වැඩිපුරම ඉරිසියා කරන්නේ ළඟම ඉන්න අය

“කොච්චර වැඩ කරත් කවුරුවත් මාව අගය කරන්නෙ නෑ”

පාරමිතා හැමතිස්සෙම ඒ ගැන හරි වේදනාවෙන් හිතුවෙ. ළහිරු, ඒ කියන්නෙ පාරමිතාගෙ පෙම්වතාව හම්බුණාමත් ඔෆිස් එකේ මොන තරම් වැඩ කරත් තමාව අගය කරන්නෙ නෑ කියන කතාව ඇරෙන්න වෙන කියන්න කිසිම දෙයක් පාරමිතාට තිබුනෙ නැති තරම්.

“ඔයා එහෙම හිතුවට මම නම් හිතන්නෙ මුලු ඔෆිස් එකම දන්නව කියල ඔයා සෑහෙන මහන්සි වෙලා වැඩ කරන බව”

හිත රිද්දගෙන උන්නු පාරමිතාගෙ හිතා සනසන්න වගේ අයිස් පලමක් අරගෙන ආව ළහිරු එහෙම කියන ගමන්ම බංකුවෙ හා පැත්තෙන් පාරමිතාට ළංවෙලා වාඩි උනා.

“එහෙනම් ඇයි එයාලට බැරි මාව අගය කරන්න?”

පාරමිතා එහෙම ඇහුවෙ වේදනාවෙන් ඇස් දෙක බර කරගෙන.

“මේ අහන්නකො, එහෙම ඔෆිස් වල නිතර නිතරම අපිව ඇප්‍රිශියේට් කර කර ඉන්නෙ නෑ. ඒත් ඔයා මහන්සිවෙල උනන්දුවෙන් වැඩ කරන බව ඔෆිස් එකේ අය දකිනව. එයාට ඒක නෝටිස් වෙලා තියෙන්නෙ.

ඔයාව ඇප්‍රිශියේට් කරන්න ඕන වෙලාවෙදි එයාල ඒක කරන බව මට නම් හොඳටම ශුවර්”

ළහිරු කොහොමත් දෙයක් ලේසියෙන් හිතන්නෙ බලන්නෙ නැතිව කියන කෙනෙක් නොවන බව දන්න හන්ද එවෙලෙට ඒකට ඔලුව නවල පිලිගත්තට ආපසු ඔෆිස් එකට ගියාම පාරමිතා හිත රිද්ද ගන්නව.

ඒකට ලොකුම හේතුවක් ඔෆිස් එකේ තියෙනව.

ඒ තමයි ඔෆිස් එකේ පාරමිතාට මේස දෙක තුනක් එහයින් වාඩි වෙල ඉන්න ටීනා.

ටීනයි පාරමිතයි ඩිජිටල් ටීම් ඒජන්සි එකට ජෝයින් උනෙත් එකම කාලෙදි වගේ.

මුල ඉඳලම බොහොම වෙහෙස මහන්සි වෙලා වැඩ කරපු පාරමිතා, මුල් කාලෙදි නම් ටීනාට කැමති උනාට පස්සෙ පස්සෙ තමා එයාට තේරුනේ තමන්ගෙ තියන අහිංසක කමෙන්, ගැමි කමෙන් ප්‍රයෝජන ගන්න ටීන මාන බලන බව.

එකම ඩෙසිග්නේශන් එකේ උන්නට ටීනගෙ සමහර වැඩත් පාරමිතාට කරන්න උනේ කතාවෙන් හැමෝවම අල්ලගෙන උන්නු ටීනා කිසිම වැඩක් කලේ නැති හන්දා.

ලස්සනට කොටට ඇඳගෙන එන, නලවල කරන කතා බහෙන් හැමෝවම අල්ලගෙන ඉන්න ටීනා තමන්ගෙ වැඩ ඔක්කොම පාරමිතාගෙ ඔලුවට දාලා බලාගෙන හිටියෙ හරියට “උඹ ඉන්නෙ මට පල්ලෙහයින්” කියන්න වගේ.

“ඉයර්ලි ඉවැලුවේශන්ස් එනව නේද නෙක්ස්ට් වීක් එකේ?”

“ලන්ච් අවර් එක වෙලාවෙදි කට්ටියම වාඩි වෙලා කෑම කද්දි ඔය කතාව ඇදල ගත්තෙ සුපුන්.

සුපුන් සෑහෙන සීනියර් ඩිසයිනර් කෙනෙක් උනාට හරිම හොඳ මනුස්සයෙක් බව මුලු ඔෆිස් එකම දැනගෙන හිටපු දෙයක්.

“ඔව් නේද?”

කෑම කකා හිටපු අනිත් කට්ටියත් ඔය කතාවට සම්මාදම් උනේ ඉතින් ඉයර්ලි ඉවැලුවේශන්ස් කියන්නෙ හැමෝටම පොදු මාතෘකාවක් හන්දා.

“පාරමිතාට නම් ඉතින් බයවෙන්න දෙයක් නෑ”

කුමුදු එහෙම කිව්වම පාරමිතා හීන් හිනාවක් දැම්මට ඒකට ටීනගෙ හිත නම් එච්චර හොඳ උනේ නැති පාටයි.

“ඇයි එහෙම කිව්වේ?” ඒ ප්‍රශ්නෙ ඇහුවෙ ඒ නිසාමද කොහෙද.

“ඇයි ඉතින් දැන් පහුගිය අවුරුද්දෙම කොච්චර සක්සස්ෆුල් කැම්පේන්ස් කරාද?” කුමුදු උත්තර දුන්නෙ බත් එක අනන ගමන් මයි.

මේ කතා වලට එක්කහු නොවී සද්ද නැතුව අහන් උන්නට පාරමිතා හිටියෙ හිත ඇතුලෙන් සන්තෝස ගංගාවක පීන පීන. තමන්ගෙ කැපවීම් කවුරුවත් දන්නෙ නෑ කියල හිතන් උන්නට ඔෆිස් එකේ හැමෝටම ඒව නෝට් කියල දැනගත්ත එකම පාරමිතාට ලොකු සන්තෝසයක් වුනා.

ඒ කතාබහ එතනින් ඉවර උනාට පස්සෙත් දවස් කීපෙකින් වගේ ඉවැලුවේශන් ෆෝම්ස් ඊමෙල් එකෙන් ආවෙ තවත් නෝට් එකක් එක්කමයි.

වෙන අවුරුදුවලනම් මැනේජ්මන්ට් එක තීරණය කරල ප්‍රමෝශන්ස්, සැලරි ඉන්ක්‍රිමන්ට්ස් දුන්නට, වැඩ වලට අමතරව එයාලගෙ ටීම් වල කට්ටිය ගැන එකිනෙකා මොනවද හිතන්නෙ, එයාලගෙ ඇටිටියුඩ්ස් ඔන වගේද කියල දැනගන්නත් ඉවැලුවේශන් ෆෝම් එකේ ඉඩ තියල තිබුනා.

එක එක්කෙනාගේ ෆෝම් සබ්මිට් වෙලා සති දෙකකින් වගේ තිබුන ඉවැලුවේශන් ෆෝම් එකට පාරමිතා ගියේ කවදත් වගේ හරිම බයෙන්.

ඒත් හිනාවෙලාම උන්න මැනේජ්මන්ට් ටීම් එක දකිද්දි නම් පාරමිතාගෙ බයෙන් ටිකක් විතර අඩු උනා.

“පාරමිතා ගැන අපි හරිම සන්තෝස වෙනව.

මුල ඉඳලම අපි ඔයාගෙ ටැලන්ට් එක උනන්දුව, කැපවීම හැම දේම දිහා බලාගෙන හිටියා. අපි හොඳට නෝට් කරගෙන හිටපු ළමයෙක් ඔයා. දක්ශකම අතින් විතරක් නෙවෙයි, අනිත් අයට උදව් කරන එක, අවංක කම, දන්නෙ නැති දෙයක් ඉගෙන ගන්න තියෙන උනන්දුව වගේ දේවල් ගැන පවා අපිට හැමෝගෙන්ම ඔයා ගැන සෑහෙන හොඳ අහන්න ලැබුනා.

ඉතින් මැනේජ්මන්ට් එකේ අදහස් සහ ටීම් එකේ මිනිස්සු දරන අදහස් ඔක්කොම කන්සිඩර් කරලා අපි හිතුව ඔයාව ටීම් ලීඩ් කෙනෙක් කරන්න”

පාරමිතා හිටියෙ හිතාගන්න බැරි තරම් සන්තෝසෙන්. තමන් කරන වැඩ කවදාවත් මැනේජ්මන්ට් එකට නෝට් වෙලා නෑ කියල හිතාගෙන හිටපු මොහොතක මෙහෙම දෙයක් දැනගන්න ලැබෙනව කියන එකම මොනතරම් ද?

“ඒත් මතක තියාගන්න මෙන්න මේ දේ අමතක කරන්න එපා.

සමහර වෙලාවට ඔයාල හොඳට වැඩ කරන එක, ඉස්සරහට යන එකට වැඩිපුරම ඉරිසිය කරන්නෙ ඔයා ළඟින්ම ඉන්න කෙනා වෙන්න පුලුවන්.

ඒ නිසා ඉස්සරහටත් හොඳට වැඩ කරන්න, අනිත් අයට උදව් කරන්න, ඒත් අනිත් මිනිස්සු කවුද කියල හොඳට දැනගෙන ඉන්න.

සතා කවුද කියල දැනගෙන එයාව ආශ්‍රය කරන එක හොඳයිනේ නේද?”

බොස් කිව්ව ඒ කතාව ඇතුලෙ හිතන්න ලොකු දෙයක් තියෙනව කියල දැනගත්ත පාරමිතා අලුතෙන් ලැබිච්ච ප්‍රමෝශන් ලෙටර් එකත් අරගෙන එලියට ගියේ පුදුම සන්තෝසෙන්.

මේසෙ උඩ තිබුණ ප්‍රමෝශන් ලෙටර් එක බලපු හැමෝම පාරමිතාට සුබ පැතුවෙ ඒ ප්‍රමෝශන් එක පාරමිතාට ලැබෙන්න සුදුසුම දෙයක් නිසා.

ඒත් ටීනා උන්නෙ පුදුම තරහකින්.

“පාරමිතා වැඩ කරාට එයා හරිම ස්ලෝ, ක්ලයන්ට්සලට උනාත් කතා කරන්නෙ හරිම ගොඩේ විදියට, එයා තව සෑහෙන ට්‍රේන් වෙන්න ඕන” කියල තමන්ගෙ ටීම් එකේ අය ගැන ඉවැලුවේශන් ෆෝම් එකේ ලියල යැව්වත් ඒ කිසිම දෙයක් ගැන නොසලකා පාරමිතාව ප්‍රමෝට් කරපු එක ගැන තරහකින්.

අන්තිමේ තමන් වගේ පොශ් කෙල්ලෙක්ව පහු කරගෙන උඩට යන්න මේ ගොඩේ කෙල්ලෙක්ට පුලුවන් වුනේ කොහොමද කියන සිතුවිල්ල විතරක් ළඟ තියාගෙන තමන්ගෙ වාරෙ ආව නිසා ටීනා ඉවැලුවේශන් රූම් එක තියෙන තැනට ගියේ පාරමිතාට වගේ ප්‍රමෝශන් එකක් ලැබෙන්න තරම් වැඩක් තමන් කරේ නෑ නේද කියන පසුතැවිල්ලත් හිතේ තියාගෙන.

More Stories

Don't Miss


Latest Articles