සිහින අසපුව – 18 කොටස

මුහුදු මාවත වෙනදා මෙන්ම පාලු යයි සිය අලුත්ම මෝටර් රථයෙන් සුහර්ෂාගේ නිවසට යමින් සිටින හසිත්ට සිතිණ. සුපුරුදු පරිදි තම නිවසෙන් උදෑසන ආහාර ද රැගෙන චෙක්පත් කිහිපයක් මුදල් කරගෙන පැමිණෙන ලෙස සුහර්ෂාගෙන් ලද නියෝගය ඔහුට දැනුනේ ආශීර්වාදයක් ලෙසිනි. හසිත් සුහර්ෂාගේ නිවසට යාමට පිටත් වූයේ සතුටිනි. පසුගිය දිනයේද ආරාධ්‍යාට දුරකතන ඇමතුමක් ලබා දුන්නද ඇය ඇමතුම හා සම්බන්ධ නොවුයේ තමා කෙරෙහි ඇති කරගත් අමනාප සිතකින් වන්නට ඇතැයි හසිත්ට සිතුණේ වරක් දෙවරක් නොවේ. තමා විසින් යවන ලද කෙටි පණිවුඩ වලට හෝ ඇය පිළිතුරු එවා තිබුණේද නැත. ඇගේ නිහඬතාවය තම සිත කෙතරම් කැළඹීමට පත් කර ඇත්දැයි කිවහොත් පසුගිය රාත්‍රියෝ බොහෝ වේලාවක් ගත වන තුරු ඔහුගේ දෙනෙත් වලට නින්ද දුරස් විය.

ආරාධ්‍යා බොහෝ උදෑසනයන්හිදී මුහුදු වෙරළට ගොස් හෝරාවක් දෙකක් මුහුද දෙස බලා සිටිමින් කාලය ගත කරන බව හසිත් දැන සිටියේය.

“මුහුදට මං ආදරෙයි. මුහුද දිහා බලාගෙන ඉඳිද්දි සිතිවිලි ගලාගෙන එන හැටි හරි පුදුමයි. මගේ පළවෙනි නවකතාව මං ගොඩ නැගුවෙම මුහුදු වෙරළෙ ඉඳගෙන….”

ඇය දිනක් පැවවාය.

“එතකොට මිස් මුහුදට කෘතගුණ සළකන්නෙ කොහොමද?”

තමා ඇසු අයුරුත්, ආරාධ්‍යා විස්මයෙන් බලා සිටි අයුරුත් හසිත්ට සිහිපත් විය.

“කෘතගුණ සළකන්න ඕනමද?”

ඇය ඇසුවේ අවිශ්වාසයෙනි.

“නැතිව?”

සිනාව තද කරගෙන තමා පැවසු අයුරු සිහිවත්ම හසිත්ගේ මුවග සිනාවක් නැගිණ.

“හොඳයි. කියන්න කොහොමද ඔයා කියන විදියට මම මුහුදට කෘතගුණ සළකන්න ඕන?”

“මං කියන දේ මිස් කරනවනම් කියන්නම්.”

“කියන්න. මම කරන්නම්.”

හසිත් දෑස් කුඩා කරගෙන ආරාධ්‍යා දෙස බලා සිටියේය. දැරියකගේ බඳු සුන්දර නිල් පැහැති දෙනෙත් ඔහු මුව මඳකට ගොලු බවට පත් කරන්නට සමත් විය.

“ඒ ගමන මූණ බලාගෙන ඉන්නවා. කියන්න ඉතින්.”

“කියන්නම්.”

රංජනී දොරකඩින් එබී නැවතත් මුලුතැන්ගෙය දෙසට යන අයුරු හසිත් දුටුවේය. ආරාධ්‍යා නොඉවසිලිමත් දෙනෙතින් තමා දෙස බලා සිටින අයුරු හසිත් දුටුවේය.

“කෘතගුණ සළකන්න නම් පොත ලියලා ඉවර වෙලා ඒක මුහුදට විසි කරන්න.”

“පිස්සා…”

කෑම මේසයේ තමා ඉදිරිපිට හිඳගෙන සිටි ආරාධ්‍යා නැගිට පැමිණ හසිත්ගේ කණ මිරිකා අල්ලා ගත්තාය.

“ඌයි… අනේ අත අරින්න මිස්. රිදෙනවා.”

තමා කෑගැසූ අයුරුත් ඇය ව්‍යාජ කෝපයකින් යුතුව උඩු මහලට දිවගිය අයුරුත් සිහිවත්ම හසිත්ගේ මුවග සිනාවක් නැගිණ.

සිතිවිල්ලේම ඔහු සුහර්ෂා ඉද්දමල්ගොඩ නිවස අසළටම පැමිණ සිටියේය. සුපුරුදු පරිදි ගේට්ටුව හැර දමන්නට ඇත්තේ රංජනී විය යුතුය. සුහර්ෂාගේ නිවස ඉදිරිපිට හසිත් සිය මෝටර් රථය නතර කළේය. නිවාඩුවට නිවසට ගොස් පැමිණෙද්දී මැටි භාණ්ඩ විකුණන වෙළඳ සලකින් ආරාධ්‍යා වෙනුවෙන් මිළ දී ගත් ත්‍යාගය ඉදිරි අසුනෙහි විය. රතු පැහැති දිළිසෙන හදවත් මුද්‍රණය කරන ලද දවටනයෙන් ආවරණය කරන ලද පෙට්ටිය තුළ වූ ‘මැටි ලේනා’ හසිත්ට මැවී පෙනිණ. රතු පැහැති හදවතක් තුළ Love යන අකුරු පෙළ සහිත වූ මැටි ලේනාට ආරාධ්‍යා බොහෝ ප්‍රිය කරනු ඇතැයි ඔහුට සිතිණ.

ත්‍යාගය ද  රැගෙන මෝටර් රථයෙන් බසින්නට සැරසුණද, හසිත් එම අදහස අත් හැරියේ තමා ත්‍යාග වශයෙන් ලද මෝටර් රථය අසළටම කැඳවාගෙන පැමිණ එය ඇයට තිලිණ කිරීමේ උවමනාව ඇතිවය. ඔහු මෝටර් රථයෙන් බැස ගත්තේය. වෙනදා තමා පැමිණෙන තුරු බලා සිටින ආරාධ්‍යා දක්නට නොවුවාය.

“බොරු තරහක් අරන් හැංගිලා ඇති. තව ටිකකින් හසිත් කියාගෙන පුංචි එකෙක් වගේ සුවගෙන ඒවි.”

ඔහු කල්පනා කළේය.

“සර් මොකද පරක්කු කියලා බැලුවා.”

ගෙතුළ සිට පැමිණි රංජනී පුලුල් සිනාවක් පෑවාය.

“මොනවද සර් අපට අවුරුද්දට ගෙනාවෙ? කොණ්ඩ කැවුම් ද? කලු දොදොල් ද?”

හසිත් කෑම කාමරය දෙසට කැඳවාගෙන යන රංජනී ඇසුවාය.

“මොනවත් ගෙනාවෙ නෑ. අපට කවදාවත් අවුරුදු තිබිලා නෑ රංජනී.”

හසිත් මේසයට හි, ගත්තේය. රංජනී ඔහු ඉදිරියෙහි පිඟානක් තැබුවාය.

“අනේ ඇයි සර් ඒ?+

රංජනී ඇසුවද හසිත් පිළිතුරක් නොදුන්නේය. ඔහුගේ දෙනෙත් ආරාධ්‍යා සොයමින් නිවසේ ඒ මේ අත දිව යන අයුරු බලා සිටින රංජනීගේ මුවග සිනාවක් නැගිණ.

“පව්. අපේ බේබිට ගොඩක් ආදරේ පාටයි.”

ඇය සිතුවාය. හසිත් වෙනුවෙන් විශේෂයෙන් පිළියෙල කරන ලද රතු හාල්පිටි ඉඳිආප්පත්, තෝර මාලු කිරි හොද්දත් රංජනී ඔහුගේ පිඟානට බෙදුවාය.

“ලුණු මිරිස් කන්න එපා සර්. ගැස්ට්‍රයිටිස් වලට හොඳ නෑ කියලා මැඩම් කිව්වා ලුණු මිරිස් කන්න එපා කියන්න කියලා.”

කෝ රංජනී ආරාධ්‍යා බේබි?”

හසිත් ඇසුවේ තමා අසළට පැමිණි ‘බ්ලැක් ෂූස්’ ට මාලු කැබැල්ලක් කඩා දමමිනි.

“බේබිට හිසරදේ කියලා උදේ ඉඳලම කාමරේට වෙලා නිදි සර්.”

රංජනී පැවසුවාය. හසිත් පැමිණි විට එසේ පවසන ලෙස ආරාධ්‍යා රංජනීට උපදෙස් දී ඇති බව හසිත් නොදැන සිටියේය.

“හිසරදේ? ඇයි දන්නෙ නෑ. ඩොක්ට ගාවට ගියේ නැද්ද?”

“අපේ බේබි බෙහෙත් ගන්න ජාතියෙ කෙනෙක් නෙමෙයි. පැයක් දෙකක් නිදාගත්තම හරි යාවි කියලා කාමරේට වෙලා දොර වහගත්තා.”

“එහෙමද?”

හසිත්ගේ මුහුණ මැලවෙන අයුරු බලා සිටි රංජනී යටි සිතින් සිනාසුනාය.

“ආදරේ හැටි.”

ඇයට සිතිණ.

“බේබිත් එහෙම තමයි. හසිත් සර්ට පණ ඇරගෙන. කතාබහට ගිහින් මැඩම්ට ආරංචි වුනොත් අස් කරාවි කියලා බයටයි ඔය මග ඇරලා ඉන්නෙ.”

ඇය සිතුවාය.

“තව ඉඳිආප්ප දාගෙන කන්න සර්. රතු කැකුලු බතුත් තියෙනවා.”

“හොදටම ඇති.”

හසිත් වතුර වීදුරුව ගෙන පානය කරන්නට වූයේ සෙමෙන් පානය කරන්නට වූයේ කල්පනාවෙන් යුතුවය.

“මම ඉක්මනට සර්ගෙ තේ එක අරගෙන එන්නම්. ”

රංජනී මුලුතැන්ගෙය දෙසට ගියාය.

“මම ආවා.”

හසිත් කෙටි පණිවුඩයක් ටයිප් කර ආරාධ්‍යාට යැවූ නමුදු එයට පිළිතුරක් නොලැබිණ.

“තරහද?”

ඔහු දෙවන කෙටි පණිවුඩය ද යැව්වේය.

“හසිත්…”

සුහර්ෂා මැඩම්ගේ හඬින් හසිත් තිගැස්සිණ. ඔහු නැගිටින්නට සැරසුණද, හිඳගෙන සිටින ලෙස සුහර්ෂා අතින් සන් කළාය.

“ඕනම කරන ඩොකියුමන්ට් එකක් අරන් යන්න අමතක වුනා.”

සුහර්ෂා පැවසුවාය.

“කාලා ඉවරද හසිත්?”

“ඉවරයි මැඩම්.”

“අපේ ළමයි මේවා ගැන දන්නෙ නෑ. නැත්නම් හසිත්ට කියලා ගෙන්නගන්න තිබුනා.”

වතුර වීදුරුවක් පුරවාගෙන එය එක හුස්මට පානය කළ සුහර්ෂා පැවසුවාය.

“ඒකතමයි.”

සිත දුරක තබා ගත් හසිත් පැවසුවේය.

“මම ගිහින් අරන් එන්නම්.”

සුහර්ෂා පියගැට පෙළ නගින අයුරු හසිත් බලා සිටියේය. රංජනී තේ කෝප්පය ඔහුට පිළිගැන්වූවාය.

“මැඩම් ආවා නේද සර්?”

රංජනී ඇසුවාය.

“මොකෝ දන්නෙ නෑ මේ අවේලාවෙ?”

“ඩොකියුමන්ට් එකක් අමතක වුනාලු.”

“අමතක වෙච්ච දෙයක් නෑ. ඔය ආවෙ හොර අල්ලන්න.”

රංජනීට සිතිණ.

සුහර්ෂා මැඩම්, හසිත් සහ ආරාධ්‍යා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට සැක උපදවාගෙන ඇතැයි රංජනී සිතුවාය.

“එහෙම වුනත් මොකද? හසිත් සර් වගේ කෙනෙක් නරකද? හොඳ කොල්ලෙක්.”

ඇය හසිත් පිළිබඳව සිතුවේ දයා සිතින් යුතුවය.

                                                *

ආරාධ්‍යා හසිත් විසින් එවන ලද කෙටි ප–වුඩය දෙස බලා සිටියේ වේදනාවෙනි. වෙනදා මෙවන් කෙටි පණිවුඩයක් එවූ සැනින් පිළිතුරු යැවුවද, අද තමා එය මග හැර සිටින්නේ ඔහුගේම යහපත වෙනුවෙන් නොවේදැයි ඇය කල්පනා කළාය. කාමරයේ දොර වසාගෙන ලියමින් සිටි නවකතාවේ අකුරකුදු ලියා ගත නොහැකි තරමේ ව්‍යකූලතාවයක් ඇයට දැනිණ. ආරාධ්‍යා හිස් කඩදාසි මත පෑනෙන් බලි රූප අඳින්නට වූයේද ව්‍යකූලතාවයෙන් යුතුවය.

“ආරාධ්‍යා…”

ආරාධ්‍යාගේ කාමරයේ දොර විවෘත විය. අම්මා… කිසි දිනෙක නොමැති අයුරින් උදෑසන පිටව ගිය ඇය ආපසු පැමිණ ඇත්තේ මන්දැයි ආරාධ්‍යාට සිතිණ.

“ඩොකියුමන්ට් එකක් අමතක වුනා. ඒක ගෙනියන්න ආවෙ. මොකද කරන්නෙ?”

“නවල් එක ලියන්න ගත්තා. හිසරදේ වගේ.”

“එක දිගට වැඩ කරන්න හොඳ නෑ. දැන් ඕක නවත්තලා ටිකක් නිදාගන්න. කෝ විහාරා?”

“නංගි උදෙන්ම ගියා.”

“කොහෙද?”

“දන්නෙ නෑ.”

මව යටි තොල සපා ගන්නා අයුරු ආරාධ්‍යා දුටුවේ කැඩපත තුළිනි.

“ඔහෙ ගියපුදෙන්. හති වැටුන දවසක නතර වේවි. මම යනවා.”

ආරාධ්‍යාගේ කණ්ණාඩි මේසය ඉදිරියට ගොස් හැඳ සිටි සාරිය සකස් කර ගත් මව කාමරයෙන් පිටව යන දෙස ආරාධ්‍යා බලා සිටියාය.

“හොර අල්ලන්න ඇවිත්.”

ඇයට සිතිණ.   

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles