මසක් දෙකක් යද්දී පොඩ්ඩන් ගුරුවරුන්ටත් ගුරුවරුන් පොඩ්ඩන්ටත් හුරු වීම සිදුවේ. ඇතැම් දවස් වල හඬමින්, හොටු පෙරාගෙන ගේට්ටුව ඉස්සරහ එල්ලි හඬා වැටුණු පොඩ්ඩන් මේ පුරුදු වීමත් සමග අම්මලාගේ අතෙන් මිදි පෙරපාසල වෙත දුව යන්නේ අම්මලාට සමු දෙන්නේවත් නැතුවය.
“දැන් ඉතින් එයාලට අපිව මතකවත් නෑනෙ ටීචර්” කියමින් සිනහවකින් සැරසූ පිළිතුරක් දෙන්නේ තරුණ මවකි.
අම්මා කෙනෙකු වීම මොනතරම් නම් අපූරු දෙයක්ද යන්න සමග උශාලිගේ සිතට එන තවත් පැනයක් තිබේ. ඒ මේ මාස දෙකකට ආසන්න කාලය තුල දුලන්‍යාගේ අම්මාව දකින්නට නොලැබීය. අතරින් පතර කෙල්ල කියන වචන වලින් නම් ඇයගේ අම්මා නිවසේ හිඳින බව දන්නා මුත් පොඩ්ඩිව එක්කගෙන යෑමට ඇය නොඑන්නේ ඇයිදැයි උශාලිට සිතාගත නොහැක.
අනෙක් අතට සිත දකින්න බලාපොරොත්තු වන්නේ දුලන්‍යාගේ අම්මාව නොවේ
ඇගේ පියාගේ බිරිඳයි. සිහිනයෙන් දකින ඒ ඒකපාර්ශ්වික ආදරයේ හිමිකරුවා ගේ සිත නතර වී ඇත්තේ කෙබඳු රුවක් ළඟ ද යන්න දැනගැනීමට තම ගැහැණු සිත මෙතරම් වළිකෑම ගැන උශාලිට දැනෙන්නේ හිරිකිතය මුසු වූ කුතුහලයකි.
හිරිකිතය නම් විවාහක මිනිසෙකු සමග සිතෙන් ඒකපාර්ශ්වික ආදරයක බැඳී හිඳීමය. කුතුහලය නම් ඒ මිනිසා සදාකාලිකව නතර වී හිඳින්නිය කවුදැයි දැනගැනීමය.
උශාලි දන්නා පරිදි පසුගිය මාස දෙහෙක කාලය තුල දුලන්‍යා පෙර පාසලට ආවේ වෑන් රියකිනි. ඒ වෑන් රිය මේ පෙර පාසලට දරුවන් රැගෙන එන්න නොවුවද පෙර පාසල පසුකරමින් නුගේගොඩ නගරයේ පාසල් කිහිපයකට දරුවන් රැගෙන යන නිසාවෙන් දුලන්‍යාව පෙර පාසලින් ගෙන එන රාජකාරිය භාරගෙන ඇති සෙයකි.
දුලන්‍යාගේ පෞද්ගලික විස්තර ඇතුළත් කරගෙන ඇති දත්ත ගොනුව පිරික්සා බැලූ මොහොතක ඇයව පෙර පාසලට ඇතුළත් කර තිබෙන්නේ වසරක් වැඩියෙනි. ඉතින් ඇයට මෙහි දෙවසරක් පමන රැඳෙන්නට සිදු වේ.
බාගදා මවත් පියාත් දෙදෙනාම රැකියා නිසා කාර්‍යබහුල බැවින් ඇයව වසරක් කළින් මෙහි එවන්නට ඇත.
“මොකෝ බර කල්පනාවක”
ෆයිල් තොගයක් එක් අතකින් දරාගෙන දිස්නා විවේක කාමරයට එද්දී උශාලි උන්නේ දහවල් බත් පත දිග ඇරගෙන එය අතගාමිනි.
“මුකුත් නෑ,කන්න එන් නැද්ද?”
තම අත් බෑගයෙන් පිටතට ගත් කෑම පාර්සලය රැගෙන දිස්නා අවුදින් හිඳගත්තේ උශාලිට ඉදිරිපස අසුනෙනි.
බත් පාර්සලය ඔතා ඇති පත්තර කොලය දිග හරිමින් දිස්නා කට හදන්නේ යමක් කියන්නට බව උශාලි ඉතින් අත්දැකීමෙන් දනී.
“ඇයි අමුතුවට හිනාවෙන්නේ?”
කැරට් කරිය සමග බත් කටක් අනමින් උශාලි එසේ ඇසුවේ දිස්නාගේ අමුතු හිනාවෙන් උද්දාමයට පත් වීය.
“මම මේ කියන්න ගියේ මුකුත් නෑ කිව්වට මොකක් හරිම තියෙනව වගේ කියල”
“පිස්සු මෙයාට”
“පිස්සු නෙවෙයි ලොකුම ලොකු කල්පනාවල් ඉන්නෙ බැලුවොත් ඇත්තන්.මොකෝ අපිට කියන්න බැරි දෙයක්ද?”
දිස්නා සිනාවෙමින් වුවත් අසන ප්‍රශ්නවලට දෙන්නට පිළිතුරක් නැති තැන උශාලි කට ඔහෙක් මෙහෙක් කර දිස්නාගේ බත් පතට කරවල බැදුමෙන් ටික දැම්මේ ඇය හා සිනාසෙමිනි.
ඔය කියන අන්දමට තමා කල්පනා ලෝකයක හිඳින්නී නම් පැය කිහිපයකට හමුවන දිස්නාට දැනුණ වෙනස අම්මාටත් දැනිය යුතු නොවේද?
දිස්නාගේ ප්‍රශ්නයෙන් මිදී යන්නට හැකි වුවත් මේ ප්‍රශ්නයම අම්මා ඇසූ දිනක මිදී යන්නට නොහැකිය.
අනෙක් අතට තමා කල්පනා ලොවක හිඳ සිතන්නේ කවුරුන් ගැනද යන්න අම්මා සමග වුව්ද බෙදා ගැනීමේ හැකියාවක් නොමැති තරම් අමුතුය. දුවෙකුට අම්මාට කිව නොහැකි දෙයක් නැතැයි කීවද මේ එබඳු දෙයක් නොවේ.
එමෙන්ම ඒකඒකපාර්ශ්වික ආදරයක් යනු කිසිවෙකුට නොකියා, සඟවා සිත ඇතුළතින් රස බැලිය හැකි සිතුවිල්ලක් මිස සියල්ලන් සමග බෙදාගන්නට හැකි දෙයක් නොවේ.
උදෑසන අටහමාරට පමණ ඇරඹුණ පසු දහවල් දොහලමාර එක වනතුරුම අතරමැද විවේකයන්ද සමග පොඩ්ඩන්ට ඉගැන්වීමේ කටයුතු වල නිරත වෙද්දී නම් සිතට කොහෙවත් ඉගිලී යන්නට ඉඩ නොදී එකම තැනක තබාගන්නට හැකිවීම අපූරුය.
එක එක සුවඳ දෙන මල් වැනි පොඩ්ඩන්ගේ දඟකාරකම් හුරතල් වදන් මැද්දේ සිනා සාගරයක ගිලී යන පෙර පාසල් කාමර මිහිපිට සුරංගනා ලෝකයන් බඳුය.
ලිට්ල් බර්ඩීස් පෙර පාසලට සීමිත සංඛ්‍යාවකින් දරුවන් බඳවාගන්නේද මේ ඉගැන්වීමේ කටයුතු නිසි පරිදි දරුවන්ට බරක් නොවන ලෙස කියා දෙනු පිණිසයි. දරුවකුගේ පළමු සැබෑ සමාජ අත්දැකීම වන්නේ පෙර පාසලකි. එතෙක් දිනක් තම නෑ හිතවතුන් මව් දෙමව්පියන් ඇසුරේ ඉතා සුන්දර ජීවිතයක් ගෙවූ පොඩ්ඩන් පළමු වරට සමාජයට අඩියක් තබන පෙර පාසල ඔවුන්ගේ මල් පෙත්තක් බඳු සිනිදු සුමුදු සිතට බරක් නොවනු පිණිස පවත්වාගෙන යන්නට ලිට්ල් බර්ඩීස් කාර්‍ය මණ්ඩලය නිරතුරුවම උත්සහ ගනී.
ඉගැන්වීම් කටයුතු වලට අමතරව කුඩාකෙලි සෙල්ලම්, පුංචි උත්සව ආදිය සමගින් ගෙවී යන වසරක පමණ කාලය තුල පොඩ්ඩන් එකිනෙකා හඳුනාගනිමින් ජීවිතයේ එක් අදියරක් ඉදිරියට යයි.
ඉතාමත් ධනවත් පවුල්වලින් මෙන්ම සාමාන්‍ය මධ්‍යම පාංතික පවුල්වලින්ද ආ දරුවන් මෙහි කාලය ගෙවන්නේ එකා මෙනි. තම මව්පියවරුන් ගේ වත්කම් හිතවත්කම් ගැන වගක් නැති ඔවුන් ළමා මනසේ ඇති සුන්දර සිතුවිලි මුල් කරගෙන එකිනෙකා හා මිතුරු දම් වලින් බැඳේ.
මේ මාර්තු මාසයේ මුල් සතියයි.
අප්‍රේල් මාසයේ අවුරුදු උත්සවය පැවත්වීමටද අවශ්‍ය බව මුල් ගුරුතුමිය දැනුම් දුන්නේ ඊයේය. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමද සිදු කල යුතු බැවින් මාර්තු මාසයේ දෙවන සතියේ පමණ ගුරුවරුන් සහ දෙමව්පියන් එක්වී හමුවක් සූදානම් කළ යුතු බව ද ඒ සමගම එතුමිය දැනුම් දුන්නාය.
දුලන්‍යාගේ තාත්තා සමග ඇයගේ අම්මාත් එයට එනු ඇතැයි යන සිතුවිල්ල උශාලිට ගෙනෙන්නේ කුතුහලයකි. එක් අතකින් ඇයව දැකීමටඇති අවශ්‍යතාවයයි.අනෙක් අතට සිතෙන් ඇයගේ සැමියාට පෙම් කරන බැවින් ඇයට මුහුණ දීමට ඇති අපහසුතාවයයි.
දුලන්‍යා අනෙක් දරුවන්ට වඩා බොහෝ වෙනස් බවද මෙ ගෙවීගිය මාස කිහිපයක කාලය තුල උඋශාලිට තේරුම් ගිය දෙයකි. විවිධාකාර දරුවන් සිටින බැවින් එය වරදක් හෝ අඩුපාඩුවක් යැයි කියන්නට නොහැකි මුත් දුලන්‍යා උන්නේ බොහෝ නිහඬ පිළිවෙතක් අනුගමනය කරමිනි. සතුටු හිතෙන යමකදී මද සිනාවක් මුවඟට ගෙන ආවද දුකක් දැනෙන තැනකදී ඇය උන්නේ ඉතාම නිහඬව සංවේදනාවන් නොදැනෙන පරිද්දෙනි.
උශාලිට එය හොඳින්ම තේරුම් ගියේ ඊයේ දිනයේ වූ සිදුවීමකිනි.
ලිට්ල් බර්ඩීස් පෙර පාසලේ දඟකාරම පොඩ්ඩා වන ලිතින හිඳින්නේ උශාලිගේ පංතියේය.
ඔංචිල්ලා හයියෙන් පදින, සීසෝවේ උඩට බඩගාගෙන යන්න තනන ලිතින මෙච්චල් කරගැනීම අපහසුවකි. එහෙත් ඉතින් පොඩ්ඩන්ගේ දඟකාරකම් උශාලි ඇතුලුඅනෙක් ගුරුවරුන් ඉවසන්නේ ආදරයෙනි.
ඊයේ සීසෝව පදිමින් හුන් ලිතින් වැටී දණහිස් තුවාලකරගෙන හඬමින් උන්නේය. ඒ පෙර පාසල අවසන්ව දරුවන් ගෙන යන්නට මව් පියන් එනතුරු දරුවන් බලා හිඳින මොහොතක ක්‍රීඩා කරන්නට ගොසිනි.
මහ හයියෙන් හඬමින් උන් ලිතිනගේ තුවාල පිරිසිඳු කර බෙහෙත් දමන්නට උශාලිත්, දිස්නාත්, කසුනිත් වෙහෙසෙද්දී ලිතිනගේ කඳුලු පිසදාලන්නට කුඩාවුන් රැසක් එහිවිය.
ඕපන් ලයිබ්‍රරි එක අසල කුඩා පුටුවක වාඩිවී ලේඩි බර්ඩ් කතාන්දර පොතක් අතේ තබාගෙන මෙදෙස බලමින් හුන් දුලන්‍යා එහි ආවේ තමාගේ කුතුහලය පිරි විමසුම් දෑස් ඔස්සේ පාර කපාගෙන බව උශාලිට රහසක් නොවේ.
එහෙත් එහි ආවද දුලන්‍යා නිහඬව ලිතින දෙස බලා උන්නා වුව ඔහුගේ කඳුලු පිසින්නට හෝ සිත සනසන්නට හෝ ආවේ නැත.
“අනේ අඬන්න එපා මම ඔයාට චොකලට් එකක් දෙන්නම්” යැයි වැරදී වැරදී කියන පොඩ්ඩන් මැද දුලන්‍යා බොහෝ නිහඬව ලිතින දෙස බලා හිඳීම උශාලිට ගැටලුවක් වූ නමුත් එයට පිළිතුරක් සොයා ගැනීමට එය අවස්තාව නොවූ නිසාවෙන් නිහඬව උන්නාය.
පෙර පාසලෙන් දුලන්‍යව ගෙන යන්නට හරියටම වෙලාවට වාහනය එන බව දන්නා මුත් ගේට්ටුව අසල අරලිය ගහ යට දුලන්‍යා බලා හිඳින වග උශාලි දකිනා විට වාහනය වෙනදා එන වෙලාවට වඩා බොහෝ ප්‍රමාද වීය.
පෙර පාසලේ සියලුම ළමුන් පාහේ නික්ම ගොසින්සිටි මොහොතක දුලන්‍යා තනිකර දමා ඉතින් යන්නට හැකිද?
“අද වෑන් එක ඇවිත් නැද්ද?”
උශාලි හිකින් සැරේ ඇයට ළංවෙමින් එසේ ඇසුවාය.
බිම වැටුණ අරලිය මලක් සපත්තුවෙන් තලා දමමින් හුන් කෙල්ල හිස ඔසවා උශාලි දෙස බලා හිස දෙපසට හෙලවූයේ නැතැයි කියන්නට මෙනි.
“එතකොට ඔයා කොහොමද යන්නේ? අම්මි හරි තාත්ති හරි එනවද?”
“වෑන් අංකල් තීයට කියනව කිව්වා වෑන් එක නෑ කියල”
“හවස වෑන් එක නෑලුද අද”
“නෑ වෑන් එක කැදිල”
දුලන්‍යා හුරතල් ය. පොඩ්ඩො කොහොමත් හුරතල් ය. මී පැටවකුගේ බඳු සියුම් හඬකින් මේ කියන්නේ මහ අවනඩුවක් බව උශාලි නොදන්නවා නොවේ.
වෑන් එක හවසට නොමැති බව වෑන් රියදුරාට කියන්නට අමතක වූවාදැයි උශාලිට සැකය.
“සීයගේ ෆෝන් නම්බර් එක ඔයාගේ පොතේ තියෙනවද?”