මුතු බෙලි හදවත – 25 වන කොටස

මුළු රැයේ ම ආදිත්‍යා ට නින්ද ගියේ නැත. ඇය නො නිදා කල්පනා කළා ය. දැන් ඉතින් සිය ජීවිතය ගැන වගකීම සියතට ගත යුතු ය යන නිගමනයට ඇය එළඹියා ය.  මෙතෙක් දවස් ඇය ට එසේ කළ නො හැකි විය. සැබවින් ඈ ජීවත් වූයේ අනුන් ගේ අත් වල නැටැවෙන රූකඩයක් ලෙස නොවේ දැයි ආදිත්‍යා ට සිතිණ. සඳසීලී ගේ ත් ගෙදර අයගේ උවමනාව මත විකුම් සමග විවාපත් වන්නට ඇය ට සිදු විය. ඒ විවාහයේ පැවැත්ම තිබුණේ ද විකුම් ගේ අතේ ය. සියල්ල සිදු වූයේ ඔහු ට ඕනෑ හැටියට ය. අඩු තරමින් ඔවුන් අතරේ සිදු වූ ලිංගික ගනු දෙනුවේ දී වුව ඇගේ රුචි අරුචිකම් ගැන වද වෙන උවමනාවක් විකුම් ට නොවිණි. ඇය සම්පූර්ණයෙන් ම ඔහු ගේ ලිංගික වහලිය වූවා ය.

ආදිත්‍යා ඍජු තීරණයක හිටියේ මින්දල සම්බන්ධයෙන් පමණකි. ඇය එකහෙළා විරුද්ධ නොවූවා නම් විකුම් මේ වන විටත් මින්දුල ව අනාථ දරු නිවාසයකට දමා ඉවර ය.

මේස ලාම්පුවේ ලා එළියෙන් පෙනෙනා සුදු පැහැති බිත්ති දෙස බලා ගෙන ආදිත්‍යා මඳහසක් නගා ගත්තා ය. මින් මනතට, මේ ශක්තිමත් හිත දිගට ම පවත්වා ගත යුතු යයි ඈ තරයේ හිතා ගත්තා ය.

නින්ද නොයාම කියන්නේ රාත්‍රියක දී කෙනෙකුට විඳිත හැකි ලොකු ම දඬුවම ය. ආදිත්‍යා හෙමිහිට යහනේ හිඳ, සුවෙන් නිදනා මින්දුල හා ආමන්තා දෙස බලා සිටියා ය. අනතුරුව හඬ නො නැගෙන සේ යහනෙන් බැස, ඉතා සෙමෙන් වීදුරු දොර හැර ගෙන සඳැල්ලට ගියා ය. ආදිත්‍යා තිගැස්සී ගියේ, අසල්වැසි සඳැල්ලේ පුටුව මතට වැටී, අහස දෙස බලා ගෙන කල්පනා කරනා දුමාල් ව දුටු විට ය.

ඇය දුටු දුමාල් වහා ම වේවැල් පුටුවෙන් නැගිට ගරාදි වැට වෙත ආවේ ය. ඔහු මුළු රැයේ ම නො නිදා මේ පුටුව මතට වී සිටියේ නැවත වරක් ආදිත්‍යා ට කරදරයක් වේ ද යන දෙගිඩියාවෙනි. ඒ ගේ ඇතුළේ කුමක් වුණත් ඔහු ට කළ හැකි යමක් නැත්තේ ය. නමුත් අඩු තරමින් යමක් සිදු වන බවක් හෝ දැන ගන්නට මෙතැනට වී නිදි වැරීම ඔහු තෝරා ගත්තේ ය.

දුමාල් ව දුටු ආදිත්‍යා තුළ ක්ෂණික ව නැගුණ සිතිවිල්ල ලැජ්ජාවකි. දුහුලු රෑ ගවුම පිටින් ඈ මෙසේ පිටතට ආවේ මේ වෙලාවේ මෙතැන ඔහු වෙතැයි කිසි සේත් බලාපොරොත්තුවෙන් නොවේ.

දුමාල් ගේ තුරුණු දෑස් මුළුමනින් ම ඒ තරුණ ස්ත්‍රී සිරුර ආක්‍රමණය කොට තිබිණ. ඈ දෙස බලා සිටියා වැඩි යයි සිතුණ ගමන් ඔහු ඉක්මනින් ඉවත බලා නැවතත් ඇගේ මුහුණ දෙස බැලුවේ ය. ඊළඟට ඇයි කියන ප්‍රශ්නය ඇසුවේ ඇස් වලිනි.

ආදිත්‍යා මුකුත් නෑ කියා හඟවන්නට හිස දෙපසට සැළුවා ය. නමුත් එය එසේ නොවන බව ඔවුන් දෙදෙනා ම දැන සිටියහ.

දුමාල් සිය ජංගම දුරකතනය අතට ගෙන ආදිත්‍යා ට පෙන්වූයේ ඔහු ඇය ට ඇමතුමක් ගන්නා බව හඟවන්නට ය. ආදිත්‍යා ඉක්මන් කොට කාමරයට ගියේ එය එහි හැඬවුණොත් ආමන්තා අවදි වනු ඇති නිසා ය.

“ඔයාට ගැහුවද…”

දුමාල් ඇසුවේ ඔහු ට රිදුණ බවක් ඇයට දනවමිනි. ආදිත්‍යා මඳ සිනාවක් පෑවා ය. ඊළඟට ‘රිදුණෙ නෑ’ කියා මිමිණුවා ය.

“මං ඔයාව ඔය අපායෙං අරං යන්නං”

ආදිත්‍යා ලොකු සුසුමක් හෙළුවා ය. අඩ සඳක් අහසේ පායා තිබිණි. ඒ සඳ කිරණින් සඳළුතලා දෙක ම තිබුණේ එකළු වී ය. තඹ පාට සඳ කිරණ ආදිත්‍යා ගේ කිරි ගරුඬ ප්‍රතිමාවක් වන් ස්ත්‍රී සිරුර වැළඳ ගෙන සිටිනායුරු තරුණයා අඩැසට දුටුවේ ය.

“කොහෙටද..”

ආදිත්‍යා එසේ ඇසුවේ ලොකු අරුතක් ඇති ව නොවේ. නිකං කටට ආවාට ය.

“තැනක් හොයා ගන්න එක මහ දෙයක්ද…දැනට පොඩි ඇනෙක්ස් එකක් වුණත් ඇති. හෙමිහිට අපේම කියල තැනක් හදා ගන්න මට පුළුවන්”

“මං ගැන එහෙම හීනයක්වත් තියා ගන්න එපා දුමාල්”

ඈ ඔහු ගේ මුහුණ මගහැරියා ය.

“දැං ඒකට ප්‍රමාද වැඩියි”

ඔහු කීවේ අඩ සිනහවකිනි. ඒ සිනහවේ වූ ආකර්ශනය තුළ ආදිත්‍යා මොහොතකට මංමුලා වූවා ය.

“විකාර හිතන්න එපා. මේක මට උරුම ජීවිතේ. ඔයාට උරුම තැනක් තියෙනව. ඔයා ඉන්න ඕන එතන. කසාද බැඳපු ගෑනියෙක් ගෙ ජීවිතේ ප්‍රශ්න මැද්දට කවදාවත් ඔයා වගේ කොල්ලෙක් එන්න ඕන නෑ”

“හරි හරි මැඩම්”

ඔහු දඟකාර ලෙස හිනැහුණේ ය. ආදිත්‍යා ඇස් පිය නො සලා ඒ පිරිමි රුව දෙස බලා සිටියා ය.

“දැං ගිහිං නිදියන්න ඔයා”

“ඔයත්. ඔයා ඔතන මුර කරන්න ඕන නෑ”

ඔවුන් දෙදෙනා ම එකවර සිනහ වූහ. ජීවිතය මොහොතින් මොහොත සිය වේශයන් වෙනස් කරන්නේ කෙසේදැයි ආදිත්‍යා ට සිතිණි. මීට හෝරා කිහිපයකට පෙර එක පිරිමියෙකු නොව පිරිමින් දෙදෙනෙකු ම  ඇයට පිරිමි සංහතිය ම එපා කරවන සේ හැසිරුණහ. නමුත් දැන් හෝරා කිහිපයකට මෙහා දී තවත් පිරිමියෙක් ඇගේ හදවත මත ආදරයේ තිගැස්මක් ජනිත කරවමින් පෙනී සිටියි.

“වටින දේවල් මුර කරල හරි රැක ගන්න වෙනව ආදිත්‍යා. ඔයයි පුතයි මට කොච්චර වටිනවද කියල ඔයාට හිතා ගන්නවත් බෑ”

ඒ වචන කන් සිදුරු තුලින් රිංගා පපුව පත්ලට ම කිඳා බසින්නා සේ ය ඇය ට දැනුණේ. මේ නැනෙනා හැඟීමෙන් පලා ගොස් හැංගෙන්නට ඇය ට ඕන වුණේ නැත.

“එක දෙයක් දන්නව”

ආදිත්‍යා බිම බලා ගෙන කියා ගත්තා ය.

“මොකද්ද…”

“ඔයා පුතාට කොච්චර ආදරේ ද කියල. එයාගෙ තාත්තවත් එයාට ඒ ආදරේ දීල නෑ. ඔයාට පිං දුමාල්. මේ විදිහට හරි මං ඔයත් එක්ක කතා කරන්නෙ…මට ඒ ආදරේ වටිකකම හොඳට ම දැනෙන නිසා. මං ඒ ආදරේට හරියට ගෞරව කරන නිසා. මං ඒ ආදරේට හරි ලෝබ නිසා. ඒ හැම දේම මගෙ පුතා වෙනුවෙන් දුමාල්. එහෙම නැතුව…තව පිරිමියෙක්ට හිතේ ඉඩ හදල දෙන්න මට කොහොමවත් ඕන කමක් නෑ. සිද්ද වෙච්ච දේවල් එක්ක තව පිරිමියෙක් විශ්වාස කරනව කියන තැනට වැටෙන්නත් මට ඕන නෑ”

ආදිත්‍යා කියවා ගෙන ගියා ය. දුමාල් කිසිදු බාධා කිරීමකින් තොර ව අසා ගෙන සිටියේ ය. ඇය සිය කතාවට නැවතීම තැබූ ඉක්බිතිත් ඔහු තව තත්පර කිහිපයක් කප්පනා කළේ ය.

“හැබැයි මට ඕන වුණේ පුතාව දිනා ගෙන ඔයාගෙ ලෝකෙට එන්න නෙවෙයි…”

බෝම්බයක් පිපිරුවා සේ ආදිත්‍යා දෙදරා ගියා ය.

“ඔයාට ආදරේ කරල පුතාගෙ හිතත් දිනා ගන්න”

ආදිත්‍යා හිස වඩාත් පහළට හරවා ගෙන යටි තොල් පට සපා ගත්තා ය. දුමාල් රෑ  සඳ එළිය තැවරී ගත් ඇදෙස නිවී සැනසිල්ලේ බලා සිටියේ ය. ඇය මොනවා කියාවිද කියා ඔහු සිතුවේ ම නැත. හිතේ තිබුණ සියල්ල නො සඟවා කියා ගන්නට ලැබීමේ සැහැල්ලුව ඔහු සිත් සේ භුක්ති වින්දේ ය.

“ආදි”

ඒ තරම් ආදරණීය ඇමතුමකින් පවා ඇය වෙව්ලා ගියා ය.

“ම්..”

“දැං ගිහිං නිදා ගන්න. හෙටත් මං ගෙදරනෙ. බලමු මොකද වෙන්නෙ කියල”

“මට පොරොන්දුවක් වෙන්න”

ඇගේ හඬ ඇහෙන නෑහෙන තරම් වූයේ ය.

“මොකද්ද..”

ඔහු ඇසුවේ දඩබ්බර පිරිමි කමින් ඒ ස්ත්‍රී හදවත වසඟයට ගනිමිනි.

“ඔයා මේවට ඉන්වෝල්වෙන්නෑ කියල”

“ආදිත්‍යා…ප්ලීස්…මගෙං එහෙම පොරොන්දුවක් ඉල්ලන්න එපා. ඔයයි පුතයි වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුණත් මට පුළුවන්”

ඔහු ගේ ඇස් ඉදිරිපිට ම ඇගේ ඇස් දෙකෙන් කඳුළු අහුරු දෙකක් ගිළිහිණි. ඒ තරම් තමන් ගැන හිතනා, ඒ තරම් තමන් ට වටිනාකමක් දෙන්නට කැමති පිරිමියෙක් ඉන්නවා කියා හිතන එක ම ගැහැනු පපුවක් කීරි ගස්වනා සිතිවිල්ලකි.

“අඬන්නෙපා දැං”

ඔහු මුදු පිරිමි භාෂිතයකින් ඇගේ හිත පිරිමැද්දේ ය.

“ඔය දෙන්නට මං ඉන්නව කියල මතක තියා ගන්න”

ඊට පස්සේ යහනට වැටුණත් නින්ද කුමට දැයි ඇය ට සිතිණි. දුමාල් ඒ තරමට ම ආදිත්‍යා ගේ හදවතේ සක්මන් කරමින් සිටියේ ය. ඇය කිසි සේත් සිය හිතේ හිස්තැන් වලට වෙනත් පිරිමියෙකු කැන්දා ගන්නට බලා උන් ගැහැනියක නොවේ. කිසි දා ක විකුම් ඇගේ හිත පුරවා ගන්නට සමත් වූ පිරිමියෙකු ද නොවේ. ඒ අනුව ආදිත්‍යා විවාහයෙන් පසු හැමදාමත් ජීවත් වූයේ හදවතේ හිස් තැන් එක්ක ය. ආදරයේ දී හිතේ හිස්තැන් පැවතිය හොත් ඒ හිස් තැන් වලට යකුන් පෙරේතයන් රිංගා ගත හැකි බවට කතාවක් ඇය අසා තිබිණි. ඒ නිසා කවදටත් මුළුමනින් හිස් ව තිබි හිතේ දොර කවුළු ඇය වසා ගෙන ම සිටියා ය. දුමාල් මේ රිංගා ගත්තේ හිස් තැන් බලා නොවන බව ද ඇය දැන සිටියා ය. රිංගුවා නොවේ. ඔහු හදවත අත්පත් කර ගැනීමේ සූදානමින් සිටියේ ය.

පෙර දා රාත්‍රියේ වූ කතා බහේ හැටියට ආයේ විකුම් ඇය සමගින් කතා කරන්නට හෝ නො පැමිණෙනු ඇතැයි ආදිත්‍යා සිතුවේ නැත. නමුත් ඔහු උදයෙන් ම ඇය හමු වන්නට පැමිණියේ ය.

“තමුංලගෙ ගෙදරිං මං ගෑනු දෙන්නෙක්ව කසාද බැඳ ගත්තෙ නෑනෙ. නේ…”

ඔහු කියන්නට යන්නේ කුමක් දැයි ආදිත්‍යා මුව අයා බලා සිටියා ය. කාමරයේ යහන මත කුඩා මින්දුල තියා ගෙන උන් ආමන්තා ට නම් යමක් ඉව වැටෙමින් තිබිණි.

“තමුන්ට විතරක් ඕනනං මේ ගෙදර ඉන්න පුළුවන්. එහෙං වෙන කාටවත් මෙහෙ ඉන්න බෑ. ගොට් ඉට්…”

එතන පොළොවේ වළක් හැරී ඈ එහි ගිලී යන්නා සේ ආදිත්‍යා ට දැනුණේ ය. ඒ කොයි තරම් අසරණ හැඟීමක් ද කියා කිසිවෙකු හට විස්තර කොට කියන්නට ඇය සමත් නැත. ඒ පිච්චී යන්නා බඳු හැඟීමකි. තමන්ගේ අය ව තමන් ගේ විවාහක සහකරු විසින් ප්‍රතික්ෂේප කරත්දී මිස වෙන කිසිදු අවස්ථාවක ගැහැනියක ඒ අතිශය අසරණ හැඟීම අත් නො විඳින්නී ය.

ආදිත්‍යා යහන මතට වැටුණා ය. ආමන්තා ඇගේ උරහිස මත අතක් තබා කතා කළා ය.

“මං දැන ගත්තා මිනිහ ඕක කියන්න තමයි හදන්නෙ කියල. එයාට ඕනෙ ඔයාගෙ බල බිඳින්න. ඔයා දුර්වලම දුර්වල දියාරු ගෑනියෙක් වගේ දකින්න. ඒකට ඔයාට තියෙන හැම ශක්තියක්ම ඔයාගෙං ඈත් කරන්නයි දැං එයා මේ හදන්නෙ. එතකොට ඔයාව ඕන විදිහට නම්මගන්නයි රූකඩයක් වගේ නටවන්නයි පුළුවන් කියලයි එයා හිතන්නෙ. මේ මිනිහ මහ ජරා බාල වර්ගෙ මිනිහෙක් අක්කෙ”

ආදිත්‍යා ගේ මුවට වදන් පැමිණියේ නැත. ඇය ගොළු ගැසී ගෙන සිටියා ය.මේ සිදු කළා වූ අවමානයට විකුම් ට කිසි සේත් සමාව දිය නො හැකි බවක් ඇය ට දැනුණේ ය.

“මං ආයි මෙහෙ ඉන්න එන්නෑ අක්ක. එන්න බෑනෙ අර මිනහ එපා කිව්වට පස්සෙ”

“තැනක් බලන්න ඕන නංගි…නර්සරි එකකට…”

“බලමු. මාත් ඉස්කෝල පටං ගන්නකල් ගෙදරනෙ. සීමාවාසික හම්බ වුණාට පස්සෙත් ටික කලක් ඔයාට උදව් කරන්න පුළුවන්. දැන්නං මේ මිනිස්සුන්ට කියල මෙහෙ ඉස්කෝලයක් හදා ගන්න වෙන්නෑ අක්කෙ. අනේ ඕනත් නෑ. නම්බුයි දුෂ්කර ගිහිං ඉඳල එනව. මේ වගේ ජරා සත්තුන්ට කියල වැඩ කරගන්නවට වඩා”

ආදිත්‍යා ගේ හිතේ කිසියම් සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබිණ. නමුත් කෙතෙක් දුරට එය සාර්ථක කර ගත හැකි වේවිද කියා ඕ නො දැන සිටියා ය. පාන්දර යාමයේ නින්ද ලබනා තුරු ම සඳසීලි කල්පනා කළේ ත් ආදිත්‍යා ගැන ය. ඇය ට තමන් ගේ අතින් සිදු වූ බරපතල වරද ගැන ය. උදයෙන් ම ඇය ලේලිය හමු වූයේ ත් ඒ වරද නිවැරදි කර ගත හැකි ආකාරයක් ගැන කතා කර ගන්නටයි.

“මගෙ පුතා වුණත් මං විකුම් ව අනුමත කරන්නෙ නෑ දුව. ඇත්තටම මං ලැජ්ජ වෙනව එයා හැසිරෙන විදිහ ගැන”

ආදිත්‍යා ලා හසරැල්ලක් පෑවා ය.

“අම්මට පුළුවන් නං මට එක උදව්වක් කරන්න. මට පොඩි තැනක් හොයල දෙන්න නර්සරි එකක් පටං ගන්න. එතකොට මට පුළුවන් පුතාටත් එතන තියා ගෙනම උගන්නන්න. ළමයි එක්ක ගැවසෙන එක පුතාට හොඳයි. මගෙ ඔළුවටත් හොඳයි මේ ප්‍රශ්න වලින් ඈත් වෙලා ඉන්න එක”

සඳසීලී මඳ වෙලාවක් ලේලිය දෙම බලා ගෙන ම සිටියා ය. ආදිත්‍යා ඉල්ලා සිටියේ මහ දෙයක් නොවේ. ඇය ට විජයවික්‍රම පවුලෙන් සිදු වූ වරද නිවැරදි කළ හැකි නම්, පෙර පාසලකට ගොඩනැගිල්ලක් ලබා දීමෙන් එය කළ හැකි නම්, ඒ විදිහට හෝ හිත නිදහස් කර ගන්නට සඳසීලී තීරණය කළා ය.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...