දරු ප්‍රසූතියෙන් පස්සේ කාන්තාවන්ගේ ලිංගික ආශාව අඩුවෙන්නේ ඇයි ?

දරු ප්‍රසූතියෙන් පස්සෙ කාන්තාවො සෙක්ස් කරන්න අදිමදි කරන බවට ගොඩක් ස්වාමි පුරුෂයො චෝදනා කරනවා. ඔයා කාන්තාවක් නම්, සමහර විට ඔයාටත් දරු ප්‍රසූතියෙන් පස්සෙ ඉස්සර වගේ සෙක්ස් කරන්න ආස හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්. ඇත්තට ම මේකට හේතුව මොකක් වෙන්න ඇතිද? මේකට කායික වගේ ම මානසික හේතුත් ගොඩක් බලපාන්න පුලුවන්. අපි අද කතා කරන්නේ ඒ ගැනයි.

හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වීම

දරු ප්‍රසූතියක් කියන්නෙ එක රැයකින් සිද්ධ වෙන දෙයක් නෙවෙයිනෙ. මාස දහයක් තිස්සේ ක්‍රමානුකුලව සිදු වෙන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. ඇඟ ඇතුලෙ දරුවෙක් හැදෙන කොට කාන්තාවක් වෙන ඔයාගෙ හෝමෝන ඉතා විශාල පෙරළියකට ලක් වෙනවා. මේ නිසා දරු ප්‍රසූතියෙන් පස්සෙ ලිංගික ආශාව අඩු වෙන්න පුලුවන්. ඔයා ඉස්සර කොච්චර ලිංගික ව ක්‍රියාකාරී වුණත්, මේ හෝමෝන වෙනස්වීම් එක්ක දරු ප්‍රසූතියෙන් පස්සෙ ගොඩක් දෙනාට ලිංගික ආශාව අඩු වෙන්නෙ ඒ නිසයි. නමුත් මේ කාරණාවා හැමදාම තියෙන දෙයක් නෙවෙයි. ක්‍රම ක්‍රමයෙන් ඔයාගෙ ලිංගික ආශාව සාමාන්‍ය මට්ටමට එනවා. එතකල් ඉවසීමෙන් කල්පනාවෙන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. කාලයත් එක්ක මේ තත්ත්වය වෙනස් නොවුණොත්, ඔයාට වෛද්‍යවරයෙක් හමුවෙලා මේ තත්ත්වය ගැන කතා කරන්න වෙනවා.

ජීවන චර්‍යාව වෙනස් වීම

අලුත් පැටියෙක් ඉපදුණාට පස්සෙ මාස හයක් යනකල් අනිවාර්‍යයෙන් දෙන්න ඕනෙ මවුකිරි විතරමයි. මුල් මාස තුන හතර කාලයෙදි දවසෙ පැය තුනෙන් තුනටත්, ඊට පස්සෙ එයා කිරි වරන කල් වෙනකල් ම අම්මා බබාට කිරි දෙනවා. අම්මෙක් වෙන්න කලින් ඔයා ගෙව්ව නිදහස් ජීවිතේ සම්පූර්ණයෙන් ම උඩු යටිකුරු වෙනවා. සම්පූර්ණ රැයක් එළි වෙනකල් අම්මට නිදාගන්න හම්බෙනවා නම් ඒ එහෙමත් කෙනෙකුට. ආස තැනක යන්න, ආස දෙයක් හිතුණ ගමන් කරන්න එහෙම හරි ම අමාරුයි. දරුවට කොච්චර ආදරේ වුණත් අම්මට එයාව යම්කිසි කාලයකට අහිමි වෙනවා. මේ කිරි දීමේ ශාරීරික බැඳීම හින්දා සාපේක්ෂව මේ තත්ත්වය තාත්තාට වඩා අම්මට දැනෙන එක වැඩියි. ඉතින් මේ කාලයේදී මේ දේවල් එක්ක දරු ප්‍රසූතියෙන් පස්සෙ කාන්තාවට ලිංගික හැඟීම් අඩු වෙන්න පුලුවන්. නිදාගන්න බලාගෙන ඇඳට වැටෙනවා මිසක් වෙන කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නැති වෙන්න පුලුවන්. මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම්, සැමියා විදියට ඔයාට එයාව වෙනදටත් වඩා තේරුම් ගන්න සිද්ධ වෙනවා. ගෙදර වැඩ දෙන්නගෙම වගකීමක් විදියට අරගෙන ඒවා බෙදාගෙන කරන එකෙන්, එයාට නිදාගන්න – නිවාඩුව ඉන්න වෙලාවක් හදලා දෙන එකෙන් කාලයත් එක්ක මේ තත්ත්වය මග හරවා ගන්න පුලුවන්. ඔයාගෙ සැමියාට මේ ගැන අදහසක් නැත්නම්, එයා එක්ක කතා කරන්න. ඔයාගෙ අපහසුතා එයා එක්ක බෙදාගෙන දෙන්නට ම පහසු විදියකට ජීවන චර්‍යාව වෙනස් කරගන්න. දරුවෙක් කියන්නෙ අම්මාගේ තනි වගකීම නෙවෙයි

ශාරීරික අපහසුතා

එක රැයක් දෙකක් නිදි වැරුවාම කොච්චර අපහසුද? එක දිගට ලොකු කාලයක් නිදි වරන්න වුණාම ඒ තත්ත්වය තවත් බරපතල වෙනවානෙ. එතකොට ඇඟට හරිම අපහසුයි. ඒ වගේ ම කිරි දෙනකොට පෝෂණීය ආහාර වේලක් ගත්තෙ නැති වුණොත් ඇඟට තවත් අපහසුයි. සාමාන්‍ය ප්‍රසූතියක් වුණත්, සීසේරියන් ක්‍රමයට දරුවා බිහි කළත් ශරීරය යථා තත්ත්වයට පත් වෙන්න කාලයක් යනවා. තුවාල සනීප වෙන්න කාලයක් යනවා. පෝෂණීය ආහාර වේලක් ගන්න ගමන් කාලයට ඉඩ දෙන්නයි මේ වෙලාවට කරන්න තියෙන්නේ.


ශාරීරික වෙනස්වීම්

කාන්තාවෝ ගොඩක් වෙලාවට තමන්ගෙ ශරීරය ගැන හිතනවා. දරුවෙක් ලැබුණාම වෙන ශාරීරික වෙනස් වීම් සමහර වෙලාවට එයාට දරාගන්න බැරි වෙන්න පුලුවන්. ඇඟ මහත් වෙලා කියලා, වෙනස් වෙලා කියලා හීනමානයක් ඇතිවෙලා තියෙන්න පුළුවන්. මේ වගේ වෙලාවටත් කාන්තාවකට ලිංගික ආශාව අඩු වෙන්න පුළුවන්. සැමියා විදියට ඔයාට කරන්න පුලුවන් හොඳම දේ එයා එක්ක කතා කරලා ඇත්තටම ගැටලුව මොකක්ද කියලා අඳුනගන්න එකයි.

දරු ප්‍රසූතියෙන් පස්සෙ කාන්තාවන්ට ලිංගික ආශාව අඩු බවට සැමියන් චෝදනා කළත් ඒකට විසඳුම ගොඩක් වෙලාවට තියෙන්නෙ සැමියා වෙන ඔයා අතේමයි කියලා දැන් තේරෙනවා ඇති. එයාට වෙනදටත් වඩා ආදරේ කරන්න. එයාව අගය කරන්න. සරාගී බව කියන්න. ක්‍රමයෙන් එයා වෙනස් වෙන බව ඔයාට ම තේරේවි. එහෙම නොවෙනවානම් වෛද්‍ය උපදෙස් අරගෙන ඇත්තටම අසනීප තත්ත්වයක්ද කියලා පරීක්ෂා කරවාගන්න.

Related Articles

Don't Miss


Latest Articles