“අඬන්න එපා පුතේ, අම්මා පරක්කු උන හන්දද අඬන්නේ?”
කියමින් උශාලි පොඩ්ඩිගේ අතින් අල්ලාගෙන ආවේ දිස්නාත්, ලොකු මැඩමුත් කතා බහ කරමින් වාර්තා ලිපි ගොනු සකසමින් හුන් පංති කාමරය දෙසටයි.
මුලු පෙර පාසලම තිබුනේ පුදුමාකාර නිහැඬියාවකි. ඒ නිහැඬියාව මැද්දෙන් ඉඳහිට කතා බහ කරන දිස්නාගේත් ලොකු මැඩම්ගේත් කතා බහද, දුලන්‍යාගේ ඉකි බිඳුම සහ ඇවිද යමින් හුන් උශාලිගේ මදක් අඩිය ඇති සෙරෙප්පුවේ ටක් ටක් හඬද පමණක් ඇසේ.
උශාලිගේ අතේ එල්ලී යමින් උන් පොඩ්ඩිගේ ඇඬිල්ල මදක් නැවතී දැන් එය ඉකි බිඳුමකටත්, නහය උඩට සීරුමකටත් මාරු වී තිබේ.
“හානේ කවුද මේ බබා?”
දිස්නා එසේ ඇසුවේ තමා වැඩ කරමින් හුන් ලිපි ගොනුවෙන් ඔලුව මදකට ඔසවා පංති කාමරයට ඇතුලුවන දොර ඉදිරියේ හටගත් එක්නෙකට වෙනස් උස ප්‍රමාණයන් දෙකක සෙවණැලි දෙකක ජායාව ඇස් කොණටකට වැටීම නිසා ය.
“අම්මා එන්න පරක්කු වෙල කියලා අඬ අඬ අරලිය ගහ යට ඉද්දි එක්කන් ආවේ”
උශාලිගේ කටහඬ ඇසී මෙන් කාර්‍යාල කාමරයෙන් එළියට ආ ලොකු මැඩම් ද ඉකි බිඳිමින් ද, ඇඳුම තෙමා ගැනීම නිසා ලැජ්ජාවෙන් ද උන් දුලන්‍යා දෙස බලා මද මුදු සිනහවක් නැංවුවේ “අනේ පව්” කියා ඇස්වලින් පවසමිනි.
දුලන්‍යා උන්නේ නෙත් බිමට නැඹුරු කරගෙන එක කකුලක් නවාගෙන බිම රේඛා අඳිමිනි.
“දුලන්‍යා සප්තමී කුලරත්න”
පොඩ්ඩිගේ ඇඳුමේ ගසා තිබූ නේම් ටැගයෙන් නම සොයාගෙන, එකී නමට අදාල ලිපි ගොනුව අලුත බඳවාගත් පොඩ්ඩන්ගේ ලිපි ගොනු සහිත කබඩයෙන් එළියට ගන්නා අතරතුර උශාලි පැවසුවේ තමාටමය.
පොඩ්ඩිගේ සිනා මුසු මුහුණ සහිත ජායාරූපයක් සහ නම සහිත ලිපිගොනුවේ පළමු ලේඛනයේ සඳහන් වන්නේ දරුවාගේ දෙමව්පියන් සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකයන් සහ ලිපිනයන් ය.
ෂෝබිතා වීරවිල (මව) යන නම ඉදිරියෙන් වූ දුරකතන අංකයට උශාලි තෙවරක්ම ගත්තේ සිතෙන් තමා කිව යුත්තේ මොනවාදැයි සිතමිනි.
එහෙත් ඇයව සම්බන්ධ කර ගත නොහැකිව දුරකතන ඇමතුම බිඳ වැටෙන සැම මොහොතකම “අම්මා දැන් කතා කරාවි” යැයි යන බලාපොරොත්තුව සහිතව දෑස් දල්වා හිඳින කඳුලු පිරි කුඩා දෑසක් ළඟ උශාලිගේ නෙත නතර වූයේ පිළිතුරු රහිතවය.
“මොනවහරි කරදරයක් වෙලාද මන්දා ඒ ලේඩිට” යන පැනය වචන වලට නොහරවමින් උශාලි අනතුරුව ඇයගේ පියාට ඇමතුම ගත්තේ කුතුහලයෙනි.
දෙවරක් පමණ නාද වූ පසු ඇමතුම එහාපසින් බිඳ දැමීමත් සමග සිතට ආවේ වේදනාවක්ද කෝපයක්ද යන්න උශාලිට සිතා ගන්නට නොහැකි විය.
“පුදුම මව් දෙමව්පියො නෙ අප්පා. දරුවව මෙහෙම තනියෙන් දාලා යනවද?” යන සිතුවිල්ල ඒත් වචන කරන්නට නොහැක.
ඒ මේ පොඩ්ඩියගේ මවත් පියාත් ය. අනෙක් අතට ඔවුන් හිඳින්නේ කුමනාකාරයේ මොහොතකදැයි මෙතැන හිඳ තමාට දැනගන්නට හැකියාවක්ද නොමැත.
තවමත් සිටගෙන තමා දෙස බලා හිඳින පොඩිත්තිය ලඟ දණින් නැඹූරු වූ උශාලි ඇයගේ බෙල්ල වටා රඳවා තිබුන වතුර බෝතලයත්, පිටේ එල්ලාගෙන උන් එල්සා බෑගයත් ගලවා මේසයක් මත තැබුවේ දුකෙන් හිඳින පොඩ්ඩිව පොඩි බරකින් හෝ නිදහස් කරනු සිතා ය.
“කෝල් එකට ආන්සර් කරේ නැද්ද උශාලි?”
ඒ පැනය ලොකු මැඩම්ගෙන් ය.
තවමත් ලිපි ගොනුවල රාජකාරි කරමින් උන් නිසාවෙන් යෑමේ හදිසියක් නොවුන මුත් මේ හඬා වැටෙන පොඩිත්තිය සැමගේම සිතට බරකි. දුකකි.
“නෑනෙ මැඩම්, මම කීප සැරයක්ම ට්‍රයි කරා”
“කෝකටත් ආයෙ ට්‍රයි කරල බලන්න, ඇඩ්‍රස් එක තිබුනට අපිට ගිහින් දාන්නවත් ගෙදර කවුරුහරි ඉන්නවද කියල දැනගන්න ඕන නේ” කියමින් මැඩම් ආයෙමත් කාර්‍යාල කාමරය තුලට වැදුණි.
“පුතේ උදේ කාත් එක්කද මොන්ටිසෝරි එකට ආවේ?”
උශාලි ඇසුවේ පිළිතුරක් දැනගන්නටත් වඩා කෙල්ලගේ ඇඬුමට ඉස්පාසුවක් දෙන්නටය. හූල්ලමින්, කඳුලු සූරමින් “අම්..අම්…අම්මා එක්ක” කියමින් කියන කෙල්ලගේ දෑසෙන් තවත් කඳුලු පේළියක් ගලායන්නේ රෝස පැහැ කම්මුල් තෙමාලමිනි.
“අඬන්න එපා ඉතින්, අම්මා දැන් එනවා ඇති” කියමින් සිත සනසන්නට උත්සාහ කරද උශාලිගේ හිතට පවා දැනෙන්නේ බයකි.
නැවත වතාවක් ඇයගේ මව සම්බන්ධ කරගන්නට උත්සාහ කරද දුරකතනයට කිසිවෙකු පිළිතුරු නොදේ. උශාලි ඇයගේ පියාගේ අංකය නැවත ඇමතුවේ “අනේ ප්ලීස් ආන්ස්වර් කරන්න” යමින් සිතෙන් අයදිමිනි.
ඒ කණ්ණලව්ව ඇසීදෝ “හෙලෝ” යන ගැඹුරු පිරිමි හඬ එකා අන්තයෙන් නැගුනේ මෙපස උන් උශාලිව මදකට ගොලු කරමිනි.
“එහෙනම් සර් එන්න” කියා ඇමතුම අවසන් කර පොඩ්ඩිගේ මූණ බැලූ උශාලි සිනා මල් වැස්සක් වස්සන්නට වූවාය.
“තාත්තා එනවලු ඔයාව එක්කන් යන්න” කියද්දී කඳුලු අතරින් සිනා සුනු පොඩ්ඩි මේසය මත වූ බෝතලය සහ බෑගය ගන්නට අත දිගු කරේ උශාලිගේ සිත “අනේ පව්” කියා කියද්දිය.
“තාත්තට එන්න වෙලා යනවා කියල මේ කෙල්ල දන්නෙ නෑනෙ” කියමින් මද මුදු සිනා නැගූ උශාලි පොඩ්ඩිව පුටුවෙන් ඔසවා බිම තැබුවේ ඇයව සනසවන්නට වදන් පෙළ ගස්වමිනි.
“තාත්තා එන්න තව පොඩ්ඩක් වෙලා යනවා. තාත්තා එද්දි මෙහෙම චූ බබෙක් වගේ ඉන්න බෑනෙ. අපි ඇඳුම් කාරු කරගමුද?” කියා අසද්දී පොඩ්ඩි කඳුලු වලින් පෙඟුණු මුහුණ සොලවා ඔව් කිව්වාය.
ලිට්ල් බර්ඩීස් පෙර පාසල වසරකට ළමුන් තිහකට වඩා භාරගන්නේ නැත. ඒ තිහද භාරගන්නේ පෙර පාසල් ගොඩනැගිල්ලේ ඇති සැම පහසුකම් සහ ඉඩ පහසුකම් පිළිබඳව සළකා බලාය. ජනවාරි මාසයේ ඇරඹෙන පෙර පාසල් වාරයට පෙර දරුවන් භාරගත් බවට ලියවුණු ලිපියක් සමග දරුවා පාසල් ගෙන එන දිනට පෙර රැගෙන විත් භාර දිය යුතු දේවල් පිළිබඳ ලැයිස්තුවක්ද දෙමව්පියන් වෙත යවන්නට පෙර පාසලේ කළමණාකාරීත්වය කටයුතු කරයි.
ඒ ලැයිස්තුවට පොත් පැන්සල් වලට අමතරව අවශ්‍ය විටක භාවිතය සඳහා වැඩිපුර ඇඳුමක් දෙකක්ද අයත් වේ.
ඉතින් දුලන්‍යාගේ ලිපි ලේඛන අඩංගු කබඩයෙන් අමතර ඇඳුමක් සොයා ගන්නට හැකි බව උශාලි අත්දැකීමෙන් දනී.
පොඩ්ඩන් වෙනුවෙන්ම සැකසූ රෝස, කහ, නිල් පැහැ පැස්ටල් වර්ණයන්ගෙන් හැඩවුණු නාන කාමරයේ සාරි පොට බඳ වටා ගැටගසා පොඩ්ඩියගේ ඇඟ වතුරෙන් සෝදා තෙත මාත්තු කල උශාලි ඇයට ඇඳුම් අන්දවා නැවත පෙර පාසල් කාමරය තුලට රැගෙන ගියාය.
තාත්තා තවම පරක්කු කිමදැයි බලා එන්නම් යැයි කියා උශාලි පොඩ්ඩිව දිස්නා ළඟින් තබා එළියට ගියේ උත්සවයට ගෙනවිත් ඉතුරු වී තිබුණ බටර් අයිසින් දැමූ කේක් කෑල්ලක් පේපර් ප්ලේට් එකක තබා ඇය වෙත ලං කරමිනි.
ඇවිදින විට සිමෙන්ති පොලොවේ වදින තමාගේ සපත්තුවේ ටක් ටක් හඬට සමානවම එළියේ වැටෙන මහ වැස්ස සිතට ගෙන එන්නේ බියකි. මක්නිසාද යත් මෙවන් තද සුළං හමන, හඬන ගොරවන අහසක් නංවන වැසි කුඩා අවදියේ හිඳම උශාලිගේ සිතට ගෙන ආවේ බියකි.
එදවස එසේ මහ වැසි ඇද හැලෙද්දී කොට්ටයෙන් මුහුණ සඟවා ගෙන ඇඳ මත ගුලි වී හුන් පොඩිත්තියක් තම සිත තුළ ගුලි වී හිඳින බව උශාලි පෙනේ.
වේගයෙන් අඩි තබා ටක් ටක් සද්දයෙන් ඇවිද ගිය ගමන නතර වූයේ පැමිණ හුන් රුව දැකීමෙනි.
ඒ මහ වැස්ස මැද්දේ තමා දකින්නට බලාපොරොත්තුවෙන් හිඳියේ පුංචි දුලන්‍යාගේ තාත්තා මිසක ඔහුව නොවන බව උශාලිට සහතිකය.
මෙතෙක් කලක් සිහිනයෙන් දකිමින් උන්, උස, කඩවසම්, ගැඹුරු නෙතක් ඇති ඔහු දැන් තමා ඉදිරියේ දුරකතනය අත තබා ගෙන බලා හිඳී.
එකිනෙකා දෙස බලාගෙන ගත කල තප්පර කිහිපයක පසු දෙදෙනාම වදන් ගැටගසා ගත්තේ එකවරය.
“මම දුලන්‍යාගෙ තාත්තා”
“මේ දුලන්‍යාගෙ තාත්තද?”
මුව මතට සිනහවක රේඛා ඇඳුනේ ඇයිදැයි දෙදෙනාම නොදන්නා වග සහතිකය.
“මේ පැත්තෙන් එන්න සර්”
තමාගේ වදන් පසුපස එල්ලී එන දුලන්‍යාගේ පියා ඒ එන අතරමග දෙපස බිත්තිවල වූ සුන්දර ජායාරූප, මනහර චිත්‍ර බලන්නට පවා වේලාව වෙන් නොකලේ එතරම්ම සිත කලබල වී තිබුණු නිසා විය හැක.
තාත්තලා ඉතින් ඔහොම බව අමුතුවෙන් කිව යුතු නොවේ. තමාගේ තාත්තා වුවද දුරු රට උන්නද සැමදා රැයේ අමතමින් පොඩි දරුවෙකුගෙන් මෙන් එදා දවසේ වූ දේවල් අසමින් ආදරය වපුරද්දී තමාගේ පෙර පාසල් යන දියණිය හඬන බව දැනගත් තාත්තෙකු කලබලයට පත් වීම ගැන අමුතුවෙන් අසන්නට කාරණාවක් නොමැත.
දුවරුන් යනු තාත්තලාගේ රාජ්‍යයේ රාජ කුමාරිකාවන් ය.
එතෙක් වේලා වේලුණු කම්මුල් ආයෙම කඳුලින් තෙත් කරගනිමින් දුලන්‍යා හඬාගෙනම තාත්තා වෙත දුව ආවේත්, තම අඩි හයක් පමණ උස් සිරුර දණහිසෙන් මදක් නවා නැඹුරු වී කෙල්ලව අනුප වඩාගත්තේත්, ඒ දෑස් උශාලිගේ ඇස්වල පැටලුණේත් එකම මොහොතේ වගේය.
ඒ වූ කලී තප්පර කිහිපයක අහඹුවක් වුව උශාලිට දැනුනේ තමා කාලාන්තරයක් තිස්සේ ඒ ඇස් වෙත නැඹුරු වී හුන් බවකි.
පංති කාමරයට එපිරින් වැටෙන මහ වැස්ස තරම්ම සිතුවිලි වැස්සක් කිසිත් හඬක් නොනගා හද තුළට වෑස්සෙන බව පමණක් උශාලිට මතක තිබිණි.