අම්මාගේ හත් දවසේ දානය වෙනතුරුත් මෙහි රැඳී සිටින්නට හැකියාවක් ලැබුනේ නිවසේ සිට සේවය කරන්නට කාර්‍යාලයෙන් ලැබුණ අවසරය නිසාවෙනි. කොවිඩ් වසංගතය සමග කරළියට ආ වර්ක් ෆ්‍රොම් හෝම් සංකල්පය මෙවැනි අවස්තාවලදී තවමත් භාවිතා කරන්නට ඉඩ ලැබීම හොඳය. නොඑසේනම් මේ කටයුතු සියල්ල අතරමග දමා රැකියාව සඳහා පිටත්ව යාම හෝ පඩි රහිත නිවාඩු ලබාගන්නට සිදුවීම ගැටලුවකි. අනෙක් අතට වසර ගණනාවක්ම සේවකය කල කාර්‍යාලය නිසාවෙන් මෙන්ම තමා කණ්ඩායම් ප්‍රධානියෙකු වන බැවින්ද, ඕනම මොහොතක ඕනම කරදර මොහොතක සේවය අකුරටම ඉටු කල අතීතයක් තිබෙන බැවින් මෙවනි අවස්තාවලදී කාර්‍යාලය තම හොඳම සේවයකයන්ට මෙවැනි සහන සැලසීම සිදු කරයි.
මිහික සමග එකම කාමරයේ නිදා ගන්නට වීම නිසා ළහිරුට කතාකරන්නට නොහැකි වීම ගැටලුවක් වන්නට හැකි වුවත් “මරණ ගෙදර වැඩ නිසා බිසී” කියමින් ළහිරුව රවටන්නට වීම චරිත්‍රා ගේ සිත වේදනාවට පත් කරන්නක් විය.
එහෙත් මේ ළහිරුව හැරදමා යා හැකි මොහොතක් නොවේ. ඔහුට තමා අවැසිම මොහොත මෙයයි. ඉතින් ඔහු වෙනුවෙනුත් අම්මා සහ අප්පච්චි වෙනුවෙනුත් මෙහි නැවති සිටිම තම යුතුකමකි.
“හෙට උයන්න ඕන කරන ජාති එහෙම අරගන්න මාත් එක්ක ටවුන් එකට ගිහින් එමුද?”
මිහික පැමින චරිත්‍රාගෙන් ඇසුවේ ඇය බැල්කනියට වී වට්සැප් වෙත ළහිරු එවා තිබූ පෙම් පණිවිඩ කියවමිනි. බැස යන්නට සූදානම් වී සිටි හිරු එළිය බැල්කනියේ ටයිල් බිම මත අලසව වැතිරි හිඳී. තවමත් නිවසේ කලබලයේ අඩුවක් නොමැත. ඈත සිට ආ නෑයන් ද තවමත් නිවසේ සිටින බැවින් ඉවුම් පිහුම් කටයුතු නිතරම පාහේ සිදු වේ.
අද රැයේ තිබෙන හත් දවසේ බණ සඳහා උයන්නට අවශ්‍ය කරන ද්‍රව්‍ය රැගෙන ඒමට ය මිහික මේ අමතන්නේ.
“මම ටක් ගාලා රෙඩි වෙලා එන්නම්”
චරිත්‍රා පැවසුවේ කාමරය තුලට යමිනි. එක කාමරයක පසුගිය දින කිහිපයක් තිස්සේ නිදා ගත්තද මිහික හා තමා අතර වු කතාබහ අතේ ඇඟිලි වලින් ගණින්නට හැකි තරම් අල්පය. ඒ විවාපත් සැමියෙකු හා බිරිඳ අතර පවතින ආකාරයේ සම්බන්ධතාවයක් නොවේ.
තමාගේ සිතේ මිහිකට දැන් කිසිදු තැනක් අයිති නොමැති බව දන්නා නමුත් චරිත්‍රාට ඒ දුරස්ත සම්බන්ධය ගෙන ආවේ සිත් කරදරයකි. සිතට එය බරකි. මිහික තමාව මගහරිමින් සිටින මුත් එය සැබෑවටම කල යුත්තේ තමා නොවේද? මිහිකව අතාරින්නට බලාපොරොත්තුවෙන් උන්නේ තමාය. මිහික සිටියදීම ළහිරු සමග ප්‍රේමයක පැටලුනේ තමාය. එහෙත් තමාගේ දෑස් මහ හරිමින් සිටින්නේ මිහිකය.
ඒ කුමක් නිසාද යන්න චරිත්‍රාට තේරුම් ගත නොහැක.
ඩෙනිම් කලිසමකින් සහ සුදු පැහැ ටී ශර්ටයකින් සැරසී තරප්පු පෙල දිගේ චරිත්‍රා පහලට බැස්සේ එක් අතකින් දුරකතනය සහ මුදල් පසුම්බිය රැගෙන ය. උයන්න පිහන්න ඕන කරන දේ රැගෙන යනු පිණිස චරිත්‍රා එනතුරු මිහික ඉදිරිපස දොරටුව අසල රැඳී සිටියේය.
කිසිත් කතාබහක් නොමැතිව සාලය පසුකර, මිදුලට බසින්නට පඩි පෙල බසිමින් හුන් මිහිකත් චරිත්‍රාත් නැවතුනේ කාගේ හෝ කටහඬකිනි.
“අයියේ ඉන්න” කියමින් තමන් දෙදෙනා දෙසට එන නයනතාරා තමාගේ දෑස් මගහරිමින් මිහික ගේ දෑස් දෙස බලා හිඳියේ දෑස් වල සිනහවක් තවරාගෙනය.
“නංගිත් එනවද?”
“අම්මා කිව්ව අයියේ අක්ක හෙමත් වැඩිය උයන පිහන ඒව ගැන දන්නෙ නැති හන්ද මට යන්ටය කියල. සුරංගි නැන්දා කුස්සියෙ වැඩ”
ඒ චරිත්‍රා බලාපොරොත්තු වූ දෙයක් නොවේ.
තමා ආ මොහොතේ සිට තමන් සමග වදනක්වත් කියවන්නට නො ආ නයනතාරා මිහික නිවසට ආ මොහොතේ සිට ඔහු වටා මද පවනක්ව සැරිසරන්නට වීම ඇය නොදැක්කා නොවේ. තමා මිහික අතාරින්නට බලාගෙන සිටින බව සැබෑවකි. එසේනම් මේ සිත යටින් දැනෙන ඊර්ශ්‍යාව බඳු හැඟීමට හේතුව කුමක්ද යන්න චරිත්‍රාට නොතෙරේ.
මිහික රියදුරු අසුනටත්, චරිත්‍රා ඔහුට එහා පස අසුනේත් හිඳගත් පසුව නයනතාරා මද මුදු සිනහවද දෙතොලේ රඳවාගෙන රියෙහි පිටුපස අසුනට බර විය.
නිවසේ සිට ටවුමට යාමට තිබූ විනාඩි විස්සක පමණ කාලය පුරාවටම වාහනයේ තිබුන නිහඬතාවය චරිත්‍රාට දැනුනේ මහා බරක් ලෙසිනි. කවුරුන් හෝ කුමක් හෝ කිවානම් යමක් කීම කෙසේ වෙතත් අසා හිඳින්නට හෝ තිබුනි. එහෙත් එහි තිබුනේ පුදුමාකාර නිසලතාවකි. ඒ නිසලතාව දරාගන්නට බැරි තරම් ය.
නිහඬව නිසොල්මනේ රියදුරු අසුනේ හිඳිමින් රිය පදවන මිහික මුවින් දොඩමලු නොවුනත් සිතෙන් උන්නේ බොහෝ ඈතක බව චරිත්‍රා දැන හුන්නාය.
එහෙත් ඒ සිත නතර වී තිබුනේ කොතැනකද කවුරුන් ලඟද යන්න නොදැන හිඳීම ඇයට ගැටලුවක් වුණි. අනෙක් අතට නයනතාරා ගේ මුහුණේ තිබෙන්නේ කුමනා කාරයේ හැඟීමක් බැල්මක් ද යන්න දැනගන්නට ඇයට කොතෙක් උවමනා වුවද අසුනෙ හිඳ හැරී නයනතාරා දෙස බලනු හැරෙන්නට ඇය දෙස බලන්නට වෙන ක්‍රමයක් නොමැත.
ඉතින් චරිත්‍රා උන්නේ ඉදිරිය බලාගෙන නිසොල්මනේය. ගතින් නිසල වුවද සිත ඉතාම සසල වී හිඳී.
මිහික ගේ බිරිඳ වූ තමාට වඩා නයනතාරා මිහික ගැන කෙතරම් නම් සිතනවාද යන්න ගැන චරිත්‍රා තේරුම් ගත්තේ මිහික අතේ රැඳී තිබුන එලවලු දමාගන්නට ගෙනා මල්ල නයනතාරා අතට ගත් මොහොතේය. සිතෙන් බොහෝ දුක්බර වී හිඳින මොහොතක, ගතට දැනෙන බරින් කොටසක් හෝ අඩු කරනු පිණිස ඇය ගත් ඒ ක්‍රියාව සිත තුල සඟවා හිඳින ඇයගේ ආදරය ගැන මොනවට පැහැදිලි කරන්නක් නොවේද?
නිහඬව මාකට්ටුවේ එලවලු ලෑලි අතරින් ඉදිරියට යන මිහික පසුපස නයනතාරා වැටී උන්නේ බලු පැටියකු ලෙසිනි. රාත්‍රියේ සහ හෙට දිනයේ ඉවීමට අවශ්‍ය කරන එලවලු ආදිය තෝරා ගැනීම සඳහා මිහික තමා මග හැර නයනතාරාව ඇමතුවේ මිහික සිතෙන් තමාව අත් හැර දමා තිබෙන නිසාද නොඑසේනම් තමා වැනි ඉවුම් පිහුම් වලට අකමැති සහ එහි කිසිදු හැකියාවක් නැති අයෙකුගෙන් එබව ඇසීම තේරුමක් නැති බව දන්නා නිසාවෙන්ද?
වම්බටු හදන නිසා වැටකොලු ගන්න එපා යැයි කියන නයනතාරාගේ කටහඬත්, ඔයා ආ නිසා හොඳයි නංගි, නැත්තම් මට මේවා තෙරෙන්නෙ නෑනෙ කියන මිහිකගේ හඬත් ළහිරු වෙනුවෙන් එකලස් කරගෙන සිටි හදවත මත සියුම් ඉරිතැලීම් ඇති කරන බව චරිත්‍රාට දැනේ.
ඒ ආදරයද, මිහික අහිමී යනු ඇතැයි දැනෙන බියද යන්න ඇයට අපහැදිලිය.
මිහිකටත් නයනතාරාටත් ඈත්ව යන්නට ඉඩ දී චරිත්‍රාට මග නවතින්නට සිදු වූයේ හදිසියේ ආ ළහිරුගේ මතුමක් නිසාවෙනි. ඒ ඇමතුම ගම් දෝ නොගම්දෝ කියන සිතුවිල්ල සිතට වද දෙයි.
ඈතට ඇවිදන් යන නයනතාරා ගේ සහ මිහිකගේ රුව දෑස මත නතර වෙද්දී චරිත්‍රා ළහිරුගේ ඇමතුමට සම්බන්ධ විය.
“බේබ් ඔයා එන්නෙ කවද්ද?”
ළහිරු මුදුවක් පලඳා විවාහ වෙන්නැයි ඇරයුම් කල දිනයේ පටන් තමාව අමතන්නේ බේබ්ස් යන වදනෙනි. මිහිකගේ මැණික යන වදනට වඩා හාත්පසින්ම වෙනස් සිදාදියට ආවේණික වූ ඒ වදනට චරිත්‍රා මුල දී ඇලුම් කරද ඒ වදන මත තැබිය හැකි ආදරය පිළිබඳ විශ්වාසය ගැන ඒ සම්බන්ධය ඇරඹුණු කාලය අතරවාරයේ පලමු වතාවට චරිත්‍රාට සිතුනේ අදය.
ඒ එලවලු කඩයක් අසල නතර වී වට්ටක්කා කෑල්ලක් මුදලාලි මහතා කපා දෙන තුරු බලා හිඳින නයනතරා සහ මිහික දෙස බලා හිඳින අතරය.
නයනතාරා ඉතාම රූමත් බවත්, ඒ රූමත් බවට යටින් නිකැලැල් සුන්දරත්වයක් ඇය වෙත පවතින බවත් චරිත්‍රා දුටුවේ පලමු වරටය. ඒ නිකැලැල් සුන්දරත්වයට මිහික ආදරේ කරනු ඇතිය යන බිය චරිත්‍රාගේ සිතට ආවේද පලමු වරටය.
ළහිරු වෙනුවෙන් මිහික නැති කරගත හැකි නමුත් නයනතාරාට හෝ වෙනත් කාන්තාවකට ඔහුව හිමිකරදෙන්නට තරම් තවම හදවත සූදානම් නොමැති බව චරිත්‍රාට හැඟුණේ දැන් ය.
කුරුණෑගල උසස් පවුලක ඉපදුන, මිහිකගේ පවුලේ සම්ප්‍රදායන් සහ චාරිත්‍ර වත් පිළිවෙත් ගැන දන්නා නයනතරාට තමාට වඩා හොඳ යෙහෙලියක්, පතිනියක් විය හැකි බව චරිත්‍රාට රහසක් නොවේ. එහෙත් තමා යනු එසේ ලේසියෙන් පරාජය භාරගන්නා අයෙකු නොවේ. තමා ගේ දෙපා ලඟ වැඳ වැටුන කෙතරම් නම් මත් බඹරුන් වීද? මිහික යනු මත් බඹරෙකු නොවේ සමණලයෙකි. මත් බඹරුන් රැසක් මෙල්ල කල තමාට සමණලයෙක්ගේ තටු සිඳ දැමීම අමාරු කාර්‍යයක් නොවේ.
ළහිරු දුරකතනයේ එහා පස හිඳ මොන මොනවදෝ කියයි. ඒ කිසිවකට සිත යොමු කරන්නට අපහසු වුවත් හා, හ්ම් කියමින් චරිත්‍රා මුණිවත් බින්දේ මිහික සහ නයනතාරා දෙස බලමිනි.
මිහික චරිත්‍රා දෙස බැලුවේත් ළහිරුගේ ඇමතුම නතර වූයේත් එක මොහොතේය.
දෙතැනක හිඳ එකිනෙකා දෙස බලා හුන් චරිත්‍රා සහ මිහික අතර වූයේ අඩි දෙක තුනක දුරක් වුවද චරිත්‍රාට එය දැනුනේ කල්ප ගණනාවක දුරක් බඳුවය.
කිසිදා ළඟා විය නොහැකි දුරක් ලෙසය. ඒ දුර නයනතාරා සහ මිහික අතර වූ දුරට වඩා දෙතුන් ගුණයකින් වැඩි බව ඒ සිතුවිල්ලේම අතුරු සිතුවිල්ලක් ලෙස චරිත්‍රාගේ සිත අස්සට රිංගුණි.