දියවැඩියාව වළක්වා ගත හැකිද ?

පිළිකා, අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වගේ බෝ නොවන රෝග ඉතාම සීඝ්‍රයෙන් වාර්තා වෙන කාල වකවානුවක් තමයි අපි මේ පසුකරමින් ඉන්නෙ. 

පාසල් යන වයසේ පසුවන ළමුන් අතරත් කැපී පෙනෙන ලෙස බෝ නොවන රෝග වාර්තා වීම ඉහළ ගොස් තිබීම මෙහි තියන ඉතාම භයානක තත්වයක් විදිහට වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. 

අපි අද කතා කරන්න යන්නෙ බෝ නොවන රෝග අතර වැඩිපුර කතාබහට ලක්වෙන දියවැඩියා තත්වය ගැනයි. 

ඔබ හිතන්නෙ දියවැඩියා තත්වය සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් කියලද ? 

නැහැ. දියවැඩියා තත්වය සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන් ඖෂධ දැනට සොයාගෙන නැහැ.

නමුත් දියවැඩියා තත්වය ඇතිවීම වැළක්වීමට සහ පාලනය කිරීමට හැකියාව නම් අපිට තියෙනව. 

අන්න ඒ විදිහට දියවැඩියාව ඇති වීම වළක්වා ගන්න ඔබට කරන්න පුළුවන් මොනවද කියලයි අපි අද මේ ලිපියෙන් කතා කරන්න සූදානම් වෙන්නෙ. 

මුලින්ම අපි බලමු දියවැඩියා තත්වය කියල හඳුන්වන්නෙ මොකක්ද කියල ?

අපේ ශරීරයේ ප්‍රධාන ශක්ති ප්‍රභවය ලෙස ග්ලූකෝස් හඳුන්වන්න පුළුවන්. අපි ගන්නා ආහාර වලින් වගේම සිරුර තුළත් ග්ලූකෝස් නිපදවනවා. 

ඉන්සියුලින් හෝමෝනය මඟින් රුධිරයේ ඇති ග්ලූකෝස් සෛල වලට උරාගැනීම සිදුකරනවා. 

ඔබට දියවැඩියා තත්වය ඇතිවිට සෛල වලට ග්ලූකෝස් අවශෝෂණයට  ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නොමැතිවී රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවීම සිදුවෙනවා. 

දියවැඩියා තත්වයේ රෝග ලක්ෂණ 

පෙනීම අපහැදිලි වීම (අකුරු බොඳවී පෙනීම)

ආහාර ගත් පසුව ඇතිවන අධික නිදිමත සහ උදාසීන බව

කටේ ඇතිවන වියළි ගතිය සහ අධික පිපාසය

සම වියළීම

නිතරම මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය

තුවාල සුවවීමට කල් ගතවීම

දියවැඩියාව වළක්වා ගන්නේ කෙසේද ?

ශරීරයේ අනවශ්‍ය බර අඩු කරගැනීම

ඔබේ උසට අනුව බර පවත්වාගෙන යාම ගැන ඔබ නිරන්තරයෙන්ම සැළකිලිමත් විය යුතුමයි. 

පර්යේෂණ මගින් හඳුනාගෙන ඇති ආකාරයට ඔබේ සිරුරේ අනවශ්‍ය බර 7% කින් අඩුකර ගැනීමෙන් දියවැඩියාව ඇතිවීමේ අවධානම 60% කින් අඩුකර ගැනීමට හැකියාව ලැබෙනවා. 

මේ සඳහා ආහාර පාලනය සහ ව්‍යායාම වල නිරත වීම කරන්න ඔබට පුළුවන්.

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවීම

හැකිතරම් කාබෝහයිඩ්‍රේට් සහ මේදය අඩංගු ආහාර වගේම ක්ෂණික ආහාර ගැනීමෙන් වැළකී සිටීම ඉතාම වැදගත්.

විශේෂයෙන්ම ශාක ආහාර වල විටමින් සහ විවිධ වැදගත් ඛණිජ ලවණ අඩංගු වෙනවා. 

ඒ වගේම තක්කාලි, මිරිස්, පළතුරු, ගෝවමල්, බ්‍රොකලි, ධාන්‍ය වර්ග, රතු සහ සුදු නිවුඩ්ඩ සහිත සහල් වගේ කෙඳි සහිත ආහාර වලින් රුධිර ග්ලූකෝස් මට්ටම හොඳින් නියාමනය කරන අතරම කොලෙස්ට්‍රෝල් මට්ටම අඩුකර අධි රුධිර පීඩනය සහ හෘද රෝග ඇතිවීමේ අවධානමත් අඩු කරනවා. 

ඔලිව්, සූරියකාන්ත කැනෝලා වැනි තෙල් වර්ග, ආමන්ඩ්, රටකජු සහ වට්ටක්කා වගේ ඇට වර්ග, සැමන්, මැකරල්, ටූනා වගේ මාළු වර්ග වලත් ශරීරයට හිතකර  මේදය අඩංගු වෙනවා.

ඔබේ ශරීරයේ සීනි මට්ටම ගැන අවධානයෙන් සිටින්න

අඩුම තරමේ තරමේ වසරකට වරක් හෝ දෙවරක් ඔබේ රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කර ගැනීම ඉතා වැදගත්.

මීට අමතරව අප ඉහතින් සදහන් කර රෝග ලක්ෂණ ඔබට ඇත්නම් හැකි ඉක්මනින් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගැනීම අනිවාර්යය වෙනවා. 

නිතරම වතුර පානය කරන්න

දිනකට අවම වශයෙන් වතුර ලීටර් දෙකක පානය කිරීම දියවැඩියා තත්වය ඇතිවීම පාලනය කරනවා මෙන්ම අනෙකුත් බොහෝ රෝගවලින් ඔබ රෝග වලින් ඔබව ආරක්ෂා කරයි. 

ඔබේ සිරුරට හැකි තරම් හොඳ දේවල් ලබා දීමට සෑම විටම උත්සහ කරන්න කියන පණිවිඩයත් සමඟින්ම නිරෝගී බව ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නෙ මෙවැනි වැදගත් ලිපියකින් නැවත ඔබ හමුවන බලාපොරොත්තුව සමඟිනුයි. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles