සැත්කම නිම වීමෙන් පස්සේ කාශ්‍යප ට සෞභාග්‍යා ව බලා ගන්නට සිදු වූයේ බබෙකු වාගේ ය. ඇයට සියල්ල ඔහු අතට පයට සිදු කොට දිය යුතු විය. ඕ දෙපයට බර දී ඇවිද්දේ වුව නැති තරම ය. සිය සැත්කම කාශ්‍යප ගේ වරදකින් සිදු වූවක් සේ ය ඇතැම් විට ඇය හැසිරුණේ. ඇය ඉන්නා තත්වය මත ඔහු ඉතා ඉවසීමකින් ඒ සියල්ල ට මුහුණ දුන්නේ ය. මෙතුවක් කාලයකට ගෙදර දී කර නැති වැඩ කළේ ය. ඇගේ රෙදි සේදුවේ ය. රෙදි වේලා ගෙට ගත්තේ ය. නවා තැබුවේ ය. ඇය නැහැවූයේ ය. අහර පිසුවේ ය. බෙහෙත් දුන්නේ ය. නමුත් දැන් සිටින්නේ මුලින් සිටි කාශ්‍යප නොවන බව සෞභාග්‍යාට ඉවකින් වාගේ දැනෙමින් තිබිණ. ඒ ප්‍රීති ප්‍රමෝදය හා උතුරා හැලෙන ශෘංගාරය ටික ටික හීන වී ගොස් තිබේ. කාශ්‍යප නිතර ම සිටියේ කල්පනා ලෝකයක නිමග්නව ය. දික්කසාද නඩුව සඳහා උසාවි ගිය ප්‍රථම දිනයෙන් පසු ඒ තත්වය උග්‍ර වන්නට විය.
සෞභාග්‍යා දැඩි අපේක්ෂා භංගත්වයකට පත් වන්නට වූවා ය. කාශ්‍යප යළි සිය මුල් බිරිඳ හා දරුවන් ගැන සිතන්නට පටන් ගෙන ඇත යන සිතිවිල්ල ටර්නාඩෝ සුළියක් සේ ඇගේ හිසෙහි කැරකෙන්නට ගති. ඇය වඩාත් නො සන්සුන් වූවා ය. නො රිස්සුම් වූවා ය. ඒ සියල්ල පිට වූයේ පළි දැරීමක් ලෙසිනි. වද දීමක් ලෙසිනි. තමන් වෙනුවෙන් කාශ්‍යප ට වද දීමේ වියරු මානසිකත්වයක් ඇය තුළ ලියලමින් තිබිණ. හුස්මක් ගන්නට නොදී, වැඩ නිම වී ආ වෙලේ පටන් ද උදේ ට රැකියාවට යන්නට පෙර ද ඔහු වෙහෙස කරවමින් වැඩ ගත්තේ ඒ වියරු මානසිකත්වයයි. ඇයට කර ගත හැකි දේ වලට පවා ඔහු වෙහෙසවූයේ ඒ නපුරු කමයි. ඇතැම් දිනෙක රැකියාවට යාමට පවා නො හැකි වන තරමට ඇය සියුම් ලෙස ඒ පළි ගැනීම සිදු කළා ය. බොරු අමාරුකම් ගෙන ඔහු ව ගෙදර රඳවා ගත්තා ය. පෙර දී අත්‍යවශ්‍ය ම හේතුවක් මත පමණක් නිවාඩුවක් ගත් කාශ්‍යප, දැන් නිතර නිතර නිවාඩු ගත්තේ ය.
ආරාධනා දරුවන් බිහි කිරීමෙන් පසු වුව වැඩ පල කර ගත් හැටි කාශ්‍යප ට සිහි වන්නේ දැන් ය. ඇය කිසි දා ඔහු ගෙන් කිසිදු උදව්වක් ඉල්ලා සිට නැත. තමන්ට හැකි පමණින් සියල්ල ඉෂ්ට සිද්ද කර ගත්තා ය. ඔහු ට උපරිම නිදහස හා විවේකය ලබා දුන්නා ය. පිරිමින්ට ඕනවට වඩා පුද සත්කාර කරන්නට යාම දිනෙක ව්‍යසනයක් විය හැකි බවට ඉඟි, තාරා විසින් ඇතැම් අවස්ථා වල සිදු කළ ද ආරාධනා සිටියේ ඒවා අවබෝධ කර ගත හැකි තත්වයක නොවේ. ඒ දවස් වල ගත් විවේකයේ තරමට දෛවය කාශ්‍යප ව බරපතල වැඩ සඳහා අල්ලා ගෙන සිටියේ ය.
පළමු නඩු වාරයෙන් පසු කාශ්‍යප මානසික ගරා වැටීමකට ලක් වන්නට ද විය. එය ඔහුට ම අවබෝධ කර ගත නො හැකි තත්වයක වූයේ ය. අත් හැර ගන්නට බැරි යමක් සැනසුම් පායේ වන්නා සේ, හැම මොහොතක ම ඔහු සංකා සිතිවිලි අගාධයක කර වටක් ගිලෙනු පෙනිණ. ඒ අසාර හැඟීම කුමක් දැයි ඔහු නිසැක ලෙස නො දත්තේ ය. නමුත් දරා ගත නො හැකි, වාවා ගත නො හැකි යමක් සිදු වෙමින් පවත්නා වග පමණක් නිශ්චිත ව දැනිණ.
මුලින් සිදු වූයේ ඔහු ගේ ප්‍රභාමත් තේජස්වී බව අඩු වෙමින්, අපේක්ෂා භංගත්වයට පත් මිනිසෙකු බාහිර වශයෙන් පෙනෙන්නට ගැනීම ය. රැවුල කපන්නට, කොණ්ඩය කපන්නට, පිළිවෙලට ඇඳුම් කැඩුම් කරන්නට තිබූ උනන්දුව ක්ෂය ව ගොස් අපිළිවෙල මිනිසෙකු නිර්මාණය වන්නට වීම ය. රාජකාරී වැඩ අතපසු වෙමින් යන්නට වීම ය. ඒ සියල්ලත් එක්ක මහත් වූ කාලකණ්ණි හැඟීමකින් පිරුණු මිනිසෙකු බිහි වීම ය.
පළමු නඩු වාරයෙන් පස්සේ ඊළඟ නඩු දිනය මාස තුනක පමණ කාලයකින් ලැබෙනා බව පැමිණිල්ලේ නීතීඥවරිය පැවසුවා ය. දරුවන් වෙනුවෙන් ඔහු ගේ යුතුකම් ඉටු කරනා බව කාශ්‍යප සිය නීතීඥවරයා ට දැනුම් දී තිබුණෙන් හා පැමිණිලි පාර්ශවයෙන් වන්දි ඉල්ලීමක් සිදු නොවන නිසා නඩුව දික් නොවී දෙවන දිනයේ දී ඒ සඳහා තීන්දුව ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරිණ. ඉන් අනතුරුව තවත් තෙමසක කාලයක්, දික්කසාදය ප්‍රකාශයට පත් කිරීම සඳහා ගත වේ. මේ කාලය ලබා දෙනුයේ අවශ්‍ය නම් දෙපාර්ශවයට යළිත් සිය වෙන් වීමේ අදහස වෙනස් කර ගැනීම සඳහා ය.
ආරාධනා දික්කසාදය සඳහා මුළුමනින් හිත සූදානම් කර ගත්තා ය. ඇය කාශ්‍යප ගැන වෛරී හැඟීම් දැරුවේ නැත. ඔවුන් එක්ව උන් සමය තුළ ඔහු විසින් ලබා දුන්නා වූ සියල්ල ගැන ඇය ගෞරවයෙන් සිතුවා ය. විශේෂයෙන් ම ඒ දරු පැටවුන් දෙදෙනා ලැබුණේ ඔහු ගෙනි!
ජීවිත කාලය තුළ මිනිසුන් වශයෙන් අපට විවිධ සම්බන්ධතා තුළ ජීවත් වන්නට සිදු වේ. විවිධ මිනිසුන් ජීවිතයට එති. යති. කිසිවක් සදාකාලික නොවන ලෝකයේ ඒ එන කිසිවෙකු සදාකාලිකව ජීවිතය තුළ නතර වේ යයි බලාපොරොත්තු වීම විහිළුවක් බව දැන් ආරාධනා සිතයි. එන සියල්ලන් යළි යන බව බලාපොරොත්තුවෙන් ඒ සබඳතා තුළ රැඳී සිටීම නිසා, ඔවුන් නික්ම යත්දී දුක සමනය කර ගත හැකි වනු ඇත. යන අයට ඔවුන් ගේ ඉදිරි ගමන සඳහා ආශීර්වාද කොට යවන්නට හැකි වනු ඇත. ඔවුන් කෙරේ ද්වේශයක් හෝ වෛරයක් සිතේ ඉතිරි කර නො ගෙන වෙන් ව යන්නට හැකි වනු ඇත. එතකොට හිත නිස්කලංක ය. සිතිවිලි සෞම්‍ය ය. ආරාධනා දැන් සිටින්නේ එබඳු නිස්කලංක බවක් අත්විඳිමිනි.
සැනසුම් පාය තුළ දැන් දවසකට වතාවක්වත් කාශ්‍යප ගේ නම කියවෙන්නේ නැති තරම ය. ඔහු වූ කලී මීට ටික කලකට පෙර මේ වහල යට සිංහ සෙයියාවෙන් වැජඹුණු ගෙදර විශේෂිතයා ය. වැදගතා ය. ඒ මතක එක්ක ඔහු හැම හදවතක ම නැවතී සිටි බවට සැක නැත. හිත් වල ඔහු සිටියේ ය. මතකයේ ඔහු සිටියේ ය. නමුත් ඔහු ව අමතක කළා සේ හැම කෙනෙක් ම සිටියෝ ය. යළි කවදාවත් කාශ්‍යප කියා කෙනෙකු නැති ජීවිතයකට ඔවුහු අනුවර්තනය වෙමින් සිටියහ. හැඩ ගැහෙමින් සිටියහ.
“හැම දේම හිත තමයි. හිත හදා ගත්තට පස්සෙ මේ ලෝකෙ සිද්ද වෙන ඕනම දෙයක් දිහා උපේක්ෂාවෙන් බලන් ඉන්න පුළුවන් වෙනව. හිත දියුණු කරනව මාර්ග ඵල ලබනව වගේ වචන වලින් කියන්නෙත් ඔය දේම වෙන්න ඇති කියල මට හිතෙනව අක්කෙ. ඇත්තටම සිද්ද වෙච්ච කිසි දෙයක් ගැන දැන් මට කිසි හැඟීමක් නෑ කාවි. සොබා දහමට ඕන විදිහට දේවල් සිද්ද වෙද්දි…ඒවට විරුද්දව අරගල කරන්නැතුව පාඩුවෙ බලං ඉන්න පුළුවන් තැනට හිත හදා ගන්න එක තමයි නිවීම කියන්නෙ”
ආරාධනා තාරා හා කාවින්දි සමගින් එසේ කීවේ ද සැබෑ නිවීමකින් බව බාහිර වශයෙන් ඔවුන් ට පෙනෙමින් තිබිණ. ඇය දිවි නසා ගන්නට යාමේ සිදුවීමෙන් පසුව කවීශ්වර ගේ ඉල්ලීමක් මත තාරා හා කාවින්දි නිතර සැනසුම් පායට විත් ආරාධනා සමග යම් කාලයක් ගත කරති. එතකොට පරණ කතා හා සිනා එක්ක ඇය නිරුත්සාහයෙන් සැහැල්ලුවට පත් වන්නී ය.
“ඒක ඇත්ත රාධා. පිරිමියෙක් නැතුව ගෑනියෙක්ට තනියම දරුවො හදා ගන්න බෑ ජීවත් වෙන්න බෑ කියන ඒව දුර්වල ගෑනු හදා ගත්ත මත. හිත හදා ගත්තොත් කරන්න බැරි දෙයක් නෑ”
“අපි ඉන්නවනෙ බං ඕන දේකට. ගෑනුද පිරිමිද කියල අදාල නෑ. වැටෙන්න යද්දි අල්ල ගන්න බලාගෙන…හිත දුර්වල වෙද්දි හයිය කරන්න බලාගෙන…කවුරුම හරි ළඟින් ඉන්නයි ඕනෙ. ඔයා වටේට එහෙම කී දෙනෙක් ඉන්නවද…ඒ අතින් උඹ හරි වාසනාවන්තයි අරා. නැත්තං…මෙහෙම වෙලාවක ගෑනි වැරදි නැති වුණත් කිසිම නැන්දම්මෙක් මාමෙක් ලේලිගෙ පැත්තෙ හිට ගන්නෑ. මං හිතන්නෑ ඊට වැඩිය කම්මුල් පාරක් වදියි කියල අර පොල් බූරුවට කාගෙන්වත්”
දෛනික ජීවිතය සාමාන්‍ය අතට හැරෙමින් තිබිණ. උපකාරක පන්ති නිසාවෙන් ආරාධනා තමන් ගැන වැඩි වැඩියෙන් ආත්ම විශ්වාසය වර්ධනය කර ගනිමින් සිටියා ය. පවුලක් වශයෙන් සැනසුම් පාය කැළඹූ කුණාටු පහ ව ගොස් බොර දිය පැහැදුල් වෙමින් ද කළල් තැන්පත් වෙමින් ද තිබිණ. කාලය ප්‍රශ්න විසඳුවේ නැතිවාට හෙමි හෙමිහිට වුව තුවාල සුවපත් කරන්නේ ය. හිත් සන්සුන් කරන්නේ ය.
“ශැම්පු එක ඉවරයි. ශොප් එක පැත්තට එන්නත් ඕන මං. ඒත් ලේට් වෙන්න බෑ…කොල්ල ඇඬුවොත් එහෙම…”
දවසක් පන්තිය කරන්නට සේනාසිංහ මැදුර වෙත ගොස් එන ගමන්, නගර මධ්‍යය පසු වෙත්දී ආරාධනා කීවා ය. කවීශ්වර රියෙහි තිරිංගයට පා ඇඟිල්ල තබමින් ආරාධනා දෙස බැලුවේ ය.
“හරවන්නද…”
“එපා එපා කවීශ්වර. වෙන වෙලාවක එනව. අම්මටයි තාත්තටයි එපා වෙලා ඇති අරයත් එක්ක ඔට්ටු වෙලා”
එවර යළිත් රියෙහි වේගය වැඩි විය. නමුත් එදා රාත්‍රියේ සාප්පුව වසා එන විට කවීශ්වර ගේ හිතට වද දෙන යමක් තිබිණ. රෝලර් ශටර් එක වැසෙමින් තිබියදී නැවත ද ඔහු හිත එකලාස කර ගෙන එය විවර කළේ ය. සාප්පුව විවර කිරීමෙන් පස්සේ ආරාධනා ඇයට අවශ්‍ය රූපලාවන්‍ය අංගෝපාංග ගත්තේ එතැනිනි.
“පිට තැන් වලට දෙන සල්ලි තමන්ගෙ කෙනෙකුට දෙන එක හොඳනෙ”
කියා ඇය කැශියර් එකේදී සිනහ වී කීවා ය. ඇගෙන් මුදල් ගන්නට කවදත් කවීශ්වර ට සිත් දුන්නේ නැත. නමුත් මුදල් නැතිව ඇය කිසි සේත් ඒවා ගෙන නො යන බව ඔහු ඉඳුරා දැන සිටියේ ය. ඇය ඒ වාගේ ආඩම්බර ගැහැනියකි. දැන් නොව වසර ගණනාවකට පෙර යුවතියක සන්දියේ දී ද ඒ ආඩම්බරය එසේ ම වූ බව ඔහු ට මතක ය. අහිංසක කමත් ආඩම්බර කමත් කැටි වූ ස්ත්‍රියක වූ කලී පිරිමියෙකුට ලං වන්නට බිය හිතෙනා වස්තුවකි. පිරිමි හදක එවැන්නියක කෙරේ ඇති වන්නා වූ ද දැනෙන්නා වූ ද ආදර ගෞරවය කෙතරම් ද, එතරම් ම ඔවුන්ට ලං වීම ගැන ඔවුහු බිය වෙති. ඒ වෙන කිසිවක් නිසා නොවේ. දුරින්වත් රැඳී ඉන්නට ඉන් පසු ඉඩක් නොලැබෙනු ඇතැයි හැඟීම නිසා ය. ආරාධනා වූ කලී කවීශ්වර ට ඉතිහාසයේ සිට ම ඒ හැඟීම දැනවූ යුවතියකි. ඔවුන් අතරේ සදාකාලික පවුරක් තබා ගන්නට ඇගේ හැසිරීම නිරන්තර හේතුවක් විය. ඒ පවුර කඩා බිඳ ගෙන ඇය වෙත ලං වීමේ ආශාව, දඩබ්බර කොලුවෙකු කාලයේදීත් ඔහු ට තිබිණ. නමුත් එහෙම කළහොත් පවුරට පිටත සිට හෝ ඇය දෙස බැලිය නො හැකි වන බව ඔහු ඉඳුරා දත්තේ ය. ඇයට දැනෙන සේ කවීශ්වර ඇදෙස නො බැලුවේ පවා, ඒ එක බැල්මක් නිසා ඇය සැනසුම් පායට එන ගමන නතර වෙතැයි බියෙනි.
යළිත් සාප්පුව විවර කොට හොඳ ම වෙළෙඳ සන්නාම සහිත මිලාධික නිෂ්පාදන කිහිපයක් බෑග් එකකට දමා ගත් හෙතෙම, සාප්පුව වසා දමා යතුරු පැදියට නැගුණේ ය. රාත්‍රිය වෙනදාට වඩා අමුතු බවක් කවීශ්වර ට දැනේ. හෙල්මට් එකේ සංවෘත වීදුරුව ඔසවා, සුළඟක් මුහුණේ වදින්නට ඔහු ඉඩ සදා දුන්නේ ය. ඒ සුළඟ මුහුණ සිප ගත්දී නන්නාඳුනන සිනහවක් ඔහු ගේ දෙතොල් අතරට ආවේ ය.
සැනසුම් පායේ පෝටිකෝව යට දී යතුරු පැදියෙන් බැස හෙල්මට් එක එහි හැඬලයේ එල්ලත්දී ගැස්මක් පපුවට වැඩියේ ය. ඔහු අතකින් හිස කේ සකසමින්, අනිත් අතින් බෑගය ද ගෙන ගෙට වැදුණේ ය. හාන්සි පුටුවෙහි වැතිර ගජධීර කවියක් කියමින් සිටියේ ය. රාජිකා මැණිකේ පේන්නට හිටියේ නැත. ඇය කාමරයෙහි විය යුතු ය. “බිඟූ..” කියා ගෙන කවීශ්වර ආරාධනා ගේ කාමරයේ දොරකඩට ගියේ ය. බිම හිඳ ගෙන පැස්ටල් වලින් චිත්‍රයක් පාට කරමින් සිටි බිඟුනි, කවීශ්වර ගේ ඇමතුමෙන් වහා නැගිට ඔහු වෙත ආවා ය.
“මේකද ඔයා ආසයි කිව්වෙ…”
කලින් ම අතට ගෙන සිටි, බෝ එකක් සවි කළ ඇලිස් බෑන්ඩ් එක ඔහු ඇය වෙත පෑවේ ය. බිඟුනි ගේ මුහුණේ ලැජ්ජාශීලී සිනහවක් ඇඳිණි. ඇය ඒ ඔහු අතින් ගෙන හිසෙහි රඳවා ගත්තා ය.
“ඉතින් තෑන්ක් යූ කියන්න බාප්පට”
යහන මත හිඳ සඳයුරු ගේ ළදරු ඇඳුම් නවමින් සිටි ආරාධනා කීවා ය. බිඟුනි සිනහ වී ගෙන ම බාප්පාට ස්තූති කළා ය. කවීශ්වර ගේ ඇස් ආරාධනා වෙත මුළුමනින් යොමු වූයේ ඉනික්බිති ය. ඇගේ ඇස් අත වන ඇඳුම වෙතට, පහළට නැඹුරු වී තියේ. ඒවා රත් පියුම් වාගේ ය. කවීශ්වර මොහොතකට දෑස් පුරා ඇය දැක ගත්තේ ය. සාමාන්‍යයෙන් එහෙම කරන්නට ඉඩක් ලැබෙන්නේ නැති තරම ය.
හදිසියේ ම ආරාධනා නෙතු එසවූවා ය. තවමත් කවීශ්වර දොරකඩ රැඳී සිටිනු දුටු ඇගේ ඇස් මවිතයෙන් වාගේ තරමක් මහත් විය. ඇයි කියනා පැණය මුහුණ මත පොපියන්නට ගති.
“ආ…”
කවීශ්වර කැළඹීමෙන් යුතුව ම අත වූ බෑග් එක දිගු කළේ ය. වහා යහන මතින් නැගිට ගත් ආරාධනා ඔහු වෙතට විත් බෑග් එක අතට ගත්තා ය. ඊළඟට එය විවර කොට ඇස් දෙක ඒ තුළට පා කළා ය. අනතුරුව අත ද ඊට ඔබා ගෙන එක එක නිෂ්පාදනය ගෙන බැලුවා ය.
“ශැම්පු කන්ඩිශනර් එහෙම ගන්න ඕන කිව්වනෙ…”
“අනේ ඉතින් ඔයා ගෙනාවද…චුට්ටක් ඉන්න කවීශ්වර “
කියමින් අල්මාරිය විවර කොට, මුදල් පසුම්බිය හැර නෝට්ටු කිහිපයක් ඉන් පිටතට ගත්තා ය.
“ගාන කීයද මන්දා. මදිනං කියන්න. බිල් එකක් නෑනෙ මේකෙ”
කවීශ්වර ගේ අත මිට මෙලවුණේ ය. ඔහු කේන්තියක් හිතට දැනුණ විට තමන්ව පාලනය කර ගන්නේ එසේ ය. ආරාධනා මුදල් දිගු කරගෙන බලා සිටී. කවීශ්වර ඇදෙස බැලුවේ ගිනි පිට වෙන දෑසිනි. ඔහු වචනයක් හෝ නො කීව ද ආරාධනා ඒ බැල්මේ වන නිහඬ කේන්තිය හැඳින්නා ය.
“ඉතින් අනේ…සල්ලි ගන්නැතුව පුළුවන්ද බිස්නස් එකක් කරන්න…අනිත් එක මේ හොඳම බ්‍රෑන්ඩ්ස්…ඔයා මගෙ ළඟටම ගෙනත් දීලත්…”
අන්තිම ටික කියා ගෙන යන විට ආරාධනා ගේ වදන් සර දුර්වල වෙමින් ගියේ ය. ඇස් බැල්මේ වූ තියුණු බව ක්ෂීණ වෙමින් ගියේ ය. හරියට කවීශ්වර ගේ බැල්මෙන් පිච්චෙන්නට ගත්තා මෙනි. ඔහු වෙනස් නො කර ගත් දැඩි බැල්මෙන් ම හිඳ හැරී නික්ම ගියේ ද පහ නොවූ කේන්තියෙනි.