සැනසුම් පායේ බරාඳය යට ම නතර වූ රියෙන් ඔවුන් පිටතට ආවේ පුංචි පවුලක් ලෙසිනි. බිඟුනි ප්‍රීතිමත් සිලිබිලි පැටවෙකු සේ කිචි බිචි ගාමින් සිටියා ය. අද අම්මා පාසල ළඟට පැමිණීමත්, පාසලේ සිට අම්මම්මලා ගේ ගෙදර නොයා තාත්තම්මලා ගේ ගෙදර පැමිණීමත් කියන කාරණා ඇය සතුටට පත් කොට තිබිණ. යන්නේ සැනසුම් පායට වග මං සලකුණු වලින් ම දැන හැඳින ගත් වේලේ ඇය ආරාධනා ව ද කවීශ්වර ව ද සිප ගනිමින් සිය සතුට පළ කළා ය.
“පැටව් තෙමුනද…”
ගජධීර ප්‍රීතිමත් පියෙකු, සීය තාත්තා කෙනෙකු බවට ඇසිල්ලකින් පත් ව සිටියේ ය.
“නෑ තාත්තෙ. කවීශ්වර එයාව වඩාගෙන කුඩේ යටින් කා එකට අරං ආවෙ”
එය කියා ගෙන යත්දී, ආරාධනා ගේ සිත්හි එම සිදුවීම මැවෙමින් තිබිණ. පාසල ළඟදී රියෙන් බහින්නට හැදුවේ ඈ ය.
“නෑ නෑ ඔයා ඉන්න. මං ගේන්නං බිඟුව”
කියමින් කවීශ්වර ඒ වගකීම තමන් වෙත පවරා ගත්තේ පියෙකු සේ ය. පියා වී ද මෙහෙම වෙලාවක ඒ අපහසුතාවය ඇය මත පටවනු මිස කාශ්‍යප නම් වැස්සට අඩිය තියන්නේ නැති බව ආරාධනා ට සිහි විය. ඒ වගේ අවස්ථා ගණනාවක් ඇගේ සිත්හි ඇඳී මැකී ගියේ ය. ඔහු හැම විටම සිය සුව පහසුව ගැන සිතුවේ ය. දරුවන් ගේ කටයුතු කළ යුත්තේ අම්මලා මිස තාත්තලා නොවේ යි නො කියා හැඟවූයේ ය. දැනවූයේ ය. මොන තරම් වෙහෙස වී ද එය බිරිඳක ගේ හෝ මවක ගේ වගකීමක් කියා හඟවනු මිස කිසි සේත් ඇය නො ඇගයූවේ ය. බිඟුනි ගේ පොත් බෑගය සිය කරේ එල්ලා ගෙන, ඇය වඩා ගෙන, ලොකු කුඩය ඉහළා ගෙන සීරුවට රිය වෙත විත්, බිඟුනි නො තෙමා රියට ගොඩ කළ කවීශ්වර වෙනුවෙන් ආරාධනා ගේ හිත හෝස් ගා දැවී ගියේ ය. ඒ වෙලාවේ ඇය ඔහු දෙස බලන්නට ඇත්තේ කෘතඥතා පූර්වක දෑසකිනි. නමුත් කවීශ්වර ගේ නෙත් යුග මත වූයේ ආඩම්බරකාර පියෙකු ගේ බැල්මකි.
රාජිකා මැණිකේ දෙවියන් විසින් දුන් පඬුරක් සේ සඳයුරු ව උකුල මතට ගත්තා ය. ආරාධනා ගෙදරින් ගෙනා ලොකු මල්ල කවීශ්වර විසින් රියෙන් පිටතට ගනු ලබත්දී දෙමහල්ලන් ගේ සිත් වල යමක් තහවුරු වන්නට ඇත. නමුත් ඔවුහු මුවින් කිසිවක් ම නො බිනූහ.
“මේ වැස්සක් වහිනවනෙ උදේ හිටං”
ගජධීර අහස දෙස බලා කීවේ වැස්සෙන් ඔහු ට ලොකුවට අලාභ හානි සිදු වූවා සේ ය. නමුත් ඒ වැස්ස දිගට ම, දිගින් දිගට ම වහිනවා නම් හොඳය වාගේ හැඟීමක් ආරාධනා ගේ සිතේ ඇති වී නැති වී ගියේ ය. කවීශ්වර ගේ රියට නැඟුණු මොහොතේ සිට බිඟුනි ගේ පාසල නිමා වන තෙක් ද ඔවුන් සිටියේ ඒ වැස්ස මැද්දේ පාරවල් වල තැන් තැන් වල ය. එය හරියට මහ වැස්ස මැද පෙණ බුබුලක් තුළ හිටියා වන් හැඟීමකි. කවීශ්වර ගේ හිරු මඬල සදිසි ඇස් බැල්ම ආරාධනා ගේ හිම මිදුණු හිතට උණුහුම ගෙනත් දුන්නේ ය. මහත් ලෝභී හැඟීමකින් ඇය ඒ තත්පර අස්සේ තව තවත් හදවතින් ගුලි වූවා ය.
“අනේ ඉතිං මං දන්නෑනෙ එයි කියල. හරියට දෙයක් ඉව්වෙත් නෑ. අපි තුන් දෙනාට විතරක් කන්න උයන්නත් කම්මැළියි මට”
ආරාධනා පසුපස ගජධීර මැණිකේ මුළුතැන්ගෙට ආවේ හිතේ මදි කමකිනි. ආරාධනා මැටි කරමූඩි උස්සමින් වළං ඇතුළට එබුණා ය.
“මාළු ටිකක් කිරට උයල බෝංචි ඉව්ව. එච්චරයි. තාත්තත් කන්න කම්මැළි කර කර හිටියෙ ඉව්වෙ මොනාද අහල”
“කමන්නෑ අම්මෙ. තාත්තට ඕන්නං මං ටක්ගාල මොනා හරි හදල ගන්නං”
ශීතකරණය හැර ඊට එබුණ ආරාධනා මාළු මිරිස් කරල් කිහිපයක් ද තක්කාලි ගෙඩි දෙක තුනක් ද පිටතට ගත්තා ය. මාළු මිරිස් තෙල් දමා තක්කාලි සලාදයක් හදන්නට ඇයට ගත වූයේ විනාඩි කිහිපයකි. රජිකා මැණිකේ උයා තිබූ හොදි ද බත ත රත් කොට උණු උණුවේ ම කෑම මේසයට යැවිණ. සැනසුම් පායේ කෑම මේසය බත් මාළු තසින් වල පහස ලැබුවේ ආරාධනා ගියාට ම පස්සේ ය.
“ඔය තියෙන්නෙ පංකාදු පහට. මාළු මිරිස් බැදුම දැක්කහමත් කටට කෙළ ඉනුව”
ගජධීර මේසයට හිඳ ගත්තේ ම එසේ කියමිනි.
“ලේලිගෙ කෑම වගේ කොහෙද ඉතිං… අපි මොනා හැදුවත් තාත්තණ්ඩිට කටේ තියන්න බෑ”
“තාත්තට ඉතිං කටට සැරට මොනා හරි තියෙන්න ඕනනෙ..”
“ඉව්වට කවුරුත් කන්නෑ…හට්ටි පිටිං වෑංජන විසි කරනව. ඉතිං මං දැං උයන්නෙත් නෑ දුව”
මොහොතකට කෑම මේසය නිශ්ශබ්ද විය. ආරාධනා සඳයුරු වඩා ගෙන ම බිඟුනි ට කවන්නට සූදානම් වූවා ය.
“කෝ දෙන්න ළමයව මං තියා ගන්න”
කියමින් කවීශ්වර පුටුවෙහි හිඳ නොගෙන ආරාධනා ගෙන් සඳයුරු ගන්නට හැදුවේ ය.
“නෑ නෑ ඔයා කන්න කවීශ්වර. මට මෙහෙම කවන්න පුළුවන්”
නමුත් තවත් පෙරැත්ත නොකර ම කවීශ්වර සඳයුරු ව සියතට ගත්තේ ය. ආරාධනා බිඟුනි ට කෑම කවා නිම වන විට රාජිකා මැණිකේ ද මේසයෙන් නැගිට ගත්තේ “දැන් ඔය දෙන්න කන්නකො” යි කියමිනි. හිතෙහි විදුලි රේඛාවක් පැතිර යනු ආරාධනා ට දැනිණ. කවීශ්වර මේ මොහොත තුළ වඩාත් නිහඬ පුද්ගලයෙකු වී සිටියේ ය. ඔහු ආරාධනා ගේ හදට බරට දැනිණ. ඊට වඩා වෙනස් වූ බරක් ද හදවතෙහි වන බව දැනි දැනීත් ඕ ඒ නො දැනුණා සේ හිටියා ය. ඒ ගෙදර දී ඇය යටත් වැසියෙකි. මේ ගෙදර දී ගෙදරක මුළු ආධිපත්‍යය අතට ලැබෙනා ප්‍රීතිමත් හා නිදහස් ගැහැනියකි. මොන තත්වයක් යටතේ දී හෝ ආයේ සැනසුම් පාය හැර නො යන්නට ආරාධනා නිවී සැනසිල්ලේ තීරණය කළා ය.
“ශොප් එකට යන්නැද්ද..”
කෑම ගැනීමෙන් පස්සේත් සඳයුරු එක්ක හුරතල් වෙමින් සිටිනා කවීශ්වර ගෙන්, කාමරයේ දොරෙන් එබී ආරාධනා ප්‍රශ්න කළා ය. කවීශ්වර ගේ යහන මත රිසි සේ පෙරළෙමින් උන් බිඟුනි ඔහු ගේ ගෙල බදා ගත්තා ය.
“අනේ අද යන්න එපා බාප්පි. ප්ලීස්…ප්ලීස්…”
“හවස් වෙලා ගිහිං එනව”
සිව් නෙත් එකට ගැටිණ. මඳ පමාවකින් ආරාධනා බිම බලා ගත්තා ය.
“ගෙදරට කෝල් කළා ද…”
ආරාධනා නෑ කියන්නට හිස සැළුවා පමණකි.
“කියන්න මෙහෙ ඉන්නව කියල”
“මට බයයි. අයිය ආවොත් මෙහෙටත්”
“ආවදෙං ඉතිං”
කවීශ්වර ගේ නලදත් සිනහව මොහොතකට ආරාධනා වෙනම ම ලෝකයක අතරමං කරවනා ලදී.
“මං ඉන්නවනෙ”
ඒ හැඟීම, දිගු ශිශිර නිද්‍රාවක ගිලී උන් හදවතක ගිනි මැලයක් අවුලුවා ලන්නකි. ආරාධනා හෙමිහිට හුස්ම ගත්තා ය. සරුංගලයක් සේ ඉහළ අහසක පාවෙනවා බඳු හැඟීමකින් ඇය තමන් තුළ ම ගිලෙන්නට වූවා ය. ගැහැනු හදවතක වන සරුංගලයක් සේ නිදහසේ ඈත අවකාශයේ පා වීමේ සහජ ආශාව ගැන බොහොමයක් පිරිමින්ට වගක් නැත. නැතහොත් ඔවුන් ඒ වටහා ගන්නේ නැත. පිරිමින් සිතනුයේ ගැහැනුන්ට අවැසි නූල කැඩුණු සරුංගලයක් සේ අයාලේ යන්නට කියා ය. නමුත් නූල අතේ තියා ගන්නා විශ්වාසවන්ත පිරිමියෙකු සිටියදී රිසි සේ නිදහස් අහසේ කරනම් ගැසීම බොහෝ ගැහැනු හිත් වල පරම ආශාව වේ. ප්‍රේමය හා විශ්වාසය රැඳී තිබෙනා තැන එතැන ය. සිය ජීවිත සරුංගලයේ නූල අතට දෙන්නට තරම් හැම ගැහැනියකට ම අපේක්ෂා කරන විදිහේ විශ්වාසවත් පුරුෂයෙකු හමු වන්නේ කලාතුරකිනි. එක්කෝ ඒ පිරිමි නූල හකුලා සරුංගලයට අහස තහනම් කලාපයක් කරති. නැතහොත් සරුංගලයේ අරමුණු වටහා ගත නොහී නූල අත්හැර දමති.
යටි හිතේ බලාපොරොත්තුවක් වූවා සේ ම සේනාසිංහ මැදුරේ රියක් නාකපන වැස්ස අතරින් විත් සැනසුම් පාය මිදුලේ නතර විය. ඒ වෙලාවේ ගෙදර ඇත්තන් සිටියේ ආරාධනා හැදූ කෝපි බොමිනි. කවීශ්වර ගේ මිතුරෙකු ඉතාලියෙන් ගෙනැවිත් දුන් ඒ කෝපි වල සුවඳ ද රසය ද ඉස්තරම් වූයේ ය. ඊටත් වඩා ආරාධනා කෝපි හදන්නේ අමෘතය බඳුව ය. මේ වැස්ස, දුම් දමන කදිම කෝපි සුවඳ සමග තකට තක පෑහුණේ ය.
රිය දොර වේගයෙන් වසා දමා කුඩය යටින් චින්තන ගේ දෙසට එත්දී ආරාධනා ගේ හද ගැස්ම වේගවත් විය. ඇය කවීශ්වර දෙස බැලුවේ මහත් කර ගත් දෑසිනි. ඔහු සන්සුන් වන්නැයි ඇයට ඇස් වලින් කීවේ ය. මධුරි ද තාරා ද චමල් සේනාසිංහ ද රියෙන් බසිනු දුටු ගජධීර දෙමහල්ලන් උනුන් දෙස බලා ගත්තේ බරපතල යමක් සිදු වන්නට යන බව ඉවෙන් වාගේ දැනගෙන ය. උගුර පාදමින් හාන්සි පුටුවෙන් නැගිට ගත් ගජධීර බරාඳයේ පෙරට වූයේ ය.
“තමුසෙ එපා කියන දේම කළා නේද…”
ඒ ගිගිරුම චින්තන ගේ ය. ආරාධනා තිගැස්සී යන හැටි කවීශ්වර බලා ගෙන ය. චින්තන කියන්නේ පාසල් යෞවනයන් කාලේදීවත් කවීශ්වර ප්‍රිය කළ චරිතයක් නොවේ. වතාවක් ඔවුහු දෙදෙන එක ම කෙල්ලක නිසාවෙන් ගුටි ඇනගත් සිදුවීමක් පවා කවීශ්වර ට සිහි වී යළි යට ගියේ ය. මේ ඒ දවස් වාගේ කලබල විය යුතු මොහොතක් නොවන බව යටි හිත ඔහු ට මතක් කොට දුන්නේ ය.
“චින්තන ගෙදරට කෝල් කරල ස්කූල් වෑන් එකක මනුස්සයෙක් එනව කියන්න. එතකොටයි තාරා කියල තියෙන්නෙ ආරාධනා කවීශ්වර එක්ක එළියට ගියා කියල. ඒකයි අපි මේ දුවං ආවෙ. ඔයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ”
මධුරි ඉස්සර වී නිදහසට කාරණා කීවේ ගජධීර වැඩිහිටියන් ගේ හිත් රිදේවියි බියට ය. කෑ ගහන්න එපා කියා එන ගමන් ද ඇය කොතෙකුත් චින්තන ට කීවා ය. නමුත් ඔහු කියන දේ අහනා පුතෙකු නොවෙන බව ඇය දනී.
“ෆෝන් එකේ බැට්‍රි ඩෙඩ් වුණා”
ආරාධනා කොඳුළා ය.
“අපි එන්නෑ එහෙ යන්න. අපි මෙහෙ ඉන්නව”
බිඟුනි එසේ කීවේ සිය බලාපොරොත්තු සුන් ව යාවියි බියට හෝ ඇගේ පැතුම ඉටු වූ සතුටට විය හැක. නමුත් චින්තන කඩා පැන්නේ ය.
“ආ…ඒ කියන්නෙ මේක මේ මෙහෙ පදිංචි වෙන්න ආපු ගමනක්”
“අනේ මේ දරුවො මෙහෙ ආවටවත් හිටියටවත් හිතේ පොඩ්ඩක්වත් බයක් තියා ගන්න එපා නංගියෙ…ඉඳගන්නකො කට්ටියම”
රාජිකා මැණිකේ හැකි තාක් සාමාන්‍ය තත්වයෙන් කතා කරන්නට උත්සාහ කළේ අනවශ්‍ය වචන හුවමාරුවක් සිදු වේ යයි ඉවෙන් වාගේ දැනුණ නිසා ය. අනික කවීශ්වර නාහෙට නාහන පුද්ගලයෙකු බව ඇය නො දන්නවා නොවේ. දික්කසාදයක් සිදු වූවත් බිඳ ලන්නට බැරි නෑකම්, හිත් බිඳීම් නිසා නොනෑකම් වෙන්නට ඉඩ දෙන්නට බැරි බව ජීවත් වීමෙන් අත්දැකීම් ලද ඇය වහ වහා වටහා ගනිමින් සිටියා ය.
“අනේ මේ ඇන්ටි. බයක් නැතුව මෙහෙට ඇරලවල ගිහිං අන්තිමට වෙච්ච දේ මතක නෑ වගේ කතා කරන්න එපා”
“චින්…තන…”
තාරා චින්තන ට රැව්වා ය. කවීශ්වර වෙන සිදුවීමක දී නම් මේ තරම් ඉවසන්නේ නැත. නමුත් අත මිට මොලවා ගෙන තව දුරටත් ඉවසා ගත්තේ ආරාධනා බිය වී හිඳින බව ඉඳුරා දත් නිසා ය.
“අපේ දුවට වෙච්ච දේ ගැන පුතා වුණත් හිතේ අමාරුවෙන් ඉන්නෙ අක්කෙ”
“අනේ හිතේ අමාරු නැද්ද නංගියෙ සහෝදරයට. මේ අපිත් තාමත් හිතේ අමාරුවෙන් ඉන්න එකේ. මං තේ ටිකක් ලෑස්ති කරන්නං. කතා කරමුකො බිබී ම…”
රාජිකා මැණිකේ ගෙතුළට හැරෙත්දී චමල් සේනාසිංහ හා ගජධීර නොකඩවා වහින වැස්ස මාතෘකා කර ගෙන කතාවට බැස ගත්හ. චින්තන හිටියේ නො සන්සුන් ව ය.
“තේ බිබී ඉන්න ඕන නෑ. යනව ගිහිං නගිනව වාහනේට. අංකල් මං මේ අංකල්ලටත් කියන්නෙ…මෙයාව හිතුන හිතුන වෙලාවට මෙහෙ ගෙන්න ගන්න එපා. ඒක හරි නෑනෙ”
“අයිය”
මෙතෙක් නිහඬ ව උන් ආරාධනා මුණිවත බින්දේ ඒ වෙලාවේ ය. ඇගේ ඇස් වල නො රිස්සුම හා බැඳුණ කෝපයක් විය.
“තාත්තලට එහෙම කියන්න එපා. මං ආවෙ ඒගොල්ලො එන්න කියල නෙවේනෙ. මගෙ කැමැත්තට. ඇයි අනේ මං පොඩි ළමයෙක්ද…මේ දරුවො දෙන්නගෙ සීයයි ආච්චියි මෙහෙ ඉන්නෙ. බිඟූ මෙහෙ එන්න ඕන කියල සාංකාවෙන් නිදා ගන්නෙ පවා. මට මං ගැනයි ළමයි ගැනයි හිතල තීරණ ගන්න පුළුවන් අයිය. මට ජොබ් එකක් තියන නිසා මගෙයි ළමයි දෙන්නගෙයි ජීවිත ගැන බලාගන්නත් පුළුවන්…මං තීරණේ කළා මෙහෙ ඉන්න”
ආරාධනා ගෙන් ඒ තරම් ස්ථිරසාර වූ ප්‍රකාශයක් නිකුත් වෙතැයි කිසිවෙකු බලාපොරොත්තු වූයේ නැත. සිය අභිමානයට නැගණිය විසින් කැළලක් එක් කළැයි ක්ෂණික කෝපයකින් උතුරා ගිය චින්තන ඇයට පහර එල්ල කිරීමේ අභිප්‍රායෙන් ඇය වෙත පැන්නේ ය.
“මගෙ යකා අවුස්සන්නැතුව නැගපං ගිහිං වාහනේට”
එසවුණ චින්තන ගේ අත ආරාධනා ගේ කම්මුල පත පතිත වන්නට පෙර තදින් අල්වා ගන්නට කවීශ්වර සමත් වූයේ ය. චින්තන කවීශ්වර දෙස බැලුවේ ගිනි පිට වෙන දෑසිනි. අසුන් ගත ව උන් හැම කෙනෙකු ම අසුන් වලින් නැගී ඔවුන් වෙතට විගස සමීප වූහ. සිදු වූ දේ ගැන අතිමහත් වූ පසුතැවීමක් ආරාධනා ට දැනිණ.