සියක් සියපත් 10

සුජීවා කුස්සියෙහි වඩේ බදිමින් සිටියා ය. කුස්සියට පෙර තිබෙනා කුඩා සාලයේ ඉස්සරහාට ම වන්නට ආප්ප තාච්චි වලට ශාන්ත මාරුවෙන් මාරුවට ආප්ප වත් කළේ ය.

“බිත්තර ආප්පයක්”

“ප්ලේන්ටියක්”

“වඩේ සීයක”

“ආප්ප පහකුයි ලුණුමිරිසුයි ගේන්න”

ඉස්සරහා මිදුලේ ගැවසෙන පාරිභෝගිකයන්ගෙන් ඇණවුම් ලැබේ. සියපත් එහෙට මෙහෙට දුවමින් ද හැකි උපරිම වේගයෙන් ද සේවා සැපයූවා ය. ගණං කියූවා ය. මුදල් ගත්තා ය. ඉතුරු දුන්නා ය.

“තව බිත්තර ආප්පයක් ගේන්න”

මිදුලේ කොට්ටං ගහ යට අටවා තිබෙන ලෑලි බංකුවේ වාඩි ගත් කොල්ලන් අතරින් කෙනෙකු ගේ දෙස බලා කීවේ ය. ගේ දෙස ය කීවාට ඔහු ගේ ඇස් තිබෙන්නේ සියපත් දෙසට ය. 

“සුජීවා මේ බිත්තර ආප්පයක් ගිහින් දෙන්න”

එකෙනෙහි ශාන්ත සුජීවා ට ඇහෙන්නට කීවේ ය. 

“හරි මේ එනව”

ශාන්ත ගේ හඬ නො උස් වී ද සුජීවා ඒ හඳුනයි. වඩේ බදින ඇයගෙන් ඔහු එවැනි ඉල්ලීමක් කරන්නේ සියපත් එතැනට නො යැවීම පිණිස බව වැටහුණ පමාවෙන් ඇය වහ වහා බිත්තර ආප්පය ගෙන පිඟානක තැබුවේ “වඩේ ටික බලන්න පුතේ” යි සියපත් ව දැනුවත් කරමිනි. යුවතිය  ළිප වෙත ගියා ය. දැන් මේ තෙල් කර වෙන පුසුඹට ඇය කැමති ම නැති වී ද මදිරා කීවා සේ ජීවිතය කියන්නේ අප කැමති දේට නොව අපට ලැබෙනා දේට ය.

හැන්දෑවේ සදාතන ගේ මුහුණ මත වූ ප්‍රභාෂ්වර බව, ගිනි සිළු අතරින් සියපත් ට මේ දැනුත් පෙනෙන්නා මෙනි. ඇගේ පපුවට මේ දැනෙනා උණුහුම, තෙල් තාච්චිය සහිත ළිපෙන් නැගෙනා එකක් නොවේ. 

ඔවුන් කැටිව යන්නට සනාතන මිස සදාතන එතැයි බලාපොරොත්තුවක් ඇයට වූයේ ම නැත. සනාතන ඔවුන් බස්වා මිතුරෙකු හමු වීමට ගියේ ය. මිතුරු හමුවේ දී ඔහු ට සියල්ල අමතක වූ අතර මදිරා හා සියපත්ව ගෙදර රැගෙන ආ යුතු බව සිහි වෙත්දී මිතුරන් ගෙන් මිදී එන්නට බැරි කමක් ද විය. අක්කලාව ගන්නැයි සනාතන සදාතන ට කතා කොට කීවේ කලබලයෙනි. ඔහු ඔවුන් සමග උද්‍යානයේ ම ඇතැයි සිතා උන් සදාතන ට සැනසීමක් දැනිණ.

රියදුරෙකු යවන්නට හැකි වී ද මදිරා කැටිව යන ගමන් වලට ඔවුන් එහෙම නොකොට ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු ම යන්නේ, ඇය රෝද පුටුවෙන් ඔසවා රිය අසුනෙහි තැබිය යුතු නිසාවෙනි. ඒ නිසා මේ වෙලාවේ ඔහු එහි යන එක ගැන ඔහු ට වුව කිසිදු ගැටළුවක් නැත. නමුත් විශේෂ උනන්දුවක් මේ ගමන ගැන දැනෙනා බව සදාතන ඔහු ගෙන් ම සඟවා ගත්තේ ය. එය රසයකි. මිහිරකි. මීට පෙර ඔහු විඳ නැති විදිහේ භාවයකි. නමුත් ඔහු ට කලබලයක් දැනුණේ නැත. වසන්තය වුණත් උදා වන්නේ එකවර නොවේ. ඍතු කිහිපයක් පසු කොට හෙමිහිට ය. පොහොට්ටුවක් මලක් ලෙස පිපෙන්නට ගන්නා කාලය මල් සමයේ සුන්දර ම යුගයයි. 

“එහෙනං සියපත් මෙහෙමම ගෙදර යන්න නේද…”

අතර මගදී මදිරා එසේ කියත්දී සදාතන ගේ ඇස් වහා ම ඉදිරි කැඩපත ඔස්සේ පසු පස අසුනේ උන් සියපත් වෙත යොමු විය.

“ඇයි ට්‍රාන්ස්පෝට් එක තියනවනෙ”

“ඒත් අපරාදෙනෙ මල්ලි…මේ ළමය ආපහු ගෙදර යන එක. මන්දා. සියපත්ගෙ කැමැත්තක්”

“ඔව්…මෙහෙමම ගියොත් මට ඉක්මන්ට ගෙදර යන්න පුළුවන්නෙ. මං බහින්නං අක්කෙ”

සියපත් එසේ කීවේ කලින් කියන්නට හිතා ගෙන උන්නාට නොවේ. අතරමගින් බැස බස් එකේ ගෙදර යන අදහසක්වත් ඇයට වූයේ නැත. නමුත් මදිරා එසේ කියත්දී ඇයට එකඟ වන්නට සිදු විය.

“දැන්ම බහින්න එපා. තව ළං වෙලා බහින්න”

“ගේ ළඟට දාන්නංකො”

තත්පර කිහිපයක ඇවෑමෙන් සදාතන එසේ කීවේ සියපත් තිගස්වමිනි. පොඩි මල්ලී කළත් ලොකු මල්ලී එවැන්නක් කරන්නට ඉදිරිපත් වෙතැයි මදිරා වුව සිතුවේ නැත. 

“පාර කියන්න”

තවත් ටිකක් ඉදිරියට එන විට ඔහු යළිත් කැඩපත ඔස්සේ බලමින් පැවසුවේ ය. ඒ බැල්ම හදවත ගැස්ම වැඩි කරනා එකක් සේ දැනුණත් සියපත් සිය සිතට තරවටු කළා ය. ඔවුන් අරබයා එවන් ගැස්මක් හෝ තමන්ට අයිති නැති බව ඇය දනී. ඇය පාර කීවේ ද සිහිනයෙන් සේ ය. ගේ ළඟට ම නොයා ගුරු පාර ළඟ දී රියෙන් බැස ගන්නට ඇය සිතා සිටියා ය. 

“ඔය ඉස්සරහ පාර ළඟින් දාන්න සර්..තව චුට්ටක් ඇතුළට ගියාම ගේ තියෙන්නෙ”

“ඉතිං ගේ ළඟට දාන්නං”

“කමක් නෑ මල්ලා. සියපත්ව ඔතනිං බස්සවමු”

මදිරා සියපත් වෙනුවෙන් පෙනී සිටියේ ඇගේ සිතිවිලි වැටහුණ බැවිනි. මෝටර් රථය හැරී ආපසු යත්දී සුපුන් ගේ යතුරුපැදිය වේගයෙන් ඇදී විත් සියපත් ළඟ නතර විය. ඇය ගුරු පාරට හැරුණා ය. සුපුන් ඇගේ මග හරස් වන සේ බයිසිකලය නතර කළේ ය.

“මේ මොන විකාරයක්ද…පාර හරස් කරන්නෙ…”

සියපත් රවා ගෙන සුපුන් වෙතට කඩා පැන්නා ය.

“ගේ දොරකඩට කාර් වලින් එන නිසා මේ නෝනා හරියට උඩ ගිහිං වගේ නේ”

සියපත් ට දැනුණේ මහත් අප්‍රසන්න බවකි. සුපුන් වූ කලී කාලයක් තිස්සේ ඇය හඹා එන ගමේ තරුණයෙකි. පාලම් බෝක්කු ගානේ කොල්ලන් සමග රස්තියාදු ගසමින් මත් පැන් දුම් වැටි හා තහනම් උත්තේජක වර්ග භාවිතා කරන ඔහුට කොයි තරම් සියපත් සිය අප්‍රසාදය පළ කළ ද එය වගකට ගන්නේ නැත. 

“හන්තානට පායන සඳ අපිට බලන්න බැරිවුණාට ඔය කුමාරිට බලන්න පුළුවන් වෙයි කියලනෙ මහ ලොකුවට හිතං හිටියෙ”

ඇයට සරසවි වරම් අහිමි වූ බව ගම පුරා පැතිර ගිය වෙලාවේ සුපුන් සිය සතුට පළ කළේ ඒ විදිහට ය. සරසවි වරම් අහිමි වීම කියන්නේ ම ඔහු ට ඇය හිමි වීමට යයි සිතන්නට ඔහු ඉක්මන් විය. සියපත් මේ අලුත් රැකියාවට යාම ගැන ඔහු ට වූයේ කේන්තියකි. කේන්තිය සැබවින් ම රැකියාවකට යාම ගැන ම නොවේ. ඇය මෝටර් රථයකින් යන එන එක ගැන ය.

“මල විකාර”

යයි කියමින් යතුරුපැදියේ හැඬලය පසෙකට හරවමින් සියපත් ඒ සුළු ඉඩෙන් ගුරු පාරේ ඉදිරියට ඇවිද යන්නට වූවා ය. මත් පැන් ටිකක් තොල ගාගෙන මේ වෙලාවේ ඔහු ආප්ප කන්නට ඇවිත් තිබුණේ එහි වාඩුව ගන්නටත් එක්ක ය.

ආප්ප දැමුවාට ශාන්ත සිටියේ අවධානයෙනි. සුපුන් මාන බලන්නේ සියපත් ව කොටු කර ගන්නට බව ඔහු ගේ මොකක්දෝ ඉවකට දැනෙමින් තිබිණ.

“ගංජා කාරයො…ගමේ කෙල්ලෙක්ට වැදගත් විදිහට ඉන්න නෑ”

හෙතෙම සිතින් සිතුවේ ය. කොහොමටත් නිහඬ මිනිසෙකු වන ශාන්ත, මෙහෙම අවස්ථාවක වඩාත් හිතා බලා සන්සුන් ව කටයුතු කරන්නේ ය. මේ මොහොතේ සුපුන් කියන්නේ ඔවුන් ගේ පාරිභෝගිකයෙකි. එවැන්නෙකු හට වචනයක් කියනවා කියන්නේ වරක් දෙවරක් නොව සිය වරක්වත් සිතිය යුතු දෙයකි. තරුණ ගෑනු දරුවන් දෙදෙනෙකු සිටිනා පියෙකු ලෙස කල්පනාවෙන් කටයුතු කිරීම සිය වගකීම බව ද හෙතෙම දැන සිටියේ ය. කාගේවත් හිතක් රිදවන්නේ නැතිව සුපුන් ගේ අවශ්‍යතාවය වෙනුවෙන් සියපත් නො යවා සුජීවා ව යැව්වේ ඒක ය. නමුත් තවත් ටික වෙලාවකට පස්සේ ආප්ප වලට මුදල් ගෙවන්නට පැමිණි සුපුන්, ඉතුරු මුදල නො ගෙන මිදුලට බැස්සේ ය. ඒ වෙලාවේ ශාන්ත සිටියේ කිසිවෙකු සමග කතා කරමිනි. සියපත් මිදුලට බැස සුපුන් වෙත ගොස් ඔහු ගේ ඉතිරි මුදල දුන්නා ය.

“මේ. මට ඉක්මනට වචනයක් ඕනෙ හරිද…”

ඔහු තරමක් තදින් කීවේ ඒ වෙලාවේ ය. යක්ෂයා ඇවිස්සුණ ද සියපත් ඉවසීමෙන් කතා කළා ය.

“ඔය බලාපොරොත්තු වෙන වචනෙ මං ඕන තරං කියල තියනවනෙ. ඒකමයි දැනුත් කියන්න තියෙන්නෙ. මං කැමති නෑ කැමති නෑ නෑමයි”

“බලාගමු ආ”

සියපත් ගස්සා ගෙන හැරී ආවා ය.

“මොකද්ද සුපුන් කියන්නෙ…”

ශාන්ත එසේ විමසන තුරු ඔහු ඒ ගැන අවධානයෙන් සිටියායි යුවතිය සිතුවේ නැත.

“නෑ මේ…ජොබ් එක ගැන ඇහුව”

කියාගෙන සියපත් අම්මා වෙතට ගියා ය. යමක් සිදුව ඇති බව සියපත් ගේ මුහුණේ සරැලි නගනා නො රිස්සුම මත සුජීවා ට සිතා ගත හැකි ය. මීට පෙර ද කිහිප වතාවක් ම සියපත් දත්මිටි කමින් සුපුන් ගැන සුජීවා සමගින් චෝදනා කළා ය.

“කොයි වෙලාවෙ හරි මං ඕකාගෙ දත් ඇන්ද බඩට යන්න දෙනව ඔන්න”

කෙල්ල කියූ දෙයක් නොකර සිටින්නේ ද නැති බව අත්දැකීමෙන් දන්නා සුජීවා, ඇය තවත් කෝප ගන්වනු වස් නොව කෝපය සන්සිඳුවනු වස් දෙඩුවා ය.

“ඔය ගංජා කාරයොත් එක්ක පැටලෙන්න යන්නෙපා. අනික ඕව දුර දිග ගියොත් තාත්තත් ඕවට පැටලෙන එකයි වෙන්නෙ”

සියපත් ඉවසා ඉන්නේ වෙන කිසිත් නිසා නොව ශාන්තව ඔය කුණු ගොඩ වලට පටලන්නට බැරි නිසා ය. සන්සුන් මිනිසුන් කෝප ගත් කල ඇරඹුම හෝ කෙළවර කොතැනදැයි සිතා ගත නො හැකි බැවිනි. 

උදයේ පිරිසිඳු වීම් වලින් පසු සදාතන කාමරයට එන විට ම දුරකතනය නාද විය. ඒ සියපත් ට ප්‍රවාහනය සපයන රියදුරු ජගත් ගෙනි. හදිසියේ ම මව අසනීප වූ නිසා රෝහල් ගත කරන්නට සිදු වූ බවත් අද සේවයට පැමිණිය නො හැකි බවත් ඔහු කලබලයෙන් කීවේ ය. හැකි නම් සියපත් කැටිව එන්නට වෙනත් රියදුරෙකු යවන්නැයි දැනුම් දිය යුතු නිසා ඔහු උදයෙන් ම පණිවිඩය ලබා දෙන්නට සිතා ඇත. 

“හරි ජගත් ඒ ගැන වද වෙන්න එපා. අපි මොකක් හරි කරන්නං”

සදාතන කීවේ එපමණකි. ඔහු ගේ දුරකතනයෙන් ඇයට වට්සැප් පණිවිඩයක් පැමිණ තිබෙනු දුටු සියපත් තිගැස්සුණා ය.

“වෙන ඩ්‍රයිවර් කෙනෙක් එන්නෙ. ලොකේශන් එක ශෙයා කරන්න”

සියපත් එසේ කළා ය. නමුත් ලහි ලහියේ සූදානම් ව ගුරු පාර කෙළවරට ගියා ය. දැන් ඇය කහවණුගොඩ මැදුරේ වාහන හඳුනයි. රියදුරන් ද හඳුනයි. අලුත් රියදුරෙකු ගේ දොරකඩට ගෙන්වන්නට ඕනෑ නැතැයි ඇය සිතුවා ය. නමුත් ඇය ළඟ නතර වූයේ සදාතන ගේ මෝටර් රථය ය. සියපත් පහත් වී වඩාත් හොඳින් රියදුරු අසුන දෙස බැලුවා ය. ඇයට වැරදී නැත. ඒ ඔහු ය. ඇගේ ඇස් ලොකු විය. හද ගැස්මෙහි වෙනසක් වෙනවා ඇයට දැනිණ. නමුත් හිතට දැනෙනා සියල්ල පාගා චප්ප කර ගෙන ඕ මඳහසක් පෑවා ය. 

“අනේ…සර් ආවෙ ඇයි…මට බස් එකේ එන්න තිබුණනෙ”

උඩු තොල මත දහදිය බින්දු පිපී එත්දී ඕ මිමිණුවා ය. නමුත් කටහඬ ඇගේ පාලනයකින් තොර ව වෙව්ලා ගියේ ය. රියදුරු අසුන ළඟ වීදුරුව පහත් වෙමින් තිබිණ.

“නගින්න”

සියපත් පත් වූයේ උභතෝකෝටිකයකට ය. ඉදිරි අසුනෙහි හිඳ ගත යුතු ද පසු අසුනට ගොඩ විය යුතු ද? දෙගිඩියාවෙන් ම, එසේ සිටිමින් ම ඕ පසුපස දොරට අත තැබුවා ය.

“පික් කරන්න ආවට මං ඩ්‍රයිවනං නෙවෙයි”

සියපත් යටි තොල සපා ගත්තා ය. සදාතන අනිත් පැත්තට බර වී ඉදිරි දොර ඇරියේ ය. යුවතිය ඉක්මන් කොට රිය ඉදිරියෙන් එතැනට ගියා ය. නමුත් එහි ගොඩ වෙන්නට තරම් හිත හදා ගත නො හැකි තරම් ය.

“අනේ මං මෙතන ඉඳ ගත්තට කමක් නැද්ද සර්…”

දොර අල්වා ගෙන පහත් වී  සදාතන ගේ මූණ දෙස බලා ගෙන ඕ පැකිළෙමින් ඇසුවා ය. සදාතන ට සිනහ ගියේ ය. පුංචි හඬක් ද සමග ඒ සිනහව පිට වූවාට පස්සේ ඔහු  මුවත් නිකටත් වැසෙන සේ දකුණු අතේ අතැඟිලි රඳවමින් හිස මඳක් ඇද කොට බැලුවේ ය. සියපත් ඉතා පරිස්සමට රියට ගොඩ වූවා ය.

“අනේ…මොනා වුණත් සර්ට තිබුණෙ එන්නැතුව ඉන්න. මට හරි මොකද්ද වගේ. මං නිසා වෙච්ච කරදරේට සොරි සර්”

සදාතන කතා නොකොට ඇය වෙත බර වී ආසන පටිය තද කළේ ය. ඒ මුළු කාලය පුරා සියපත් හුස්ම ගත්තේ නැත. අත් දෙක යන්තම් ඔසවා ගෙන වාගේ අසුනට ඇලී ගෙන සිටියා ය. ඇයට ඇය දැනුණේ කාටූන් එකක චරිතයක් මෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles