පෙඟුණු මල්පෙති 27


මිහිකට එන්නට හැකි වූයේ තෙවන දිනයේදීය.
ඉතාම වෙහෙස මහන්සි වී, මුදල් ගෙවා වෙන් කරවාගත් ගුවන් අසුනේ වාඩි වී හුන් මිහිකගේ සිතේ පිටරටක හිඳ ලංකාවට යන ලංකා පුරවැසියෙකුගේ සිතේ තිබෙනු ඇතැයි අප සිතන සැනසුමේ ජායාවක්වත් නොවුණි.
දුකක්ද නොවුනි.
සිත තිබුනේ අමුතුම ආකාරයේ හැඟීම් ගොන්නක් සහ අන්ධකාරයක් පුරවා ගෙනය. සිත නිහඬය. අනෙක් අතට දොඩමලු වන්නට උවමනාවක් මිහිකටද තිබුනේ නැත.
තව පැය කිහිපයකින් තමා තම මව් රටට යන බව මිහික දනී. එහෙත් එහි තමා පිළිගන්නට ඉන්නේ වෙනදා කොහේ ගොස් පැමිණියද ආදරයේ උණුහුමින් තමා වැළඳගන්නට බලා හුන් අම්මා නොවේ. අම්මා නැති ගෙයක්, රටක්, ලෝකයක් ගැන මිහික කෙදිනකවත් සිතා තිබුනේ නැත.
“අම්මාගේ කොන්ඩේ ඉඳිලා” කියමින් හඩා වැටුණු හය වසරේ පුංචි කොලු පැටියෙකු සිත ඇතුලේ හිඳගෙන අම්මා මියගිය හේතුවෙන් මහ හඬින් හඬනු මිහිකට ඇසේ.
මේ තරම් අපහසුවෙන් බොහෝ බාධක සිත් තැවුල් මැද ගොඩනගා ගෙන ආ ජීවිතය තමාව ගෙනවිත් ඇති මේ මංසල ගැන මිහිකට හැඟීමක් නොමැත. කරන්නට උවමනා දේ ගැන නිනව්වක් නොමැත.නිවසේ වැඩ කටයුතු නිසි පරිදි කරගෙන යන බව කියමින් චරිත්‍රා සහ මිතුන රැගෙන එන පණිවිඩ සිතට සැනසුමකි. අම්මාගේ හදිසි මරණය සමගින් අප්පච්චි බිඳ වැටීමට ලක් වී ඇති බව කාගෙන්වත් ඇසිය යුතු කාරණාවක් නොවේ. එය එසේ බව මිහික තරම් දන්නා වෙන කිසිවෙකු නොවේ.
ආහාර ගැනීමට පිරියක් නොවුනද තමා පැය ගණනාවකින් කිසිවක් ආහාරයට ගෙන නොමැති බව මිහිකට මතක් වූයේ ෆ්ලයිට් මීල් එක පිළිගන්වන්නට ගුවන් යානා සහයිකාවක් පැමිණි විටයි.
ඉතාම සුන්දර යුරෝපීය ඇඳුම් කට්ටලයකින් සැරසී හුන් ඇය ආචාරශීලීව තමා රුචිකත්වය විමසයි.
“ඉන්ග්ලිශ් මෙනු ෆෝ මී”
ඒ ඉල්ලීම අනුව ලැබුණ ආහාර බඳුන් වල කුඩා ඩිනර් බන් එකක්, බටර් පැකට්ටුවක්, සුප් එකක්, සැලඩ් එකක් සහ මස් සහ එලවලු එකතු කොට සකසන ලද මැකරෝනි විය.
ඩිනර් බන් එක ලබා දී තිබූ ප්ලාස්ටික් පිහියෙන් දෙකට පලා බටර් තවරාගත් මිහික සෙමෙන් එය සපමින් ගුවන් යානයේ වීදුරුවෙන් එපිට පෙනෙන නිල් අහස සහ සුදු පැහැ වලාකුලු දෙස බලා හිඳින්නට විය.
සිත එක තැනක නැත. එක දෙයක් ගැන සිතන්නේද නැත.
තමාට දැනෙන හැඟීම් කෙබඳුද, කුමනාකාරයේද යන්න පවා විග්‍රහ කරගන්නට මිහිකට අපහසුය. එහෙත් ඒ තේරුම් කරගන්නට අකමැති සිතුවිලි කන්දරාව යටින් වචනයෙන් විස්තර කල නොහැකි ආකාරයේ ඉතාම වේදනාත්මක සිතුවිලි ගංගාවක් ගලා යයි.
වෙනදාට ඉතාම කඩිසර තමා අද කෙතරම් නම් ඇල්මැරී තිබේද?
මෙතරම් දවසක් මොන බාධා මැද්දේ වුවත් ජීවිතය සිනාබරව ගත කරන්නට මග කියා දී තිබෙන්නේ අම්මා බව මිහිකට දැන් වඩාත් හොඳින් පැහැදිලි ය.
අම්මාට තමාව ලැබුනේ දරුවන් බලාපොරොත්තුවෙන් හිඳ අවුරුදු කිහිපයකට පසුව දරුවන් දෙදෙනෙකු පමණ ගබ්සා වීමෙන්ද අනතුරුව බව මිහිකට පැවසුවේද අම්මාය.
“ඔයාලගේ ආච්චි ඒ දවස්වල හරියට මට එක එක ඒව කිව්ව. ඒත් අප්පච්චි මට වචනයක්වත් කිව්වෙ නෑ පුතේ. පුතත් මතක තියාගන්ට ඕන කවදහරි කසාදයක් කරගත්ත කාලෙක අපි මොනතරම් දේවල් කිව්ව කරත් තමන් කැන්දාගෙනා කෙල්ලගෙ පැත්තෙන් හිටගන්ට.
ඒ ළමයා තමන්ගේ මව් දෙමව්පියො පවා දාලා ඇවිත් තියෙන්නෙ පුතාට තියෙන ආදරේ හින්දනේ. ඉතින් ඒ ආදරේට හරියට සලකන්ට පුතාට පුලුවන් වෙන්ට ඕන.
කළින් දෙවතාවෙම ලැබෙන්න උන්නු දරුවො නැතිවුනාම මට පිස්සු හැදෙයි කියල මං බයෙන් උන්නෙ පුතේ. නෑයො එහෙමත් මූණට මුකුත් නොකිව්වට අමුතු විදියට බලද්දි හිත රිදෙනව නෙව.
මට කවදාවත් දරුවෙක්ගෙ උණුහුම ලබන්න පින නෑ කියල හිතන් ඉද්දි තමා පුතාව ලැබෙන්න ආවෙ. තාත්තයි මාව පුතා බඩේ ඉද්දි පරිස්සම් කරේ මැණිකක් වගේ”
එසේ පෙරුම් පුරා ආ දරුවා අතැර යන්නට අම්මා හිත හදා ගත්තේ කොහොමද? මිහික ඇසුවේ තමාගේම සිතෙනි.
ගමනට ගත වූ පැය ගණනක කාලය ගෙවුනේ කෙසේද යන්න මිහිකට මතක නැත. සිතුවිලි ගංගාව ගැලීම නැවතුනේ ගුවන් යානයේ කවුලුවෙන් පෙනෙන ලංකාවේ කොල පැහැ තුරු වියන නෙත ගැටෙනවාත් සමගිනි. මේ තව අවුරුදු දෙකකින් පමන එන්නට බලා හුන් ගමනකි.
“රාහු ලබලා ඉද්දි හරියට තේරුමක් නැති ගමන් වැටෙනවා. ඔලුවක් නැති ග්‍රහයනේ” කියමින් ඉස්සර කේන්දරය බලා ගෙදර විත් අම්මා පැවසූ හැටි මිහිකට මතකය.
අම්මා හිටියානම් මේ කරදර කාලයන් අරගෙන ඇවිත් තිබුනේ කුමන ග්‍රහයා නිසාවෙන්ද කියා අසන්නට තිබුණි.
කටුනායක ගුවන් තොටුපලේ සිට නුවරට යන්නට කුලී රියක් කතා කරගන්නට මිහිකට සිදු වූයේ මල ගෙදර කටයුතු නිසාවෙන් තමා කැඳවාගෙන යෑම සඳහා කිසිවෙකුට කරදර කිරීමට අකමැති නිසාවෙනි. අනෙක් අතට නිවසට යන්නට පෙර, මෙතරම් වේලා දුරින් හිඳ සිතෙන් විමසා බලා තැවුණු සියල්ල සැබෑවටම අත්විඳින්නට පෙර මේ යන ගමනේදී සිත තව තවත් සවිමත් කරගන්නට තමාට උදව් වෙනු ඇත.
“සර් නුවරට නේද?”
කාරයේ රියදුරු කතාව ඇරඹුවේ කටුනායක ගුවන් තොටුපලින් අධිවේගයට වාහනය දමමින්‍ ය.
“ඔව්”
“සර් කොහෙ ඉඳලඳ එන්නේ”
ආ ගිය තැන් ගැන කතා කිරීම වෙහෙසක් බව සිතුනත් ඒ බව තමාගේ රටේ මිනිසෙකුට කිව හැකිද? අනෙක් අතට දුක තුනී කරගන්නට මේ කතාව උපකාරයක් වුව විය හැක.
“හදිසියේම ආවේ?”
“අපේ අම්ම නැතිවෙලා”
ඒ වචන වල ඇත්තේ කොපමණ නම් බරක්ද යන්න මිහික තේරුම්ගත්තේ පළමු වතාවටය. ඉංග්‍රීසි බසින් කාර්‍යාලයේ පිරිස් කළමනාකරු වෙත එය දැනුම් දෙද්දී ද, චරිත්‍රාට ඒ බව කියද්දීද දැනුන වේදනාවට වඩා වේදනාවක් මිහිකට මේ නොදන්නා මිනිසාට එබව කියද්දී දැනුනි.
හයියෙන් කෑගසා හඬන්නට හැකි වේදනාවකි.
සිත දෙදරවන වේදනාවකි.
දරාගත නොහැකි වේදනාවකි.
අම්මා මිය ගියේ හදිසියේ ඇති වූ නිහඬ හදවත් බිඳ වැටීමක් නිසා බවත්, ඊට පෙර දිනද අම්මා තමා ඇමතූ බවත්, මෙය සිතාගන්නට නොහැකි ආකාරයේ පණිවිඩයක් බවත් පැවසූ මිහිකට එවදන් පිටවූයේ තමාගේ මුවින්මද යන්න සැක හැර දැනගන්නට මෙන් කාරයේ රියදුරුට හොරැහින් සෙමෙන් තම අත කොණිත්තා බැලුවේය. ඒ මේ සිහිනයක්ද යන්න සැක හැර දැන ගන්නටය.
එදා රැයේ සිහිනයෙන් දුටු අඳුරු ආගාධයක් තුල තමා පහලට පහකට ඇදී ගිය සිහිනයෙන් කියන්නට තැනුවේ මේ ව්‍යසනයද යන්න මිහිකට දැන් දැන් සිතේ. එවෙලේ සිතේ තිබූ වේදනාවල්හි ඇරඹුමේත් කෙලවරත් රැඳි හුන්නේ චරිත්‍රා බැවින් සිහිනය එයට අදාල එකක් යැයි සිතුවද එය එසේ නොවන බව මිහිකට සිතෙන්නේ දැන් ය.
මිහික සිහින විශ්වාස කල පුද්ගලයෙකු නොවේ. පසුගිය කාලයේ සිතට දැනුන තේරුම්ගත නොහැකි බියත්, දින කිහිපයකට පෙර දුටු ඒ බයංකාර සිහිනයේ තේරුමත් දැන් පැහැදිලිය.
ජීවිතය මේ පිරික්සා බලන්නේ තමන්ගේ දරා ගැනීමේ හැකියාව විය යුතුය.
බුදු රදුන් ආත්ම ගණනාවක් විවිධාකාර ආත්ම වල ඉපදෙමින් පාරමිතා පුරා ගත්තා මෙන් තමාට මේ ආත්මය ලැබී ඇත්තේ දරාගැනීමේ හැකියාව පුරුදු පුහුණු කරන්නට විය හැකිද යන්න මිහිකට සිතුනේ පසුගිය දින කිහිපයේ සිතට මුහුන දෙන්නට සිදු වූ වේදනාවල් ගැන සිතාය.
දුක යනු මෙයැයි, දුකෙන් මිදීම නම් මෙයැයි කියා කුඩා කාලයේ සිට උගත්තද දුක දරාගැනීම කෙතරම් නම් අපහසුද යන්න දන්නේ සිතට දරාගන්නට තරම් නොහැකි දුකක් දරන්නට වූවෙකුට පමණි. එහෙත් ඒ දුකෙහිම ඇලී ගැලී හිඳිනවා හැරෙන්න, දුකෙන් මිදෙන්නට කටයුතු කල මිනිසුන් සිටින්නේ කීයෙන් කී දෙනාද?
කල්පනා ගඟක් අවසානයේ පැය තුනක් තුනහමාරක් ගෙවා නුවර මහ ගෙදරට එන්නට හැකිවුවත් මිහික කාරයෙන් බිමට බැස්සේ මේ ගමන තමා ආවේ කෙසේද යන පැනය සිතෙන් විමසමිනි. වෙනදාට මල් පිපී තිබෙන උද්‍යානය අද කුමක්දෝ නොතේරෙන අන්දකාරයකින් වැසී ගොසිනි. තවමත් දහවල් එකොලහට පමණය. එහෙත් එහි තිබුනේ දවල් එකොලහට, වැසි වසින්නේ නැති කාලයක දැකිය හැකි ආලෝකමත් බව නොවේ. අඳුරකි. වැසි වැටෙන හවසක ඇති සීතල, මූසල අන්ධකාරයයි.
අතීතයේ දිනකදි නම් තම වාහනයේ හඬ පවා හොඳින් අඳුරන අම්මා සිනා වැසි වස්සමින් නිවසේ ඉදිරිපස දොර අසලට එන්නේ “මහන්සිද පුතේ” කියා අසමිනි. අත තිබෙන බෑග හෝ වෙනයම් දෙයක් තම දෑතට රැගෙන විඩාබර ගතට සහනයක් සදන අම්මා මේ නිවස ඇතුලත තැනක නිහඬව වැතිරී හිඳින බව දැනගෙන පිය ගැට පෙල නැගගොස් නිවසට ඇතුලුවන සිතුවිල්ල පමා කරවයි.
ඉස්තෝප්පුවේ විසල් දොරටු දෙකෙන් සාලයට ඇතුලු වූ මිහිකට මුලින්ම නෙත ගැටුනේ අප්පච්චිය.
තමා එන මග බලාගෙන හුන් අප්පච්චි තමා ආ බව නොදැන සාලයේ කෙලවර පුටුවක අසුන් ගෙන කොහෙදෝ බලා ගෙන ඔහේ කල්පනා කරමින් හිඳී.
ඒ තමා මෙරටින් යන්නට පෙර දුටු සවිමත්, උස් සිරුරක් තිබූ අප්පච්චි නොවේ. වියපත්ව ගිය, වැහැරුණු මිනිසෙකි.
තමා දැක පුටුවෙන් නැගී හිඳි අප්පච්චිගේල් දෙනෙත් පලමුව තමා වෙතටත් අනතුරුව සාලයේ මැද ඇත්දල සහ පහන් මැද තබා තිබූ දෙන වෙතටත් යොමු විය. ඒ මග යමින් එදෙස බැලූ මිහිකට හදවතින් මහ හඬක් ඇසුණි. ඒ හඬක් නොවේ මහෝඝයකි. දෙදරීමකි. කම්පාවකි.
“අම්මේ”
හඬ පිට නොවුනද දෑස්වල වූ කම්පාව, වෙව්ලීම, දුක උණු කඳුලු ලෙස කම්මුල් දිගේ වැගිරෙන්නට විය.
දුඹුරු පැහැ ලී පෙට්ටියක ශාන්තව වැතිර හුන්නේ අම්මාය.
තමා ආසා ලෙසම සුදු පැහැ ඔසරියක් හැඳි අම්මාය.
වෙනස ඇය තමා ආ බව නොදැනීමය.
කඳුලු වල උණුහුම පරදමින් මිහිකගේ අතට දැනුනේ සීතලකි.
කම්පිත දෑසකින් තමා දෙස බලා දෑත අල්ලාගෙන හුන්නේ චරිත්‍රාය
තමා දමා යන්නට සිතූ චරිත්‍රාය.
වෙනත් අයෙකු හා බැඳෙන්නට තීරණය කළ චරිත්‍රාය.
තම ජීවිතය පුරාවටම දැල්වෙනු ඇතැයි සිතූ පහන් දෙකම කොහෙන්දෝ ආ කුණාටුවක් නිවා දමා ගොසිනි.
මේ අන්ධකාර ජීවිතය දිගටම දරාගන්නට ඉතින් තමාට හැකිද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles