දරුවන්ටත් ලොවක් තැනූ මාරියා මොන්ටිසෝරි

මොන්ටිසෝරියට නොගිය කෙනෙක් අපි අතරෙ නැති තරම් නේ.
මොනතරම් ඉහළට ඉගෙන ගත්ත කෙනෙකුට වුණත් මුල් අඩිතාලම ලැබුණෙ
මොන්ටිසෝරි එකෙන්, එහෙමත් නැත්තම් පෙර පාසලෙන්.
දරුවන්ගේ නිදහස් මනස තේරුම් ගනිමින්, ඔවුන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය කරමින්,
අනාගතයට අවශ්‍ය අඩිතාලම දාන්න මේ මොන්ටිසෝරි කියන සංකල්පය, ආයතනය
ඉතාම ලොකු උදව්වක්.

ඉතින් අපි අද කතාකරන්නේ කවදාවත් නොදැකපු ළමයින් වෙනුවෙන්, මේ මොන්ටිසෝරි කියන සංකල්පය, ආයතනය ගොඩනගලා, විශාල මෙහෙයක්ඉටු කළ

ඒ විශිෂ්ඨ කාන්තාව වන “මාරියා මොන්ටිසෝරි” ගැන.

Doctor Maria Montessori (1870-1952) Italiaans pedagoog en arts

1870 අගෝස්තු 3 වෙනිදා ඉතාලියේ දී ඉපදුණු මාරියා ටෙක්ලා ආර්ටමිසියා මොන්ටිසෝරි
අවුරුදු 12 දී එයාගේ අම්මලා එයා එක්කෝ පදිංචියට යනවා රෝමයට.
ඒ පුංචි මාරියාට යහපත් අනාගතයක් ලබාදෙන්න අවශ්‍ය මූලික අඩිතාලම දාන
බලාපොරොත්තුවෙන්. ඒ බලාපොරොත්තුවට කරන්න පුලුවන් උපරිම සාදාරණය ඉටු කරමින්,

1893 දී රෝමයේ සැපිනොසා විශ්ව විද්‍යාලයට ඇතුළත් වන ඇය 1896 දී ඉන් පිටවන්නේ

ඉතාලියේ බිහිවූ ප්‍රථම වෛද්‍යවරිය ලෙස හා වෛද්‍ය විද්‍යාවට මෙන් ම ශල්‍ය විද්‍යාවට ආචාර්ය උපාධි
ලබාගත් ප්‍රථම ඉතාලි ජාතික කාන්තාව විදියට.

හැබැයි මාරියා වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වන එකට මාරියාගේ දෙමව්පියන් නම් විරුද්ධ
වුණාලු. එදත් අදත් කියල වෙනසක් නෑ. ඇතැම් දෙමව්පියන් තමන්ගේ දරුවන්ගේ හීන,
බලාපොරොත්තු තමන්ගේ සිතුවිලි සහ අත්දැකීම් ඔස්සේ පාලනය කරන්න උත්සාහ
කරනවනේ. හැබැයි අම්මයි තාත්තයි කොච්චර විරුද්ධ වුණත් මාරියා පසුබහින්නෙ නැතුව තමන්ගේ
ගමන ගිහින් තියෙනවා.
ඒ වගේම කෙල්ලෙක් වෛද්‍ය විද්‍යාලයට එන එක ලොකුවටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා
ඇය ගියපු වෛද්‍ය විද්‍යාලයේ හිටපු මහාචාර්‍යවරයෙක්ට. ඒ කාලේ ඉතාලියේ මිනිස්සුන්ට
අනුව වෛද්‍ය විද්‍යාලය කියන්නේ පිරිමින්ට විතරක් අයිති තැනක්.
ඉතින් ඒ වගේ බාධක ගොඩක් බිඳගෙන ඉස්සරහට ගිය මාරියා තමන්ගේ
බලාපොරොත්තු ඉටු කරගෙන ගමන නතරකරන්නේ නෑ.

1896 අවුරුද්දෙම ස්ත්‍රී සමානාත්මතාවය පිළිබඳ බර්ලිනයේ පවත්වන ලද අන්තර්ජාතික
සමුළුව නියෝජනය කරමින් ළමා මෙහෙකාරකම් පිළිබඳව ප්‍රසිද්ධ වේදිකාවක අදහස්
දැක්වුවේ ළමයින් කෙරේ තමන්ගේ හිතේ තියෙන ආදරණීය හැඟීම් ලෝකයක් ඉදිරියේ
විවර කරමින්. ඒ අවුරුද්දෙම රෝමයේ සැන්ටෝ ස්පිරිටෝ රෝහලේ ශල්‍ය සහයකයෙකු ලෙස සේවය
කළ මාරියාට ගොඩක්ම ඉන්න වුණේ දුප්පත් මිනිස්සුන්ගේ පුංචි දරුවො එක්ක.
මාරියා දොස්තර නෝනා හරිම ආදරෙන් තමයි ලෙඩ්ඩුන්ට සළකන්නේ, හරිම
කරුණාවෙන් බෙහෙත් දෙන්නේ
” කියන කතාව ඒ රෝහල තියෙන ප්‍රදේශයේ මිනිස්සු
අතර කියවෙන්න පටන් ගන්නෙත් ඒ කාලෙම තමයි.

1897 දී රෝම විශ්ව විද්‍යාලයේ මනෝ චිකිත්සක සායනයක පර්‍යේෂණ කටයුත්තකට
වැඩසටහනකට ස්වේච්චාවෙන් සම්බන්ධ වන මාරියාට තමන්ගේ පෙම්වතා වන Giuseppe
Montesano ව මුණ ගැහෙනවා. රෝමයේ සරණාගතව ඉන්න මානසික ආබාධ තියෙන පුංචි දරුවො හොයාගෙන ගිහින්
එයාලට බෙහෙත් කරන්න මාරියාට අවස්තාව ලැබෙන්නෙත් ඔන්න ඔය කාලෙදිම තමයි.
මෙහෙම යන සංචාරයන්වලදී අහන්න දකින්න ලැබුන දේවල් එක්ක මාරියා තව තවත්
මේ වගේ අසරණ අහිංසක දරුවො ගැන හොයන්න බලන්න, ඉගෙන ගන්න මහන්සි
වෙනවා. ඒ සොයා බැලීමේ උනන්දුව වැඩි වෙන තරමට මේ දරුවන්ට වැඩි අවධානයක්
දෙන්නත් මාරියා කටයුතු කරනවා.

අවුරුදු 28 දී ටියුරින් වල පැවැත්වුණ ජාතික වෛද්‍ය සම්මේලනයට කතාකරන මාරියා
මානසික සහ චිත්තවේගීය ගැටලු තියෙන දරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් තරම් ප්‍රතිපාදන
වෙන් කරලා නැති එක ගැන මතභේදාත්මක අදහස් ප්‍රකාශ කරනවා.
ඒ කතාබහ එතනින් නතර කරන්නෙ නැතුව ඊළඟ අවුරුද්දෙ ජාතික අධ්‍යාපනික
සම්මේලනයට කතා කරන මාරියා අධ්‍යාපන ක්‍රියාමාර්ග මත පදනම් වූ සමාජ ප්‍රගතිය
සහ දේශපාලන ආර්ථිකය ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා.

වෛද්‍ය අධ්‍යාපනික ආයතනවල පදනම සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමඟ සේවය කරන ගුරුවරුන්
සඳහා විශේෂ පුහුණුවක් ලබාදෙන්න කියල ඉල්ලන්න මාරියාට ලොකුවටම හේතුවක්
වෙන්නෙ පුංචි කාලේ ඉඳලම “අධ්‍යාපනයෙන් තමයි සමාජය වෙනස් කරන්න පුළුවන්”
කියල එයා තේරුම්ගත්ත සිතුවිල්ල.

දරුවන් ගැන වගේම සමාජීය සහ අධ්‍යාපනික ගැටලු ගැන කතාකරගෙන ගිය මාරියාට
මානසික ආබාධ නිසා අසරණ වෙලා ඉන්න පුංචි දරුවො ගැන හොයන්න තවත්
හේතුවක් වෙනවා 19 වන සියවසේ මුල් භාගයේදී මේ ක්ෂේත්‍රයේ පෙරළිකාර වැඩක් කර
ප්‍රංශ ජාතික Jean-Marc Itard සහ ඔහුගේ ශිෂ්‍ය Edouard Séguin ව.
1899 දී මාරියා පැරිසියේ Bicêtre කියන රෝහලේ මේ Itrad සංකල්පයන් වර්ධනය කරමින්
ඔහු විසින් රචිත Traitement moral, hygiène et education des idiotes (1846) කියන පොත ඉතාලි
භාෂාවට පරිවර්තනය කරනවා.

පුංචි දරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම දේ නිර්මාණය කරගෙන, දරුවෙන්
වෙනුවෙන්ම කැපවුණු මාරියා 1893 දී මාරියෝ කියන තමන්ගේ පුංචි පුතාට උපත
දෙනවා. මේ ලිපිය කියවන ඔබත් දැන් හිතනවා ඇති “මාරියා වගේ අනිත් අයගෙ
දරුවො ගැන කැපවුණ ගැහැණියක් තමන්ගේ දරුවා වෙනුවෙන් මොනතරම් කැපවෙන්න
ඇති ද කියලා ඒත් ඒ කතාව එහෙමමයි කියල අපිට කියන්න පුලුවන් වෙන්නේ නෑ.

මාරියා සහ Giuseppe Montesano ඔවුන්ගේ දරුවව රෝමයේ ගම්බද ප්‍රදේශයට පවුලකට
හදාගන්න දෙනවා. ඒකට හේතුවක් නම් පැහැදිළිව සඳහන් වෙලා නොතිබුණාට, මාරියෝ
තමන්ගේ අම්මා මාරියා බව දැනගන්නෙ වැඩිමහල් පිරිමි ළමයෙක් වුණාට පස්සෙලු. ඒත්
මොකක් හෝ වාසනාවකට ඒ පසුකාලීනව ඇතිවන සම්බන්ධේ ඉතාම යහපත්
සම්බන්ධයක් වුණා කියල තමයි සඳහන් වෙලා තියෙන්නෙ.

ඒ බැඳීමේ ශක්තිමත් බව නිසාම තමයි මාරියෝ තමන්ගේ අම්මා එක්ක එකතුවෙලා
ඇයගේ සියලුම වැඩවලට සහයෝගය දක්වලා තියෙන්නේ.
1904 දී රෝම විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍යවරියක ලෙස වැඩ බාර ගන්න මාරියා “අපේ
ලබන අධ්‍යාපනයට විෂය වන්නේ මනුස්සකම. අපි ඉගෙන ගන්නේ ගුරුවරුන්
වෙන්න.යහපත් ගුරුවරයෙක් තුළ දකින්න ලැබෙන මූලික ලක්ෂණය වන්නේ දරුවන්ට
දක්වන ආදරය” බව තමන්ගේ සිසුන්ට නිතරම කිව්ව බව සඳහන් වෙනවා.

රෝමය ඉතාම ශීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබුණ මේ වකවානුවේදී එරට අතහැර දමා තිබූ
ඇතැම් ගොඩනැගිලි දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල ඉන්න, පාසල් නොයන ළමයි
තමන්ගේ සෙල්ලම් පිට්ටනි කරගෙන තියෙනවා. ඉතින් එහෙම ඉන්න ළමයිව රැකබලා
ගන්නා ගනිමින් ඒ ප්‍රශ්නෙට ලබා දෙන විසඳුමක් විදියට තමයි මාරියා 1907 ජනවාරි 6
වෙනිදා ඇගේ ප්‍රථම ‘ළමා නිවස’ (Casa dei Bambini) අරඹන්නේ.

මොනතරම් හොඳ දේකට වුණත් ඉතින් මුල් කාලේ එහෙම ලොකු පිළිගැනීමක්
ලැබෙන්නෙ නෑනෙ. හැබැයි “මේ අද පටන්ගත්ත දේ කවදහරි ලෝකෙම කතාකරන
දෙයක් වන බවට” මාරියාට තිබුණ විශ්වාසය තමයි අද මුලු ලෝකෙම පැතිරිලා තියෙන
ළමා අධ්‍යාපනයේ මුල් පියවර වන “පෙර පාසල්” සංකල්පය බිහිවෙන්නේ.

දරුවන්ගේ ස්වභාවික වර්ධනයට අවශ්‍ය කරන දැනුම සහ උපාංග යොදාගෙන
මෙහෙයවපු මේ “ළමා නිවස” සෑහෙන ප්‍රගතියක් අත්කරගන්නවා.දරුවන්ටම තමන්ගේ
දුර්වලතා ඉගෙන ගනිමින් වැඩෙන්න ඉඩකඩ හදලා දීපූ මේ ක්‍රමය ගැන මාරියා
කියන්නේ “මම අධ්‍යාපන ක්‍රමයක් හොයා ගත්තේ නැහැ, මම කරේ දරුවන්ට ජීවත්
වෙන්න ඉඩක් හදල දීපු එක විතරයි” කියලා.

අවුරුදු 5 ළමයි මේ පාසලේදී ලබපු අසාමාන්‍ය ප්‍රගතිය නිසා රෝමයේ හතරක් සහ
මිලාන්හි එකක් බැගින් තවත් පාසල් පහක් ආරම්භ වෙලා තියෙනවා. මාරියා ගැනත්,
ඇයගේ මේ අමුතු පාසල ගැනත් ප්‍රසිද්ධ වෙද්දි හතරවටෙන්ම මිනිස්සු ඇයව හමුවන්න
ඇවිල්ලා තියෙනවා.

1909 දී ළමුන් 100ක් එක්ක තමන්ගේ පළමු පුහුණු වැඩසටහන පටන් ගත්ත මාරියා ඒ
සඳහා භාවිතා කළ ඇයගේ සටහන් පොත 1912 දී එක්සත් ජනපදයෙදී “මොන්ටිසෝරි
ක්‍රමය” නමින් පරිවර්තනය වෙලා තියෙනවා.

එක්සත් ජනපදයේ පොත් අතර ප්‍රබන්ධ නොවන කොටසේ විකිණුම් ලැයිස්තුවේ දෙවනි
තැන අරගත්ත මේ පොත පසුව විවිධ භාෂා 20කට පරිවර්තනය වුණා වගේම අධ්‍යාපන
ක්ෂේත්‍රයට විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා.
මොන්ටිසෝරි සංකල්පය හරහා ලොව පුරා දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය ලබා
දෙමින් ළමා මනස වර්ධනය කරන්න දායක වුණු මේ සංකල්පය බිහි කල ඒ විශිෂ්ඨ
කාන්තාව 1952 මැයි 6 වෙනිදා නෙදර්ලන්තයේ පියර්සන් වල පවුලේ නිවාඩු නිවසේදී
අවසන් හුස්ම හෙලනවා.
ඒ ලොව පුරා තවත් දරුවන් දහස් ගණනකට ජීවිතය අලුතෙන් දකින්නට අලුත් හුස්මක්
ලබා දෙන ගමන්.

මූලාශ්‍රය: Association Montessori International වෙතින්

Related Articles

Don't Miss


Latest Articles