පිටත තද වැස්සක් වහිමින් තිබිණ. ආරාධනා සිව් මස් බිළිඳු පුතු සඳයුරු වඩා ගෙන වීදුරු බිත්ති වලින් පිටත බලා සිටියා ය. සඳයුරු අම්මා ගේ අත් දෙකත් පපුවත් අතර මැද අවකාශයේ හිර වී සිටියේ තරමක නො සතුටකිනි. ඔහු ගේ හඬ තැලීම් වල වූයේ ඒ නො රිස්සුම බව ආරාධනා නො දන්නවා නොවේ. විටෙක ඔහු කෙඳිරිලි සරක් නැගුවේ ය. තවත් විටෙක හඬන්නට මෙන් කට හැදුවේ ය. ඒ හැඬීම මුවින් නො නැගෙනු වස් ආරාධනා වීදුරු බැම්ම අයිනේ එහෙ මෙහෙ ඇවිද්දා ය. පුංචි සවනට මුමුණා එක එක දේ කීවා ය. ඒ ප්‍රයෝග වලින් ඔහු සනසා තබා ගත හැකි වන්නේ කෙතරම් කාලයකට දැයි ඇය නො දැන සිටියා ය.
වෛද්‍යවරයා තවමත් පැමිණ නැත.
“කොල්ලව මෙහෙ දාල යන්න. මං බලා ගන්නං. අම්මත් ඉන්නවනෙ”
උදේ තාරා දුරකතනයෙන් කීවා ය.
“අනිත් එක හොස්පිට්ල් එකට මොකටද මේ කිරි සප්පයව අරං යන්නෙ…”
ඇය තව දුරටත් කීවා ය. නමුත් සඳයුරු දමා යාම ගැන ආරාධනා ගේ සිතේ වූයේ දෙගිඩියාවකි.
“අඬයි අක්කෙ”
“අඬයි ටිකක්. සමහර විට පොඩ්ඩක්වත් අඬන එකකුත් නෑ. කොහොමත් ඉස්සරහට ඔයා එයාව අපි ළඟ දාල යන්න පුරුදු වෙන්න ඕනනෙ”
තාරා කීවේ ඇත්තක් බව ආරාධනා නො දන්නවා නොවේ. නමුත් ඇය බිය වූයේ සඳයුරු විඩා පත් වන තුරු ම හඬාවී කියන සිතිවිල්ල නිසා ය. තාරා සේ ම සිය මව් ද ඔහු ට ඒ තරම් හුරු නැත. සඳයුරු කියන්නේ ඔහු කැමති නැති දෑ සිදු වෙත්දී හඬ නගා විරෝධය පානා දරුවෙකු බව දැන් දැන් ඇය අවබෝධ කොට ගනිමින් සිටී. ඔහු බිඟුනි වාගේ අවිහිංසක නැත. බිඟූ නම් දැනට ද යමක් වටහා දීම තුළ දරා ගෙන කර බා ගන්නා පුංචි ගෑනු ළමයෙකි. ඒ නිසා බිඟුනි ව සීයා ළඟ තබා රාජිකා මැණිකේ ව වෛද්‍යවරයා ට පෙන්වන්නට ආරාධනා සඳයුරු ද කැටිව පැමිණියා ය. සක්මනේ යෙදෙනා ගමන් ආරාධනා හැරී බැලුවා ය. තවමත් වෛද්‍යවරයා පැමිණ නැත.
මේ ගමන එන්නට හිටියේ කාවින්දි ය. නමුත් පෙර දා සැඳෑවේ සිට ඇය වෛරස් උණකට ගොදුරු වී සිටින්නී ය. ඒ නිසා අම්මා ව කවීශ්වර සමගින් පමණක් නො එවා තමන් ද එන්නට ආරාධනා තීරණය කළා ය.
“ළමයත් අරං ඕවයෙ රස්තියාදු වෙන්න බෑනෙ. මං අම්මව එක්කං යන්නං”
කවීශ්වර මුලින් ම විරෝධය පෑවේ ය.
“ඒ වුණාට කවීශ්වරට ඩොක්ටර් කියන දෙයක් හරියට මතක තියෙයිද මන්දා…අද අතට එක්සසයිසස් කරන විදිහ කියල දෙනව කිව්වනෙ”
“ඒකනං එහෙම තමයි ඉතිං. මං කියන විදිහට එක්සර්සයිස් කරල ආයෙ අම්මගෙ අත ඔපරේට් කරන්න වෙයිද කියන්න බෑ”
කවීශ්වර හඬ නගා හිනැහුණේ ය.
“ඔය එක්සයිස් කෙහෙල්මලක් නැත්තං මට යන්න තිබුණ අම්ම එක්කගෙන”
ගජධීර ද පශ්චත්තාප ස්වරයකින් කීවේ ය.
“නෑ නෑ අපි යමුකො. මං අම්ම එක්ක ඇතුළට යද්දි කවීශ්වර බබාව තියා ගන්නකො”
අවසාන තීරණය එය විය. ඒ අනුව කවීශ්වර විසින් ඇනවුම් කරනා ලද ටැක්සි රථයක රාජිකා මැණිකේ ද කවීශ්වර ද ආරාධනා හා සඳයුරු ද රෝහල කරා ගියහ.
විශේෂඥ වෛද්‍යවරයා අඩ හෝරාවකටත් වඩා පමා වී තිබියදීත් පැමිණ සිටියේ නැත. කවීශ්වර රාජිකා මැණිකේ ට එහායින් වන රිදී පාට පුටුවක හිඳ ජංගම දුරකතනයට එබී ගෙන සිටියේ ය. ආරාධනා හෙමි හෙමිහිට ඔවුන් වෙතට ඇවිද ආවා ය.
“තව පරක්කු වෙයිද මන්දා ඩොක්ටර්. දැන්නං මෙයාට ඇති වෙලා ඉන්නෙ. කුරු කුරු ගානව හොඳටම…”
ආරාධනා දරුවා වඩා ගත් වන ඔහු නැළැවෙනු වස් දෙපැත්තට පැද්දෙන අයුරු කවීශ්වර බලා සිටියේ ය. ඇගේ ඇස් වල වන්නේ නො ඉවසිලිමත් බවකි. “මං ගන්නද බබාව” කියා අසන්නට කවීශ්වරට ඕනෑ විය. මෙතෙක් වෙලා දරුවා කර පින්නා ගෙන ඇවිදිමින් ඇය යම් වෙහෙසකට පත් වී නම්, ඇයට විවේකයක් දෙන්නට ඇත්නම් හොඳ ය. නමුත් මේ මොහොතේ සඳයුරු සිටින්නේ සුව නැලැවීමක ය. ඒ ආදරණීය පහසින් මිදුණු වහා ඔහු රැහැයියෙකු සේ හඬ තලන්නට ගනු ඇතැයි බියක් කවීශ්වර ගේ සිතේ ඇති විය. සාමාන්‍යයෙන් ඔහු ළමයින් නලවා ගැනීමේ කුසලතාවයක් ඇත්තෙකු නොවේ.
“අපරාදෙ අපිට තව ටිකක් පරක්කු වෙලා එන්නයි තිබුණෙ…”
රාජිකා මැණිකේ පසුතැවීමක හඬින් කීවා ය. කවීශ්වර සිනහවක් නගා ගත්තේ ය.
“එහෙනං ඩොක්ටර් ඇවිත් ගියා කියයි. අපිට වෙන්නෙ එහෙම ඒවනෙ”
ආරාධනා අනිත් පසට හැරුණේ නැවත ද වීදුරු බිත්තිය වෙත යන්නට ය. නමුත් ඇගේ දෙපා එතැන එහෙම ම ගල් විය.
“අම්…මෙ…”
ඇයට කෙඳිරි ගෑවිණි. රාජිකා මැණිකේ ආරාධනා බලා උන් දෙසට හැරී බැලුවා ය. හවස චැනලින් සේවාවන් නිසා ඒ වෙලාවට රෝහලේ එම කොටසේ තදබදය වැඩි ය. සෙනග අතරින් ඒ හුරු පුරුදු රුව දකිත්දී රාජිකා මැණිකේ ගේ පපුව මොහොතකට නතර විය.
ආරාධනා අමාරුවෙන් කෙළ බිඳක් ගිල ගත්තා ය. ඉදිරියට ඇවිද එමින් සිටියේ කාශ්‍යප හා සෞභාග්‍යා ය. ආරාධනා ගේ හදවත දෙමෝලෙන් පිටි කොටන්නා සේ ගැහෙන්නට ගත්තේ ය. ඒ බියක් නොවේ. නමුත් ඒ හැඟීම කුමක් ද කියා ඇය නො දැන සිටියා ය. කිසි දා ක සිය සැමියා වෙනත් බිරිඳක සමගින් තමන් සම්මුඛයට පැමිණේවියි බලාපොරොත්තුවක් කිසි දා ඇය වෙත වූයේ නැත. නමුත් ජීවිතයක් මත්තේ ඕනෑ ම මොහොතක ඕනෑ ම දෙයක් සිදු විය හැකි ය. මේ මොහොත ඇයට එය ප්‍රත්‍යක්ෂ කොට දෙයි. හැකියාවක් තිබුණේ වී නම් දරුවා ද කර පින්නා ගෙන, කාශ්‍යප ගේ දෑසට හසු නොවී කොතැනක හෝ මුවහ වන්නට ඇය දෙවරක් සිතන්නේ නැත. නමුත් දැන් ඊට පමා වැඩි ය. ඉවත බලා ගන්නට ඕනේ කියා සිතුව ද මොහොතකින් ඒ සිතිවිල්ල අමතක වී ගියේ ය. ආරාධනා ට ඔහු වෙතින් දෑස් ඉවතට ගන්නට හැකි වූයේ නැත.
කාශ්‍යප ගේ ඇස් බැල්මට නිමේශයෙන් ඒ සියල්ල හසු විය. අම්මා ගේ අත වෙලා තිබිණ. ඇයට යම් අකරතැබ්බයක් සිදුව ඇති බව ඇස් පනාපිට පෙනෙන්නට තිබේ. නමුත් ඔහු ඒ ගැන හාංකවිසියක් දැන සිටියේ නැත. ආරාධනා මතු නොව අඩු තරමින් කවීශ්වර හෝ ඔහු ට ඒ ගැන දැනුම් දීමක් කළේ නැත. පවුල තුළින් තමන් ව ඒ විදිහට පසෙකට විසි වී තිබීම ගැන මුලින් ම ඔහු ට දැනුණේ හීන මානයකි.
ලොකු පුතා ගේ නෙතු ගැටෙත්දී රාජිකා මැණිකේ ගස්සා ඉවත බලා ගත්තා ය. ඉදිරියට ගොස් අසුන් ගන්නයි කාශ්‍යප සෞභාග්‍යා ට නෙතින් ඉඟි කොට කීවේ ය. ඇය පැකිලෙමින් වාගේ ඉදිරියට ඇවිද යත්දී ඔහු සිය පවුලේ අය ළඟ නතර විය.
“අම්මගෙ අතට මොකද වුණේ…”
කාශ්‍යප ගේ මුල් ම පැනය වූයේ එයයි. රාජිකා මැණිකේ ඔහු දෙස රවා බැලුවා ය.
“උඹගෙ අම්ම මැරිල”
හෙමිහිට මුත් ඇය එසේ කීවේ තදිනි. අහල පහල සිටිනා අයට ඒ කතාව ඇසිණි දැයි කාශ්‍යප නෙතු කරකවා බැලුවේ ය.
“පලයං යන්න මෙතනිං”
“තමුසෙට තිබුණනෙ මට කෝල් එකක් හරි දීල කියන්න”
එවර චෝදනාව කවීශ්වර වෙත ය. ඔහු අවඥා සහගත සිනහවක් සිය මුහුණේ ඇඳ ගත්තේ ය.
“මොකටද…”
කාශ්‍යප ගේ මූණ හැකිළී ගියේ ය.
“මොකද්ද අම්මගෙ අතට වුණේ…”
කවීශ්වර පිළිතුරක් දුන්නේ නැත. රාජිකා මැණිකේ ඉවත බලා ගත්තා ය.
ඒ අතරේ ආරාධනා ගේ නෙතු යොමු වී තිබුණේ ඉදිරි අසුන් පෙළක හිඳ උන්, කාශ්‍යප ගේ අලුත් බිරිඳ වෙතට ය. එක නිමේශයක ඇගේ ඇස් ආරාධනා ගේ ඇස් වලට හසු විය. ආරාධනා වහා ලා සිනහවක් පෑවා ය. ඒ වෙලාවේත් පපුව පිච්චෙමින් තිබුණා ට සිනහ නොවී ඉන්නට ඇයට හිත් දුන්නේ නැත. කොහොමත් කාශ්‍යප නික්ම ගිය දා පටන් එක මොහොතකට හෝ ඒ ආගන්තුක ගැහැනියට ඇය වෛර නොකළා ය. පවුලේ හැම කෙනෙකු ම පවුලක් කැඩූ සැතිරක සේ ඇය ගැන කතා කරත්දී, ආරාධනා ට ඈ ගැන වෛරයක් දල්වා ගත හැකි වූයේ නැත. ඊට වැඩි කෝපයක් ඇයට දැනුණේ කාශ්‍යප ගැන ය. දරුවන් අත් හැර ගියේ ඔහු ය. පවුල ඉහිරවා ගෙන නික්ම ගියේ ඔහු ය. සැමියා ඔහු ය. තාත්තා ද ඔහු ය. ඕනේ කමක් තිබිණි නම් ඔහු ට එහෙම නො කර ඉන්නට තිබිණි. කවුරුන් බල කළ ද එහෙම නො කර ඉන්නට තිබිණි. ඒ නිසා කාශ්‍යප සමග මිස ආරාධනා ට වෙන කිසි ම කිසිවෙකු සමග කිසිදු ප්‍රශ්නයක් ඇත්තේ නැත.
නමුත් ආරාධනා ගේ සිනහව පිළි ගන්නට බැරි වරදකාර හැඟීමකින් පෙළුණා වූ සෞභාග්‍යා, ආරාධනා ව නො දුටුවා සේ ඉවත බලා ගත්තා ය.
කාශ්‍යප සඳයුරු වෙත හැරුණේ ප්‍රතික්ශේප වීම් වලින් අහවර ය. ඔහු ඉල්ලීමකින් තොර ව ආරාධනා අතේ උන් සිය පුත් කුමරු දෝතින් ගත්තේ ය. සඳයුරු මොහොතක් තාත්තා දෙස එක එල්ලේ බලා සිටියේ ය. ඊළඟට කට හදා හඬන්නට පටන් ගත්තේ ය. කාශ්‍යප පුතු නලවා ගන්නට හැකි වෙර යෙදුවේ ය..ආරාධනා ඔහු ව ඉල්ලා නො සිටියේ කාශ්‍යප ට සඳයුරු ගැන ඇති අයිතිය ගැන සිතා ය. නො එසේ වී නම් ඔහු ගැන ඇයට දැනෙමින් පැවතියේ දැඩි පිළිකුලකි. නලවා ගන්නට බැරි තැන කාශ්‍යප ම යළිත් සඳයුරු ව ආරාධනා අතට දුන්නේ ය. එකෙනෙහි ඔහු නැළවිණ. නමුත් ලොකු කඳුළු ගුලි දෙකක් ඔහු ගේ ඇස් බෝල වල එල්ලී තිබිණ. කාශ්‍යප ට දැනුණේ සිය පවුල තුළ මුළුමනින් ඔහු ප්‍රතික්ෂේප වූ බවට හැඟීමකි. ආරාධනා ඔහු සමගින් වදනකුදු නො බිනුවා ය. කාශ්‍යප හෙමි හෙමිහිට සෞභාග්‍යා වෙත ඇවිද ගොස් යාබද අසුනට බර වූයේ ය. ඔහු ත් නො දැන ඔහු ගෙන් සුසුමක් ගිළිහී ගියේ ය.
වෛද්‍යවරයා වෙත යත්දී ආරාධනා අතින් කවීශ්වර අතට සඳයුරු මාරු වනයුරු ඈත සිට කාශ්‍යප බලා සිටියේ ය. දරුවා හැඬුවේ නැත. කවීශ්වර ඉතා උනන්දුවෙන් දරුවා වඩා ගෙන අවකාශයෙහි ඇවිදින්නට පටන් ගත්තේ ය. ඔහු ට මොනවාද මුමුණනු පවා කාශ්‍යප දුටුවේ ය. ඔහු ට අහේතුකව රිදී තිබිණ. අහේතුක ව!
වෛද්‍යවරයා වෙතට රාජිකා මැණිකේ සමග ගිය ද ආරාධනා ගේ හිත තිබුණේ පැටලී ය. ඒ හිත නිරවුල් කර ගෙන වෛද්‍යවරයා වෙතට ගෙන එන්නට ඇය ලොකු පරිශ්‍රමයක් දැරුවා ය. සැත්කම සාර්ථක බව වෛද්‍ය නිගමනය විය. ඔහු රාජිකා මැණිකේ ගේ බිඳුණු අතට මෘදු ලෙස චලනය කිරීමේ ව්‍යායාම ලබා දෙන ආකාරය කියා දුන්නේ ය. හිස සලමින් අසා ගෙන සිටිය ද ඒ කිසිත් ආරාධනා ගේ සිතේ රැඳුණා යි කිව නො හැකි ය. ව්‍යායාම කළ යුතු ආකාරයේ රූප රාමු සහිත පත්‍රිකාවක් වෛද්‍යවරයා විසින් ලබා දුන්නේ හොඳ වෙලාවට ය.
ඔවුන් කුටියෙන් පිටතට එත්දීත් කාශ්‍යප බලා සිටියේ ය. පිටතට ආ ගමන් ආරාධනා සඳයුරු ව ගත්තා ය. ඔවුන් නික්ම ගියේ කාශ්‍යප දෙස බලන්නේ හෝ නැතිව ය. මෙතුවක් නො දැනුණ අහිමි වීමක් ගැන බරපතල සංකා හැඟීමකින් ඔහු ඔත්පල වන සෙයක් කාශ්‍යප ට දැනිණ.
එතෙක් හිර කර ගෙන උන් කඳුළු, ආරාධනා ගේ ඇස් දිය කර ගෙන ගලා යන්නට පටන් ගත්තේ ටැක්සි රියට නැග ගත් ඉක්බිති ය. රියෙහි පසු පස අසුනේ ආරාධනා හා රාජිකා මැණිකේ හිඳ සිටියහ. කවීශ්වර සිටියේ රියදුරු අසුන ළඟ ය. ආරාධනා නාසය උඩට අදිනා හඬකිනි ඔහු හැරී බැලූයේ. ඇගේ ඇස් කඳුළු පොකුණු දෙකකි. ඇගේ කොපුල් කඳුළු නිම්න දෙකකි. දැනටමත් ඒ ඇස් රතු වී තියේ. රාජිකා මැණිකේ වේදනා දෑසකින් ලේලිය දෙස බලා හිඳ ඇගේ හිස පිරිමදින්නට පටන් ගත්තා ය.
“අපරාදෙ දුව ආවෙ”
ඇයට කියා ගත හැකි වූයේ එපමණකි. ඇගේ හඬ බිඳී ගියේ ය. ඉනික්බිති සැනසුම් පාය ළඟට යන තුරු ම රිය තුළ ඇසුණේ ආරාධනා ගේ ඉකිබිඳුම් සර පමණකි. සඳයුරු ඇගේ ළමැදට තුරුලු ව නිදා ගත්තේ ය. කියන්නට යමක් නො දැන කවීශ්වර මුණිවත ම රැක්කේ ය.