පතිදම්වැල් 19

“අදත් කොහෙ හරි රෝන්දයක් ගහලද එන්නේ?”

විශ්ව විද්‍යාලයට යාම සඳහා සූදානම් වෙමින් හුන් උශාලිගෙන් අම්මා එසේ අසන්නේ අමනාපයෙන් නොවන බව උශාලි පුරුද්දෙක් මෙන් දනී.

“ලෙක්චර්ස් ඉවරවෙලා පොඩ්ඩ සරසවි එකට වගේ ගිහින් එන්නම්”

අම්මාට සිනාවක් සමග පිළිතුරු දුන්නාට ඉන්පසුව එන අවවාද පිරි වදන් පෙල උශාලිට දැන් නිතර අසාම කටපාඩම්‍ ය.

“ඔහොම හම්බ කරන ඒව නාස්ති කරන්න එපා ළමයො පොතුයි අරවයි මේවයි ගන්න. කීයක් හරි ඉතුරු කරන්නකො. තාත්තටත් හැමදාම ඔයාලට හම්බ කරන්න බෑනෙ”

“හරී ඔය ඉඳලහිටල පොතක් දෙයක් ගත්ත කියල එහෙම සල්ලි ඉවර වෙන්නෙ නෑ”

කියමින් අම්මාගේ උරහිසට පොඩු තට්ටුවක් දම උශාඉ නිවසින් පිටවෙන්නේ සිනහව මග දිගට සලමිනි.

දූලා හැදුවම ඉතින් කවදාක හෝ පිටට දෙන්නට සිදුවන බව දන්නා නිසා ඇස රැඳුණු කඳුලු සේලයෙන් එ දෙස බලා හුන් ගීතාංජලී මහත්මිය යලි නිවස තුලට ගියේ උශාලිගේ රුව මුලුමනින්ම නොපෙනී ගිය පසුය.

සති අන්තය ඉතින් සතියේ දිනයක් මෙන් කලබල නැති නිසාවෙන් බසයේ නැග නාවල විවෘත විශ්ව විද්‍යාලයට යන වේලවේ ජනේලයක් අයිනේ වාඩි වී කල්පනා ලෝකයක ගිලී හිඳින්නට උශාලිට හැක.

කල්පනා කරන්නට මෙතරම් දේවල් තනිව ඉද්දී හිතෙන්නේ ඇයිද යන්න ගැන කිසිත් අදහසක් උශාලිට නැත. එහෙත් ඔහේ එක එක දේවල් ගැන සිතමින් බස් රතකය ජනේලයක් අයිනේ වාඩි වී ගමන් කිරීම වෙනස්ම අන්දමේ විනෝදයකි.

“අද මොකෝ පරක්කුවෙලා?”

ඒ ඩිප්ලෝමා පාඨමාලාවේ මිතුරිය මනුලිය. ඇයගේ මවට හිමි පෙර පාසලක සේවය කරන අතරම මෙම ඩිප්ලෝමාව සඳහා ඉගෙනුම ලබන මනුලිට අවුරුදු දෙකක පමණ කුඩා දියණියක් ද සිටී.

ඉතාම විනෝදබර, එහෙත් අපමණ විශ්වාසය තැබිය හැකි මිතුරියක ලෙස හඳුනාගත් මනුලි එසෙ ඇසුවේ වෙනදා ඇය එන වේලාවට පැමිණ පංතියේ අසුන්ගෙන සිටින මිතුරියව අද විශ්ව විද්‍යාලයේ ගේට්ටුව අසල දී හමුවිම නිසාවෙනි.

“අහ් වෙනදට අහනව කුකුල අතින් අරන් මොකද කියල? අද අහනව පරක්කු ඇයි කියල”

නෝක්කාඩුවක් මෙන් කීවද එය හුදෙක් විහිලුවක් බව පමණක් දන්නා නිසා මනුලිද සිනාවට එක්වේ.

“හරි හරි ඔච්චර කියවන්න ඕන නෑනෙ මං ඇහුවෙ මොකෝ අද පරක්කු කියල”

ගේට්ටුවෙන් ඇතුලු වී සති අන්ත පාඨමාලා සඳහා පැමිණි සිසු ගංගාවන් අතරින් ඇවිද යමින් ඉද්දී කතා කරන්නට බොහෝ දේ මනුලිටත් උශාලිටත් විය.

ළඟ ළඟ එන්නට නියමිත ව්භාග ගැන, පෙර පාසල්වල දරුවන් ගැන, විවේකී සති අන්තය ගැන බොහෝ දේ කියවමින් හිඳ පාඨමාලාව අවසානයේ මනුලි ඉක්මනින් නික්ම යන්නේ ඇය එනතුරු කුඩා දියණිය බලා හිඳින නිසාවෙනි.

“හරි අමාරුවෙන් අනේ අම්මා එක්ක තියල එන්නේ?”

“අයියා එක්ක එකතුයි නේද?”

උශාලි අහන්නේ මනුලිගේ සැමියා වන දුල්සර ව කිහිප වරක්ම හමු වී තිබෙන නිසාවෙනි.

මෘදුකාංග ඉංජිනේරුවකු ලෙස නිවසේ හිඳම සේවය කරන නිසාවෙන් ඔහුගේ මව සමග එක්ව දරුවා බලා ගැනීම පහසුවක් බව පවසන්නී මනුලිය.

“සතියෙ දවස්වලත් උදේ වරුවෙ මම නැති නිසා පොඩ්ඩක් ශේප් උනාට මට ඉතින් දුකයි අනේ වීකෙන්ඩ් එකෙත් පොඩ්ඩක් උනත් ඈත්වෙලා ඉන්න”

ඒ ඉතින් අම්මා කෙනෙකුගේ ආදරයේ ගත් ය. එහෙත් උශාලිට එය කුතුහලයක් සහිත තවමත් නොලැබූ අත්දැකීමකි.පෙර පාසලේ දරුවන් කිහිප දෙනෙකුට අම්මා වුවද සැබෑටම සිතෙනුත් ගතිනුත් මවක් වීමේ ආහ්ලදය විඳින්නට තමන්ට තව කොපමණ කාලයක් තිබේද යන්න ගැන උශාලිට අදහසක් නැත.

මනුලි නික්ම ගිය පසු නිවසට යාම කම්මැලි සිතුවිලි ගෙන එන අදහසක් බැවින් උශාලි නුගේගොඩ සරසවියට සහ අලුතෙන් නුගේගොඩ හන්දියේම විවෘත කල ද ෆැක්ටරි අවුට්ලට් වෙත යන්නට සිතුවේ නිකමට මෙනි.

හොඳින් ඉර පායා ඇති දහවලක් බැවින් වැසි ගැන නොබියව ඇවිද යන්නට හැකි වීම උශාලිට සතුටකි.

කොහොමත් බොහෝ කෙල්ලන් වැසි අඳුරට සහ සීතලට ආශා කරද්දී උශාලි සැමදාමත් පෙම්බැන්දේ හිරුගේ උණුසුම්ම රැස් කදම්බයන් වත දවටාගන්නටය.

පාසල් යන වියේදී පවා ක්‍රීඩා දින තරග නැරඹීමට යාමේ දි වුව උශාලි කිසිදිනක අව්වේ කරවන්නට වීම ගැන තැවුනේ ද නැත.

“මෙයාට නම් අව්ව කියල ගාණක් වත් නෑ”

කුඩයක් ඉහලගෙන ක්‍රීඩාංගනයේ කෙලවරක අසුන් ගෙන ක්‍රීඩා තරග දෙස බලා හිඳි සචිනි පැවසුවේ කොතෙක් අව්වේ උන්නද එහෙමකට කියා අවපැහැයට පත් නොවන උශාලිගේ සුන්දර සම දෙස බලා ඉරිසියාවෙන් මෙනි.

එහෙත් එදවස පවා උශාලිට එහිවගක් නොවීය.

විවෘත විශ්ව විද්‍යාලයේ හිඳ නුගේගොඩට පැමිණි උශාලි නුගේගොඩ සරසවියට ගියේ පොත් ගන්නටත් වඩා පොත් බලන බලාපොරොත්තුවෙනි.

උශාලි පොත් කියවීමේ රුසියෙක් ය.

“කන ගමන් පොත් කියවන්න එපා ලමයො” කියා අම්මා දෝශාරෝපණය කරන සෑම මොහොතකදීම සිනා සී එහෙත් එයම කරන උශාලි අතට පොතක් දීම ඇයව මේ ලෝකයෙන් මදකට එහාට කරවන්නක් බව ඇයව හඳුනන සියල්ලන්ම දනී.

සියල්ලටම වඩා පොත්වල අලුත් පිටුවලින් එන සුවඳ උශාලිගේ සිතට නැවුම් අදහස් ගෙන ඒ.

සරසවියෙ පොත් අතර බොහෝ වෙලා සැරිසැරූ උශාලි ඉන් එළියට ආවේ අලුතෙන් නිකුත් වූ නර්මදා රංගොඩගේගේ බාඳුරා පොත අතැතිවය.

බාඳුරා කතාව හමුවීම අහම්බයක් ලෙස දැනුනේ ඒ කතාවේද විවාහක පිරිමියෙකුට ආලය කරන කෙල්ලක ගැන කතාවක් තිබීම නිසාවෙනි. එහෙත් එහි සිටින සකීට වඩා තම තත්ත්වය වෙනස් ය.

ඇයට ඔහු හා ආලයෙන් බැඳෙන්නට ආලය පවසන්නට අවකාශ ලැබී තිබෙද්දි තමාට සිතෙන් පමණක් ප්‍රේම කරන්නට සිදු වී තිබේ.

එහෙම බලද්දී තමා මේ කතාවේ හිඳින චරිතයකටවත් වඩා අසරණ නොවේද යන්න ගැන උශාලිට ඇතිවන්නේ මද පසුතැවිල්ලකි.

පිටු කීපයක් කියවීමෙන්ම ඒ පොතට ඇලුණු සිත නිසාවෙන් පොත මිල දී ගත් උශාලි පාර පැන නුගේගොඩ බෝගස අසලින් පල්ලම් බසින්නට වූයේ ෆැක්ටරි ස්ටෝ වෙත යන බලාපොරොත්තුවෙනි.

එහෙත් කොහෙන්දෝ ආ වැසක් කඩා වැටුණේත්, “උතාලි චීච” යනුවෙන් කවුරුන්ද  කෑගසන හඬත් නැගුණේ එකම මොහොතේ මෙනි.

ඒ බැල්ම අතරමගක දුලන්‍යාවත්, බැල්ම කෙලවර දුලන්‍යාගේ තාත්තා රැඳුණේ කොහෙදෝ සැඟවී සිටි මහ වැස්සක් පැමිණ පාර අද්දර සිට ගෙන හුන් උශාලිව දියබත් කරමිනි.

කලබලයෙන් කුඩ දිගහරිමින් මග යමින් හුන් සියල්ලන්ම උශාලි දෙස විපරම් දෑසින් බලා යද්දී පවා ඇය මහ වැස්සේ තෙමෙමින්, නොසෙල්වී ඒ දෑස් මායාවේම පැටලී උන්නාය.

ඔහුව දකින හැම දිනකම වහින බව පමණක් උශාලිට මතකය.

මේ වැස්ස දෛවෝපගතය.

“එක කුඩයක් යට ගෑවි නොගෑවි දවසක් හැන්දෑවේ” යැයි කියන්නේ වික්ටර් රත්නායක මහතාය. එහෙත් මේ එක කුඩයක් යටින් යා හැකි වැස්සක් නොවේ. එකම වැෂ්සක් වුව දෙදෙනෙක්‍ ය. තමා පාරේ මෙහා හිඳ බලා හිඳින්නේ එහා පැත්තේ හිඳිනා තම ඒක පාර්ශ්වීය ආදරයේ හිමිකරු දෙස වුවද තමාත් ඔහුත් අතර ඇත්තේ කිසි දිනක යා කරන්නට හැකි අන්දමේ දුරක් නොවන බව මහ වැස්සේ තෙමෙමින් වුව උශාලිට මතක තිබුනාය.

ජිවිතය අපව ගෙන එන්නේම මෙවැනි දෛවෝපගත තීරණ වලටය.

වැස්ස ඇද හැලෙන්නෙ මහ පාරේ ඇති කුනු දුහුවිලි සෝදා හරිමින් නැවුම් බවකින් පොලොව තෙමා නහවනු පිණිසය.

එහෙත් සිතට ඒ නැවුම් හැඟීම් එලෙසින්ම විඳ දරාගන්නට හැකියාවක් තිබේවිද?

උශාලිට ඉදිරිපසින් පාරේ එහා පැත්තේ නවතා තිබූ වාහනයට දුලන්‍යාව නංවමින් කුඩය ඉහලමින් හිඳි දුලන්‍යාගේ පියා එපස සිට මද සිනා රැල් නංවවමින් ඉද්දී “චීච එන්න එන්න තෙමෙන්න එපා” යැයි කෑගසන දුලන්‍යාගේ හුරතලය උශාලිට මෙලොවට පාර කියන්නට විය.

ඒ වදන් ඔස්සේ සිහිකල්පනාව යලිත් තම සන්තකයට ගත් උශාලිට තමා තෙමෙමින් හිඳින වගත්, මහ හයියෙන් වහින බවත් පමණක් මෙනෙහි වෙද්දී කුඩය අකුලා ලූ දුලන්‍යා ගේ තාත්තා වාහනය එපස සිට මෙපසට දැමුවේය.

“නගින්න ටීච” කියමින් ශටරය පහත් කල ඔහු මද සිනාවක් නැංවුවේත් උශාලි දෙපා අවසඟව මෙන් වාහනයට නැගුණේත් මහ හඬින් වැසි වසිමින් නුගේගොඩ දියබත් කරද්දීය.

ඒ සිනාවන් අද්දර රැඳවි තිබුනේ ආරාධනාවකි. ඒ ආරාධනාව රියට ගොඩවෙන්නද හෝ ඔහුගේ හදවතට ගොඩවෙන්නද යන පටලැවිල්ල ලෙහා ගන්නට උශාලිට හැකි වූයේ නැත. එහෙත් ඒ සිනාබර දෙතොලට නැඹුරුවන්නටත්, ඔහුගේ කැරලි කෙහෙ උඩ රැඳවී තිබුණ වැසි පිණි බිඳු අතකින් ගසා දමා ඔහුගේ කෙහෙ රැලි අතර අතැඟිලි යවන්නටත් සිතට පිවිසි ආශාව මැඩගනු පිණිස උශාලි ඔහුගේ නෙතින් තම නෙත් මුදවාගෙන පසුපස අසුනේ වාඩි වී හුන් දුලන්‍යාට සිනාවක් පා පසුපස අසුනට ගොඩවූවාය.

මහ වැස්සෙන් ඇද හැලුන දියවරෙන් තෙත බරිත වූ හුන්නද සිත අස්සේ වූයේ උණුසුම් සිතුවිලිය. ඒ සිතුවිලි වල වූයේ උණුහුමට ගැළපෙන කෝපි සුවඳකි. තමා පෙර දිනකදී නම් මේ වැස්ස ගැන මැසිවිලි නගන බව උශාලිට නොරහසකි.

එහෙත් ජීවිතයේ පළමු වතවකට හිරු කිරණ වලට ඇලුම් කල කෙල්ලක්, වැසි දියවරට පෙම් බඳිමින් හුන්නාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles