වාසනාව

“මේ ෆ්‍රොක් එක කොහොමද සඳුන්..”

අමාලි එහෙම ඇහුවේ ඒ අලුතින් ගත්තු ගවුමක් හන්දා.සඳුන් ඇයව වටයක් කරකවලා අරගෙන තුරුළු කරගත්තේ ආදරෙන්.

“හරි ලස්සනයි අමා..ඇත්තටම ඔයා කොහොමටත් ලස්සනයිනෙ.”

සඳුන් එහෙම දවසට විසිතිස් පාරක්වත් කියන බව අමා දන්නවා.ඒත් ඒ කතාව ආයෙ ආයෙම අහනකොට ඇයට දැනෙන්නේ හරි ආසාවක්.සඳුන්ගේ දෑසට පෙනෙන ප්‍රියතම රූපය වීම ඇයට ගෙනෙන්නේ පුදුමාකාර සතුටක්.

“මේ ගමනවත් ඩොක්ට හොඳ ආරංචියක් දෙයිද සඳුන්?”

අමා එහෙම අහනකොට සඳුන් ඇයව වැලඳගෙන මොහොතක් හිටියා.ඊටත් පස්සේ ලැබෙන ඔහුගේ උණුසුම් හාදුව හැම වේදනාවක්ම අමතක කරන බව ඇය දන්නවා.

“අපිට ඔය හීනෙත් හැබෑ කරගන්න බැරි නෑ අමා.ඩොක්ට කිව්වෙත් පුලුවන් කියලනෙ.ඔයා ඉක්මනින් අම්මා කෙනෙක් වෙයි..”

සඳුන් ඕනෑම මොහොතක තමන් දිරි ගන්වන මේ ආදරණීය විදියට අමාලි හරි කැමතියි.බයෙන් ගැහි ගැහි කැම්පස් එකේ එක්සෑම් ලියන්න යද්දි “Yes you can” කියලා අමාලිගේ රෝස පාට අත්ලේ ලියපු සඳුන් කසාදෙට අවුරුදු හයක් පිරෙද්දි පවා වෙනස් නොවීම තමන්ගේ ලොකුම වාසනාව කියලා අමාලි දන්නවා.

“අමාලි..”

පෞද්ගලික රෝහලේ කොරිඩෝවේ ඇවිදාගෙන යනකොට ඇහුණු කටහඬට අමාලි හැරිල බැලුවා.

“අනේ ගිහානි..කොහොමද ඉතින්?”

පාසල් කාලයේ මිතුරියක් දැකීම පුදුම සතුටක්.ගිහානිගේ අතේ ගුලි වෙලා ඉන්න රෝස පොදියත් ඇගේ සැමියාගේ අතින් අල්ලන් ඉන්න දඟයත් දිහා අමාලි බැලුවේ ආදරේ උතුරන ඇස් දෙකකින්.

“ලෙඩෙක් බලන්න ආවද?”

ගිහානි එහෙම අහනකොට ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ආව බව අමාලි හෙලි කළා.

“ඔයා ප්‍රෙග්නන්ට් ද? එහෙම පාටක්වත් නෑනෙ”

ගිහානි තොල පෙරලල එහෙම කියද්දී පුංචි ගැටලුවකට ඔහු මුණ ගැහෙන්න ආව බව කියන්න අමාලි අමතක කළේ නෑ.

“බබාලා නැද්ද අමාලි..දැන් ගොඩක් කල්නෙ ඔයා බැඳලා.මටත් කලින්නෙ බැන්දෙ.මට නම් ලොකූ ආවේ හනිමුන් බබෙක් වෙලා.වාසනාව තමයි.”

නිවැරදි උපත් පාලනයක් කර ගන්නට නොහැකි වීමෙන් විවාහයත් එක්කම ගැබ්ගැනීම ගැන ගිහානි ලෝකෙ පෙරළෙනකම් අඬපු හැටි මතක් වුණු ඇගේ සැමියා රුක්ෂාන් ගිහානි දිහා බැලුවේ විමතියෙන්.ඒ කාලේ නම් ගිහානි වාසනාවක් ගැන කියනවා ඔහුට මතක නෑ.

“අපි මේ ට්‍රීට් කරන්නේ ඒකනෙ ගිහානි..”

අමාලි පැකිලීමක් නැතුව එහෙම කිව්වා.ඇත්තටම ඉතින් මේ ඕනෑම කන්තාවකට ඇති විය හැකි ගැටලුවක්.ඒ නිසා ඒ ගැන හංගමින් ලැජ්ජාවෙන් ඉන්න අමාලි හිතන්නේ නැහැ.

“අනේ මන්ද අමාලි.සල්ලි නාස්ති කරගෙන හරි බබෙක් හැදුණොත් නම් හොඳයි..”

ගිහානි සමු ගත්තේ එහෙම කියන ගමන්.අමාලි ඒ කතාවට අහිතක් නැතුව සමු දුන්නා.තාමත් අපේ රටේ කාන්තාවෝ සාම්ප්‍රදායිකයි.දරුවෙක් ලැබෙන්න ප්‍රමාද වෙන කෙනෙක් දිහා අමුතු අනුකම්පාවක් සහ අපුලකින් බලන්න බොහෝ අය පැකිළෙන්නේ නෑ.

“ඔයා අප්සට් වුණේ නෑනෙ මැණිකේ..”

ගිහානි යන්න ගියාට පස්සේ සඳුන් අමාලිගේ අතින් අල්ලා ගත්තේ ප්‍රවේසමට.අමාලි සඳුන්ගේ ඇස් දෙක දිහා බලලා හිනා වුණේ හිතට ආව පුංචි දුකත් මකාගන්න ගමන්.

“බලන්නකො අමාලි උඩැක්කිය වගේ ඉන්න හැටි.හොස්පිටල් එකටත් එන්න ලිප්ස්ටික් උලන්න ඕන.ඒ ගවුමෙ කොට.සමයං ඉතින්..”

මෝටර් රථයට නැගලා ඉඳගන්න ගමන් ගිහානි කියන්නේ කෝපය පිරුණු කටහඬකින්.පුංචි දූ උණ අමාරුවට අඬන හන්දාම එයාට අද වැඩියෙන් කේන්ති යනවා කියලා රුක්ෂාන් හිතුවා.

“ඔයාටත් මං කියන්නෙ ලස්සනට අඳින්න කියල.ඔයා සැලෝන් එකකට යන්න තියා ලිප්ස්ටික් වත් ගානවද දැන්?”

රුක්ෂාන් එහෙම අහනකොට ගිහානි ඔහු දිහා බැලුවේ ගිනි පිට වෙන ඇස් දෙකකින්.

“ලස්සනට ඉන්නෙ කොහෙද..බැන්ද හැටියෙ අම්මෙක් වෙන්න උනා.දැන් මම මේ ළමයින්ගෙ යස්සකම් වලටම දිය වෙලා..”

ගිහානිගේ වැඩ පහසු වෙන්න හිතාගෙන දරුවෝ ඩේ කෙයා දාන්න අහනකොටත්, තිස්සෙම කිරි බොන චූටි දූට ෆෝමියුලා දීම ගැන වෛද්‍යවරයගෙන් අහමු කියනකොටත්,ලොකු පුතාට තනියම නිදා ගන්න උගන්වමු කියනකොටත් ගිහානි පරල වෙනහැටි රුක්ෂාන් මතක් කළා.

“මට නිකං සෝබන අම්මෙක් වෙන්න ඕන නෑ.මං අම්මෙක්.ස්ටයිල් කරන්නෙ මොකාට පේන්නද?”

මට පේන්න ලස්සනට ඉන්න බැරිද අහන්නත් ඒ වෙනුවෙන් දෙන උදව් බාර ගන්නේ නැත්තේ ඇයි කියලා අහන්නත් හිතුණාට රුක්ෂාන් කරබා ගත්තා.ගිහානි දුක කැමැත්තෙන් වැලඳගෙන ඉන්නේ ඇයි කියලා ඔහුට තේරෙන් නෑ.

“මේ කෙල්ල චූ දාගෙන..පොඩ්ඩක් වාහනේ නවත්තන්න..”

ගිහානි ආයෙම කෑගහනකොට රුක්ෂාන් පිටුපසට හැරුණේ ඔහු හැමදාම කියන කාරණාවක් මතක් කරන්න.

“බබාට ඩයිපර්ස් අන්දමු ගිහානි.”

ගිහානි රුක්ෂාන්ට රැව්වේ එයා බබාව වාහනෙන් එළියට විසි කරමු කිව්වා වගේ.

“අර අමාලි වගේ සුකුරුත්තන් ගෑනු අම්මලා උනාම නම් ඕව කරයි.මට මගෙ දරුවන්ට වේදනා දෙන්න ඕන නෑ..”

එහෙම කියපු ගිහානි ආයෙම සැරයක් අමාලිගේ නොලැබීමේ පාපය ගැන කියද්දී රුක්ෂාන් මෝටර් රථයේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කරේ ඒ කියවිල්ලේ සැර අඩු කරන්න හිතාගෙන.

“අපි වගේ ගෑනු හැමෝටම හම්බ වෙන්නේ නෑ ඉතින්.පේනවනෙ මේකප් උලාගෙන කොණ්ඩ හදාගෙන හිටියට ළමයෙක් නෑ.ඔය අතින් අල්ලන් හිටියට මිනිහට වුණත් ටික දවසකට පස්සෙ එපා වෙනව.වාසනාව කියන එක හැමෝටම නෑ කියන්නේ ඔන්න ඕකයි..”

බලහත්කාරයෙන් වැඩ වවා ගන්නවා මදිවට තමන්ගෙන් පුලුවන් තරම් ඈත් වෙන ගිහානි තවමත් අමාලිව බිමින් තියලා නැති බව ගුවන් විදුලියේ සද්දේ පරද්දලා රුක්ෂාන්ට ඇහුණා.

“මොන කරුමයක්ද ළමයො.ඇයි ඔය වතුර හලාගත්තෙ.මගෙ කාලකන්නිකම.මේකනම්”

වතුර බෝතලේ හලා ගත්තු පුතාට පාරක් ගහන ගමන් ගිහානි එහෙම කියද්දී ඇයව මනෝ වෛද්‍යවරයෙක් ගාවටවත් ගෙනියන්න වෙයි කියලා රුක්ෂාන් හිතුවා.

සමහර ප්‍රශ්න ප්‍රශ්නයක් කර ගන්නේ නැතුව ඉන්න අමාලිලා වගේම නැති ප්‍රශ්න පවා වවා ගන්න ගිහානිලා හැමතැනම.ගිහානි වෙලා හැමදාම කනස්සල්ලෙන් ඉන්නවද අමාලි වෙලා හිනාව තෝරා ගන්නවද කියලා හිතන්න ඕන ඔබම තමයි.

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...