නී පෙම්වතියක් පමණක් නොවේ. කලකට ඉහතදී ජීවිතය බෙදා ගත් ගැහැනිය ය. ඔහු කිසිවක්ම නොකියා තත්පර කිහිපයක් ගෙවා දැමී ය. ඔහුට කියන්නට දෙයක් සොයාගන්නට විනාඩි කිහිපයක්ම වැය විය.

“අපි වෙන් වෙන්න තීරණය කරලා ඉවරයිනෙ. ඒත් සදාකාලික හතුරො වෙන්න මට උවමනාවක් නෑ. ඔයා ස්ට්‍රෙස් නොවී සතුටින් ඉන්නවා මට දකින්න ඕන.”

ඇය සමාජ ජාලාවල හැසිරෙන අන්දමට ඇය මානසික පීඩනයකින් බව ඈ අවබෝධ කරගෙන ඉන්නවාදැයි ඔහුට නොවැටහේ. නමුත් ඈ ඉන් මිදෙන්නේ නම් ඔහුට සතුටකි. සෑම දෙයකටම වඩා වැදගත් වන්නේ නිමේෂාගේ මනස සුවපත් වීම ය.

“අපි  වෙන් වුණා කියලා අපි දෙන්නගෙම ජීවිතේ එතනින් ඉවර වෙන් නෑනෙ. සමහරවිට ඒක අලුත් පටන් ගැනීමකට හේතුවක් වෙයි. හැබැයි අපි දෙන්නම අපි කොච්චර නරකද කොච්චර හොඳද කියලා තේරුම් අරන් ඒ අලුත් පාරට වැටෙන එක හොඳයි.”

විකුම්ගේ බණ අසන්නට නිමේෂාට ඕනෑ නැත. ඇය ඇගේ නියෝගය නිකුත් කරන්නට සිතුවා ය. කොහොමටත් ඈ මේ ගැන ඔහුට කියන්නටම සිතා සිටියා ය. විකුම් තමන්ට බියෙන් ජීවත් විය යුතු බව ඇය එදා සිට සිතාගෙන සිටියා ය.

“ඔයා මේ හදිසියේ අෆෙයා එකක් හෙම පටන් ගන්න ලෑස්ති වෙන්න එපා. ඔයා තව අවුරුදු තුන හතරක් වත් තනියම ජීවත් වෙන්න ඕනෑ. නැත්තම් මං නරක ගෑණි කියලා කියන්න එපා” 

මේ කෝපය ඇවිස්සෙනසුළු කතාවක් වුවත් විකුම් පහළ වූයේ සිනාවකි. ඇය අනුන්ගේ ජීවිත මොනතරමට පාලනය කරන ගැහැනියක් ද? ඔහුට ද එය වැටහෙන්නේ ඇගෙන් සම්පූර්ණයෙන් මිදුණු පසුව ය.

“ඔයත් එහෙම ඉන්නද කල්පනාව?”

නිමේෂා හිස වැනුවා ය.ඇය සදාකාලික තනිකඩ ජීවිතයක් ගත කිරීමට සැරසීම ගැන ඔහුට ශෝකයක් ඇති විණ. ඔහු සමඟ එක්ව ජීවත් වූ මතක තිබුණු පමණින් එවැනි තීරණයක් ගැනීමට තරම් ඇය සාම්ප්‍රදායික ගැහැණු ළමයෙකු විය යුතු නොවේ. නමුත් ඒ වේදනාව පැවතියේ තත්පර කිහිපයකට ය. නිමේෂාගේ සැබෑ වර්ණ යළිත් පිටතට පැමිණියේ ය.

“මම බඳින් නෑ. මම තනිවුණු ගෑනියෙක් විදියට මගෙ යූ ටියුබ් චැනල් එකයි පේජ් එකයි කරනවා. බ්‍රේකප් එකක් වුණත් විකුණන්න පුලුවන් කියලා ඔයා අමතක කරන්න එපා.

පැමිණියේ සාමකාමී කතාබහකට බව විකුම්ට ඒ මොහොතේ  අමතක වී ගියේ ය. ඇසිය යුතුම ප්‍රශ්නයක් නාසා හිදින්නට ඔහුට හිත හදා ගන්නට නොහැකි විය.

“ඒ කියන්නේ ඔයා ඉස්සර අපේ ආදරේ මාකට් කරා වගේම දැන් ඔයාගේ තනිකම මාකට් කරන්න හදන්නේ.”

නිමේෂා ඒ වෙනුවෙන් දුන් පිළිතුර පවා ඔහුට මතක නැත. නමුත් තමා ආදරය කර ඇත්තේ එවන් පහත් අදහස් ඇති තැනැත්තියක බව සිතීම ම ඔහුට මහත් වේදනාවක් විය.ඇය නිලුපුලී සහ ඔහුගේ මිත්‍රත්වය කොහෙන් හෝ සොයාගෙන ඒ මැදට පනින්නට යන බව ඔහු සිතුවේ ඒ හන්දා ය.

“මගේ ජීවිතේ වෙන්න තියෙන ලොකුම අවුලකට මං පත්වෙලා ඉන්නේ. ඒ කතාව ශෙයා කරගන්න හොඳ යාළුවෙක් මට නෑ. වත්තේ ඉන්න යාලුවට ඒක කියනවට වඩා හොඳයි මම ස්පීකරයක් බැඳගෙන ඒ කතාව කිය කිය වත්ත වටේ යන එක.”

ජීවිතයට එන කුණාටු බෙදාගන්නට යහළුවෙකු නොමැති වීම ඛේදජනක වග විකුම්ට සිතිණ. මොනතරම් මිතුරන් සිටියද මේ කාලයේ ඔහුගේ ළඟම මිතුරා වන්නේ රදීෂ් ය. ඔහු සමඟ මිත්‍රත්වය නඩත්තු කරන්නට පහසු එකකි. ඒ හැරෙන්නට ඔහු දැන් ලඟින් ආශ්‍රය කරන්නේ නිලුපුලී ය.ඉතින් ඇගේ වේදනාව අසා හිඳීම තමන්ගේ වගකීමක් බව ඔහු සිතී ය.

“අපිට පුලුවන් මුණ ගැහෙන්න.”

ඒ මුණ ගැසීම සිදුවී දැන් හෝරාවක් පමණ ගෙවී තිබේ. රදීෂ් නිලුපුලීගේ ඥාති සහෝදරයෙකු වූ කථාව දරා ගන්නට පහසු ය. නමුත් ඔවුන් දෙදෙනාම පාලිත ලියනාරච්චිගේ දරුවන් වීම දරා ගන්නට අපහසු තරමට බර කතාව බව විකුම්ට සිතේ. කරන්නේ කුමක්දැයි සිතන්නට අසීරු ය. නමුත් නොසිතා සිටින්නට ද අසීරු ය.

“අපි මේ ගැන රදීෂ් අයියට කියමු?”

ඔහු ඊළඟ තත්පරයේ එවැනි යෝජනාවක් කළේ ය. නිලුපුලී වේදනාත්මක මඳහසක් තවරා ගත්තා ය.

“ගෙදරක් නැති මට ලිලී ෂේඩ් නිසා ගෙයක් ලැබුණා. අනාගතේ ගොඩනඟා ගන්න බලාපොරොත්තු ඇති වුණා.මං මේ වෙලාවේ හිතන්නේ හරිම ආත්මාර්ථකාමී විදියට.මට මේක එයාට කියන්න බෑ. එහෙම කියලා එයාලා මට දෙන ආදරේ අඩු කරගන්න මගේ කිසිම අදහසක් නෑ”

ඒ ආදරය අඩු වන්නේ කෙසේදැයි විකුම් ප්‍රශ්න කළේ ය. ලිලී ෂේඩ්හි රැකියාව කරන අඩු ආදායම්ලාභී පවුලක දක්ෂ දැරියකට අහස්‍යා සහ රදීෂ් සහයෝගය දක්වමින් සිටිති.

“නිලුපුලී හරිම ස්වීට් ළමයෙක්. ඒ ළමයාව කැම්පස් යවලා හොඳට උගන්වන්න ඕන. ඒ වගේ ළමයින්ට ඉගෙනීම මිසක් අංගොඩ යන්න කිසිම මාර්ගයක් නෑ”

අහස්‍යා ඕනෑ තරමට එසේ කියන අන්දම විකුම්ට මතක ය. දන්නා හඳුනන හොඳ ගැහැණු ළමයෙකුට එසේ සලකන අහස්‍යා ඒ ඇගේ නෑනන්ඩිය වග දැන ගතහොත් උමාලිට තරමේ ආදරයකින් නිලුපුලීට ද සලකන බව සිකුරු ය. එහෙත් නිලුපුලී කියන්නේ එය එළිදරව් කරන්නට ඕනෑ නැති බව ය.

“එයාගේ අම්මා මරා ගන්න හේතු වුණේ පුංචි අම්මා කියලා රදීෂ් සර් දැන ගන්නවට මම කැමති නෑ. ඒ විතරක් නෙවෙයි, මගේ ඉපදීමත් චාරු ලොකු අම්මගෙ මරණෙට හේතුවක්. ඒ නිසා මේක මේ විදියටම යට ගියාදෙන්.”

නිලුපුලී නිර්භීතව එසේ පැවසුවා ය.අනතුරුව ඉකිලමින් වැළපෙන්නට පටන් ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles