කුමක් හෝ අඩුපාඩුවක් ජීවිතයේ ඇත.
දැන් එය නිරතුරුවම සිතට දැනේ.
හරියට අනාගතයේ විය හැකි යම් කිසි ව්‍යාසනයක් පිළිබඳව පෙර දැනුම් දීමක් වැනිය.
එහෙත් ඒ කුමක්ද? විය හැක්කේ කුමක්ද? එහි බලපෑම කොතෙක් විය හැකිද යන ගැට පදය ලිහාගන්නට තවමත් මිහිකට හැකියාවක් ලැබී නැත.
අනෙක් අතට කුමනාකාරයේ පෙර දැනුම් දීම ලැබුණද දෛවය විසින් තීරණය කරා වූ යමක් තමාට අවශ්‍ය ලෙස වෙනස් කිරීමේ හැකියාවක් අපට තියේද යන්න ගැටලුවකි.
අප ජීවිතයේ නොහිතන, නොපතන දේවල් අප ඉදිරියට රැගෙන අවුදින් අපට කෙතරම් දරා ගැනීමේ හැකියාවක් තිබේද යන්න පිරික්සා බලන්නට දෛවය, නොඑසේනම් ජීවිතය මෙවැනි පිරික්සා බැලීම් නිරතුරුවම කරන බව වසර තිහකට ආසන්න ජීවිත කාලයක් ගෙවා ආ මිහික නොදන්නවා නොවේ. ජීවිතය යනු මහ රූස්ස ගසක් නම් එහි මුදුන් මුල වන්නේ දරාගැනීමයි. ජීවිතය ගෙවෙන කාලය තුල අපට කෙතරම් දේ, කෙතරම් නම් පුද්ගලයන්ව දරා හිඳින්නට සිදුවෙනවාද? යමෙකුව පරිණත මිනිසෙකු කරන්නේ ඒ දරාගැනීම් නොවේද?
මේපල් ගස්වල රන් පැහැ අතුරවමින් බැස යන ඉර දෙස බලමින් කල්පනා ගඟක ගිලී හිඳින්නට මිහිකට අද අවකාශය ලැබී තිබේ. ඒ උදෑසන වැඩ මුරය අවසන්ව සැඳෑවේ නිවසට එන්නට ඉඩකඩ ලැබුන නිසාවෙනි.
මේපල් ගස් වලට ඉහලින් බැස යන හිරුගේ රන් පැහැ සූර්‍ය කදම්බයන් වේල් පටක් මෙන් විසිරී ඇත. හරියට සුන්දර මනාලියක් මෙනි. චරිත්‍රා මනාලියක් වී හිඳි මොහොත මිහිකට මතක් වූයේ එදා ඇයද හඳ සිටියේ ඇයගේ ඇත්දල පැහැ සිරුරට මනාව ගැළපෙන රන් පැහැ නූලකින් ගෙත්තම් කළ සාරියකි.
සැබවින්ම ඒ මංගල උත්සවයක් යැයි කිව නොහැකි අන්දමේ ඉතාම සරල, පවුලේ හිත මිත්‍රාදීන්ට පමණක් ඇරයුම් කළ ඉතාම කුඩා උත්සවයකි.
එළිමහන් මංගල උත්සවයක් ගැනීමට වඩාත්ම අවශ්‍ය වුයේ චරිත්‍රාට වුවද උඩරට සම්ප්‍රදායට අනුව නිලමේ ඇඳුම් හැල පැළඳ, මාල හතක් කර ලා විශාල මංගල උත්සවයක් ගැනීමේ අවශ්‍යතාවයක් හෝ කාල වේලාවක් එළඹෙන සති දෙක තුනකින් රට යන්නට බලා සිටි මිහිකට තිබුනේ නැත.
ඉතින් පුතුගේ කැමැත්ත දෑලබණ්ඩාර පවුලේත්, දියණියගේ කැමැත්ත විජේබණ්ඩාර පවුලේත් කැමැත්ත විය.
ඒ අනුව තමා විසින්ම මිතුරියකට කියා සකසා ගත් සුන්දර රන් පැහැ නූලකින් ගෙත්තම් කළ සාරියකින් ද, ටක්ස් සිලෝන් වෙතින් මිල දී ගත් නිල් පැහැ යුරෝපීය කට්ටලයකින්ද සැරසුණු මිහික චරිත්‍රා යුවල පෝරු මස්තකාරූඩ නොවී අත්සන් කිරීමෙන් අනතුරුව නීතිය ඉදිරියේ සහ නෑ හිතවතුන් කිහිප දෙනෙකු ඉදිරියේ මුදු මාරු කරගත් අතර ඒ දිනය අදටත් මිහික මෙනෙහි කරන්නේ ඉතාම ආදරයෙනි.
ආදරයේ කූටප්‍රාප්තිය විවාහයයි.
ආදරයෙන් බැදුණු ප්‍රේමවන්තයින් අතරින් ඒ ආදරය විවාහයක් දක්වා ගෙන යන්නට අවකාශ ලැබෙන්නේ කීයෙන් කීදෙනෙකුටද, ඒ අවස්තාව ලද තමන් සහ චරිත්‍රා සැබවින්ම වාසනාවන්ත පෙම්වතුන් බව එදා තමා සිතූ අයුරින්ම අදත් සිතන්නට හැකි නම් කෙතරම් නම් අපූරුද යන්න මිහිකට සිතේ.
එදවස සිටි චරිත්‍රා සැබවින්ම තමාට ආලය කල බවත්, ඒ ආදරය තමාට දැනුනු බවත් මිහිකට නොරහසකි. එහෙත් අද ඒ ආදරයේ අංශු මාත්‍රයක්වත් ඇයගේ එකදු වචනයකින්වත් ගිලිහෙන්නේ නැත.
බොහෝ කාලයකට පසුව ආදරය පිරුණූ සුන්දරතම වදන් වලින් ලියවුණු ප්‍රේමයේ පණිවිඩයක් දුරකතනයේ වට්සැප් චැට් එකෙහි සනිටුහන් වී ඇති බව සැබෑවකි.
එහෙත් ඒ සැබෑ ආදරයද, නොඑසේනම් ආදරය යන වදන ඇති පණිවිඩයක් පමණක්මද යන්න මිහිකට ඇති ගැටලුවයි.
සිත කියන්නට හදන්නේ කුමක්ද යන්න ලිහා ගන්නට නොහැකිව සිත ලතවෙයි.
එලෙස ලත වන සිත නින්දද සැනසිල්ලද ඈත් කරවයි.
ඉතින් ගතට හෝ සිතට නිස්කලංකයක් නොමැත.
“මම දැන් යනවා. අදත් හතට කෝල් එකක් ගන්නද?”
“අද ටිකක් මහන්සි. හෙට ගමුද?”
යන පණිවිඩයට ඉහළින් රැඳී ඇත්තේ උදෑසන චරිත්‍රා එවා තිබූ ඇය අද දින කාර්‍යාලයට යන්නට පෙර එවූ ජායාරූපයයි.
ඇය ඇඳ සිටින නිල් පැහැ ගවුම මිල දී ගෙන දුන්නේ තමා ය.
ඒ තමා ලංකාවෙන් එන්නට පෙර ඇය සමග කොළඹ ඇවිදින්නට ගිය මොහොතකය.
කොල්ලුපිටියේ ගී ෆ්ලොක් වෙතින් මිල දී ගත් එම නිල් පැහැ ගවුම ගී ෆ්ලොක්හි ෆිටෝන් රූම් එකේ සිට ඇඳ එළියට අවුත් ඇය පෙන්වූ අයුරු තවමත් හොඳින් මතකය.
ඇයගේ වයින් වීදුරුවක් බඳු හැඩැති සිරුර මනාව ග්‍රහණය කර ගනිමින් පහලට බේරී ගොස් දණහිසෙන් මදක් පහලට වන්නට නැවතුන ඒ ඇඳුම තවමත් ඇයට මනාව ගැළපේ.
හදවත් සලකුණක් එයට පිළිතුර ලෙස තමා උදෑසන යවා ඇත.
“ Love”
මිහික, තමන්ගේත් චරිත්‍රාගේත් වට්සැප් චැට් එකෙහි ඒ වදන ටයිප් කර බැලුවේ කම්මැලිකමටය.
තමන් ඇයටත් ඇය තමාටත් කොතෙක් වාරයක් ආදරය කියා තිබේද යන්න බැලීමටය.
ආදරය බොළඳය. අවුරුදු තිහක තරුණයෙකු වුවත් මෙවැනි දේ කල හැකි තරමට ගෙන ආ හැකි තරමටම ආදරය බොළඳය. ආදරය හදවතට මේ තරම් දැනෙන්නේත්, අප සියල්ලන්ම නිරතුරුවම ආදරය සොයමින් හිඳින්නේද එහි ඇති මේ බොලඳකම් වලට අප ආසා කරන නිසාවෙනි. ආදරය යනු සිහින, බලාපොරොත්තු සහ බොළඳකම් එකට එක්රැස් කොට සකසන ලද මිහිරිතම කාව්‍යයකි. දෛවයේ සරදම් මැද ඒ ආදරයේ සිහින, බලාපොරොත්තු මියැදුණද, ආදරණීය අතීතය බොලඳකම් සිතෙන් ගිලිහී නොයයි. ඉඳහිටක හෝ සිත මතුපිටට අවුදින් තොල් මත සිනහවකට ඉඩ තබයි.
එහෙත් ඇය මෑතකදි තමාට ආදරේ බව පවසා ඇත්තේ දින කිහිපයකට පෙර එවන ලද ආදරය වෑහුණ පණිවිඩය සමගින් පමණකි.
ඉන් පසුව නැවත කිසිම මොහොතක ආදරය යන්න පවසා නැති බවටත් වඩා මිහිකගේ සිත පාරවන ලද්දේ ඉන් පෙරද මාස ගණනාවකට පෙරවත් ඇය ආදරය පවසා නොමැති බව දැන ගැනීමෙනි.
තමා සෑම දිනෙකම නින්දට යෑමට පෙර මෙන්ම, උදෑසන රාජකාරි සඳහා ඇය පිටත්ව යෑමට පෙරද යවන පණිවිඩ සියල්ලකම අග ආදරය යන වචනය අමුණා ඇත.
ඒ බොහෝ පණිවිඩ වලට පිළිතුරු හෝ ලබා දී නොමැති ඇය ආදරය යන වදන් තමන් සමග කළ සංවාදයන්වලට රැගෙන හෝ අවුදින් නොමැත.
ඒ සංවාදයන් සිදු වූ නිමේශයන්හි මේ පිළිබඳව නොතේරුණේ ඇයි?
ඒ පිළිතුරක් නැති පැනයකි.
“ෆේස්බුක් එකේ දැකපු පේජ් කාරයෙක්ගෙ පෝස්ට් එකකට උඹ ඔච්චර ඒකි ගැන සැක හිතනවද” යන්න කවුරුන්ට හෝ මේ බව පැවසුවහොත් අසන්නට ඇති ඉඩකඩ බොහෝ සෙයින් ඉහළ වුවද මේ යටි සිතට දැනෙන කුමක් හෝ සිත පෙළන කාරණාව පහසුවෙන් අමතක කර දමන්නටද හැකියාවක් මිහිකට නැත.
කල්පනා ලෝකය බිඳ දමමින් දුරකතනය හැඬවෙන්නේ අම්මාගේ ඇමතුමකිනි.
ඉතින් එළඹෙන්නට යන්නේ සැනසුම් සුසුමන් හෙලන්නට ප්‍රේමය නිසා සිත බිඳ වැටී ඇති පුතෙකුට ඉඩක් ලැබෙන මොහොතකුයි.
“අම්මේ…”
“පුතා ගෙදර ආවද ඔයා? කෑම ගත්තද?”
“ඔව් අම්මෙ. එද්දිම අරගෙන ආව ආයෙ යන්න කම්මැලි නිසා”
“සීතල වෙන්ටෙ නැද්ද ඉතින් රෑ වෙද්දි?”
“මයික්‍රොවේව් කරගන්න පුලුවන්නෙ”
“මිතුන එහෙම කතා කරේ නැද්ද පුතාට?”
“ඇයි අම්මා ඒක අමුතු විදියට ඇහුවෙ”
“මිතුන ගෑණු ළමයෙක්ව හොයාගෙනනේ”
“නෑ…මිනිහට කෙල්ලෙක් හිටියෙ නෑනෙ. මෙච්චර ඉක්මනට කොහෙන්ද ගෑණු ළමයෙක් හොයාගෙන තියෙන්නෙ? ප්‍රපෝසල් එකක්ද?”
අම්මලා පුතාලා ඉතින් එක් වූ තැන කතා බස් කරන්නට බොහෝ දේ ඇත. එයිනුත් මේ අම්මා පුතා විශේෂිතය. දුවෙකු නැති ස්වර්ණා දුවෙකුටත් පුතෙකුටත් දෙන්නට තිබෙන ආදරය එක් රැස් කොට පුද කෙරුවේ මිහිකටය.
කුඩා අවදියේ අල කිරි හොදිත් සුදු බතුත් අනා කැවූ ඒ පුංචි කොලු පැටියා කසාදයක්ද කරගත් තරුණයකු වී හිඳියද අම්මා කෙනෙකුට පුතෙකු ඉතින් හැමදාමත් කුඩා දරුවෙකි.
තුරුලෙ හොවා නලවන්නට විවාහ වූ පුතෙකුගේ ජීවිතය තුල අම්මා කෙනෙකුට ඉඩ නොලැබුනද පුතෙන් අතෙන් අතෑරියද සිතෙන් අතාරින්නට අම්මා කෙනෙකු සූදානම් නොවේ.
“ඇය නිසා මම අත් හරින්නේ සුරත නොව මගෙ ප්‍රාණයයි” යනුවෙන් කියන්නේ චන්දි කොඩිකාරය.
අම්මා කෙනෙකුගේ එක් වදනකට වුවද පුතෙකුගේ සිතෙහි ඇති වේදනාවන්, සංතාපයන් මගහරවා ලන්නට හැක.
ඇමතුමෙන් අනතුරුව බැටරි බැස තිබූ දුරකතනය චාජරයට ගසා ජනේලයෙන් ඈත පෙනෙන අහස දෙස බලා කල්පනා කරන්නට තවත් බොහෝ දේ මිහිකගේ හදවතෙහි ඉතිරී තිබුණ බව සැබෑවකි.
එහෙත් අම්මා ඇමතුම අවසන් කෙරුවේ දුරකතනය තබන්නට පෙර සිතෙහි වූ බරින් හරි අඩකම සතුටින් පුරවා ය.
ඉතින් සැඳෑවේ හිරු බැස ගිය නිමේශයට වඩා කෙමෙන් අහසට වඩින්නට තනන සඳත්, අඳුරු අහසත් මිහිකට පෙනෙන්නේ සුන්දරවය.
මයික්‍රොවේව් කරගත් ඇඹුලෙන් ගත් බත් පත පිඟානක තබා එහි වැසුම අරින්නට වත්ම එන ඉමිහිරි සුවඳ කුසට පෙර සිත පුරවයි.
පරිප්පු, තෙම්පරාදු කර පොල් සම්බල්, කුකුල් මස් කරිය, අල තෙල් දැමුම සමග ආ බත් පත ඉතින් කටට දෙකට ගිල දමන්නට හැකි බව මිහික අත්දැකීමෙන් දනී.
බත් කන්නට පෙර සීතල වතුරු වීදුරුවක් ලඟ තබා ගත යුත්තේ ලසන්ති අක්කාගේ කුකුල් මස් කරියේ රස සැර ගැන හොඳින් දන්නා බැවිනි.
ගෙදරදී නම් අම්මා අප්පච්චි සමග කෑම මේසයට අසුන් ගෙන එක එක දේ ගැන කතා බස් කරමින් ආහාර ගත් සුන්දර අතීතයක් හිමි තරුණයාට ඉතින් තනිවම නිහඬව කැම ගැනීමේ පුරුද්ද තවම නුපුරුදුය.
අතීතයේ නම් ඇතැම් දිනවල බ්ලූටූත් හෙඩ් ෆෝන් දෙක කණෙහි රුවාගෙන කාර්‍යාලයේ රාජකාරි කරන අතරවාරයේ බොහෝ සෙයින් දොඩමලු වූ චරිත්‍රා ඇයට ලැබුණු සේවා උසස්වීම හමුවේ ඉතාම කාර්‍යබහුල වීම නිසා එකී චර්‍යාව මිහිකගේත් චරිත්‍රාගේත් ජීවිතයෙන් ගිලිහී ගොස් තිබිණි.
ඉතින් දැන් තනිවම ආහාර ගන්නා නිමේශයන් වලදී මිහිකගේ තනිකම මකන්නේ යූ ටියුබයේ හෝ නෙට්ෆ්ලික්සි තිබෙන වීඩියෝ පටයකි. නො එසේනම් ලංකාවේ ටෙලි නාට්‍යයකි නැත්තම් චිත්‍රපටයකි.
මේ දිනවල මිහික ආසාවෙන් නරඹන්නේ නෙට්ෆ්ලික් වෙත මෑතකදී නිකුත්වුන Black Mirror කතා මාලාවේ සය වැන්නයි.
විද්‍යා ප්‍රබන්ධ කතාවලට ආසා කරන මිහික වැන්නෙකුට මේ කතා මාලාව මැණිකකි.
පරිප්පුත් චිකන් හොඳිත්, පොල් සම්බල් සහ අල බැදුම සමගින් අනාගත් බත් කටක් මුව රුවාගන්නා අතරම මෙතෙක් වේලා වීඩියෝව බැලිය හැකි ආකාරයට තිරස්ව තබා ගෙන හුන් දුරකතනට මිහික සිරස් අතට හරවා ගත්තේ නොදන්නා ෆේස්බුක් ගිණුමකින් ආ මැසෙන්ජර් පණිවිඩයක් නිසාවෙනි.
Rathna Rathna යන නම සහිත ෆේස්බුක් ගිණුම් හිමියා තමාගේ මිතුරෙකු නොවන් බැවින් ඔහු එවා තිබූ මැසෙන්ජර් පණිවිඩය පැමින ඇත්තේ මැසෙන්ජරයෙහි රික්වෙස්ට් යන කොටසටය.
කවුද මේ Rathna Rathna?
ඔහුට තමන්ට පවසන්නට ඇත්තේ කුමක්ද?