තවමත් හරි හැටි අරුණ උදා වී නැත. කොහොමටත් මේ සූර්යාලෝකය මිහි මතට ළඟා වන්නට පමා වන කාලය යයි අහස දෙස බලමින් ගජධීර ගණන් හැදුවේ ය. ඔහු සැනසුම් පාය වටේ ම විදුලි පහන් දල්වා ලූයේ තද අඳුරට බියෙන් වාගේ ය. සැබවින් මේ කණාමැදිරි එළියටත් බය හිතෙනා කාලයකි.
අළුයම හතර වන විට සේනාසිංහ දෙමහල්ලන් ද රැගත් මෝටර් රථය සැනසුම් පාය පෝටිකෝව යට නතර විය. මධුරි ඉන් බැස ගත්තේ හදවතෙහි වන කලබලය දෑසින් ද පිට වෙත්දී ය.
“පුතේ…ආරාධනා…”
දියණිය බදා වැළඳ ගත්දී මධුරි ගේ ඇස් වලින් කඳුළු කඩා වැටෙමින් තිබිණ. එදා, ආරාධනා මනාලියක වූ දා ඇය දියණිය කාශ්‍යප වෙත භාර දුන්නේ ද හැඬූ කඳුළෙනි. ඇස් දෙකේ තියා ගෙන හැදුවත් දුවලා අයිති පිට ගෙවල් වලට යයි ඇය දැන සිටියා ය. ඇගේ දෙමාපියන් ගේ ඉරණම ද එය ම වූ බැවිනි.
“අනේ මේ අපේ පණ ටික පුතේ. අපේ වස්තුව. අපේ ආඩම්බරේ. අපිටත් වැඩිය හොඳට පුතා අපේ දරුවව බලා ගනී කියල විශ්වාසෙං අපි ඔයාට අපේ හුස්ම ටික දෙන්නෙ. මේ කෙල්ල හරි අහිංසකයි පුතේ. එයාව ආදරෙන් බලා ගන්න”
එදා කාශ්‍යප වැළඳ ගෙන මධුරි ඉල්ලා සිටියේ එපමණකි. චමල් සේනාසිංහ ට නම් එහෙමවත් වචනයක් කතා කර ගත නො හැකි වූයේ ය. ඒ අවස්ථාවට මුහුණ දී ගන්නට තරම් සවියක් නොමැති බව ඉඳුරා දැන ඔහු කල් ඇතිව ම මධු විතෙන් පදම් වී සිටියේ ය. චමල් කියන්නේ වෙහෙස වී සිය ව්‍යාපාර කර ගෙන දරු පවුල ඔහු ට හැකි උසකින් ඔසවා තැබූ පුරුෂයෙකි. දරුවන් උසස් අධ්‍යාපනයට යොමු කොට සිය යුතුකම් ඉටු කළ පියෙකි. ආරාධනා ගේ වැඩිමහල් සොයුරා වන චින්තක විවාපත් ව පියා ගේ ව්‍යාපාර වල ම යෙදෙමින් සිටියේ ය. ආරාධනා ව්‍යාපාරික ජීවිතයක් ප්‍රිය නො කළ අතර ඇයගේ තෝරා ගැනීම වූයේ ගුරු වෘත්තිය ය.
“ගෑනු ළමයෙක් ට හොඳම ගැලපෙනම රස්සාව තමයි ගුරුවරියක් වෙන එක”
විවාහය දා ගජධීර චමල් සේනාසිංහ සමග පාරම් බෑවේ ය.
“තමන්ගෙ උගත් කමට රස්සාවක් කරන ගමං…පවුල් ජීවිතේ යුතුකම් ඉෂ්ට කර ගෙන දරු මල්ලො බලා කියාගෙන ඉන්න දවසෙන් වරුවක් තියනව. අවුරුද්දට මාස තුනක් නිවාඩු තියනව. සති අන්තෙ නිවාඩු තියනව. ඉතින් තව මොනාද…අනිත් එක රජුන් හදන්නෙත් දොස්තරල ඉංජිනේරුවො හදන්නෙත් ගුරුවරු”
තාත්තලා දෙන්නා ආරාධනා ගැන උදම් වෙමින් හඬ නගා සිනහ වූ අයුරු මේ දැන් මෙන් මධුරි ට සිහි කළ හැක. අද මේ මොහොතේත් ගජධීර හා සේනාසිංහ සිටියේ දරා ගත නො හැකි බරකින් උනුන් වැළඳ ගෙන ය.
“ඉඳගන්න නංගියෙ. අනේ බලන්න නංගියෙ වෙලා තියෙන දෙයක්. අහස පොළව නූහුලන අපරාදයක්නෙ දෙයියනේ මේ…කාගෙ ඇස්වහක් වැදුනද කියල තාම මට හිතා ගන්න බෑ. නැත්තං කුරුලු කූඩුවක් මෙහෙමත් විනාස වෙලා යන්න පුළුවන්ද…”
රාජිකා මැණිකේ නාසය උඩට ඇද්දා ය. තත්පර කිහිපයක දරුණු නිහැඬියාවක් පැතිර ගියේ ය. ඒ නිහඬ බව බිඳිමින් චමල් සේනාසිංහ සිය ගැඹුරු හඬ අවදි කළේ ය.
“දැං මොකද්ද ඇත්තටම සිද්ද වෙලා තියෙන්නෙ…කාශ්‍යප මොකද්ද කියන්නෙ…මොකද්ද එයා කරන්න හදන්නෙ…කෝ දැන් එයා…”
“ඌ ගෙදර එන්නෑ දැන් දවස් තුන හතරක් තිස්සෙ ඉඳං. මේ දරුවට කිව්වලු වෙන් වෙන්න ඕනයි කියල. මං ගියා උන්දා හම්බ වෙන්න ඔෆිස් එකට. මට කිව්වෙත් ඒ හරුපෙම තමයි. මං කියල ආවෙ උගෙ කනේ ඇඟිලි ගහ ගන්න”
“මොකද්ද මිනිහ ඩිවෝස් එක ඉල්ලන්න හේතුව…”
“කොහෙ හරි යන උරචක්කර මාලයක් බෙල්ලෙ එල්ලගෙන ඇති”
“කාශ්‍යපට ඕන ඕන විදිහට එහෙම නටන්න දෙන්න බෑ. එයා කොහොමද එහෙම වගකීමක් නැතුව වැඩ කරන්නෙ…මේ ළමයි දෙන්නෙකුත් හැදුවට පස්සෙද එයාට වෙන කසාදයක් ඕන වුණේ…”
“තාත්තෙ”
චමල් හිඳ ගත් පුටුව ළඟ බිම හිඳ ගත් ආරාධනා, සිය හිස පියා ගේ කකුලක් මත තියා ගන්නා ගමන් වෙව්ලා ගිය හඬකින් කතා කළා ය. කාගේත් ඇස් යොමු වී තිබුණේ ඇය වෙතට ය.
“විජය කුවේණිව මාළිගාවෙන් පැන්නුවෙත් ජීවහත්තයි දිසාලයි ඉපදුණාට පස්සෙනෙ තාත්තෙ. ඒක ඉතිහාසෙ පටන් ගත්ත දවසෙ ඉඳල ගෑනු අපේ උරුමෙ වෙන්නැති. ඉරණම වෙන්නැති”
රාජිකා මැණිකේ ඇස් මිරිකා කඳුළක් චප්ප කොට දැමුවා ය.
“එයාට මං එපා කියනවනං…ඒ කවද ඉඳන්ද කියල ගණං හදන එක තේරුමක් නැති වැඩක් නේද…හැබැයි එයාට මං මුකුත් වරදක් කළේ නෑ තාත්තෙ…දැනුවත්වනං…අම්ම තාත්තට සැලකුව වගේ…මෙහෙ අම්ම මෙහෙ තාත්තට සැලකුව වගේ…සමහර විට ඊටත් වඩා…පොඩි ළමයෙක්ව වගේ මං එයාව බලා ගත්ත. හැම දේම හොයල බැලුව. මන් දන්නෑ…නොදැන හරි අඩුපාඩුවක් වුණාද කියල. හැබැයි කාශ්‍යප කවදාවත් මට එහෙම දෙයක් කිව්වෙ නෑ. කිව්වනං මං වැරදි හදා ගන්නව අම්මෙ. එයා වෙනුවෙන් මං මොනාද නොකළෙ…මොනාද බෑ කිව්වෙ…”
උළුවස්ස උඩ හිඳ ආරාධනා දෙස බලා උන් කවීශ්වර ඉවත බලා ගත්තේ බඩ දනවා වාගේ දැනුණ නිසා ය. අතර මගක දී ඔහු විසින් කවර හෝ හේතුවක් මත අත් හැර දමන ලද කාන්තා මූණු ගණනාවක් ම කවීශ්වර ගේ හිතේ ඇඳි ඇඳී මැකී යන්නට විය. ඒ ඇතැම් තරුණියක ඔහු අමතක කළ නො හැකි බව කියමින් හඬන්නට ඇත. ඔහු ට කළ වරද කුමක් දැයි අසමින් පසු පස එන්නට ඇත. සමහර සම්බන්ධතා නම් බිඳී ගියේ ඔවුන් ගේ පැත්තෙනි. ඇතැම් ඒවා අත්හැරුණේ ඇයි කියාවත් ඔහු ට මතක නැත. නමුත් ඒ කිසිවෙකු සමගින් තමන් විවාහ වී සිටියේ නැතැයි මේ මොහොතේ කවීශ්වර තමන් ගේ සිතට ම පාපොච්චාරණයක් කරන්නට විය. මෙයින් මතු කිසි දාක ගැහැනු හදකට මේ වගේ දුක් ගින්දරක් දෙන්නට ඔහු ට නො හැකි වනු ඇත කියා ද සිතී, ඒ සිතිවිල්ල යට ගියේ ය.
කට්ටිය කතා කරන අතරේ රාජිකා මැණිකේ තේ හැදුවා ය. බේකරි කඩයට ගොස් කවීශ්වර උණු උණු පාන් ගෙනාවේ ය. පාන්දර සිට අවදියෙන් සිටි නිසා හැම කුසක ම හිස් බවක් විය. නමුත් හිත් වල වූයේ සපුරා ලිය නො හැකි හිස් බවකි.
“කාශ්‍යප වගේ මිනිහෙකුත් මෙහෙම කළා නං අපි කවුරු ගැන විශ්වාස කරන්නද…දැන් ආරාධනා ගෙ තීරණේ මොකද්ද…”
තේ බොන ගමන් චමල් එසේ ඇසුවේ තීරණාත්මකව ය. ‘මට මගෙ කෙල්ල වැඩි නෑ’ වන් අදහසක් ඔහු ගේ සිතේ තිබිණ. කාශ්‍යප ගැන වෛරී හැඟීමක් ඔහු තුළ කැළතෙන්නට විය.
“තාත්තල ආවෙ මාව එක්කං යන්නනෙ…මං ගෙදර යන්න එන්නං. දැං මට මෙහෙ ඉන්න අයිතියක් නෑනෙ මොනා වුණත්…”
හැඬීම නිසා ම රෝස පාට වූ ඇස් නෙළුම් පෙති පහළට හරවා ගෙන ආරාධනා ඉකියකට යටින් කියා ගත්තා ය. රාජිකා මැණිකේ අතේ වූ තේ කෝප්පය බිම වැටී ස්ලාං ගා බිඳී ගියේ ය.
“අනේ පුතේ එහෙම කරන්න එපා. අපිව දාල ඔයත් යන්න එපා”
ඕ තොමෝ මහා විලාපයකින් කියා ගත්තා ය. ආරාධනා ඇය වෙත ලං ව “අනේ අඬන්නෙපා අම්මෙ ඉතිං” යයි කොඳුරමින් ඈ සනසන්නට වූවා ය.. ගජධීර ද සිය ගුරු පාට වියපත් ඇස් ඉවතට හරවා ගෙන කඳුළක් නො පෙන්වා සිටීමේ වෑයමක් දැරුවේ ය.
“ඒත් ඉතිං…කාශ්‍යප ඩිවෝස් එක ඉල්ලනවනං ආරාධනා මෙහෙ ඉන්න එකේ තේරුමක් නෑ නේද අක්කෙ…”
මධුරි සිහින් ලෙස සිය හඬ අවදි කළා ය. රාජිකා මැණිකේ ට මේ කිසිත් මේ විදිහට පිළි ගැනීමේ උවමනාවක් තිබුණේ නැත. කාශ්‍යප ගෙදරින් නික්ම ගියාට වැඩි වේදනාවක්, ආරාධනා දරු දෙදෙන ද ගෙන ගියෝතින් විඳගන්නට වන බව ඇය සක් සුදක් සේ දැන සිටියා ය.
“මන් දන්නව සම්පූර්ණ වැරැද්ද තියෙන්නෙ අපේ එකාගෙ අතේ කියල. අනේ නංගියෙ ඒත්…පවුලක් කැඩිල බිඳිල යන්න අරින එක නෙවෙයි නේද දෙමව්පියො හැටියට අපි කරන්න ඕනෙ. කොහොම හරි ඒක ආයෙ පුරුද්දන්න පුළුවන්ද බලන එක. අපි කාශ්‍යප ගෙන්නල හරි ඉන්න තැනකට ගිහින් හරි කතා කරල බලමුකො මේ ගැන…මං කියන්නෙ ආරාධනාගෙ දෙමව්පියො හැටියට ඕගොල්ලොන්ට ඒකට අයිතියක් තියනවනෙ. අපිත් ගන්නෙ මේ දරුවගෙ පැත්ත. එක පාරටම වෙන් වීමක් ගැන තීරණේ කරන්නෙ නැතුව අපි උත්සාහ කරමු මල්ලියෙ. අනිත් එක මේ කිරි සප්පයො දෙන්න…අපිට පුළුවන් තමයි උන් හදා වඩා ගන්න. ඒත් උන් දෙන්නට තාත්ත කෙනෙක් ඕනනෙ දෙයියනේ…”
ඕ තොමෝ බැගෑපත් වූවා ය. ඇය ඉස්මතු කරනා කාරණාවෙහි සැබෑවක් වන බව සේනාසිංහ යුවළට නො තේරුණා නොවේ. අනිත් අතට ආරාධනා කාශ්‍යප ගේ වෙන් වීම නිසා උමතු වේවිද යන පැනය, ඇතැම් විට ඇගේ විලාශය දකිත්දී මධුරි ට කිහිප වර සිතිණ. නමුත් උන් හිටි ගමන් දෑස් හකුළා ගෙන ආරාධනා විසින් පවසන්නට යෙදුණේ ඊට හාත්පසින් වෙනස් කතාවකි.
“අම්මෙ මට දැන ගන්න ඕනෙ…මොනා කියලද එයා ඩිවෝස් එක ඉල්ලන්නෙ කියල…මං කියන්නෙ…මගෙ වැරැද්ද මොකක් කියලද එයා කියන්න යන්නෙ…දරුවො දෙන්නෙකුත් හම්බුණාට පස්සෙ ඒ ගැන මුකුත් කියන්න බෑනෙ…එහෙනං මං අනාචාරේ හැසිරුණා කියලද..නැත්තං මං ද්වේශ සහගත විදිහට එයාව දාල ගියා කියලද…එයා මොකද්ද මට කරන්න යන චෝදනාව…මට හරි ආසයි අන්න ඒක දැන ගන්න”
එතැන ආරාධනා දෙස බලා උන් හැම නෙතක ම ඇවිළුණේ භීතියකි. ඇගේ විලාශය එපමණට ම අමුතු විය. ආගන්තක විය. ඒ ඇස් වල උමතු බවක් වූවා ට ස්වරයෙහි වූයේ ස්ථිරසාර දැඩි ස්වභාවයකි. ඊට මොහොතකට පෙර ඇගේ කොපුල් තෙමා තිබූ කඳුළ වාෂ්ප වී කැළැල් පමණක් ඉතිරි විය.
“එක අතකට මං මෙහෙං ගියොත් තාත්තෙ…එයා ඒක කියන්නත් පුළුවන් එක අතකට…ද්වේශ සහගතව අත්ඇරල ගියා කියල. ඒක නිසා තව ටික දවසක් මං මෙහෙ ඉන්නං අම්මෙ…”
කවුරුත් හිටියේ ගොළු වී ය. ඒ තරම් ප්‍රභාශ්වර බවක් ඒ වෙලාවේ ආරාධනා ගෙන් විකිරණය විය. ඇස් දීප්තිමත් වී තියුණු විය. ඇගේ රුධිර ධාතුව ඔස්සේ අදෘශ්‍යමාන ශක්තියක් සංසරණය වෙන සේ පෙනිණ.
“එයාට මාව එපානං මං වැඳගෙන පස්සෙන් යන්නෑ අම්මෙ. එයා මට ආදරේ නැත්තං මං ඩිවෝස් එක දෙන්නෑ කියල එයාව හිර කරන්නෙත් නෑ. ආදරේ නැතුව වෙන මොන දේකින්වත් මට වැඩක් නෑ. රත්තරං කෑලි දෙකක් වගේ පැටව් දෙන්නෙක් මට ඉන්නෙ. ජීවත් වෙන්න මට ඒ ඇති තාත්තෙ. ඒත් මට බලන්න ඕනෙ කාශ්‍යප දික්කසාද නඩුව දාන හේතුව මොකද්ද කියල. ඒක නිසා මං ටික දවසක් ඉඳල ගෙදර එන්නං අම්මෙ…”
අත් දෙකෙන් ම ආරාධනා කම්මුල් පිස දා ගත්තා ය. නැත. එහි තව දුරටත් කඳුළු වූයේ නැත.
“මං මේ කෝප්ප ටික හෝදල තියල එන්නං”
මේසය මත තැන් තැන් වල තිබූ කෝප්ප ටික ඇය බන්දේසියකට එකතු කොට ගත්තා ය. පිඟන් ටික වෙන ම ගොඩක් වන සේ එකතු කළා ය. ඒ වන තුරුත් කිසිවෙකු කට හෙල්ලුවේ නැත.
“මේ පිඟන් ටික ගෙනත් දෙන්න කවීශ්වර”
කියා ගෙන ඕ බන්දේසිය ගෙන මුළුතැන්ගේ දෙසට කඩිනමින් ගියා ය. කවීශ්වර සින්ක් එක ළඟින් පිඟන් අට්ටිය තබා ආවේ ය.
“මොකද්ද මධූ දැන් අපි කරන්නෙ…ම්…”
නිහඬ බව බින්දේ සුසුමක් ද සමග චමල් ය. මධුරි කම්මුලෙහි අත ගසා ගත්තා ය.
“මගෙ දරුවට දවසක මෙහෙම වෙයි කියල මං හිතුවෙ නෑ දෙයියනේ. දැන් ඉතින් අපි මොනා කිව්වත් එයා එයාගෙ තීරණේ වෙනස් කරන්නෑ චමල්. මන් දන්නවනෙ ආරාධනා කවුද කියන්න. අනිත් එක මේ වෙලාවෙ තව දුරටත් පාරන්න ඉඩක් එයාගෙ හිතේ නෑ. ඒක නිසා අපි තව ටිකක් බලමු”
“අනේ…පින් සිද්ද වෙනව නංගියෙ. දුව ගියොත්නං මං කොහොම වුණත් මේ මනුස්සය ආයෙ පපුවෙ අමාරුවක් හදා ගන්නව ඉස්තීරයි. කාශ්‍යප නෑ කියල අබ මල් රේණුවක බයක් තියා ගන්න එපා දරුව ගැන. එයා අපිට ලේලියෙක් නෙවෙයි දුවෙක් කියල නංගි දන්නවනෙ”
“අපි දන්නව අක්කෙ”
තුවාල පිරිමැද ගැනීම් සිදු වූයේ එසේ ය. අවසන සේනාසිංහලා ගෙදර ගියේ ආරාධනා සැනසුම් පායේ නතර වත්දී ය.