“ලබන සතියේ දුවගෙ ඉස්කෝලෙ අවුරුදු උත්සවේ කියල අම්මයි තාත්තායි දෙන්නටම එන්න කියල ඉන්විටේශන් එක එවල තිබුනා”
අනුප කතාව පටන් ගත්තේ දුලන්‍යා නිදන කාමරයට ගොසින් ඇයගේ පුංචි ඇඳ වැසෙන්නට මදුරු දැල දමා නින්ද සුවපහසු කරනු පිණිස මද කහ පැහැ එළියකින් දැල්වෙන රාත්‍රී පහන දල්වමිනි.
කණ්ණාඩි මේසය ඉදිරියෙන් හිඳගෙන මුහුණේත් බෙල්ලේත් අත්වලත් ස්පා සිලෝන් වෙතින් මිල දී ගත් නයිට් ක්‍රීම් ආලේපන
ය තවරමින් හුන් ෂෝබිතා එයට ප්‍රතිචාර දක්වන්නට සිතුවේවත් නැත.
අනෙක් අතට අනුප සමග කතා බස් කිරීම පවා ෂෝබිතාට දැන් මහත් වදයකි.
“මට එපා වෙලා තියෙන්නෙ දැන් අනුප එක්ක එක කාමරේ ඉන්න එකත්”
දහවලේ දමිත්ව හමු වූ මොහොතේ ෂෝබිතා එසේ පැවසුවාය.
සීතල බියර් විදුරුවේ සීත බිඳිති ඇඟිලි තුඩුවලින් බිඳ දමමින් ෂෝබිතා එසේ පවසද්දීත් දමිත් උන්නේ දුරකතනයට මුහුණ යොමාගෙන වෙන ලොවකය. තම කෙරෙහි අවධානය නොදක්වා දුරකතනය දෙසම බලා හිදින දමිත් කෙරේද ෂෝබිතාගේ සිතෙ ඇතිවන්නේ කෝපයකි.
එවකට සාමාන්‍ය මන්ත්‍රීවරයකු ව හිඳි දමිත්ගේ ඉහලම බලාපොරොත්තුව වූයේ ඊළඟට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාගන්නටයි. එහෙත් ඉතාම උගත් අම්මාත් තාත්තාත් කිසිසේත්ම දේශපාලනය කරන මිනිසෙකුට තම දූවරුන් බන්දා දෙන්නේ නැතැයි කීම ළඟ දමිත් කෙසේ හෝ තමාව විවාපත් කරගන්නට නොසිතීම ගැන ෂෝබිතා උන්නේ කෝපයකිනි.
ඔහුට උවමනාව තිබුණානම් දෙමව්පිය අවසරයෙන් තොරව තමා හා විවාහ වන්නට අවශ්‍ය හැකියාවත්, තම අවසරයත් තිබූබව දන්නවා වුවත් දමිත් කරේ පලා යාමය.
ඒ පිළිබඳව ෂෝබිතා ගේ සිතේ තවමත් තිබෙන්නේ කෝපයකි. නොසිතූ මොහොතක අනුපගෙන් ආ විවාහ යෝජනාව ෂෝබිතා භාරගත්තේ දමිත් නිසා බිඳුණු සිත අනුපගේ ආදරය ඔස්සේ සනසවාගන්නටත් වඩා දමිත්ට රිදවීම පරමාර්ථයක් කරගෙනය.
විවාහයක් ඇරඹිය යුත්තේ විශ්වාසය, ආදරය සහ තවත් බොහෝ කරුණු පදනම් කරගෙනය. එකිනෙකා රවටමින්, තමා හැරගිය අයට රිදවනු පිණිස අරඹන ලද විවාහයකින්කිසිම දිනයක තමාටවත් විවාපත් කරගත් අනෙක් පාර්ශ්වයටවත් කිසිදු සැනසීමක් අත් නොවන බව දැනගැනීම ඉතාම වැදගත් ය.
එහෙත් ෂෝබිතාට තමා විවාහක කාන්තාවක් බව පවා අමතක වූයේ අහම්බයකින් මෙන් දමිත්ව යළිහමු වූ දිනකය.
එකම නගරයක වාසය කරද අප දන්නා හඳුනන මිනිසුන් පවා අපට ඉතාම කලාතුරකින් හමුවන තැනක වසර කිහිපයකට පෙර තමා හැරගිය පෙම්වතා යළිත් දකින්නට ලැබෙනු ඇතැයි ෂෝබිතා බලාපොරොත්තු වූයේම නැත.
මුහුණ පොත ඔස්සේත් ඉඳහිටක රූපවාහිනී තිරය මතත් රාජ්‍ය මන්ත්‍රී දමිත් සිංහවර්ණ දකිද්දී පවා ෂෝබිතාට මග හැරුණ අතීතය ගැන වේදනාවක් නොදැනින.
එහෙත් නොහිතූ දිනක නොහිතූ මොහොතක සුපිරි වෙළඳ සැලකදී දමිත්ම හමුවීම ෂෝබිතාට අතීතයේ මතක පාරවන හමුවීමක් විය.
“ෂෝබි”
අතීතයේදී තමාව ඇමතූ ආදරණීය ආමන්ත්‍රණයම භාවිතා කරමින් තමාව අමතන දමිත් දෙස බලා ඉද්දී තමාගේ දෙනෙත් තුලවූයේ කුමනාකාරයේ හැඟීමක්ද යන්න තෝරාගන්නට ෂෝබිතා අදටත් අසමත් ය.
එදා ඒ හමුව අවසන්වූයේ එකිනෙකාගේ දුරකතන අංක හුවමාරු කරගෙනය.
නිවසට ආ පසුවත් දමිත්ව සිතෙන් ඉවත් කරගන්නට අපහසු වුවද කුල ගෙය බිඳ ලමින් ඔහු වෙත යන බලාපොරොත්තුවක් ඒ මොහොතේ තම සිත තුල නොවූ බව පමණක් ෂෝබිතාට මතකය.
අනාගතයට යෑමේදී අතීතය අමතක නොකල යුතු බව කොහෙදීදෝ මතක තබාගෙන උන්නද අතීතයේම හැරදමා ආ යුතු අතීත කතාවන්ද තිබිය යුතු බව ෂෝබිතා මතක තබාගෙන උන්නේ නැත.
දමිත් ජීවිතය ඇතුළට ආවේ අනුපවත් දුලන්‍යවත් තම ජීවිතයෙන් ඉවත් කර දමමින් වුවද ෂෝබිතා ට පසුව ඒ පිළිබඳව වගක්වත් දුකක්වත් තිබුනෙ නැත.
අනෙක් අතට තමාගෙන් ගිලිහී ගිය සුන්දර අතීතය නැවත නොසිතූ මොහොතක තමා අසලටම විත් හිඳින මොහොතක එයට පයින් ගසා පසෙක ලන්නට සිතක්ද ෂෝබිතාට තිබුනේ නැත.
“ඔයා ඒ මිනිහව ඩිවෝස් කරන්නෙ නැත්තෙ ඇයි?”
කල්පනා ලෝකය බිඳුනේ දමිත්ගේ හඬිනි.
“ඩිවෝස් කරල ආපහු ගෙදර යන්නද? ඔයා හිතනවද අපෙ අම්මල ආය මාව වැද්ද ගනී කියල ගෙදෙට්ට?”
ඒ වදන් පැනයක් නොවේ. සමච්චල් සහගත සිනහවක් සමග ෂෝබිතාගේ මුවින් එළියට ආ තමාටම යම් කිසි සත්‍යයක් හෙලිදරව් කරගැනීමක් බව දමිත් දැන උන්නේය.
එදවස ෂෝබිතාගේ මව් දෙමව්පියන් තමන් හා ඇය අතර තිබූ සබඳතාවයට අකමැති වූයේ තම දේශපාලන කටයුතු නිසාවෙනි. දේශපාලන වනාහී සුදු චරිතයක් වී කළ හැකි රංගනයක් නොවන බව නොදත්තවුන් මෙන් එවෙලේ හැසිරුණ ෂෝබිතාගේ මව් දෙමව්පියන් හා විරුද්ධ වී ෂෝබිතාව විවාහ කරගන්නට තමාට හැකියාව තිබූ බව දමිත් නොදන්නවා නොවේ.
එහෙත් එවෙලේ එසේ හැසිරී අතේම මෙන් ලැබෙන්නට ඔන්න මෙන්න තිබූ රාජ්‍ය අමාත්‍ය ධූරයට කැළලක් ඇති කර නොගන්නට වූ උවමනාව එයට පාර කැපූ බව ඇත්තකි.
දේශපාලනය සමග රාජ්‍ය අමාත්‍ය වරයෙකු ලෙසින් කරළියට ඒමත් සමග එතෙක් කල් නොතිබූ නොලැබූ සැප සම්පත් ද ලැබීමෙදී ජීවිතයට ආ ගිය කාන්තාවන් බොහෝය. එහෙත් අහම්බයකින් මෙන් ෂෝබිතා ව යළිත් දකිද්දි සිතේ කෙළවරක අතීතයේ හැරදමා ආ ආදරයේ ගිනි දලු සිත තුල දැල්වෙනු වළක්වන්නට නොහැකි විය.
“මොකටද ඉතින් ගෙදර යන්නේ?”
“ගෙදර යන්නෙ නැතුව මේ ජොබ් එකක්වත් කරන්නෙ නැති මම කොහෙ ඉන්නද?”
“අයියෝ මේ ඒක නම් ප්‍රස්නෙ මට පුලුවන් ඔයාට ඉන්න තැනක් ඇරේන්ජ් කරල දෙන්න, ඔයාට ඒ යකා එක්ක ඉන්නබැරි නම් අතෑරල දාල එන එකනෙ තියෙන්නෙ. මම නම් කිසිම බැරියර් එකක් දාලා නෑ මගෙ සයිඩ් එකෙන්”
බියර් වීදුරුවේ අන්තිම උගුරත් මුවගට හලා ගන්නා අතරම හිඳගෙන උන් පුටුවෙන් නැගී හිඳිමින් දමිත් එසේ කියද්දී ෂෝබිතා තම අසුනේම හිඳගෙන දමිත්ගේ මුහුණ දෙස බලා හුන්නාය.
“එහෙම මට ඕනවෙච්ච පලියට ඩිවෝස් එක ගන්න බෑනෙ දමිත්. අනික මෙතන වරද කරල තියෙන්නෙ මම. හරිනම් අනුප තමයි ඩිවෝස් එක දාන්න ඕන මම අනාචාරයේ හැසිරෙනවා කියල.
එහෙම එකේ මම කොහොමද මොකක් කියලද ඩිවෝස් එක දාන්නෙ?”
“ඒක ඉතින් ඔයාම තමයි කරගන්න ඕන. මට ඒකට කරන්න දෙයක් නෑ” කියමින් ගෙතුලට ඇවිද ගිය දමිත්ගේ රුව මැකී යන තුරුම එදෙස නෙත් යොමා හුන් ෂෝබිතා රුව මැකීගිය පසු ලොකු හුස්මක් හෙලමින් ඉහල මාලයේ හිඳ පහල පෙනෙන වෝඩ් පෙදෙසේ නිවාස දෙස බලමින් කල්පනා කරන්නට විය.
අනුපව විවාහ කරගත් මුල් කාලයේ වුව ඔහුගැන දමිත්ට තරම් ආදරයක් නොදැනුන බව සැබෑවකි. ෂෝබිතා බලාපොරොත්තු වූ ඉතාම වෙනස් ජීවිතයට වඩා අනුප හා විවාහ වීමෙන් ලැබුන සාමාන්‍ය ජිවිතය සතුටෙන් භාරගන්නට පුලුවන්කමක් ෂෝබිතාට තිබුනේ නැත.
අනුපවත් දුලන්‍යාවත් හැරදමා දමිත් ළඟට යන්නට බැරිකමක් ෂෝබිතාට නැත. එහෙත් අනුපව දික්කසාද කරන්නට හැකියාවක් තමාට නොමැති බව ඇය දනී.
“මං කියන දේ ඔයාට ඇහුණද?”
අනුපව මගහරින්නට තමාට කොතෙක් අවශ්‍ය වුවද අනුපට අවශ්‍ය තමා සමග එල්ලි එල්ලී කතා කරන්නටය. එය හිතටත් හිසටත් වදයකි.
“මට එන්න වෙන්නෙ නෑ”
අනුප කිසිසේත්ම එවන් පිළිතුරක් බලාපොරොත්තු නොවූවායැයි කියනට නොහැක. ෂෝබිතා තමාව මගහරිද්දී දුලන්‍යාව අමතක කර මෙන් ජීවත් වෙද්දී මෙවන් දෙයක් කී පසු ඇයගෙන් මෙවන් පිළිතුරක් ලැබිය හැකි බව දැන උන්නද ඒ පිළිතුරෙන් අනුප ගැස්සී ගියේය.
“ෂෝබිතා ප්ලීස්, මම ඔආ කරන හැමදේම අමතක කරල වෙනසක් නැතුව ජීවත් වෙන්න හදද්දිත් ඇයි ෂෝබිතා ඔයාට බැරි දරුව වෙනුවෙන්වත් ආයෙ හරිපාරට එන්න?”
“හරිපාරට? හරිපාරට එන්න මම කවදාවත් වැරදි පාරක ගියේ නෑ අනුප. අපෙ අම්මලගෙ පිස්සු නිසා මම යමින් හිටපු පාරට ඔයා කඩං පාත් උනා මිසක”
කණ්ණාඩි මේසය ඉදිරියේ හිඳගෙන හුන් ස්ටූලයෙන් නැගිට කෙස් කළඹ ගස්සවා ෂෝබිතා එහෙම් කිව්වේ අනුප දවා හලු කරවන අන්දමේ බැල්මක් හෙලමිනි.
“ඒ අපි දෙන්නගෙන දරුව, ඒ දරුවගෙ ජීවිතේ විශේෂ දවසකදි එන්න බැහැයි කියන තමුන් මොන වගේ අම්මා කෙනෙක්ද ඕයි?”
දරාගන්නට නොහැකි වූ කෝපයෙන් කෑගසා නැගිටගත් අනුප දකුණතේ ඇඟිලි පහම ෂෝබිතා දෙසට එල්ල කර වචන ඔස්සේ කෝපය පිටකරන්නට විය.
“මොන ජාතියේ අම්ම කෙනෙක් උනත් මම එන්නෙ නෑ. තමුසෙට ඕන නම් යනවා, ඕන මගුලක”
“මං උඹට ආයෙ කියන්නෙ නෑ, කට කට අඩුකරගනින්. උඹේ කටේ සද්දෙට අර පොඩි එකී ඇහැරුණොත් මං උඹේ කට කඩනවා
මගුලෙ යන්නේ? මගුලෙ යන්නෙ උඹ ද මම ද? මුකුත් නොදන්න පත්තිනි අම්මා වගේ කතාකරන්නෙ යන්න තියෙන ඔක්කොම අවලං ගමන් ගිහින්. උඹට මෙහෙ ඉන්න බැරි නම් පලයන්”
“යනවා තමයි. මම තමුසෙ කියනකම් හිටියෙ යන්න”