අනෝරා මල් වැහි 32

“ඔයාට බය නැද්ද මාත් එක්ක මෙහෙම යන්න”

අදිවේගී මාර්ගයේ පවබට බඳු වේගයෙන් රිය ඇදි යද්දී තාරා උන්නේ බොහෝ නිදහස්ව රිය පදවන මහිල්ගේ පුලුල් උරහිසට හේත්තු වීය.

හේත්තු වී ඊයේ ප්‍රේමයෙනුත් සතුටෙනුත් ගෙවී ගිය උපන්දින සැඳෑව මතක් කරගනිමිනි.

“ඒ උනාට ප්‍රසන්ට් එකක් නොදී බෑනෙ. කෝ ඇස් දෙක පියාගන්න”

කියා මහිල් තම දෙතොල මත ආදරයේ සුන්දරම රටාවක් මවාවි කියාවත්, මිහිරිතම රසයක් තබාවි කියාවත් තාරා බලාපොරොත්තු වූයේ නැත. මහිල් කියූ පරිදි පියාගත් දෙනෙත තප්පර ගණනාවකට පසු මහිල් තම දෙතොලින් මුදවා ගත් පසුවත් හැර බලන්නට තාරාට උවමනා වූයේ නැත. 

ඒ තප්පර කිහිපයක වෙලාවක් වුවත් තාරාට එය දැනුනේ කල්පාන්තයක් ලෙසිනි.  

“තරහද?” කියා කන් පෙත්ත අසලින් ඇහෙන මහිල්ගේ හඬට අනුව තාරා දෙනෙත් ඇරියාය. එහෙත් මහිල්ගේ දෙනෙත් දෙස එක එල්ලේ බලන්නට නොහැකි තරම් ය. ඒ නිසාවෙන්ම නෑ කියා හිස සැලූ තාරා වාහනයට හේත්තු වූයේ දෙනෙත් බිමට හරවාගෙනමය. 

මහිල් තාරාගේ උරහිසට දෙපසින් තම දෑත තබා තාරාගේ දෙනෙත වෙත එබුණාය. 

“අයි ලව්‍ යූ”

ඒ හඬ ඇහෙන්නේ සෙමෙන්‍ ය. එහෙත් වඩා ප්‍රේමණීයවය. ගැඹුරින්ම. හිතට කතා කරන විලාසයෙනි. 

“මං මෙච්චර ආදරෙයි කියලත් ඔයා කවදාවත් ආදරෙයි කියන්නෙ නෑ. ඇයි ඒ? ම්ම්ම් ඔයා මට ආදරේ නැද්ද?”

“එහෙම දෙයක් නෑ”

“එහෙම දෙයක් නෑ කිව්වෙ ආදරෙයි නෑ කියන එකද?” 

“අනේ ඕකනෙ ඉතින්.”

“ඉතින් කෙල්ලෙ මම ආසයි අහන්න මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් මට ආදරෙයි කියනව”

“ආදරෙයි ඉතින්. නැත්තම් ඉතින් මම මෙහෙම ඉන්නෙ නෑනෙ”

“හ්ම් හ්ම් හරි හරි මම ඔයා කියන දේ පිලිගන්නම්කො. දැන් එහෙනං පරිස්සමෙන් යන්න. ගෙදර ගිහින් මට කියන්න හොඳේ. අයි ලව් යූ”

කියා මහිල් තම සුපුරුදු මන්දහාසය නැගුවද තාරා මද සිනාවක් විනා එයට පිලිතුරක් දුන්නේ නැත. මහිල් බලාපොරොත්තු කඩවූ බැල්මක් නගද්දී තාරා කාරයට නැග පිටත් වුණි.

එහෙත් ගෙදර ඇවිදින් වත් ඒ සිනාවවත් ඒ වදන්වත් ඒ හාදුවවත් අමතක කරලන්නට හැකියාවක් තාරාට තිබුනේ නැත. ඒ හාදුවේ රසයත් මිහිරියාවත් එදා මුලු රාත්‍රිය පුරාවටම තාරාව වැලඳගෙන උන්නාය.

චිරායු ආවේ සුපුරුදු පරිදි රෑ වීය.

“සොරි තාරා මට අදත් එන්න රෑඋනා. මම කලින් එන්න ඉඳියෙ ඔයාගෙ බර්ත් ඩේ එකත් සෙලිබ්‍රේට් කරන්න බලාගෙන. බට් හදිසියේ මීටින් එකක් වැටුනා. අයෑම් එක්ස්ට්‍රීම්ලි සොරි” කියමින් චිරායු නැගුවේ වෙහෙස බර සිනාවකි.

වෙනදාක නම් “මගේ බර්ත් ඩේ එකටවත් කලින් එන්න බැරි ඔයාගෙ ඔය රස්සාවෙන් වැඩක් තියෙනවද චිරායු” කියා රණ්ඩු වෙන්නට, අමනාප වන්නට තිබුණාමුත් තාරා උන්නේ චිරායුව හදවතින් පිටමං කර තබාය. නොඑසේනම් චිරායුගේ ජීවිතයෙන්ද පිටමං වන්නට සිතාගෙනය. එවන් සිතුවිලි සමගින් ජීවිතයගෙවෙද්දී මෙවන් දෙයකට චිරායු සමග අමනාප වන්නට කිසිත් අදහසක් තාරාට තිබුනේ නැත. 

“ඉට්ස් ඕකේ. ඔයා කොහොමත් බිසී කියල මම දන්නවනෙ චිරායු” කියා තාරා කියද්දී චිරායු උන්නේ කිව යුත්තේ කුමක්ද කියා සිතාගන්නට නොහැකිවය. තාරා එක් අතකින් තමා සමග රණ්ඩු වූවානම් හොඳයැයි කියා චිරායුට සිතුනේ තාරාගේ නිහැඬියාවත් වෙනස්වීමත් දරාගන්නට අපහසුම තැනය. 

චිරායුට තාරාගේ උපන්දිනය අමතක වූවානොවේ. වේලාව වැය කර ඇය වෙනුවෙන් තෑග්ගක් ගන්නට නොහැකි බව දන්නා නිසාම චිරායු තාරා ආස වෙතැයි කියා සිතූ දියමන්ති එබ්බ වූ කරාබු ජෝඩුවක් වෝග් ජුවෙලර්ස් වෙතින් ඇණවුම් කර කාර්‍යාලයටම ගෙන්වා ගත්තාය. 

“හැපි බර්ත් ඩේ තාරා” කියා ඒ දියමන්ති කරාබු ජෝඩුව සහිත ආබරණ පෙට්ටිය තාරා අත තබමින් චිරායු බොහෝ කාලයකටපසු හාදුවක් තාරාගේ  නලල මත තැබුවේය. තාරාට ඒ හාදුව දැනුනේ නැති තරම් ය.

මෙයට පැයකට පමණ පෙර මහිල් විසින් දෙතොල මතරැඳවූ කුලුඳුල් හාදුව ආත්මය වසාගෙන හිඳින බවක්තාරාට දැනුනි.

“තැන්ක්‍යු” කියා යාන්තම් බැල්මකින් ඒ දියමන්ති කරාබුයුවල දෙස බලා තාරා සුපුරුදු පරිදි චිරායුගේ රාත්‍රී කෑම වේල මයික්‍රෝවේව උඳුනට දැමුවාය. කාර්‍යාල බෑගය පුටුව මත තබා සපත්තු සහ මේස් ගැල වූ චිරායු කොන්ද පිටුපසට කර දෑත් ඉහලට ඔසවා හිරි ඇරියාය.

ඉස්සර මෙසේ කරන විට තාරා විත් තමාව බදාගන්නා හැටි චිරායුගේ මතකයේ ලාවට ඇඳී නොඇඳී ගියේය.

“හෙටත් ඔයා ඔෆිස් එකට යනවද?” 

තාරා ගේ හඬ අවදි උනේ චිරායු ඒ කල්පනා ලෝකයේ ගිලී ඉඳිද්දීය. 

තාරා මෙයට පෙර එවන් ප්‍රශ්නයක් නැගුවේ බොහෝ කාලයකට පෙර බව චිරායුට මතකය. ඉන්පසු එසේ ඇසීම පවා තේරුමක් නැතැයි සිතා මෙන් ඇය එය නොඇසූ බව චිරායුට මතකය. 

“ඔව් ඇයි එහෙම ඇහුවෙ?”

චිරායුට මෙය කියන්නේ කුමනාකාරයෙන්ද කියා තාරා දහ අතේ කල්පනා කරාය. මෙය කියාත් බැරිය නොකියාත් බැරිය. තමා මේ තරම් මේ ගැන වද වෙන්නේ මෙය වරදක් නිසා බව තාරා නොදන්නවා නොවේ. 

එහෙත් ආදරය සුන්දර වරදක් නොවේද?

“මම හෙට පොඩි ට්‍රිප් එකක් යනවා. අනිද්ද තමයි ආයෙ එන්නෙ”

“කොහොමද යන්නෙ?”

“කා එකේ”

“ඕකේ. සල්ලි ඕන නම් ඔයා දන්නවනෙ තියෙන තැ…”

“සල්ලි එපා චිරායු.මට කවදාවත් ඔයාගෙ සල්ලි උවමනා උනේ නෑනෙ” කියා තාරා සිනාසෙමිම උඩුමහල වෙත ඇදී යද්දී චිරායු නිහඬවම ඇය දෙස බලා උන්නේය.

ඒ කියන්නට කිසිත් නැති වුවද සිතන්නට බොහෝ දේ තියෙද්දීය.

මහිල්ගේ උරහිස මත හේත්තු වී දෙනෙත් පියාගෙන මේ සියල්ල කල්පනා කරමින් උන් තාරාට මහිල් ඇසූ ප්‍රශ්න සැබවින්ම ඇසුනේ නැති තරම් ය. 

“බබ ඔයා නිදි ද?” කියා මහිල් වාහනය පදවන අතරම තාරා දෙස කෙටි එහෙත් විපරම් බැල්මක් හෙලුවේය.

“ම්ම්ම්” 

“මං ඇහුවෙ ඔයාට බය නැද්ද කියල මාත් එක්ක මෙහෙම යන්න”

“මොකටද බයවෙන්නෙ?”

“එහෙම නෙවෙයි. මම ඔයාව කිඩ්නැප් කරල ඔයාව හංගගෙන ඉඳල කප්පම් ඉල්ලාවිද කියන්න බෑනෙ”

“කප්පම් ඉල්ලන්නෙ චිරායුගෙන්ද?” කියා තාරා මහ හඬින් සිනාසෙමින්ම මහිල්ගේ උරහිසට හේත්තු කරගෙන උන් හිස ඔසවා අසුනේ හරිබරි ගැසී වාඩිවූවාය.

“ඇයි එහෙම කියල හිනා උනේ?” වාහනයපදවන අතරම මහිල් තාරාගෙන් එසේ ඇසුවේය.

“චිරායු ඉතින් ඔයාට සල්ලි දේවි අනේ මහිල් අරගෙන යන්න කියල”

එයට කිව යුත්තේ කුමක් ද කියා අදහසක් මහිල්ට තිබුනේ නැත.තමා කිසිම දිනක චිරායුව දැක නැත. ඔහුව හමු වීනැත. ඔහු කුමනාකාරයේ පුද්ගලයෙක්ද කියා දන්නේත් තාරා විසින් කියන්නට යෙදුණ කාරණා මත පමණකි. එහෙමතැනක තාරා කියන්නට යෙදුණ දෙයට තමා විසින් කිව යුත්තේ කුමක්ද කියා සිතාගන්නට නොහැක. 

“ඔයාට තරහ ගියාද මම එහෙම කිව්වට?”

“නෑ බබා මම කල්පනා කරේ ඔයා කිව්ව දේට මම මොනවද කියන්නෙ කියල. ඔයා කියන විදියටම චිරායුගෙන් ඔයාව ඉල්ලුවොත් දෙනවනම් මම එකපාරක් නෙවෙයි දහ පාරක් උනත් ඉල්ලනව. ඒ උනාට මට ඇත්තටම බයයි ඔයා හිතන තරම් ලේසියෙන් ඔයාව අතාරිවිද කියල

එහෙම උනොත් මොකද්ද කරන්නෙ කියල මට හිතාගන්න බෑ”

“චිරායුට මගෙන් වැඩක් නෑ මහිල්. එයා කොහොමත් බලාගෙන ඇත්තෙ මගෙන් ඩිවෝස් වෙන්න”

“ඔයා එහෙම හිතුවට මම නං හිතන්නෙ නෑ ඔයා වගේ වටින කෙල්ලෙක්ව එහෙම එයා ලේසියෙන් නැති කර ගනීවි කියල”

“ඔයාට මාව වටින කෙල්ලෙක් උනාට චිරායුට මාව නොවටිනා ගෑනියෙක් විතරයි මහිල්. අනේ අපිදැන් මේ කතාව නතර කරමු ප්ලීස්. මට ඕන මේ ගමන සන්තෝසෙන් ගිහිල්ලා එන්න මහිල්”

ඒ නිහැඬියාව මතම මහිල් පින්නදූව අදිවේගී පිටවුමෙන් රිය එලියට දමා තාරා ඉල්ලූ පරිදි ගාලු පාර දිගේ ක්ලෝසන්බර්ග් හෝටලය වෙත රිය ධාවනය කරේය. 

තාරා කලින්ම ක්ලෝසන්බර්ග් හෝටලයට එක් රැයකට කාමරයක් ඇණවුම් කර තිබුණි.

මේ දෛවෝපගත මොහොතක්, දිනයක් බව තාරත් මහිලුත් දැන උන්නහ. එහෙත් හදවත පිටාරා යමින් තිබූ ආදරයත් එකිනෙකාගේ උණුහුම කෙරේ වූ ලොල් බවත් ඒ දෛවෝපගත බව දෑතින්ම බදා තුරුලුකරගන්නට සැදී පැහැදී උනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles